වීරයන් බිහිකරන අන්ධකාරයේ දරුණුතම සිනමාත්මක හෝරා කිහිපය Rings of Power

0
170

ලෝකයේ කිසිම දවසක යුද ගිනිදැල්වල නිමාවක් තිබුණේ නැහැ. එක් තැනක ගිනි නිවෙද්දී තවත් තැනක ගිනි ඇවිළුණා. මෙම සියලු ඇවිළීම් සඳහා මූල්‍ය සපයන්නේ එකම පොදු සාධකයක් විසිනුයි. ඔබ සිතන ආකාරයට එය මොකක් වෙන්නට ඇතිද? බලය මිත්‍රවරුනි බලය!

විසි එක්වැනි සියවසේදී වුවත් බලය වෙනුවෙන් මිනිසුන් බොහොමයක් තමන්ගේ සීමාවන් අතික්‍රමණය කරනවා. එසේනම් අතීතය ගැන කවර කතාද? මේ මහ පොළොවේ බලය වෙනුවෙන්ම කොතරම් නම් ලේ ගංගා ගලාගොස් ඇතිද? නමුත් හිතවතුනි, අද අපේ සිනමාත්මක චාරිකාව දිව යන්නේ මේ මහ පොළොවේ අතීතය වෙත නම් නොවෙයි. අද අප ඇවිද යන්නට සූදානම් වන්නේ ‘මධ්‍යම පෘථිවිය’ නම් වූ මන–කල්පිත දේශයේ දෙවැනි යුගය වෙතටයි!

‘J.R.R. Tolkien’ නම් විශිෂ්ට ලේඛකයාගේ පරිකල්පනීය ලෝකය තුළ බිහිවූ කතන්දරයක් ලෝකයම ආදරයෙන් වැලඳගත් අයුරු ඔබට මතක ඇතැයි මම සිතනවා. ‘The Lord of the Rings’ නම් චිත්‍රපට ත්‍රිත්වය ඔස්සේ දිගහැරුණේ එම කතන්දරයයි. ඔබ අනූව දශකයේ ඉපදුණු අයෙක් නම්, ඔබේ ළමා කාලය ත්‍රාසයෙන් භීතියෙන් පුරවාලූ එම චිත්‍රපට ත්‍රිත්වය තවමත් ඔබේ මතකයෙන් ගිලිහී ගොස් නැතිව ඇති. ඉතින් මිත්‍රවරුනි, ඒ පරණ මතක අලුත් කරන්නට මේ එළඹෙන සැප්තැම්බරය ඔබට ඉඩක් ලබාදේවි!

අද අප කතා කරන්නට සූදානම් වන්නේ ‘The Lord of the Rings: The Rings of Power’නම් කතාමාලාව පිළිබඳවයි. මේ සඳහා පාදක වී ඇත්තේ ‘The Lord of the Rings’ සහ The Hobbit’ වැනි නිර්මාණවලින් කතා කළ යුගයට වසර දහස් ගණනකට පෙර යුගයකුයි. ඉතින් මෙහිදී ඔබට හුරුපුරුදු මුහුණු මෙන්ම අලුත්ම මුහුණුද දැකගැනීමට අවස්ථාව ලැබේවි. බල මුදුවේ අතීතය මෙන්ම ‘LOTR’ ඔස්සේ ඔබ දුටු විවිධ වර්ගයේ ජන කොටස්වල අතීත මුතුන් මිත්තන් ඔබට මෙහිදී හමුවේවි. ඒ සියල්ල සමඟින් ලොමු දැහැගැන්වෙන චාරිකාවක් යෑමට මේ සැප්තැම්බරය වෙන්කර තබන්න !

‘The Rings of Power’ කතාමාලාව වෙනුවෙන් ‘Nazanin Boniadi’ ‘Benjamin Walker’, ‘Morfydd Clark’, ‘Peter Mullan’ වැනි නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී තිබෙනවා. මෙහි නිර්මාණකරුවන් වන්නේ ‘Patrick Mckay’ සහ ‘‘John D. Payne’ ය. මේ වන විටත් අන්තර්ජාලය වෙත මුදාහැර ඇති ටීසර් සහ ට්‍රේලර් දර්ශන මඟින් ඔබට මෙහි විශිෂ්ටත්වය පිළිබඳව අදහසක් ලබාගන්නට හැකිවේවි.

එසේම මෙය එතෙක් මෙතෙක් ටෙලිවිෂන් ඉතිහාසය තුළ වැඩිම පිරිවැයක් දැරූ කතාමාලාවන් අතරටද එක්වනු ඇති බවට බොහෝ මත පළවනවා. ඉතින් මෙලෙස මාතෘකා මවන්නට සමත් වූ මෙම කතාමාලාව එළඹෙන සැප්තැම්බරයේදී ‘Amazon Prime Video’ ඔස්සේ සමස්ත ලෝකවාසී සිනමා ලෝලීන් හමුවීමට නියමිතයි.

ඉතින් මිත්‍රවරුනි, හිම කඳු, ගිනි කඳු තරණය කරමින් බලය සොයායන වීර චාරිකාවට සූදානම් වන්න. බලය වෙනුවෙන් ලෝකය නසන්නන්ගෙත්, ලෝකය වෙනුවෙන් බලයට පයින් ගසන්නන්ගෙත් නොනවතින අරගලයේ තවත් එක් කතන්දරයක් දකින්නට සූදානම් වන්න. වීරයින් බිහිකරන, අන්ධකාරයේ දරුණුතම හෝරාව සිනමාත්මකව අත්විඳින්නට සූදානමින් සිටින්න!

ඉෂාන් ජනිත් දිසානායක