ලංකා දේශපාලනයේ පවුල් ගස් ඉවරද?

0
62

සේනානායක පරපුර

‍ෙදාන් ස්පෙන්ටර් සේනානායක මීරිගමට නුදුරු බෝතලේ ගමේ සිටි ධනවත් ව්‍යාපාරිකයෙක්. විශාල වශයෙන් පොල්වතු ප්‍රමාණයක් තිබූ ඔහු මිනිරන් පතල් කර්මාන්තයට මෙන්ම අරක්කු රේන්ද ව්‍යාපාරයෙන්ද විශාල ලෙස ආදායම් ලබාගත් බවයි පැවැසෙන්නේ. ඔහු තමන්ගේ ආර්ථික ශක්තියට ගැළපෙන ලෙස වලව්වක්ද ඉදිකර ධනවත් පෙළපතක් වූ කෙහෙල් ඇල්ල වලව්වේ කැතරින් එළිසෙබෙත් පෙරේරා සමඟ විවාහ වීමෙන් පසු දරුවන් ලෙස ‍ෙදාන් චාල්ස්, ෆ්‍රෙඩිරික් රිචඩ්, ‍ෙදාන් ස්ටීවන් නමින් පුතුන් තිදෙනෙක් හා මේරි ෆ්‍රාන්සස් නමින් දියණියක්ද ලැබුවා. පසුව ස්පෙන්ටර් මෙන්ම ඔහුගේ දරුවන්ද අමද්‍යප ව්‍යාපාරය හා සම්බන්ධ වූ රේන්ද ව්‍යාපාරයෙන් සමුගෙන තිබුණා.

1884 ඔක්තෝබර් මස 20 වැනි දින මෙම පවුලේ තුන්වන පුතු ලෙස උපත ලද ‍ෙදාන් ස්ටීවන් සේනානායක මූලික අධ්‍යාපනය ලැබූයේ මාතලේ ඉංගී්‍රසි පාඨශාලාවකයි. පසුව එවකට ප්‍රභූ පන්තියට පමණක් සීමා වී තිබූ ශාන්ත තෝමස් විදුහලට ඇතුළු වී අධ්‍යාපනය හැදෑරුවා. නමුත් 8 වැනි ශ්‍රේණියට පමණක් පාසල් අධ්‍යාපනය ලද ඔහු සේනානායක පවුලේ ඉගෙනීමට අදක්ෂයකු වී සිටි අයෙක් බවයි සඳහන් වන්නේ.

අධ්‍යාපනයෙන් අනතුරුව මිනුම්පති දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස වෘත්තීය ජීවිතය පටන් ගත්තද එම ආයතනයේ සුද්දකු කළ අසාධාරණයට එරෙහිව ඔහුට පහරදී ‍ෙදාන් ස්ටීවන් සේනානායකයන් රැකියාවෙන් ඉවත්ව පවුලේ ව්‍යාපාර වූ රබර් සහ පොල් මෙන්ම මිනිරන් කර්මාන්තයට ඔහුගේ සම්පූර්ණ කාලය යොදවා තිබෙනවා.

1910දී ඩී.එස්. සේනානායකයන් එමිල් මෝඩිදුණුවිල කුමාරිහාමි සමඟ විවාහයෙන් ලද පළමු පුත්‍රයා වූයේ 1911 ජුනි මස 19 වැනි දින උපන් ඩඩ්ලි ෂෙල්ටන් සේනානායකයි.

