සතුටින් ජීවත් වෙන්න මඟ කියන හින්දු දහම

0
22

ලොව පවතින අනෙක් ආගම්වලින් මෙන්ම හින්දු ආගමද උත්සාහ කරනු ලබන්නේ ආගමක් ඇදහීමට වඩා සමාජයට යම්කිසි දෙයක් ලබා දීමටයි. හින්දු ආගම රඳා පවතින්නේ මිනිසුන්ගේ විශ්වාසයන් මතය. එසේම ආදරය සහ ගෞරවය වටා ගෙතෙන හින්දු සංස්කෘතියේ පොදු කියමනක් වන්නේ “ජීවිතය සතුටින් ගත කළ යුතුය” යන්නයි.

යම් කෙනකු ආකාර තුනකට පාරිශුද්ධත්වයට පත්විය යුතු බව හින්දු භක්තිකයන් විශ්වාස කරයි. එනම් මනසින්,  කථනයෙන් සහ ශරීරයෙන් නැතිනම් සිතිවිලිවලින්, වචනයෙන් සහ ක්‍රියාවෙන්ය. ඔවුන් භාවනාව මඟින් සහ යහපත් ඇසුර මඟින් මනසෙහි පාරිශුද්ධත්වයට ළඟා වෙයි. කිසි විටෙක රළු භාෂාවක් භාවිත නොකරන හින්දුන් ඒ මඟින් කථනය සංවර කර ගන්නා අතර  ශරීරයේ පාරිශුද්ධත්වයට ළඟා වන්නේ ශරීරයේ පිරිසුදුකම මඟින්ය.

වැඩිහිටියන්ට ගරු කිරීම හින්දු සංස්කෘතියේ එක් පදනමක් වන අතර වැඩිහිටියන්ට වම් පසින් වාඩි වීම, ඔවුන් සිටගෙන සිටින විට කිසි දිනෙක වාඩි නොවීම, විශේෂ අවස්ථාවලදී තෑගිබෝග ගෙන දීම, අභියෝග කිරීම හෝ වාද නොකිරීම  ඔවුන්ගේ ආහාර ප්‍රථමයෙන් පිළිගැන්වීම හින්දුන්ගේ ජේ‍යෂ්ඨත්වය පෙන්නුම් කරන ලක්ෂණ වේ. හින්දු භක්තිකයන් එකිනෙකාට ආමන්ත්‍රණය කරන ආකාරයෙන්ද ඔවුන් සතුව වැඩිහිටියන් කෙරෙහි තිබෙන ගෞරවය ඉස්මතු වෙයි. වැඩිමහල් පුද්ගලයකුට කිසිම දිනෙක ඔවුන්  නමකින් ආමන්ත්‍රණය කරන්නේ නැත. බාල සහෝදරයකු, වැඩිමහල් සහෝදරයකුට නමින් ආමන්ත්‍රණය කරන්නේ නැත. තවද හින්දු භාර්යාවක් විසින් තම ස්වාමිපුරුෂයා “මගේ ස්වාමිපුරුෂයා” හෝ “ඔහු”  ලෙස හ¾දුන්වන අතර ඔහුගේ නම කිසි විටෙකත් නොපවසයි. ඇතැම් කාන්තාවන් ස්වාමිපුරුෂයාගේ නිහතමානී කමට ගරු කිරීම සඳහා ඔහුගේ පාදද ස්පර්ශ කරනු ලබයි.

හින්දු භක්තිකයන් ඔවුන් හට මුණගැසෙන සියල්ලන් සමඟ කාරුණිකව වචන හුවමාරු කර ගන්නා අතර මුහුණේ මිත්‍රශීලී ස්වභාවයක් රඳවා ගැනීමට අමතක කරන්නේ නැත. හින්දු සංස්කෘතිය තුළ සෑම චලනයකටම අර්ථයක් ඇති අතර ඔවුන් ශරීර භාෂාව ඉතා වැදගත් අංගයක් ලෙස හ¾දුනාගෙන ඇත.  එනම් කෙනකු සිනහ වීමේදී දෑස් විවෘත වන ප්‍රමාණය මත සංවාදයකට ඇති උනන්දුව සහ උදේ‍යාගය තීරණය කළ හැකි බව ඔවුන් විශ්වාස කරයි. තවද  යම් කෙනකු සිටගෙන සිටින විට අත හරස් කිරීම මඟින් අකැමැත්තක් ප්‍රකාශ කරන බව හින්දුන්ගේ මතයකි.

