සජිත් තනිකර සජබ සගයෝ රනිල්ගේ ටී පාටියට

0
157

ජනාධිපති රනිල්ගේ රාජාසන කතාව

නව වන පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය 4 වැනිදා චාම් උත්සවයකින් පසු විවෘත කෙළේය. සාමාන්‍යයෙන් නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු රාජ්‍ය නායකයා ප්‍රතිපත්ති ප්‍රකාශයක් කිරීම සම්ප්‍රදායකි. වර්තමාන ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වීමට පෙර මෙම කථාව හැඳින්වූයේ රාජාසන කථාව කියායි. එම කථාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ ළාබාලම මන්ත්‍රිවරුන් දෙදෙනකු තෝරාගෙන ජනාධිපතිවරයාට විවාදය සම්බන්ධයෙන් ස්තුති යෝජනාවක් පිළිගැන්වීමද එදා පැවැති සිරිතයි. එවැනි ස්තුති පත්‍රිකාව රැගෙන ගිය මන්ත්‍රිවරයකුද වර්තමාන පාර්ලිමේන්තුවේද සිටී. ඒ මහින්ද රාජපක්‍ෂයි.

වර්තමාන ජනාධිපතිවරයාගේ කථාවට සවන්දීමට පැමිණ සිටි ආරාධිතයන්ගෙන්, මහජන ගැලරිය පිරී තිබිණි. හිටපු ඇමැතිවරු, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ප්‍රභූවරුන්ද, හිටපු එ.ජා.ප. ප්‍රධානීන්ද ජනාධිපතිගේ බිරිය වන මෛත්‍රි ද පැමිණ සිටි පිරිස අතර වූහ. තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් 44 දෙනකුට ආරාධනා කර තිබූ අතර, බහුතරයක් පැමිණ සිටියහ. හින්දු ආගමික නායකයන් වන කුරුක්කල්තුමන්ලාද මුස්ලිම් ආගමික නායක මවුලවිවරුන්ද පැමිණ සිටි අතර, මහා සංඝයා වහන්සේ හා කතෝලික ආගමික නායකයන් ගැලරියේ අසුන්ගෙන සිටිනු දක්නට ලැබුණේ නැත.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී හමුදා ගෞරවාචාරයකින් පිළිගැනීමෙන් පසු කථානායක, වේත්‍රධාරී සමඟ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගැබට ඇතුළු වන විට එහි අසුන්ගෙන සිටි මන්ත්‍රිවරු නිහඬව නැඟී සිටියහ. විපක්‍ෂ නායක සජිත් පාර්ලිමේන්තුවට පැමිණියේ ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණ අසුන් ගත්තාට පසුවය. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සභාව තුළට පැමිණියේද රනිල් අසුන් ගැනීමෙන් ටික වේලාවකට පසුවය.

පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත් නායකයා

ජනාධිපතිවරයා විනාඩි 45ක පමණ කාලයක් තම ප්‍රතිපත්ති ප්‍රකාශය කළේය. ඔහු සිය ප්‍රකාශය ආරම්භ කළේ තමන් ජනාධිපති ලෙස තේරී පත්වීම ගැන සඳහනක් කරමිනි. “පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් අතුරෙන් බහුතර විශ්වාසය දිනාගත් පුද්ගලයා ලෙස මා පසුගිය 20 වැනිදා ජනාධිපති ලෙස තේරී පත්වුණා. අද දිනයේ ජනාධිපති ලෙස මුල් වතාවට ඔබ අමතනවා” කියමිනි.

ඔහු ජනාධිපති ලෙස තේරී පත්වීම ගැන විපක්‍ෂයේ දේශපාලනඥයන් කරන නොයෙකුත් විවේචන, ආඩපාලිවලට එම ප්‍රකාශය පිළිතුරක් වූවා දැයි නොදනිමු.

තමන් රට පාලනය කරන්නට යන්නේ කුමන පුද්ගලයකු ලෙසද යන්න ගැනත් ඔහු මෙසේ පැහැදිලි කිරීමක්ද කෙළේය.

“මේ සභාව ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස් නියෝජනය කරනවා. සිංහල හෝ වේවා, දමිළ හෝ වේවා මුස්ලිම් හෝ වේවා බර්ගර් හෝ වේවා වෙනත් ජන කොටසක් වේවා ඔබ මෙතනට රැස්වෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ලෙසයි.

පාර්ලිමේන්තු නියෝජිතයන් තෝරා පත්කර ගන්නේ විවිධ ජන කණ්ඩායම්වලට අයත් ජනතාව විසින්. ඒ කුමන ජනකොටසක් නියෝජනය කළත් අප සියල්ලම කටයුතු කරන්නේ ශ්‍රී ලාංකිකයන් ලෙසයි. අද මම ඔබ අමතන්නේ සෑම ශ්‍රී ලාංකිකයකුගේම ජනාධිපති ලෙසයි.