ඩී.එස්. සේනානායකයන්ගේ වැඩිමහල් සොහොයුරා වූ කේමිබි්‍රජ් සරසවියෙන් ඉගෙනුම ලත් අධිනීතිඥ එෆ්.ආර්. සේනානායකයි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ටත් රටපුරා තැබෑරුම් ආරම්භ කිරීමට විරුද්ධව ආරම්භ කර තිබූ ප්‍රබල ජාතික ව්‍යාපාරයටත් ඔහු නායකත්වය දුන්නා. ඔහු විවාහ වූයේ එකල රටේම ධනවතා ලෙස සැලකූ මඩපාත ආටිගලගේ වැඩිමහල් දියණිය සමඟයි. 1911 – 1914 වකවානුවේ තරුණයකු වූ ඩී.එස්. සේනානායකයන්ද මෙම අමද්‍යප ව්‍යාපාරයට එක්වී රට පුරා සංචාරය කරමින් මහජනතාව දැනුවත් කිරීමට පියවර ගත්තා. හාපිටි කෝරලයෙන් ඇරඹී එම අමද්‍යප හඬ සුරාබදු පනතට එරෙහි උද්ඝෝෂණ රැල්ලක් සේ රටපුරා ව්‍යාප්ත වුණා. නමුත් 1925දී හදිසි හෘදයාබාධයකින් වයස අවුරුදු 44ක්වූ එෆ්.ආර්. සේනානායකයන් මියගියේ නොසිතූ ලෙසින්. 1918 වර්ෂයේදී එෆ්.ආර්. සේනානායක, ඩී.එස්. සේනානායක සහෝදරයන්ගේ නායකත්වයෙන් ජේම්ස් පීරිස්, පොන්නම්බලම් අරුණාචලම්, එච්.ඒ.පී. සන්දර සාගර, ඊ.වී. රත්නම් ආදී නායකයන්ගේ එකතුවෙන් ආරම්භ වූ ලංකා ජාතික සංගමය විසින් සිදුකරන ලද උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස ඡන්ද බලයෙන් මහජන නියෝජිතයන් ව්‍යවස්ථාදායක සභාවට පත් කිරීම සම්බන්ධව අධිරාජ්‍යවාදී පාලකයන්ගේ අවධානය යොමු වුණා. එහිදී මීගමුව ආසනය නියෝජනය කළ ඩී.එස්. සේනානායකයන් 1924දී ව්‍යවස්ථාදායක සභාවට නිතරගයෙන් පත් වුණා. නමුත් එදා ශ්‍රී ලංකා දේශපාලනඥයන් අතර ඉතා ඉහළින් සලකන ලද නීතිඥ හෝ වෛද්‍ය වෘත්තීය සුදුසුකම් ඔහුට නොතිබීම බරපතළ අඩුවක් ලෙස දක්නට ලැබුණු නමුත් එහිදී තමා ජාතික ව්‍යවස්ථාදායක සභාවට ඇතුළු වූ මුල් අවධියේ සිටම කෘෂිකර්මයට සම්බන්ධ මෙන්ම මිනිරන් පතල් සම්බන්ධ පරිපාලනයෙහි තමාට තිබූ ප්‍රායෝගික ඥානය හා අත්දැකීම් තම වාසියට හරවා ගත්තා.

1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ මිනුවන්ගොඩ මන්ත්‍රිවරයා ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිතරගයෙන් පත් වූ ඩී.එස්. සේනානායකයන් රටේ පළමු ඇමැති මඬුල්ලේ ඉඩම් හා කෘෂිකර්ම ඇමැතිවරයා වුණා. එතැන් සිට වසර 17ක්ම එම තනතුරෙහි කටයුතු කළ ඔහු 1934දී මින්නේරිය ගොවි ජනපදය ඇති කළා. ඉන් පසු කන්තලේ වැව, ගිරිතලේ වැව, ඇතඳාල්ල වැව, පදවිය වැව, කලා වැව, කාගම, කටියාව, මිණිපේ, හිඟුරක්ගොඩ, ඇළහැර ඇතුළු ප්‍රදේශ ගණනාවක ගොවි ජනපද බිහි කළා. ඉඟිනියාගල සේනානායක සමුද්‍රය තැනුවේ ගල්ඔය හරස් කර වේල්ලක් බැඳීමෙන්. 1947දී එක්සත් ජාතික පක්ෂය බිහි වන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මතවලට කැමති දේශපාලන බලවේගයන්ට අලුත් පාර්ලිමේන්තු ගමනක් යෑමටයි.

