වෙඩි තියන්නවත් බැරි අලුත් තුවක්කුකාරයෙක් හයිරං පෙන්නපු මුල්ලේරියාව ඝාතනය

0
39

දිවයිනේ තැන තැන වෙඩි තබා මිනිස් ඝාතන සිදුකරන තුවක්කුකරුවන් ඉකුත්දා ගල්කිස්ස අධිකරණය තුළටද කඩා වැදී පුද්ගලයකු ඝාතනය කිරීමට තරම් නිර්භීත විය. ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ ශාලාවේ ඉකුත් 04 වැනිදා පස්වරුවේ නඩු විභාගයක් පැවැත්වෙමින් තිබියදී විත්ති කූඩුවක නැඟ සිටි පුද්ගලයකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර තිබිණි.

තුවක්කුකරු විත්තිකරුට වෙඩි පහරවල් දෙකක් එල්ල කර ඇතත් ඒ කිසිදු වෙඩිල්ලක් විත්තිකරුට වැදී නැති බවත් පොලිසිය සඳහන් කර ඇත. නඩුව විභාගයට ගත් මොහොතේ විත්තිකරු සාක්කිදීම සඳහා විත්ති කූඩුවට නැඟි අවස්ථාවේදී අධිකරණය තුළ පිරිස සමඟ වාඩි වී සිටි පිස්තෝලකරු මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩි තැබීම වූ අවස්ථාවේ අධිකරණ ශාලාවේ සිටි පොලිස් නිලධාරීහු වහා ක්‍රියාත්මක වී මහෙස්ත්‍රාත්වරයා දැඩි ආරක්ෂාව සහිතව අධිකරණ නිලමැදිරිය වෙත රැගෙන ගොස් තිබිණි.

එම කලබලය මැද පිස්තෝලකරු අධිකරණ ශාලාවෙන් පැනගොස් ඇති අතර අධිකරණ ශාලාවේ සිටි පොලිස් නිලධාරීන් පිස්තෝලකරු පසුපස හඹා යන්නට වුවද තුවක්කුකරු අධිකරණයට ඇතුළුවන ගේට්ටුවේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියකු දෙසටද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ගාලු පාරෙන් මාරු වී පලාගොස් තිබිණි. එම ප්‍රහාරයෙන් ගේට්ටුවේ සිටි පොලිස් නිලධාරියාටද අනතුරක් සිදුව නැත.

සුදු පැහැති කමිසයක් සහ කළු පැහැති කලිසමකින් සැරසුණු පුද්ගලයාගේ රුව ඒ අසල සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී තිබිණි.

කෙසේවෙතත් ගල්කිස්ස අධිකරණ භූමියට ඇතුළු වන සියලුදෙනා පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්කරනු ලැබුවද පිස්තෝලයක් අතැතිව පැමිණි වෙඩික්කරු එම පොලිස් නිලධාරීන් අතරින් අධිකරණය තුළට ගියේ කෙසේද යන්න උසස් පොලිස් නිලධාරීන්ට මහත් ගැටලුවක් ගෙන දී තිබේ.

පිස්තෝලකරු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ පුද්ගලයා අධිකරණය හමුවට කැඳවා තිබුණේ මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවැති නඩුව සඳහා බවත් කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර ඔහු වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මීට පෙරද ඔහුට කිසියම් අයකු විසින් වෙඩි තබා ඇතත් ඉන්ද ඔහු බේරී තිබිණි.

ඉකුත් මැයි මස 30 වැනිදා කොළඹ පිටකොටුව බැස්ටියන් මාවත අසලදී බස් නැවතුමේ සිටි පුද්ගලයකු ඉලක්ක කරගෙන ඇරඹූ මෙම වෙඩි තැබීමේ සිද්ධීන්වලින් දින 60ක් ඇතුළත මරා දැමූ පුද්ගලයන් ගණන 22ක් විය.