සර්වපාක්‍ෂික ආණ්ඩුවකට ආරාධනා

එසේ කියමින් රට අද වැටී තිබෙන තත්ත්වය ජනතාව මුහුණ දෙන ප්‍රශ්න, ඒවා විසඳා ගැනීම අවශ්‍ය වන රටේ සමඟිය එකමුතුභාවය දේශපාලන අරගල හරහා කරන්නැයි ගැන දීර්ඝ ලෙස අදහස් දැක්වූ ජනාධිපතිවරයා, අවස්ථා කිහිපයකදීම සියලු පක්‍ෂවලට සර්වපාක්‍ෂික ආණ්ඩුවකට සැවොම එක්වෙමුයි කාරුණික ආරාධනයක් කෙළේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂ මේ වන විට සර්වපාක්‍ෂික ආණ්ඩුවකින් රටේ පවතින දැවෙන ප්‍රශ්න විසඳා ගැනීමට කැමැත්ත හා පොදු එකඟත්වයක් පළ කොට තිබේ. මේ වනවිට සමහර පක්‍ෂ ජනාධිපති, අගමැති ප්‍රධාන ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වා තිබේ. පසුගියදා සිකුරාදා වනවිට එම පක්‍ෂ සාකච්ඡා වට දෙකක් හෝ තුනක් පවත්වා තිබේ. ආණ්ඩුවට එකතුවීමට හෝ සර්වපාක්‍ෂික ආණ්ඩුවකට සම්බන්ධ වීමට දැඩි ලෙසම විරුද්ධ වූ විපක්‍ෂ නායක සජිත් ද මේ වනවිට සාකච්ඡා කරන්නට කැමැත්ත  පළ කොට තිබේ. මේ තත්ත්වය රටේ ඉදිරි පැවැත්මට යම් ආකාරයේ සුබ ලකුණක් සේ පෙනී ගොස් තිබේ.

ප්‍රතිපත්ති පක්‍ෂ එකතුවෙන් පසු

දියුණු, ජයග්‍රාහී රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යෑමට ජනාධිපතිවරයා ඔහුගේ අරමුණු ගැන දීර්ඝ කරුණු දැක්වීමක් කළ බැවින් ඒවා එකින් එක සඳහන් කරන්නට බොහෝ දෙනා තොරතුරු දන්නා බැවින් අවශ්‍යතාවක් නැත. එහෙත් සාමූහිකව කටයුතු කරන්නට ඇති කැමැත්ත ගැන රනිල් විශේෂයෙන් සඳහනක් කර තිබේ. ඔහු සිය ප්‍රතිපත්තිවලට වඩා අරමුණු ගැනයි කතා කළේ. ඔහු කීවේ සියලු දෙනා එකතුවී ප්‍රතිපත්ති හදමු කියායි. ඒ සඳහා අරගලකරුවන් ඇතුළු සියලු දෙනාගේ අදහස් විමසමින් පූර්ණ සමාජ ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ සහිත ජාතික සැලැස්මක් හදන්න ස්වාධීන ජන සභාවක් ස්ථාපිත කරන බවයි. සර්වපාක්‍ෂික ආණ්ඩුවක් යනු එක් පක්‍ෂයක තනි මතයට ක්‍රියා කරන ආණ්ඩුවක් නොවන බවද රනිල් කීවේය. වසර 25කට ආර්ථික සැලැස්මක් හදන බවටද ඔහු පොරොන්දුවක් දුන්නේය. ඉදිරි මැතිවරණය තරුණ පරපුරේ වාරය බවද ඔහු කීවේය.

කඩවුණු පොරොන්දු

මෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශ රාශියකට අපි කන්දී ඇත්තෙමු. දෙන පොරොන්දු ගැන අපේක්‍ෂා සහගතව සිටියෙමු. එහෙත් එය දුන් පොරොන්දුවලින් ඊනියා රාජ්‍ය නායකයන් කොතරම් ඉටුකර තිබේද? ජේ. ආර්. ගේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ජේ. ආර්. හැර ඔහුට පසුව ජනාධිපති තනතුර ලබාගත් සියලු දෙනාම එම ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දී තිබේ. එහෙත් තවමත් එය වෙනස් කරන්නට ඍජුව ඉදිරිපත් වූ කොන්දක් ඇති නායකයකු තවමත් අපට දකින්නට නොලැබීම කනගාටුදායකය. අපට ලැබුණේ එවැනි රාජ්‍ය නායකයන්ය. රනිලුත් එවැන්නකු දැයි දන්නේ නැත. ඔහු ජනාධිපති පදවියට පත්වූ ආකාරය ලෝක ඉතිහාසයේ කොහේවත් සිදු නොවූ අන්දමේ දෙයක් නිසා ඔහු ඒ අත්දැකීම් සමඟ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙන පොරොන්දුව ඉටු කරාවි දැයි අපි බලා සිටිමු.