එම පක්ෂය බිහි වන්නේ බි්‍රතාන්‍ය පාලන සමයේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ ව්‍යාපාරයට නායකත්වය ලබා දුන් ලංකා ජාතික සංගමය එස්.ඩබ්ලිබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සිංහල මහා සභාව සහ මුස්ලිම් සංගමය එකතුවීමෙන්. 1947දී පැවති මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඩී.එස්. නායකයා ලෙස තරග කර බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන ලංකාවේ ප්‍රථම අගමැති ලෙස වැඩ භාර ගත්තා. 1947 නොවැම්බර් මස 21 වැනි දින බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී ලංකා ස්වාධීනතා පනතද ඒක ඡන්දයෙන් සම්මත වුණා.

1948 පෙබරවාර 04 වැනි දින ශ්‍රී ලංකාවට ස්වාධීනත්වය ලබාදීමේ උත්සවයේදී බි්‍රතාන්‍ය ජාතික කොඩිය පහත් කර සිංහ කොඩිය එසවූයේද ඩී.එස්. සේනානායකයන් විසින්. කලක පටන් පැවැති දියවැඩියා රෝගී තත්ත්වය නිසා 1952 වන විට ඔහුගේ හදවත දැඩි සේ දුර්වල වී ඇති බව වෛද්‍යවරුන් පවසා තිබුණා. එම වසරේ මාර්තු 20 වැනි බ්‍රහස්පතින්දා කැබිනට් රැස්වීමක්ද පැවැත් වූ ඔහු පැමිණි ඇමැතිවරුන්ට දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වා පසු දින උදේ ගාලුමුව ‍ෙදාර පිටියේ අසු පිටින් යද්දී ඇද වැටී මිය ගියා. ඊට හේතු වී තිබුණේ හෘදයාබාධයක් ඇති වීමයි. මාර්තු 29 අතිවිශාල ජනකායක් මැද ඔහු සිංහ කොඩිය එස වූ තැනම ඩී.එස්. සේනානායකයන්ගේ අවමඟුල් උත්සවය පැවතුණා.

රාජපක්ෂ පරපුර

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවේ ගම්බද පවුලකින් ආරම්භය සිදුවී තිබෙන්නේ. ‍ෙදාන් ඩේවිඩ් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉහළ වැලිකඩ කෝරලය ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ වැඩවසම් තනතුරක් වන විදානේ ආරචිචි තනතුර දැරූවෙක්. ඔහු විවාහ වූයේ ගිමාරා මුණසිංහ සමඟයි. ඔවුන්ගේ දරුවන් 4 දෙනා වූයේ ‍ෙදාන් කොරනේලිස් රාජපක්ෂ, දෙවැන්නී ‍ෙදා්න කැරලිනා රාජපක්ෂ, තුන්වැන්නා ‍ෙදාන් මැතිව් රාජපක්ෂ, හතරවැන්නා ‍ෙදාන් ඇල්වින් රාජපක්ෂ. වැඩිමහලු දෙදෙනාගේ පසු පරම්පරාව පිළිබඳ වැඩි තොරතුරක් නැතත් ඩී.එම්. රාජපක්ෂ ලෙස ප්‍රසිද්ධියට පත් ‍ෙදාන් මැතිව් වර්තමාන රාජපක්ෂ පරම්පරාවේ දේශපාලන ගමනේ සමාරම්භකයා ලෙස සැලකෙනවා. ඔහු 1936 සිට 1945 දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයකු වශයෙන් කටයුතු කළා.

1945දී ඩී.එම්. රාජපක්ෂ මියගිය අතර ඔහු දැරූ තනතුර ඡන්දයක් නොතියාම ඔහුගේ බාල සොහොයුරු වූ ‍ෙදාන් ඇල්වින් රාජපක්ෂට හිමිවුණා. ඔහු ඩී.ඒ. රාජපක්ෂ ලෙස 1945 සිට රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ අතර ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ආසනය ජයගෙන 1947දී පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. එතැන් සිට 1965 දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයකු ලෙසත් නියෝජ්‍ය කථානායක ලෙසත් කටයුතු කළා.

