ලැබෙන චරිතවලට අපි ආදරය කළ යුතුයි

0
40

ඇය නමින් අංජලී ලියනගේ. මේ දිනවල විකාශය වන ‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නාට්‍යයේ ලලනි නොහොත් ලලාගේ චරිතයට පණ පොවන්නේ ඇයයි. ලලා නමින් කා අතරත් ජනප්‍රිය ඇය ප්‍රේක්ෂකයන්ගේද ආදරය දිනාගත් දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඉතින් මෙවර හදගැස්ම කතාබහට ඇයව එක්කාසු කරගන්නට අප සිතුවා. මේ දවස්වල වැඩකටයුතු මොනවද?

හිත ළඟ හිනැහුණා, දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය විකාශනය වනවා. තව අලුත් ටෙලි නාට්‍ය 02ක වැඩ කළා. එකක් මහාචාර්ය දම්මික දිසානායක මහතාගේ නිෂ්පාදනයක්. එහි මගේ චරිතය මෙතෙක් කරපු චරිතවලට වඩා ටිකක් වෙනස්, වත්තක තේ දලු නෙළන සරෝජිනි නම් දමිළ කාන්තාවක්. මේ දවස්වල මා කරන චරිතවලට සාපේක්ෂව සරෝජිනි හරහා මගේ රංගන ජීවිතයට ලොකු වෙනසක් ගෙන දේවි. එහි කොටස් කීපයක් රූගත කොට අවසන්. ඉදිරියේදී විකාශනය වේවි. නාලක විතානගේ මහතාගේත්, සුදත්ත තිලකසිරි මහතාගේත්, ධනුෂ්ක රේමන් මහතාගේත් අලුත් වැඩ කීපයකට සම්බන්ධ වුණා. ඒවාත් ඉදිරියේදී විකාශනය වේවි.

ලලා නොහොත් ලලනිගේ චරිතය ගැන කතා නොකරම බැහැ?

ලලා කියන්නේ මම හරි කැමති චරිතයක්. ලලා ගෙදර සෑම බරක්ම තම හිස මත තබාගෙන, තනියම දුවත් හදාගෙන, ජීවිතයට මුහුණ දෙන, ධෛර්යසම්පන්න, සාමාන්‍ය මධ්‍යම පන්තියේ කාන්තාවක්. හිත ළඟ හිනැහුණා කියන්නේ ඇයත්, දුවත් තවත් චරිත කිහිපයකුත් වටා ගෙතුණු ලස්සන කතාවක්. එහි චරිත එක තැන ඔහේ පාවෙන්නේ නැහැ. පිටපත ලියන මහේෂ් සත්සර මද්දුමආරච්චි අයියත් චරිත නීරස සහ ඒකාකාරී වී, රසිකයන්ට එපා නොවන, ඉතාම ලස්සනට ගලාගෙන යන අයුරින් කතාව ලියනවා.

මේ දිනවල රසිකයන් ඔබව අමතන්නේ ‘ලලා’ කියලලු නේද?

ඔව්. ඇත්තටම කාලෙකට කලින් දෙවැනි ඉනිමෙහි අනූෂාගේ චරිතයට ලැබුණු ප්‍රතිචාර වගේම ඉතා හොඳ ප්‍රතිචාර ලලාට ගලාගෙන එනවා. “ලලා දැන් ඉස්සරට වඩා චුට්ටක් විතර වෙනස් වෙලා” කියලා රසිකයෝ මට නිතරම කියනවා. පාර-තොටේදි කොහේ දැක්කත් දැන් මට රසිකයන් කතා කරන්නේ “ලලා” කියලයි.

දෙවැනි ඉනිමේ අනූෂාගේ චරිතය ගැනත් කියමු?