මහලු වියේදී තරුණයන්ම තක් වෙන දේශපාලනය

මොකද, රනිල් එ.ජා.ප. නායකයා ලෙස, එ.ජා.ප.යේ මුල් පුටු තරුණයන්ට දෙන බවට එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී කී පාරක් පොරොන්දු දී තිබේද? පොරොන්දු ඉටු නොවූ තැන සිදුවූයේ එම වෙනස දිනාගන්න සටන් කළ එ.ජා.ප. මන්ත්‍රිවරු පක්‍ෂයෙන් ඉවත්ව වෙන පක්‍ෂවලට සම්බන්ධ වී දේශපාලනයේ යෙදීමයි. පසුගිය මහ මැතිවරණයේදී සජිත්ගේ ප්‍රධානත්වයෙන් එ.ජා.ප.යේ ලොකුම සළුව කැඩී, වෙන්වූ අතර, ප්‍රතිඵලය වූයේ එ.ජා.ප.යත් එ.ජා.ප. නායකයාත් අන්ත පරාජයකට පත්වීමයි. දැන් රනිල් තරුණ පරපුරට ඉදිරි මැතිවරණයේ වාරය භාර දෙන්නට යයි. ඔහු ජනතාවගෙන් ප්‍රතික්‍ෂේප වීම පාඩමක් ලෙස මේ වනවිට හදාරා තිබේ දැයි දන්නේ නැත. කෙසේ වෙතත් දේශපාලනයේ සීයකු වන විට මුනුපුරාලාට සැලකීම හොඳ වැඩිහිටියකුගේ ගුණයකි.

ජනපතිගේ තේ පැන් සංග්‍රහය මඟහැර පිටපාරේ යන්න හැදූ සජිත්

ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පසුව පැවැති විශේෂ තේ පැන් සංග්‍රහය වර්ජන කරන්නට විපක්ෂ නායකයාගේ සූදානමක් තිබිණි. ජනාධිපතිවරයා තේ පැන් සංග්‍රහයට සහභාගි වීමට ගිය අවස්ථාවේ සජබ නායකයා සිය මන්ත්‍රි කණ්ඩායම එකතු කරගෙන රනිල්ගේ කතාව ගැන යම් යම් දේ කියන්නට පටන්ගෙන ඇත. එය හොඳට මෙන්ම විවේචනයටද නැඹුරු වූ කතාවකි. සජබ ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරයකු මේ තීරයට පැවැසුවේ ඒ කතාව තේ පැන් සංග්‍රහයට මන්ත්‍රිවරුන්ට සහභාගි වන්නට කළ බාධාවක් බවයි.

මේ අවස්ථාවේ කිරිඇල්ල මන්ත්‍රිවරයා මොකක්ද මේ කරන්නේ? අපි මේකට (තේ පැන් සංග්‍රහයට) යනවද නැද්ද? කියා සජබ නායකයාගෙන් එසේ අසද්දී රාජිත ද කියා තිබෙන්නේ අපි මේකට යන්න ඕනෑ කියායි.

සජිතගේ විස්තරයට සවන් දෙමින් සිටි මන්ත්‍රිවරුන් කිහිපදෙනකු හැර බහුතරය කියා තිබෙන්නේ මේ අවස්ථාවට යායුතු බවයි. හර්ෂ සහ එරාන්ද දැඩි ලෙසම කියා තිබෙන්නේ මේ සඳහා සහභාගි විය යුතුම බවයි. සජිත් රනිල්ගේ කතාව ගැන කරුණු දැක්වීම නොනවත්වාම කරගෙන යද්දී අපි යනවද නැද්ද කියලා තීරණයක් ගන්නැයි යළි කී කිරිඇල්ල නැඟිට ගොස් ඇත. ගයන්ත, මයන්ත, හර්ෂ, එරාන්, මනෝ ඇතුළු පිරිසක් නැඟිට තේ පැන් සංග්‍රහයට සහභාගි වෙන්නට ගොස් ඇත.

සජිත්ගේ බැරියර් කඩාගෙන ටී පාටියට ගිය සජබ

සජිත් සමඟ ඉතිරි වූයේ සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, තලතා, රෝහිණි කවිරත්න ඇතුළු සුළු දෙනකි. මෙහිදී සජිත් ඇමතූ තලතා පොඩි ළමයෙක් වගේ මොකක්ද මේ කරන විකාරේ. ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවට එන කොට පක්ෂ _ විපක්ෂ මොන දේශපාලනයක හිටියත් රාජාසන කතාවෙන් පසු පැවැත්වෙන තේ පැන් සංග්‍රහයට සහභාගි වෙනවායි කියමින් යම් වචන හුවමාරුවක්ද සිදුව තිබේ. පසුව තලතා හා රෝහිණි ද එතැනින් පිටත්ව ගොස් ඇත. තලතා ගොස් තිබෙන්නේ වගකීමක් ඇතිව හැසිරෙන්න කියමිනි.