ඩී.එම්. රාජපක්ෂ එමලින් වීරතුංග සමඟ විවාහ වීමෙන් ලක්ෂ්මන්, ජෝර්ජ්, ලෙස්ටර්, පර්ල්, කමලා, නීල්, රූබි ලලිතා ලෙසින් දරුවන් 7 දෙනකු ලැබුණා. ඔහුන්ගෙන් ලක්ෂ්මන් හා ජෝර්ජ් පාරලිමේන්තුව නියෝජනය කළා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු වූ ලක්ෂ්මන් රාජපක්ෂ සිය බාප්පා වූ ඩී.ඒ. රාජපක්ෂ සමඟ 1947දී මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත් වී 1965 දක්වාම නොකඩවා මන්ත්‍රිවරයෙක් ලෙස කටයුතු කළ අතර 1965දී පරාජයට පත්ව නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් 1976 සිට 1977 දක්වා පාර්ලිමේන්තුවට තේරීපත් වුණේ ඔහුගේ බාල සොහායුරා වූ එවකට සෞඛ්‍ය හා ධීවර අමත්‍ය ධුරය දැරූ ජෝර්ජ් රාජපක්ෂගේ හදිසි අභාවයෙන්. ජෝර්ජ් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් 1960 සිට නොකඩවා 1976 දක්වාම පාර්ලිමේන්තුවට පත් වූ ඔහු 1970 සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවේ සෞඛ්‍ය හා ධීවර අමාත්‍යවරයා වුණා. ලලිතා සමරසේකර හා විවාහ වූ ජෝර්ජ් රාජපක්ෂට දරුවන් දෙදෙනකු සිටිනවා.

ඔවුන් නම් නිරූපමා රාජපක්ෂ හා ශ්‍යාම්ලාල් රාජපක්ෂයි. නිරූපමා රාජපක්ෂ 1994 සිට 2000 දක්වාත් නැවත 2002 සිට 2015 දක්වාත් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව 2010 සිට ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළා. ඇය විවාහ වූයේ ව්‍යාපාරිකයකු වූ තිරුකුමාරන් නඩේෂන්  සමඟයි. ඇයගේ සහෝදරයා වූ ශ්‍යාම්ලාල් රාජපක්ෂ 1999 සිට 2004 දක්වා දකුණු පළාත් සභාවේ මන්ත්‍රිවරයෙක් ලෙස කටයුතු කළා.

ඩී.එම්. රාජපක්ෂගේ 5 වැනි දරුවා වූ කමලා ප්‍රේම්වික්‍රම සූරිය හා විවාහ වූ අතර ඔවුන්ට අනෝමා, ජාලිය හා ප්‍රසන්න නමින් දරුවන් තිදෙනකු සිටියා. මෙහිදී අනෝමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි ලෙස කටයුතු කළ අතර ඇය විවාහ වූයේ අස්ලාම් ෆාස්ලි ලෆීර් හෙවත් කර්නල් ඒ.එෆ්. ලෆීර් සමඟයි. ජාලිය වික්‍රමසූරිය එම මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළා. ප්‍රසන්න වික්‍රමසූරිය ලුතිනන් කර්නල්වරයකු වශයෙන් සේවය කර හමුදාවෙන් විශ්‍රාම ගිය පසු 2010දී ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.

ඩී.ඒ. රාජපක්ෂ විවාහ වූයේ දන්දිනා සමරසිංහ දිසානායක සමඟින්. එම විවාහයෙන් චමල්, ජයන්ති, මහින්ද, චන්ද්‍රා, ගෝඨාභය හා බැසිල්, ඩඩ්ලි, ප්‍රීති හා ගාන්දිනී වශයෙන් දරුවන් නව දෙනකු සිටියා. එහිදී චමල් රාජපක්ෂ 1989 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම 2010 සිට 2015 වකවානුවේ කථානායකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. චන්ද්‍රා මාලනී විජේවර්ධන සමඟින් විවාහ වූ ඔහුට ශෂීන්ද්‍ර සහ ශමීන්ද්‍ර නමින් පුතුන් දෙදෙනකු සිටිනවා. 2009 සිට 2015 දක්වා ශෂීන්ද්‍ර රාජපක්ෂ උෟව පළාත් මහ ඇමැති ධුරය දැරූ අතර අනතුරුව පාර්ලිමේන්තුවට පත්ව රාජ්‍ය අමාත්‍ය ධුරයක්ද දැරුවා. එසේම කතරගම දේවාලයේ බස්නායක ධුරයද දැරූ ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළා. බාල පුතා වූ සමීන්ද්‍ර රාජපක්ෂ 2010 සිට 2014 දක්වා ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළා.