අවුරුදු 05කට පමණ කලින් ආරම්භ වූ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ සුපුරුදු පරිදි රූගත කිරීම් කෙරෙනවා. මාව බොහෝ දුරට ප්‍රේක්ෂකයන් අතරට ගියේ දෙවැනි ඉනිමේ අනූෂාගේ චරිතය හරහායි. අනූෂාගේ චරිතයට මිනිසුන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඔබගේ කලා ගමන ආරම්භ වන්නේ තරමක් වෙනස් ආකාරයට නේද?

ඔව්. 1999 සාමාන්‍ය පෙළ අවසන් කොට නිවෙසේ සිටින විට, සුජීව ප්‍රසන්නආරච්චි මහතාගේ බොඳ මීදුම් සහ සකූ කියන නවකතාවල මුල් පිටුව නැතිනම් පොත් කවරය සඳහා මා පෙනී සිටියා. නවකතාවේ ප්‍රධාන චරිතය වන සංසලාගේ චරිතයට මගේ රුව තමයි යොදා ගත්තේ. ඒ නවකතාවේ මුල් පිටුවට මිනිසුන් පුදුම විධියට ආදරය කළා. එදා ඒ සංසලාගේ චරිතයට ආදරය කළ, ඒ පොත් කවරයට ආදරය කළ රසිකයන් අදටත් මාත් සමඟ කතාබහ කරනවා සහ තවමත් මා සමඟ රැඳී සිටිනවා. ඒ ගැන මට නිහතමානී සතුටක් තිබෙනවා.  පොත් කවරයකින් එතරම්ම රසිකයන් අතරට යන්න ලැබීම මගේ වාසනාවක්.

ඔබ පළමු රංගනය සඳහා සම්බන්ධ වුණේ ලංකාවේ නිළි රැජින සමඟයි?

මම 2000 ඉඳලා කේෂ්ත්‍රයේ රැඳී සිටිනවා. මම හරි වාසනාවන්තයි. මොකද විකාශනය වුණු මගේ පළමුවැනි ටෙලි නාට්‍යයේදීම මට සිංහල සිනමාවේ නිළි රැජින මාලනි ෆොන්සේකා මහත්මිය සමඟ තමයි රංගන කටයුතු කරන්න තිබුණේ. මම ඒක සෑම තැනකදිම මතක් කරන දෙයක්. පළමුවැනි රූප රාමුව වෙනුවෙන් එදා මම කැමරාව ඉදිරියට යන විටදි බොහොම බයෙන් තමයි ගියේ. එදා මා කළේ බොහොම පොඩි, සහාය චරිතයක්. එවැනි කෙනෙක් සමඟ ආරම්භ  කරන්න ලැබුණු මේ ගමනෙදි ඇයගෙන් ලද ඒ ආශිර්වාදය අද වනතුරුත් මා සමඟ තිබෙනවා කියා මා  විශ්වාස කරනවා. මේ දක්වාම මගේ ටෙලි නාට්‍යයක්, කුමන හෝ නාළිකාවක විකාශනය වුණා. එදා මෙන් ඉදිරියටත් කේෂ්ත්‍රයේ රැඳී සිටින තුරාවට සියලුදෙනා සමඟ හොඳින්, සුහදව වැඩ කරගෙන ඉන්න තමයි බලාපොරොත්තුව.

බොහෝ විට ඔබට ලැබෙන්නේ මවගේ චරිත කීවොත් ඔබ එයට එකඟද?

සැබෑ ජීවිතයේදීත් මම පොඩි දුවකගේ මවක්. තිරය තුළදිත් බොහෝ විට මට ලැබෙන්නේ ලොකු දුවලාගේ මවගේ චරිතයි. වෘත්තීමය රංගන ශිල්පිනියක් විධියට මට වැඩිපුරම ලැබෙන්නේ මවගේ නම්, ඇතැම් විට මට ඒ චරිත භාර ගන්නට සිදුවනවා. නමුත් එයින් මිදී වෙනස් චරිත භාර ගන්න මම කැමැතියි. මගේ පරාසය ඇතුළත, මට කළ හැකි, මට ගැළපෙන සහ මට දැනෙන චරිතයක් වේ නම්, ඒ හරහා රසිකයන්ට යම් පණිවුඩයක් දිය හැකි නම්, මම ඒ චරිතය භාර ගන්නවා.