සජබ මන්ත්‍රිවරු තේ පැන් සංග්‍රහයට දායක වෙන්න පෙර ඔවුන් බහුතරයක් ජනාධිපති ළඟට ගොස් සුබපතා ඇත. හර්ෂ, මනෝ, ගයන්ත, හර්ෂණ, රෝහිණී ඇතුළු සජබ මන්ත්‍රිවරු වැඩි දෙනෙක් සුබ පැතූහ. ඒ අවස්ථාවේ සාගල, රුවන් විජේවර්ධන ඇතුළු එජාපයේ පිරිසක්ද රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහුද වූහ.

වේඬරුවේ උපාලි අනු නාහිමියෝ අගමැති දිනේෂ්ට කී දේ

පසුගිය සති අන්තයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිටියේ මහනුවරය. ඉරිදා (31දා) උදෑසනින්ම ඔහු දළදා මාලිගාවට පැමිණියේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමෙන් පසුව, ශ්‍රී  දළදා වහන්සේගේ ආශීර්වාද ලබා ගැනීම උදෙසාය. අගමැති දිනේෂ් පැමිණෙන විට, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද, දිලුම් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මහනුවර මැති ඇමැතිවරු මෙන්ම මාතලේ රෝහණ දිසානායක හිටපු රාජ්‍ය ඇමැතිවරයාද, මධ්‍යම ආණ්ඩුකාරවරයා, මහනුවර පුරපතිද  ඔහු පිළිගැනීමට පැමිණි සිටියහ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දළදා වහන්සේ වැඳපුදාගෙන පූජා පැවැත්වීමට එම කුටියට ඇතුළුවෙද්දී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමිපාණෝද එහි වැඩ සිටියහ.

“දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කියන්නේ, වසරක් වසරක් පාසාම ශ්‍රී  දන්තධාතූන් වහන්සේ වෙත මුල්තැන් පූජාවන් පවත්වන පරම පිවිතුරු නායකයෙක්.” අනු නායක හිමියෝ නව අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළේ එසේ කියමිනි.

පසුව අගමැතිවරයා පැමිණියේ මහනුවර ජනාධිපති මන්දිරයටය. ඔහු එහි එනවිටත් මහනුවර මැති ඇමැතිවරු රැසක් එහි පැමිණ සිටියහ. කොළඹ සිට පැමිණි සිසිර ජයකොඩි හිටපු රාජ්‍ය අමාත්‍යවරයාද ඔවුන්ට එක්විය. විශේෂත්වය වූයේ, පාර්ලිමේන්තුවේ ස්වාධීන වී සිටින පොහොට්ටුවේ මන්ත්‍රි කණ්ඩායමේ මහනුවර මන්ත්‍රිවරුන් දෙදෙනා වන වසන්ත යාපා බණ්ඩාර සහ උදයන කිරිඳිගොඩද එහි සිටීමය.

අගමැති දිනේෂ් නුවරදී මන්ත්‍රිවරු සමඟ රහස් සාකච්ඡාවක්

පසුව අගමැති දිනේෂ් සහ මෙම මන්ත්‍රිවරු සමඟ වෙනම විශේෂ සාකච්ඡාවක නිරත වූ අතර ඊට වෙනත් කිසිවකු සම්බන්ධ කරගත්තේ නැත.

පසුව අගමැතිවරයා, පස්වරුවේ මල්වතු මහා විහාරයට පැමිණ, මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී   සුමංගල හිමිපාණන් සහ අස්ගිරි මහා විහාරයට පැමිණ, අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැමිණියේ ගැටඹේ රාජෝපවනරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නා හිමි ඇතුළු මහා සංඝරත්නය බැහැදැක ආශිවාද ලබා ගැනීමටය. මේ සෑම අවස්ථාවකටම හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම සහ පා.ම. යදාමිණි ගුණවර්ධන ද එක්වූහ.     

“ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එනවද ලංකාවට”  ආශීර්වාද කිරීමෙන් අනතුරුව සිරිනිමල නා හිමියෝ විමසූහ.

“තවම දිනයක් නැහැ, එතුමාට පැමිණිය හැකියි” අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

අඟහරුවාදා (02දා) රුක්මලේ ධර්මවිජයාලෝක විහාරස්ථානයට පැමිණි අගමැතිවරයා ශ්‍රී  කල්‍යාණි සාමගී්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නා හිමියන්, බැහැ දැක ආශීර්වාද  ලබාගත් අතර, බදාදා (03දා) පාර්ලිමේන්තුවට පැමිණියේ නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටය.

පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් පසු තේ පැන් සංග්‍රහයට එක්වූ ඔහු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකටද එක්විය. පසුව කඩිනමින් පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණියේ විශේෂ අමුත්තන් කිහිපදෙනකු මුණගැසීම සඳහාය.

සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත , ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ විශේෂ සාකච්ඡාවකට එක්විය. පොදුජන පෙරමුණේ මහ ලේකම් පා.ම. නීතිඥ සාගර කාරියවසම්ද පැමිණ දීර්ඝ වේලාවක් අගමැතිවරයා සමඟ කතාබහක නිරත විය.