ඩී.ඒ. රාජපක්ෂගේ තුන්වැනි පුතා වූ පර්සි මහින්ද රාජපක්ෂ 1970 සිට 77 දක්වාත් 1989 සිට මෑත කාලය දක්වාත් නොකඩවා පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර ප්‍රධාන ඇමැති තනතුරු දරමින් 2004දී ශ්‍රී ලංකාවේ අගමැතිවරයා බවටත්, 2005දී ශ්‍රී ලංකාවේ 5 වැනි විධායක ජනාධිපතිවරයා බවටත් පත්වී දෙවරක් එම තනතුරේ කටයුතු කළා. 2015 ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුද නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්ව දින 52ක කෙටි කලකට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අගමැති තනතුර දරා 2019 සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අගමැති තනතුරට නැවතත් පත් වුණා.

ඔහු විවාහ වූයේ ලංකාවේ රූ රැජිනක් වූ ශිරන්ති වික්‍රමසිංහ සමඟයි. ඔවුන්ට නාමල්, යෝෂිත හා රෝහිත ලෙස පිරිමි දරුවන් තිදෙනකු සිටිනවා. නාමල් රාජපක්ෂ 2010 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති අතර කාල්ටන් ක්‍රීඩා ජාලයේ හිමිකරුවකුද වෙනවා. යෝෂිත රාජපක්ෂද 2020 සිට අගමැති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර ඔහුද කාල්ටන් ක්‍රීඩා ජාලයේ හිමිකරුවෙක්.

චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ, ඔහු මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරය දරන සමයෙහි හා වරාය හා මහාමාර්ග අමාත්‍ය ධුරය දරන සමයේත් ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරනු ලැබුවා. ඔහුට චමින්ද රාජපක්ෂ නමින් එක් දරුවෙක් සිටින අතර ඔහු ජනාධිපති උපදේශකයකු මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කර තිබෙනවා.

ඩී.ඒ. රාජපක්ෂගේ 5 වැනි දරුවා වූ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. ඔහු ශ්‍රී  ලංකා යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයකු වශයෙන් සේවය කර විශ්‍රාම ලබා කලක් විදේශගතව සිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටින සමයේ ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙසද කටයුතු කළා. එමෙන්ම ලංකා හොස්පිට්ල්ස් මෙන්ම ලංකා ලොජිස්ටික් සමාගම්වල සභාපති ධුරයද දරා සිට තිබෙනවා. ඔහු විවාහ වූයේ අයෝමා රාජපක්ෂ සමඟයි. ඔවුන්ගේ දරුවා වන්නේ මනෝජ් රාජපක්ෂයි. ඔහු ඇමරිකාවේ නාසා ආයතනයේ සේවය කරනු ලබනවා.

බැසිල් රෝහණ රාජපක්ෂ 2005 සිට මහින්ද රාජපක්ෂගේ ජේ‍යෂ්ඨ උපදේශකයකු ලෙස කටයුතු කර ඇති අතර 2010 සිට 2015 දක්වා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙසද 2007 සිට 2015 දක්වාත් නැවත 2020 සිටත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. උතුරු වසන්තය ව්‍යාපෘතියේ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කර තිබෙනවා. පුෂ්පා රාජපක්ෂ සමඟ විවාහ වූ ඔහුට තේජානි, බිමල්කා, අසාන්ත නමින් දරුවන් තිදෙනකු සිටිනවා.