මැයි 30 වැනිදා සිට දිගින් දිගටම මිනිස් ඝාතන 13ක් සිදුකළ තුවක්කුකරුවෝ පොලිසිය සමඟ ඇති වූ වෙඩි ප්‍රහාරයකින් ‘ජෝශා’ නමැත්තා ඝාතනය වීමත් සමඟ මඳක් නිහඬ බවක් පෙන්නුම් කළහ.

එහෙත් එම නිහඬතාව බිඳිමින් ඉකුත් ජූලි මස 26, 27 යන දෙදින තුළ නැවතත් ‘වැඩ’ ඇරඹි ඔවුන් එම දින දෙක තුළ පමණක් පුද්ගලයන් 5 දෙනකු වෙඩි තබා මරා දැමීය.

අම්බලන්ගොඩ පොලිස් වසමේ මිනිස් ඝාතන තුනක්ද ගම්පහ අධිකරණය භූමියට යාබදව තවත් මිනිස් ඝාතන දෙකක්ද එලෙස වාර්තා වී තිබිණි.

එයින් නොනැවතුණු තුවක්කුකරුවන් ඉකුත් 30 වැනිදා වෙරළබඩ සහ රත්ගම පොලිස් වසම්වලදී තවත් පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා මරා දැමීය.

ඉන් විවේකානන්ද ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීම ඉතා අමානුෂික එකක් විය. යතුරුපැදියකින් ගමන්ගත් තුවක්කුකරුවකු පුද්ගලයකු ඉලක්කකොට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් එක් උණ්ඩයක් ඉලක්කගත පුද්ගලයාගේ සිරුරට වැදී ඔහු එතැනම ඇදවැටුණේය. ඒ බව දුටු තුවක්කුකරු යතුරුපැදියෙන් බැස බිම වැටී ජීවිතය බේරාගැනීමට උත්සුක වුණු තුවාලකරු අසලට පැමිණ නැවතත් ඔහුට වෙඩි දෙක තුනක් තබන අයුරු කාගේත් සිත්වලට ගෙන දුන්නේ කිසියම් තැතිගැන්මක්ය. එම වෙඩි තැබීමේ දර්ශන සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී තිබිණි.

පසුව ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙළිවූයේ දෙමළ පාතාලයේ ඇති වී තිබෙන එදිරිවාදිකම් මත එම පුද්ගලයා ඝාතනය කර ඇති බවකි. ඝාතනය වූයේ පූකූඩිකන්නා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට හිතවතෙක් බව විමර්ශනයේදී හෙළිවිය. නාඳුනන තුවක්කුකරුවන් විසින් සිදුකළ මෙවන් වෙඩි තැබීම්වල ආසන්නම සිදුවීම වාර්තා වූයේ මුල්ලේරියාව පොලිස් වසමෙන්ය. ඒ ඉකුත් දෙවැනිදාය.

මුල්ලේරියා බැංකුව හන්දිය චතුර බේකර්ස් ඉදිරිපිටදී සිදුකළ එම වෙඩි තැබීමෙන් මුල්ලේරියාව පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු වූ සුමුදු රුක්ෂාන් පින්තු නමැත්තා මැරුම් කෑවේය.

සුමුදු මුල්ලේරියාව, කොටිකාවත්ත, අංගොඩ, වැලිවිට ආදී ප්‍රදේශවල ජනප්‍රිය චරිතයක් විය. මීට වසර කිහිපයකට පෙර සුමුදුගේ ජීවිතයේ නොයෙකුත් හැලහැප්පීම් තිබූ අතර ඔහුට නොයෙකුත් චෝදනා පවා එල්ල වී තිබිණි.

පොදු පෙරමුණ දිනවන්නට බෙහෙවින් ඇප කැප වී වැඩ කළ ඔහු ප්‍රාදේශීය සභාවට පළමු වරට ඉදිරිපත්ව එහි උප සභාපති ධුරයද හෙබවීය. වැඩිම මනාප ලබාගනිමින් ඔහු දෙවරක්ම ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ලෙස තේරීපත් වීමද විශේෂත්වයකි. මිය යන තුරුම ඔහු මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කළේය.