ඉන්පසු පොහොට්ටුවෙන් ස්වාධීනව කටයුතු කරන නායකයෙක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මුණගැසිණි. එය තරමක් දීර්ඝ සාකච්ඡාවක් විය. එය නිමා කළ අගමැති දිනේෂ් කෙළින්ම ගියේ ජනාධිපති ලේකම් කාර්යාලයටය. ඒ විවිධ පක්ෂ සමඟ ජනපති කැඳවා තිබූ සාකච්ඡාවන්ට ආණ්ඩුව වෙනුවෙන් සහභාගි වීමටය.

සජබ මහ ලේකම්ගේ කනස්සල්ල

සජබ මහ ලේකම්වරයා මේ දිනවල තරමක කලකිරුණු තත්ත්වයකින් පසුවන බව ඔහු සමඟ සමීපව සිටි සජබ මන්ත්‍රිවරු කිහිපදෙනෙක්ම ‘කැබිනට් එක’ තීරුවට පැවැසූහ. ඔවුන් පැවැසුවේ පක්ෂයේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ කාරණාවලදී බලපෑම් එල්ල වන බවයි.

දේශපාලන වශයෙන් පක්ෂ ලේකම්වරු කිහිපදෙනෙක්ම එම තනතුරුවලින් ඉවත් වී වෙනත් දේශපාලන පක්ෂවලට එකතු වී දේශපාලනය කිරීම ශ්‍රී  ලංකා දේශපාලනයට අලුත් දෙයක් නොවේ. ශ්‍රී ලනිපයේ හිටපු මහ ලේකම්වරයකු වූ එස්.කේ.කේ. සූරියආරච්චි, එජාප ලේකම්වරයකු වූ ජිනදාස නියතපාල, ශ්‍රී ලනිපයේ ලේකම්වරයකු වූ එස්.බී. දිසානායක, ශ්‍රී ලනිප ලේකම්වරයකු වූ මෛත්‍රිපාල සිරිසේන, එජාප ලේකම්වරයකු වූ තිස්ස අත්තනායක එසේ තනතුරුවලින් ඉවත්ව වෙන පක්ෂවලට සම්බන්ධව දේශපාලනය කළ අයයි.

පක්ෂ ලේකම්වරුන්ගේ මේ වෙනස්වීම් ගැන කතා කරමින් සිටියදී හිටපු ආණ්ඩුකාරවරයකු මෙහෙම කතාවක් කීවේය. ඔය පස්දෙනාට අමතරව ඔය වගේ හය වැනි ලේකම්වරයාත් වැඩි කල් යන්න පෙර ඉවත් වෙනවා. ඉවත් වෙලා ඔහු හිටපු පක්ෂයට යන්නයි හදන්නේ. නම නොකිව්වත් ආණ්ඩුකාරවරයා කීවේ කා ගැනදැයි දැනගන්නට අමාරුවක් නැත.

සර්ව පාක්‍ෂිකද? බහු පාක්‍ෂිකද?

සර්ව පාක්‍ෂික කියනවාට වඩා බහු පාක්‍ෂික කියලා නම දාගෙන ඔය වැඩ ටික ඉක්මනට කරගන්නැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ ජනාධිපතිවරයාට උපදෙසක් දුන්හ. උන්වහන්සේ මේ උපදෙස දුන්නේ ජනාධිපතිවරයා ඉකුත් සති අන්තයේ මහනුවරට ගොස් දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අස්ගිරි විහාරස්ථානයේදී මහ නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය හමුවීමේදී ධම්මදස්සි නාහිමියන් ජනාධිපති වෙත ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදීය.

සර්වපාක්‍ෂික ආණ්ඩුවක් දැන් හදනවා කියනවා. කොහොමද ඒක කරන්නේ ධම්මදස්සි අනුනාහිමියන්ගේ ප්‍රශ්නය විය. ජනාධිපති, නාහිමියන්ට පිළිතුරක් දෙමින් “නායක හාමුදුරුවනේ සර්ව පාක්‍ෂික රජයට එකතු වෙන්න කියලා මම හැම මන්ත්‍රිවරයකුටම ලිපියක් මඟින් ආරාධනා කළා. දැන් එයාලගේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ සතියේ මම ඒ අයව මුණගැහිලා සාකච්ඡා කරනවා” යි කීවේය.

බොහොම හොඳයි. හැබැයි ඉතින් සර්ව පාක්‍ෂික කියනවාට වඩා බහු පාක්‍ෂික කියලා නම දාගෙන ඔය වැඩ ටික කරන්නැයි අනුනාහිමියන් දුන් උපදෙස අනුමත කළ ජනාධිපතිවරයා එලෙස ඉදිරියට කටයුතු කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පිලිස්සුණු පොත් ගැන ජනපතිගේ දුක

නුවර ගමනේදී ජනාධිපතිවරයා මල්වතු මහ නාහිමියන්ද මුණගැසී ආශිර්වාද ලබාගත්තේය. මේ හමුවේදී ජනාධිපතිවරයා එහි වැඩ සිටි මහා සංඝරත්නය වෙත ග්‍රන්ථ පූජාවක්ද පැවැත්වීය.