ඩී.ඒ. රාජපක්ෂගේ 7 වැනි දරුවා වූ ඩඩ්ලි රාජපක්ෂ වූ අතර 8 වැනි දරුවා වූ පී්‍රති රාජපක්ෂ විවාහ වූයේ වෛද්‍ය ප්‍රියලාල් චන්ද්‍රදාස සමඟින්. ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමයේ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙසින්ද, වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙසින්ද, ජාතික රක්ෂණ මණ්ඩලයේ සාමාජිකයකු ලෙසින්ද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසින්ද පී.ජේ. ෆාමා සමාගමේ හා මෙත් සමාගමේ සභාපතිවරයා ලෙසින්ද, එම්ලෝයිස් හෝල්ඩින් සමාගමේ සභාපතිවරයා ලෙසින්ද, ජාතික ජලජීවී සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසින්ද, ලංකා ධීවර වරාය සංස්ථාවේ සභාපතිවරයා ලෙසින්ද, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන්ද තනතුරු රාශියක් දැරූ අයෙක්. ඔවුන්ට මාලක, මාධව, මාදිනී, මාලිකා ලෙස දරුවන් සිවුදෙනකු සිටී.

ඩී.ඒ. රාජපක්ෂගේ බාලම දරුවා වන්නේ ගාන්ධිනී රාජපක්ෂයි. ඇය විවාහ වී සිටින්නේ තුසිත රණවක සමඟින්. ඔවුන්ට හේෂණ, නිපුණ හා රන්දුලා නමින් දරුවන් තිදෙනකු සිටිනවා. ඔවුන් අතරින් නිපුණ රණවක 2020 මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මන්ත්‍රිවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

මහින්ද රාජපක්ෂගේ මව වූ දන්දිනා සමරසිංහ දිසානායකගේ නැඟණිය වූ නන්දා සමරසිංහ විල්බට් විරතුංග හා විවාහ වීමෙන් උදයංග, රමණී, දයානි, ගයානි ලෙසින් දරුවන් සිවුදෙනකු ලැබුවා. වැඩිමහලු වූ උදයංග වීරතුංග මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමයේ රුසියාවේ තානාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලැබුවා. දන්දිනා සමරසිංහගේ සහෝදරයකු වූ සමරසිංහ දිසානායක විවාහ වූයේ කාන්ති වක්කුඹුර සමඟින්. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක වක්කුඹුර ඇගේ ඥාති පුත්‍රයෙක්.

මහින්ද රාජපක්ෂගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂගේ වැඩිමහල් සහෝදරයා වන්නේ නිශාන්ත වික්‍රමසිංහයි. ඔහුද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටින සමයේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සහ මිහින් ලංකා සමාගමේ සභාපති තනතුර දැරුවා. බාල සෙහොයුරා වූ ශ්‍රීමාල් වික්‍රමසිංහද එම වකවානුවකම සීෂෙල්ස් රාජ්‍යයේ මහ කොමසාරිස්වරයා ලෙසින්ද කටයුතු කළා.

කොතලාවල පරපුර

‍ෙදාන් මැනුවෙල් කොතලාවල, කොතලාවල පරම්පරාවේ ආදිතමයා ලෙස සැලකිය හැකියි. රයිගම්කෝරලයේ බණ්ඩාරගම ප්‍රදේශයේ විසූ ඔවුන් අතර ‍ෙදාන් ඒබ්‍රහම් කොතලාවල හා ජොහැන්නස් කොතලාවලද බණ්ඩාරගම උඳුගොඩ වාසය කර ඇත.