කලකට පෙර පාතාලයේ නායකයකු වූ කරාටේ ධම්මිකගේද ඥාති පුතකු වන සුමුදු වත්මන් කඩුවෙල නගරාධිපතිවරයාගේ ළඟම ඥාතියෙක්ද වේ.

සුමුදු වෙඩි තබා මරා දමන්නේ මුල්ලේරියාව බැංකුව හන්දිය අසල ඇති ඉඩමක සිටියදීය. මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹි මුල්ලේරියාව පොලිසිය පවසන්නේ බැංකුව හන්දිය ආසන්නයේ ඇති ඉඩමක වෙයාර් හවුස් එකක් සහ හාඩ්වෙයාර් එකක් පවත්වාගෙන යෑම සඳහා ඔහුත් තවත් පුද්ගලයකුත් එක්ව කටයුතු කර ඇති බවය.

වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ සුමුදු එම ඉඩමට වරින්වර පැමිණ ඇති බව පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය විය. පොලී රොෂාන් නමැත්තාගේ බාල පුතකු සමඟ එකතුව යාඩ් එකක්ද පවත්වාගෙන ගිය සුමුදු නාඳුනන තුවක්කුකරුවන්ගෙන් වෙඩි කන මොහොතේ සිට ඇත්තේ ගෝලයකුත් සමඟ එක්ව එම ඉඩමේ ගේට්ටුව සෝදා පවිත්‍ර කරමින්ය. ඒ මොහොතේ ආහාර ගැනීම සඳහා රොෂාන්ගේ පුතා සිය මිත්තණියගේ නිවෙසට ගොස් ඇතැයි පොලිසිය කියයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් සුමුදු වැඩබිමේ ගේට්ටුව අසල රැඳී සිටින අයුරු දැක ඇත. ඒ සමඟ යතුරුපැදියේ පිටුපස සිටි තුවක්කුකරු සුමුදුට වෙඩි තැබීමේ අදහසින් නයින් එම්. එම්. පිස්තෝලය අතට ගෙන එය ලෝඩ් කළේය. ඒ සමඟම ඉන් නිකුත්වූ උණ්ඩයක් ඉබේම අහස දෙසට එල්ල විය. ඒ වනවිට සුමුදු සිට ඇත්තේ තුවක්කුකරුට මීටර 300ක් අෑතිනි. වෙඩි ශබ්දය සුමුදුට ඇසිණි.

“මොකක්ද ඒ සද්දේ…”

ඔහුට කියාගත හැකි වූයේ එපමණකි. යතුරුපැදිය සුමුදු රැඳී සිටි ස්ථානය වෙත එසැණින් පැමිණියේය. තුවක්කුකරු ගිනි අවිය සුමුදු වෙත එල්ල කරමින් තවත් උණ්ඩයක් මුදා හැරියේය. එය වැදුණේ ගේට්ටුවටය. ඒ සමඟ තවත් උණ්ඩයක් නිකුත් වූ අතර එය සුමුදුගේ ඉළ පෙදෙසට වැදිණි. වෙඩි පහරකෑ සුමුදු එසැණින් ජීවිතය බේරා ගැනීම සඳහා දිව යන්නට විය. ඔහු සමඟ රැඳුණු ගෝලයා අනෙක් දෙසට දිව ගියේය.

වෙඩි පහර කෑ සුමුදු මඳ දුරක් ගොස් වෙයාර් හවුස් එකත් තවත් ගොඩනැඟිල්ලක් අතරින් තිබූ කුඩා ඉඩක් අතරට දිව ගියද එතැනින් එහාට යෑමට නොහැකිවූ ඔහු එතැන සැඟවිණ.