අනෙක් ආගම්වල මෙන්  හින්දු භක්තිකයන් හටද  සාරධර්ම සහ විශ්වාසයන් ඇති අතර ඔවුන් ඒවා ජීවිතය ගොඩනඟා ගැනීමට උපකාරී කරගනු ලැබේ. සාරධර්ම සහ විශ්වාසයන් පිළිබඳව ආගමික කතා ඇසුරින් ඔවුන් පිළිඟන්නා අතර හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන සාරධර්මය වන්නේ ධර්මයයි. ඔවුන් ධර්මය යනුවෙන් අදහස් කරන්නේ දැහැමිව ජීවත් වීම සඳහා උත්සාහ කිරීම සහ සදාචාර නීති ආරක්ෂා කිරීමට යොමු වීමයි. හින්දුන්ගේ ජීවිතයහි කේන්ද්‍රය ධර්මය බවත් කෙනකුගේ යුතුකම් සහ හැකියාව අනුව ජීවත් වීම    නිවැරදි අනාගතයකට මඟ පෙන්වන බවත් හින්දුන්ගේ විශ්වාසයයි. හින්දු ආගමිකයන් ධර්මය ඉගෙනගනු ලබන්නේ ශුද්ධ ලියවිලි සහ කතන්දර මඟිනි.

එසේම සත්‍ය කතා කිරීම ඔවුන් තරයේ විශ්වාස කරනු ලබන අතර සත්‍ය කතා කිරීම මඟින් කෙනකුට හානියක් සිදු වේ නම් ඔවුන් එය නොපවසයි. (සිත් රිදීම් වැනි) බෞද්ධයන් මෙන්ම හින්දු ආගමිකයන් කර්ම නියාමය තදින් පිළිගන්නා අතර ඒ ගැන ඔවුන් තුළ දැඩි විශ්වාසයක් ඇත. යම් පුද්ගලයකු ධනාත්මක හෝ සෘණාත්මක ලෙස ජීවිතයේ හැසිරෙන ආකාරය අනුව ඔහුගේ ඉරණම තීරණය කරන බවත් ඒ මඟින් ඊළඟ ආත්මයෙහි ඔහුගේ හෝ ඇයගේ පුනරුත්පත්තිය තීරණය කරන බවත් හින්දු ආගමිකයන්ගේ මතයයි.

හින්දු ආගමෙහි මෝක්ෂයටද වැදගත් ස්ථානයක් හිමි වන අතර ඔවුන්ගේ ජීවිතයෙහි අවසාන ඉලක්කය වන්නේ විමුක්තියයි. විමුක්තිය ලබා ගත හැක්කේ සම්පූර්ණ අවබෝධය තුළින් සහ අත්දැකීම්වලින් බව ඔවුන් විශ්වාස කරයි. එසේම හින්දු භක්තිකයන් ඔවුන්ගේ වර්තමාන ජීවිතය, අතීත ජීවිතයෙහි තිබූ කර්මයේ ප්‍රතිඵලයක් බව විශ්වාස කරයි.

ඔවුන් නිතරම තමාගේ පෞද්ගලික අවකාශය පිළිබඳව සැලකිලිමත් වන අතර සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ ස්පර්ශ කිරීම හෝ ආදරය ප්‍රදර්ශනය කිරීම ආගමික වශයෙන් අගෞරවයක් ලෙස ඔවුන් සලකයි. (The self in Hinduism 2012) හින්දු ආගමෙහි යහපත් ලෙස ජීවත් වීම පිළිබඳ සීමාවන් දහයක් පනවා ඇති අතර එනම්.

–              සිතුවිලිවලින්, ක්‍රියාවෙන් සහ වචනයෙන් අන් අයට හානියක් නොවන ලෙස හැසිරීම.

–              සත්ත්ව හිංසාවෙන් වැළකීම.