ඩී.සී. කොතලාවල ජොහැන්නස් කොතලාවලගේ පුතකු වූ අතර ඔහු උෟව පළාත තම පදිංචිය ලෙස තෝරාගෙන ඇත. දේශපාලනයට කොතලාවල පරම්පරාවෙන් පිවිසි පළමුවැනියා ලෙස සඳහන් වන්නේ හෙන්රි කොතලාවලයි. 1921දී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ උෟව පළාතේ ආසනයකට නිතරගයෙන් පත් වූ ඔහු 1927 සැප්තැම්බර් 27 පැවැති ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා මැතිවරණයේදීද නිතරගයෙන් පත් වූ අතර 1931දී බදුල්ල මන්ත්‍රිවරයා ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වූයේද නිතරගයෙනි. මෙම වකවානුවේදී ජෝන් ලයනල් කොතලාවලද කුරුණෑගල මන්ත්‍රි වශයෙන් වැඩි ඡන්ද ලබා ප්‍රථම වතාවට දේශපාලනයට අවතීර්ණ වී තිබේ.

දම්වැලක පුරුකක් මෙන් කොතලාවල පරපුර සී.එච්. කොතලාවල, ජේ.සී.ටී. කොතලාවල, ජෝර්ජ් කොතලාවල, ජස්ටින් කොතලාවල, ප්‍රීඩා කොතලාවල, ලලිත් කොතලාවල ආදී දිගින් දිගට ආ එකකි.

ලංකාවේ සිවුවැනි අග්‍රාමාත්‍යවරයා වූ පළමුවැනි ජෝන් කොතලාවල සර් ජෝන් කොතලාවලගේ පියායි. පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු පිළියන්දල කොළමුන්නේ සමෘද්ධිමත් වැවිලිකරුවකු රේන්දකරුවකු හා මිනිරන් පතල් හිමිකරුවකු වූ ‍ෙදාන් චාර්ලිස් ගෙමෝරිස් ආටිගලගේ වැඩිමහල් දියණිය වූ ඇලිස් ආටිගල හා විවාහ වී පොලිස් සේවයෙන් ඉවත්වී තිබේ.

ගෙමෝරිස් ආටිගලට දියණියන් තිදෙනකු හා එක් පුතකු සිට ඇති අතර පවුලේ දෙවැන්නියා වූ ලීනා ආටිගල ටී.ජී. ජයවර්ධන හා විවාහ වී ඇත. ඔහු හිටපු ජනාධිපතිවරයකු වූ ජේ.ආර්. ජයවර්ධනගේ බාප්පාය. බාල දියණිය වූ ඇලන් ආටිගල එෆ්.ආර්. සේනානායක සමඟ වූ අතර බාලම පුත්‍රයා වූයේ ෆ්‍රැන්සිස් ආටිගලයි. ජෝන් කොතලාවල ආටිගල බූදලයේ පාලනය තමා අතින් ගිලිහීයෑම නිසා ෆ්‍රැන්සිස් ඩික්සන් ආටිගල මරා දැමීමට සැලසුම් කළ නිසාවෙන් ජූරියේ තීන්දුව දීමටත් පෙර මාස දෙකක් තිස්සේ කෝට් අතේ සඟවාගෙන සිටි පාසානම් කා මිය ගියේය. එය එවකට ආටිගල මිනීමැරුම් නඩුව නමින් ඉතා ජනප්‍රිය වූ නඩුවකි.

ඔබේසේකර පරපුර

ඔබේසේකර පරපුරේ ආරම්භය පිළිබඳව විමසීමේදී අනාවරණය වන්නේ ඔවුන් පෘතුගාලයේ රාජකීය පවුලකින් පැවත් එන අය බවත් එහි ආදිතමයා වූ ඕවින් ෆර්ඩිනෑන්ඩස් පෘතුගාලයේ රාජකීය පවුලේ සාමාජිකයකු වූ බවත් තොරතුරු සඳහන් වෙනවා. 1630දී ඔහු මෙරට දකුණු පළාතේ මුහුදු බඩ ප්‍රදේශවල පාලන කටයුතු පිළිබඳව සොයා බැලීමට පැමිණ ඇති අතර ලංකාවේ ස්වභාව ධර්මයට හා පිහිටීම පිළිබඳව ඇති වූ කැමැත්ත නිසා මෙහි පදිංචි වීමට තීරණය කර තිබෙනවා.