සුමුදුට වෙඩි තැබූ තුවක්කුකරුවන් යළි සිය යතුරුපැදිය හරවාගෙන පැමිණ සුමුදු දිව ගියේ කොහේටදැයි නිරීක්‍ෂණය කළේය. ඒ සමඟ ඔවුන් දුටුවේ මාර්ගයේ රුධිරය වැටී තියෙන අයුරුය.

එතැනින් යතුරුපැදියෙන් බැසගත් තුවක්කුකරු සුමුදු දිව ගිය දෙබොක්කාවට ගොස් එහි සැඟව සිටි සුමුදු වෙත තවත් වෙඩි දෙක තුනක් තබා පැමිණි යතුරුපැදියෙන්ම පලා ගියේය. රෝහලට ඇතුළත් කරන විටත් සුමුදු රුක්‍ෂාන් මියගොස් සිටියේය. නුගේගොඩ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජේ. පී. එස්. ජයමහ සහ සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම යන මහත්වරුන්ගේ උපදෙස් මත මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුසන්ත ඇතුළු කණ්ඩායමක් සුමුදු රුක්ෂාන් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීය.

මෙතෙක් කරන ලද විමර්ශනයේදී පොලිසිය සැක කරන්නේ ඉතා මෑතකදීම සිදුවූ කිසියම් සිදුවීමක් මත සුමුදු මරා දමන්නට ඇති බවය. එමෙන්ම සුමුදුගේ ඝාතනය කුලී මිනීමරුවන්ට දුන් කොන්ත්‍රාත්තුවක් බවද පොලිසියේ විශ්වාසය විය. එහෙත් විමර්ශන නිලධාරීන් පවසන්නේ කොන්ත්‍රාත්තුව භාරගත් තුවක්කුකරු එතරම් වැඩකාරයකු නොවන බවය. ඔහු ආධුනික තුවක්කුකරුවකු වන්නට ඇතැයි විමර්ශන නිලධාරීන්ගේ මතයයි.

“සුමුදුට වෙඩි තියන්න කලින්ම තුවක්කුකරුගේ තුවක්කු පත්තු වෙනවා. මිස්ෆයර් එකක් යනවා. ඉන් පස්සේ සුමුදුට තියෙන වෙඩිල්ලත් සුමුදුට වදින්නේ නැහැ. වදින්නේ ගේට්ටුවට. තුන්වැනි එක තමයි සුමුදුගේ බඩ පැත්තට වදින්නේ. ඒක වැදිලා සුමුදු පණ බේරාගන්න දුවනවා. සුමුදු දුවන්නේ දෙබොක්කාවක් ඇතුළට. අනිත් පැත්තට දුවලා ගියා නම් සුමුදුට ජීවිතේ බේරා ගන්න තිබුණා. ඉන් පස්සේ තමයි තුවක්කුකරු නැවත ඇවිල්ලා බිම වැටුණු රුධිරය ඔස්සේ දෙබොක්කාවේ හැංගිලා හිටිය සුමුදුට වෙඩි තියන්නේ. ෂොට් තුනක්ම එතැනදී තියෙනවා.

තුවක්කුකරු හොඳ “ෂූටර්” කෙනෙක් නම් ෂොට් එකකින්ම සුමුදුව මරන්න තිබුණා. වෙඩි වැදුණු සුමුදු අනිත් පැත්තට දිව්වා නම් ජීවිතේ බේරගන්නත් තිබුණා. ඒ නිසා අපි සැක කරනවා සුමුදුට වෙඩි තැබූ පුද්ගලයා ආධුනික තුවක්කුකරුවෙක් වෙන්න ඇති කියලා.”

විමර්ශන පවත්වන පොලිස් නිලධාරියෙක් කීය.

කෙසේ වෙතත් පත්‍රය මුද්‍රණයට යන මොහොත වනතුරුත් සුමුදුගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නැත. එහෙත් තුවක්කුකරුවන්  සුමුදුට වෙඩි තැබීමට පැමිණෙන ආකාරය දක්වන සී.සී.ටී.වී. කැමරා දර්ශන මුල්ලේරියාව පොලිසිය සතුය. ඒ ඔස්සේ විමර්ශන සිදු කළද තුවක්කුකරුවන් පැමිණ ඇත්තේ ව්‍යාජ අංක තහඩු සවිකර ගත් යතුරුපැදියක බවට මේ වනවිට අනාවරණය කරගෙන අවසානය.

