විරෝධතාකරුවන් බියවද්දා රට පාලනය කරන්න බෑ

0
19

වෘත්තීය සමිති නායකයන් හෝ උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳිය හැකි “සූත්‍රයක්” තිබේදැයි ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ආණ්ඩුවෙන් විමසයි.

අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා “ඉරිදා මව්බිම”ට  සඳහන්  කළේ, වෘත්තීය සමිති නායකයන් දවස් කිහිපයකට හෝ සිරගතකොට ආණ්ඩුවට කිසිදු ප්‍රශ්නයක් විසඳිය නොහැකි බව තම පක්ෂය ඉතා හොඳින් දන්නා බවයි.

එම නිසා මුලින්ම වෘත්තීය සමිති නායකයන් සහ අරගලකරුවන්ට කරන මර්දනය නවතා  තෙල්, ගෑස්, ආහාර, ඔෟෂධ අර්බුදවලට දිය හැකි විසඳුම් කවරේද යන්න ඉදිරිපත් කළහොත් ආණ්ඩුවට යම් දෙයක් රට වෙනුවෙන් කළ හැකි බවද මන්ත්‍රිවරයා පවසයි.

ජනතාව මුහුණදී තිබෙන ගැටලුවලට ඉදිරියේදීත් විසඳුම් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් බව ආණ්ඩුව විසින්ම  හොඳින් දන්නා බවත් ජනතාවගෙන් නැඟෙන විරෝධතාවන් රැලි පිට රැලි නඟමින් ඉදිරියටද නැඟෙන බවත්  ඔවුන් දන්නා බව ඔහු පැවැසීය.

 එම නිසා විරෝධතාකරුවන් බියවද්දා රට පාලනය කිරීම ප්‍රායෝගික නොවන බවද ඔහු පවසයි.

  වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම, උද්ඝෝෂණවලට සීමා දැමීම් මඟින් සමාජය භීතියට පත් කිරීම පමණක් ආණ්ඩුවේ එකම පරමාර්ථය බවත් මෙම මර්දන ක්‍රියා නතර නොකළහොත් ආණ්ඩුවේ ඉලක්ක කිසිසේත්ම  සපුරා ගත නොහැකි බවත්  හෙතෙම වැඩි දුරටත් අවධාරණය කළේය.

අනුරාධා හේරත්