එහි වැඩ සිටි හිමි නමක් ජනාධිපති වෙත ප්‍රශ්නයක් යොමු කරමින් ඔහුගේ නිවෙසේ තිබුණු පොත් කඩාකප්පල්කාරීන් විසින් ගිනි තබා විනාශ කිරීම ගැන ඇසූවිට, රනිල් බොහොම සංවේගයෙන් යුතුව කීවේ ලොකු පාඩුවක් වුණේ අපේ හාමුදුරුවනේ. ලන්දේසි යුගයේ හිටපු පියතුමෙක් ගැන ලියපු ඓතිහාසික පොතක් තිබුණා. ඒවා දැන් සොයා ගන්නත් නෑ. ඒ වගේම ඉතා පැරණි චිත්‍රත් තිබුණා කියායි. ඉකුත් ඉරු දින ජනාධිපතිවරයා පක්‍ෂයේ නුවර දිස්ත්‍රික් මන්ත්‍රිවරුන්, දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් මුණගැසුණු අවස්ථාවේ පක්‍ෂයේ මහ ලේකම් රංගේ බණ්ඩාර ජනාධිපති හමුවූයේ ජනාධිපතිටත් හිතාගන්න බැරි වීඩියෝවක් පෙන්වීමටය.

අරගලයට ප්‍රති අරගලයකින් පිළිතුරු දෙන්නලු

පැරැණි වමේ සටන් සගයකු මෙන්ම කලක් දැඩි යූ.ඇන්.පී. විරෝධියකු වූ වික්‍රමබාහු කරුණාරත්න තරමක අසනීප තත්ත්වයකින් නුවර කල්ගත කරන බව දැනගත් රංගේ ඔහුගේ සැපදුක් බලන්නට නුවර නිවෙසට ගියේය. එහිදී රටේ තත්ත්වය ගැන ප්‍රකාශයක් කළ ඔහු එය ජනාධිපතිට පෙන්වන ලෙසට ඉල්ලීමක් කෙළේය. දේශපාලන වශයෙන් වමේ පිලේ සිටි බාහු අවසාන කාලයේ රනිල්ගේ සමීපතමයකු ලෙස කටයුතු කළ අයෙකි. ජනාධිපති මුණගැසුණු රංගේ, ඔහු දුන් වීඩියෝව දෙමින් එය බලා ගන්නට ඉඩ සැලසුවේය.

අසනීප තත්ත්වයෙන් පසුවන බාහුගේ වර්තමාන රූපකායේ දුටු රනිල් බාහුට දුරකථන ඇමැතුමක් ගන්නා ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව රනිල් ඔහුට කතා කරමින් “කොහොමද බාහු සහෝදරයා” යි වාමාංශිකයන්ගේ භාෂාවෙන් ඇමතුවේය. ජනාධිපතිගේ සහෝදර කථාව අවසන් වීමෙන් පසු බාහු ඔහුගේ සටන්කාමී ගතිය පෙන්වමින් “අරගලයට ප්‍රතිඅරගලයෙන් පිළිතුරු දීම ගැන පැහැදිලි කිරීමක් කළේය.

බාහුගේ දේශනයට සවන්දුන් ජනාධිපති ඔහු කොළඹට පැමිණි පසු තමාව හමුවන ලෙසට දැනුම් දීමක් කළේය.

සර්වපාක්‍ෂික ආණ්ඩුවක් වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා මාලාවේ පළමු වැන්න ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉකුත් අඟහරුවාදා පැවැත්විණි. පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සමඟ පක්‍ෂයේ නියෝජිත පිරිසක් එයට සහභාගි වූහ. ජනාධිපතිවරයා නිර්මාණය කරන සර්වපාක්‍ෂික රජයට පක්‍ෂයේ සහාය රජයට හිමිවන බවට ලේකම් කාරියවසම් මෙහිදී සහතික විය. අගමැතිවරයාද සහභාගි වූ සාකච්ඡාවට ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි සමඟ තවත් කිහිප දෙනෙක් සහභාගි වූහ.

ආණ්ඩුවට උදවු කරන්න ජොන්ස්ටන් ප්‍රතිඥා දෙයි

පරණ යූ.ඇන්.පී. මන්ත්‍රිවරයකු මෙන්ම පක්‍ෂය තුළ රනිල් සමඟ දේශපාලන වශයෙන් ගැටුම්ද ඇති කරගෙන එ.ජා.ප.යෙන් ඉවත්වූ අයකු ලෙස මෙහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු ජනාධිපතිට මෙසේ කීවේය.