ඔබ තෝරා බේරා ගැනීමක් සමඟ වැඩ කරන කෙනෙක්ද?

ඔව්. සියලුම නිර්මාණවලට යම් තෝරා බේරා ගැනීමක් සමඟයි මා සම්බන්ධ වෙන්නේ. රංගන ශිල්පීන් විධියට විවිධාකාරයේ චරිත නිරූපණයක් අවශ්‍යයි නේ. ඒ විවිධත්වයට මම කැමැතියි. රංගන ශිල්පීන් විධියට අපි අපට ලැබෙන චරිතවලට ආදරය කළ යුතුයි. පුරුද්දක් විධියට මම මට ලැබෙන සියලුම චරිතවලට බොහොම ආදරණීයව ඉතාම හොඳ සාධාරණයක් කරන්න උත්සාහ ගන්නවා.

ඔබ වෘත්තීයමය රංගන ශිල්පිනියක්ද?

ලංකාවේ දැන් මේ තිබෙන තත්ත්වයත් සමඟ රංගනය කියන දේ අපි වෘත්තියක් විධියට තමයි කරන්න සිදු වෙලා තිබෙන්නේ. ඊට අමතරව මට වෙනත් අමතර ආදායම්  මාර්ගයක් තිබෙනවා. එනම් මම මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ දේවල්වලට අමතරව රංගනය තමයි මගේ වෘත්තිය. දැන් තිබෙන වතාවරණයත් සමඟ අපිට රංගනය තුළින් පමණක් ජීවත් වෙන්න බැහැ.

වර්තමානයේදී ටෙලි නාට්‍යය කේෂ්ත්‍රය තුළ දීර්ඝ ටෙලි නාට්‍යය රැල්ලක් පවතිනවා නේ. ඒ ගැන ඔබගේ අදහස කීවොත්?

මෙගා කියන්නේම දීර්ඝ යන්නයි. මෙගා කියන වචනයට වඩා දීර්ඝ ටෙලි නාට්‍යය යන වචනය භාවිත කරන්න මම කැමතියි. දීර්ඝ නිර්මාණ අවුරුදු කිහිපයක් නැතිනම් තරමක් දිගු කලක් විකාශනය වනවා. ඊට සාපේක්ෂව කොටස් 35-60කින් අවසන් වන ටෙලි නාට්‍යය කෙටියි වගේම ඉක්මනින් අවසන් වනවා. එහි චරිත නිතර රසිකයන්ට දකින්නට ලැබෙන්නේ නැහැ. එනිසා කෙටි ටෙලි නාට්‍යය ඒකාකාරී නැහැ කියලා රසිකයන්ට සිතෙන්න පුළුවන්. නමුත් දීර්ඝ ටෙලි නාට්‍යයවල චරිත දිනපතාම වගේ රසිකයන්ට දකින්නට ලැබෙනවා සහ එවැනි නිර්මාණවල වස්තූ බීජය පවා නිතර අලුත් වෙමින් දීර්ඝ කරමින් ඉදිරියට ගලාගෙන යනවා. එනිසා ඉතින් කෙනෙක්ට එවැනි නිර්මාණ තුළ ඒකාකාරී බවක් දැනෙනවා ඇති. එය දීර්ඝ ටෙලිනාට්‍යවල ස්වභාවය. ඒ අතර ඉතා රසවත්ව ගලා යන නිර්මාණත් නැතුවාම නොවේ.

කේෂ්ත්‍රය තුළදී තමන්ට හිමි වැටුප නිසි කලට නොලැබීම වැනි අසාධාරණකම්වලට මුහුණදී නැද්ද?