සිය ඥාතියා වූ කරාටේ ධම්මික පාතාලයේ නමක් දිනාගෙන සිටි කාලයේ සුමුදු ඔහු සමඟ කළ කී දෑද බොහෝය. එහෙත් ධම්මිකගේ අතුරුදන් වීමත් සමඟ ඒ සියල්ල නතර විය. එවන් ක්‍රියාවක් හේතුවෙන් සුමුදු මරා දැම්මේ නම් ඒ සඳහා ඕන තරම් කාලයද තිබූ බව පොලිසියේ විශ්වාසයයි. ධම්මික අතුරුදන්ව දැනට වසර ගණනාවක්ම ගෙවී ගොස්ය.

වෙනත් සිදුවීමක් හෝ දේශපාලන හේතුවක් මත සුමුදු මරා දැමුවේද යන්න පොලිසියට තවමත් නිශ්චිත වශයෙන් පැවැසිය නොහැකිය. ඒ එවන් සිදුවීමක් සුමුදු මරා දමන්නට හේතුවූයේ නම් තුවක්කුකරුවන්ට එය ඉටුකර ගන්නට ඕනෑ තරම් ඉඩ ප්‍රස්තාව සහ කාලය තිබූ නිසාය.

කෙසේ වෙතත් සුමුදු මරා දමන්නට මෑතකදී සිදුවූ කිසියම් සිදුවීමක් හේතු වන්නට ඇතැයි සැක කරන පොලිසිය එය අනාවරණය කර ගැනීම සඳහා  විමර්ශන සිදුකරමින් සිටී. සිද්ධිය සම්බන්ධයෙන් සුමුදු සිටි වැඩ බිමට සම්බන්ධ කිහිප දෙනකුගෙන් මෙන්ම වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සුමුදු සමඟ රැඳුණු ගෝලයකුගෙන්ද පොලිසිය ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන ඇත.

මේ අතර සුමුදු වෙඩි තබා මරා දමා ඇත්තේ කොන්ත්‍රාත්තුවක් මත බව පොලිසිය කියයි.

කෙසේ වෙතත් බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සුමුදු ඝාතනයේ සුලමුල සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 4ක් පත්කර තිබේ.

මුල්ලේරියාව පොලිසිය, නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය සහ කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම මහතාගේ උපදෙස් මත මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඒ. ජී. එස්. සුසන්ත ඇතුළු කණ්ඩායම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදුකරති.

මේ අතර ඉකුත් 4 වැනිදා රාත්‍රියේ ලුණුගම්වෙහෙර සහ අහංගම පොලිස් වසමෙන්ද වෙඩි තැබීම් දෙකක් වාර්තා විය.

ලුණුගම්වෙහෙර පඩව්ගම ප්‍රදේශයේදී සිදුකළ එම වෙඩි තැබීමෙන් තිස්සමහාරාමය පඩව්ගම ප්‍රදේශයේ 34 හැවිරිදි පුද්ගලයකු මියගිය අතර එය පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බව පොලිසිය කියයි.

එදිනම අහංගම පොලිස් වසමේ ගොවියාපාන ප්‍රදේශයෙන්ද මිනිස් ඝාතනයක් වාර්තා වූ අතර අවන්හලක් තුළ සිදු කළ මෙම වෙඩි තැබීමෙන් මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු මරණයට පත්වී තිබිණි. කෙසේ වෙතත් මෙම ඝාතන සිදු කළ ඝාතකයන් මේ වනතුරුත් පොලිසිය අත්අඩංගුවට ගෙන නොතිබිණි.

කීර්ති මෙන්ඩිස්