“සර්ගේ ඉදිරි අවුරුදු දෙකහමාරක කාලයට අපි අනිවාර්යයෙන්ම උදවු කරනවා. මේ ආණ්ඩුව වට්ටන්නවත්, සර්ගේ ගමනට බාධා කරන්නවත් අපට ඕනෑ නෑ. රට හදන්න. එච්චරයි ඕනෑ” ජොන්ස්ටන් කියද්දී රනිල් සිනාසී හිස සැලීය. රනිල්ට දැනට හොඳට හෝ නරකට ආණ්ඩුවේ සිටින එකම සගයා වන්නේ වජිරයි. ජොන්ස්ටන්ගේ ප්‍රකාශයෙන් රනිල්ට තවත් සහායකු ඉන්නවායි සිතෙන්නට ඇත. ලංකා කම්කරු කොංග්‍රසයේ හා ජාතික කොංග්‍රසයේ ඇතුළු පක්‍ෂ කිහිපයක නියෝජිතයෝද මෙදින ජනාධිපති හමුවී සර්වපාක්‍ෂික ආණ්ඩුව ගැන අදහස් හුවමාරු කරගත්හ.

ජනාධිපතිගේ තේ පැන් සංග්‍රහයට අවසානයේ සජිත්ද සහභාගි විය. හර්ෂ, චම්පික රණවක, මනෝ, ගයන්ත, ආදී ස.ජ.බ. මන්ත්‍රිවරු පිරිසක් ජනාධිපතිගේ කථාව අගය කරමින් සුබ පැතූහ. මෙහිදී  ජනාධිපතිවරයා ඔවුන්ට කීවේ “දැන් ඔන්න මම සර්වපාක්‍ෂික ආණ්ඩුවකට ආරාධනා කළා. දැන් ඔයාලගේ අවස්ථාව තමයි තියෙන්නේ. රට වෙනුවෙන් එකතු වෙනවාද? නැතිද කියලා ඔයාලා තීන්දු කරන්නැයි ජනාධිපති ඔහු අසල සිටි හැමෝටම සිනාසෙමින් කීවේ, එය ඔවුන් මුල්කර ගනිමින්ද නැත්නම් සජිත්ව කෝප කර ගනිමින්දැයි දන්නේ නැත.

තේ පැන් සංග්‍රහයට පැමිණ සිටි අමුත්තන් කිහිප දෙනකු සමඟ හර්ෂණ රාජකරුණා “මචං අපිත් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට කැමැතියි. අපි එතුමා ළඟට එන්නේ කොහොමද? දැන් එයා ඉන්නේ පොහොට්ටුවේ අයත් එක්කනේ කියද්දී ඕවා අමතක කරන්නැයි ඔහු සමඟ සිටි අය කීහ. හර්ෂණද එවැන්නක් කීවේ පක්‍ෂය කඩාගෙන ස.ජ.බ.ට ඒමෙන් දේශපාලන වරදක් කළැයි සිතාගෙන දැයි කියන්න දන්නේ නැත. පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ ආණ්ඩුවේ ස්වාධීන මන්ත්‍රිවරුන් වන ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායමත්, විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රි කණ්ඩායමත් සර්ව පාක්‍ෂික ආණ්ඩුව ගැන කතා කරන්නට ජනාධිපති හමුවූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

මෙදින සවස ජනාධිපති නිවෙසින් පිටත්වීමට පෙර සිටම දුරකථන ඇමැතුම් ලැබුණේ ගුරු සංගම් නායක ජෝශප් ස්ටාලින් අත්අඩංගුවට පත්වීම ගැන විමසීමටය. කතා කළ අයට ජනාධිපතිවරයා ඇඟ බේරා ගෙන හොඳ පිළිතුරක් දුන්නේය. ඒක අධිකරණයත් පොලිසියත් අතර ගනුදෙනුවක්. ඒක ගැන මගෙන් අහලා හරියන්නේ නෑ. වැඩි යමක් දැනගන්න ඕනෑ නම් පොලිසිය භාර ඇමැති ටිරාන් අලස්ගෙන් අහගන්න” ජනාධිපති කීවේය.

ඇමැති කටු සූප්පු කර ආණ්ඩුවට රිංගා ගැනීම සර්වපාක්‍ෂික නොවේ

ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අවසන් වීමෙන් පසු සිය මන්ත්‍රි කණ්ඩායම සමඟ පාර්ලිමේන්තු ලොබියට පැමිණි සජිත්ගෙන් මාධ්‍යවේදියකු ඇසුවේ සමගි ජන බලවේගයේ කවුරුන් හෝ ආණ්ඩුවට එකතු වෙනවාද? කියාය.

සජබේ මන්ත්‍රිවරු  දසදෙනකුට ආසන්න පිරිසක් ආණ්ඩුවට (රනිල්ට) එකතුවන බවට හා ඔවුන්ගේ සමහරු ඇමැති ධුර භාර ගන්නට සූදානමින් සිටින බවට පසුගියදා සිට දේශපාලන අංශවල ආරංචි පැතිරී ගොස් තිබිණි. සර්වපාක්‍ෂික ආණ්ඩුවට එකතුවීමට අදිමදි කරමින් සිටි සජිත්ට මේ ප්‍රශ්නයට උත්තරයක් දීමට අවස්ථාවක් පෑදුණේය.