එවැනි සිදුවීම් රැසකටම මුහුණදී තිබෙනවා. ඇතැම් රූගතකිරීම්වලට සම්බන්ධ වී, රූගත කිරීම් අවසන් කොට දින ගණනක විරාමයකින් පසුව මුදල් ලැබුණු අවස්ථා වගේම මුදල් නොලැබුණු අවස්ථාත් තිබෙනවා. එමෙන්ම කෝල් කොට මුදල් ඉල්ලූ අවස්ථාත් තිබෙනවා. අපට ලැබිය යුතු වැටුප තමයි ඒ ආකාරයෙන් ඉල්ලන්නේ. එහෙම අපේ වැටුප ඉල්ලූ විට, එම නාට්‍යවලින් ඉවත් වෙන්න කියා කියූ අවස්ථා පවා තිබෙනවා. මා මේ කියන්නේ කේෂ්ත්‍රයේ සිටින සියල්ල ගැන නම් නොවේ. ඇත්තටම එවැනි අය සිටින්නේ අතළොස්සයි. නීත්‍යනුකූල ආකාරයට නියමිත පරිදි වැටුප් ගෙවන, ඉතාම හොඳින් කටයුතු කරන පිරිස තමයි වැඩිපුරම සිටින්නේ.

තරුණ දරුවන් සමඟ වැඩිපුර වැඩ කරන ප්‍රවීණ රංගන ශිල්පිනියක්  විධියට ඔවුන් ගැන මොකද සිතෙන්නේ?

කේෂ්ත්‍රය තුළ මට හමුවුණු දුවලා-පුතාලා සියලුම දෙනා හරිම දක්ෂයි සහ හරි සහයෝගයෙන්, සුහදව වැඩ කරනවා. ඒ කියන්නේ අනික් අය සමඟ වැඩකටයුතු කරන ආකාරය පිළිබඳව එයාලට හොඳ අවබෝධයක් තිබෙනවා.

සිනමාවට ලබාදුන් දායකත්වය ගැන කීවොත්?

ජැක්සන් ඇන්තනි මහතාගේ ඇඩ්‍රස් නෑ, ලලිත් රෝහිත එදිරිසිංහ මහතාගේ තට්ටු දෙකේ ඉස්කෝලේ කියන චිත්‍රපටය වැනි නිර්මාණ 02 _ 03කට වගේ තමයි සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

කලාකාරිනියක විධියට රටේ දැන් උද්ගතවී ඇති වාතාවරණය ගැන මොනවද කියන්න තිබෙන්නේ?

මේක ලංකාවේ අපි හැමෝම මුහුණ පා ඇති ජීවිත අරගලයක්. කලාකාරිනියක විධියට රට වෙනුවෙන් සහ අපි සැමගේ අනාගතය වෙනුවෙන් අපිත් අරගලයට සහාය දැක්වූවා. ඉදිරියේදී හෝ අපේ රටට යහපත් දෙයක් වෙයි කියා විශ්වාසය තබාගෙන ඉන්නවා.

දුව ගැනත් කියමු?

දුව කුඩා කාලයේදි කලා කටයුතුවලට සම්බන්ධ වුණා. ඇය ඉදිරියේදී හොඳින් ඉගෙනගෙන වෙනත් වෘත්තියක් තෝරා ගනිවී. ඇය රංගනය වෘත්තියක් විධියට තෝරා ගනීවි කියලා නම් මා කොහෙත්ම සිතන්නේ නැහැ. අනාගත වෘත්තීය තෝරා ගැනීමට ඇයට නිදහස දී තිබෙනවා. එනිසා අවුරුදු 20න් පමණ ජීවිතය පිළිබඳව දැනුම් තේරුම් ඇති වයසේදි ඇය නිවැරදි තීරණයක් ගනීවි.

දිනූෂා මනෝරි නිශ්ශංක