–              බොරු පොරොන්දුවලින් සහ පාවා දීම්වලින් වැළකීම.

–              සොරකම් කිරීමෙන් වැළකීම.

–              ණයට ගැනීමෙන් වැළකීම.

–              ඉවසීම.

–              අනෙක් මිනිසුන් පහත් තත්ත්වයට දමා කතා නොකිරීම.

–              නොසැලෙන ස්ථාවරය.

–              දයානුකම්පාව සහ අවංකකම.

–              මධ්‍යස්ථව ආහාර ගැනීම.

යන ඒවා ඔවුන් අනුගමනය කරයි. මෙම කරුණු කාලීනව ගැළපෙන අතර සෑම ආගමකම උගන්වනු ලබන්නේ මෙම සංකල්පයයි. නමුත් ගැටලුව තිබෙන්නේ කුමන ආගමක වුවද යහපත් සංකල්ප මිනිසුන් අනුගමනය නොකිරීමයි වර්තමානයේ තිබෙන ආර්ථික අර්බුද හමුවේ මිනිසුන් අධික ලෙස සොරකම් කිරීමට පෙලඹී සිටින අතර හින්දු දහමේ මෙන්ම බෞද්ධ ආගමෙහි දෙවැනි පන්සිල් පදයෙන් දක්වා සිටින්නේ සොරකම් කිරීම අකුසල ක්‍රියාවක් බවයි. එසේම අද සිත් තුළ පවතින මානසික පීඩනය හමුවේ මිනිසුන් දැඩි ලෙස කෝප වන අතර එම කෝපය පිට කරන්නේ. වචන මඟිනි. එම නිසා ඔබ වචන භාවිත කළ යුත්තේ ඉතා පරිස්සමින් සහ ඉවසිලිවන්තවය. මේ මොහොතේ අප සැම ක්‍රියාකළ යුත්තේ ඉතා කල්පනාකාරීවය.

එකිනෙකාගේ මානසික තත්ත්වය පිළිබඳ සිතා ඔවුන්ගේ සිත් කෙරෙහි දයාව සහ අනුකම්පාව වැපිරිය යුතුය. මේ මොහොතෙහි අපට වටින්නේ ආදරයයි. එම නිසා අනෙක් මිනිසුන් පහත් තත්ත්වයට ඇද නොදමා මේ මොහොතෙහි ජීවත් වීම උදෙසා නැති බැරි අයට අත දීම බොහෝ සෙයින් වැදගත් වේ. ඉහළ නඟින ආර්ථිකය සමඟ හැකි ආකාරයට ජීවත් වෙනවා මිස ණය වීම සුදුසු නැත. එවිට ඔබ තවත් කරදරයට පත්වනු ලැබේ. දෙපිලට බෙදී ගහ මරා ගන්නවා වෙනුවට මේ මොහොතෙහි කළ යුත්තේ අපගේ ආගම්වලට අනුව ධාර්මිකව ජීවත් වීමයි. හින්දු ආගමෙහිද ඉහත දේශනා කළ ඇති කරුණු දහය වර්තමානයට ඉතා ගැළපෙන අතර මේ මොහොතේ සමාජයේ ගිලිහී තිබෙන්නෙ සාරධර්මයි. මනුෂ්‍යත්වයයි.

අතීතයේ සිට අද දක්වාම ආගම් තුළින් මිනිස් ජීවිතවලට අමිල මෙහෙවරක් ඉටු කරන අතර  වර්තමානයේ පවතින  අර්බුද සහ  විවිධ ලෙඩ රෝග හමුවේ සුදුසුම දෙය වන්නේ ආගම අනුව ජීවත් වීමයි. එම නිසා මේ මොහොතෙහි සුදුසුම දෙය වන්නේ සොබාදහමට අවනත වී කටයුතු කිරීම පමණි. ආගම්වලට නොබෙදී සෑම ආගමකින්ම ගත හැකි ජීවිතාදර්ශ ගෙන යහපත් ලෙස ජීවත් වීමට වර්තමානයේ රටෙහි ඇති වී තිබෙන තත්ත්වය අපට හොඳ මාර්ගයකි.

සචිනි බස්නායක