ඉදිරි සර්වපාක්‍ෂක වැඩපිළිවෙළක ප්‍රධාන රාමුවේ කොටස් තුනක් සඳහන්ව ඇති බැවින් කවුරුන් හෝ ඇමැති කටු සූප්පු කර අවස්ථාවාදී සර්වපාක්‍ෂික පාලනයකට ප්‍රවිෂ්ට වීමට උත්සාහ කරන්නේ නම් එය සර්වපාක්‍ෂික පාලනයක් වන්නේ නෑ. එය ජනතාවගේ කරපිට බරක් පටවන පාලනයක් බව සජිත් කීවේය.

පාර්ලිමේන්තු අධීක්‍ෂණ කමිටු ක්‍රමය ගැන රනිල්-සජිත් සංවාදයක්

සර්ව පාක්‍ෂික වැඩසටහන් වෙනුවෙන් ආරාධනා කොට ජනාධිපති තමාට ලිපියක් එවා තිබෙන බවත්, එයට පිළිතුරු ලිපියක්ද යැවූ බව කී සජිත්, එම ආරාධනය පිළිගැනීමට සමගි ජන බලවේගය ඇතුළු සමගි ජන සන්ධානය තීරණය කොට ඇති බව පිළිතුරු ලිපියෙන් දැනුම් දුන් බවයි.

එම ලිපියේ සඳහන් පරිදි රටේ ආර්ථික හා සමාජ අර්බුදයන්ට පිළියම් සෙවීම සඳහා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්‍ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳව සංවාදයකට ජනපති කර තිබෙන ආරාධනය පිළිගන්නා බවද එම ලිපියේ සඳහන් කර තිබේ.

අළු ගසාදමා නැඟිටින එජාපය

එක්සත් ජාතික පක්‍ෂයට විශාල පිරිසක් අලුතින් එක්වීමට සිටින බැවින් ඔවුන්ට පක්‍ෂයේ ඉඩක් ලබාදීමට කටයුතු කිරීමේ ඇති අවශ්‍යතාව ගැන පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය අඟහරුවාදා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය කාර්යාංශයේ නිලධාරීන් හමුවේදී අවධානය යොමුකොට තිබේ.

අලුතින් පැමිණෙන ප්‍රධානීන්ට ආසන සංවිධායක ධුර හා වෙනත් තනතුරු ලබාදීම පිළිබඳවද රනිල් කරුණු අනාවරණය කරමින් අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එජාප යළි අළුගසා නැඟිට්ටවන්නට යන වැඩපිළිවෙළට දැනට විපක්‍ෂයේ සිටින ප්‍රධාන දේශපාලන පක්‍ෂ කීපයකම පිරිස් රංචු පිටින් එකතු වන බව එජාප සභාපති වජිර කියන්නට පටන් ගෙන තිබේ. එසේම එජාප 75 වැනි සංවත්සරය සිරිකොත මන්දිරයේදී පවත්වන්නට මෙහිදී තීරණය කොට තිබේ. මේ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව සැලසුමක් සකස් කරන ලෙස පක්‍ෂ නායකයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් රංගෙ බණ්ඩාරගේ දියණියගේ විවාහ  මංගල්‍යය පසුගිය බ්‍රහස්පතින්දා හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. මනාලියගේ පාර්ශ්වයෙන් මංගල්‍යයට අස්සන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහය. ඔහු නියමිත වේලාවට පෙර හෝටලයට පැමිණෙද්දී එජාප සභාපති වජිර, රුවන්, සාගල, අකිල, ශමල් ඇතුළු පක්‍ෂයේ ප්‍රධානීහු පැමිණ සිටියහ.

මෙහිදී විවාහ මංගල්‍යයට බාහිරව උපන් දින කේක් ගෙඩියක්ද කපා රනිල් ඇතුළු එජාප ප්‍රධාන පිරිස උපන් දිනය යෙදී තිබුණු රුවන් විජයවර්ධනට සුබ පැතූහ. පසුගිය සිකුරාදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ Advocata ආයතනය මඟින් සම්පාදිත ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තාව එළිදැක්වූයේ ජනාධිපති රනිල්ගේ ප්‍රධානත්වයෙනි. මේ උත්සවයේ කාගේත් කුතුහලය දනවන දසුනක් විය. ඒ වජිර සමඟ එජාපයේ කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, මයන්ත දිසානායක සමඟ පැවැති සාකච්ඡාවයි. වජිරම කියන්නේ ඔහු දේශපාලන ඩීල්කාරයකු බවයි. මේ සාකච්ඡාවත් ඉදිරියේදී ඇතිවන්නට සහ ඩීල් එකක  සලකුණක්ද?

බෙනට් රූපසිංහ