ගාල්ල කතළුව ප්‍රදේශයෙන් ඉඩමක් ලබාගෙන නිවෙසක්ද ඉදිකර ඇති අතර එය හඳුන්වා ඇත්තේ අටදාගේවත්ත නමින්. තමන්ගේ පෘතුගීසි නාමයද වෙනස් කර සිංහල නමක් භාවිත කිරීමට ඔහු සිතූ බවත් මූණමලේ ප්‍රදේශයේ සිංහල කාන්තාවක සමඟ විවාහ වී කොරතොට ධම්මාරාම නාහිමියන් මුණගැසී එය පවසා ඇති අතර ඔබේ නායකයා යන අර්ථය සහිත ඔබේසේකර යන නම ඔහුට සුදුසු බව නාහිමියන් යෝජනා කර ඇති බවත් පැවැසෙනවා.

එම පරපුරේ ජේම්ස් පීටර් ඔබේසේකර මහමුදලි නිට්ටඹුවේ පිහිටි බට‍ෙදාළ වලව්වේ ක්‍රිස්ටෝපර් හෙන්රිකස් ඩයස් බණ්ඩාරනායකගේ දියණිය වූ කොර්නේලියා හෙන්රියෙටා ඩයස් බණ්ඩාරනායක සමඟ විවාහ වී ඇති අතර ඇය සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ මහමුදලිගේ සහෝදරිය මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකගේ නැන්දණියයි.

ජේම්ස් සහ කොරනේලියාගේ පුතා වූ ජේම්ස් පීටර් ඔබේසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක්. කතළුව පිහිටි ඔබේසේකර වලව්වේ සිටි ශ්‍රීමත් ක්‍රිස්ටෝපර් ඔබේසේකර 1900 වසරේදී සිංහල ජනතාව නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවට පත් වී 1917 දක්වාම එම තනතුර හොබවා තිබේ. ඔහු විවාහ වූ එස්ලින්ද මරියා අල්විස් එකල ප්‍රසිද්ධ වියතකු වූ සර් ජේම්ස් ද අල්විස්.

ක්‍රිස්ටෝපර් සහ එස්ලින්ගේ දියණිය වූ ඩේසි ඇස්ලින් ඔබේසේකර විවාහ වූයේ මහමුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායක සමඟින්. එමෙන්ම ඇය කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබාගැනීම වෙනුවෙන් ආරම්භ කළ කාන්තා සමිතියේ සභාපතිනියද වුණා. පසුව ඇයගේ පුතු වූ සොලමන් ඩයස් බණ්ඩාරනායක මෙරට සිවුවැනි අග්‍රාමාත්‍ය වූ සොලමන් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මෙරටෙහි සිවුවැනි අගමැතිවරයා වුණා.

ඩේසි ඇසිලින් ඔබේසේකරගේ සහෝදරිය වූ ලිලියන් ඔගෙස්ටා ඔබේසේකර වැලිගම්කෝරලයේ මහමුදලි සයිමන් විලියම් ඉලංගකෝන් හා විවාහ වූ අතර ඔවුන් දෙපළගේ පුත්‍රයා වූ පානි ඉලංගකෝන් 1951 ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන සමයෙහි එහි ආරම්භ සාමාජිකයකුද වූවා.

රත්වත්ත පරපුර

රත්නපුර ඇල්ලවල වලව්ව රත්වත්ත පරපුර පිළිබඳව තොරතුරු සපයන තෝතැන්නයි. 1916 අප්‍රේල් 17 වැනි දින උපත ලද සිරිමා රත්වත්තේ ලෝකයේ පළමුවැනි අගමැතිවරියද වූවා. ඇයගේ පියා බාන්ස් රත්වත්ත රටේ මහතකු ලෙස කටයුතු කළ අතර මව වූ රොස්ලින් හිල්ඩා මහවලතැන්නේ කුමාරිහාමි ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරියක්. ඇගේ සීයාද රටේ මහතකු ලෙස කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම නයිට් පදවිය දැරූ සර් ජයතිලකද රත්වත්ත පරපුරට නෑකම් කිවූ අතර 1815 මහනුවර ගිවිසුමට අස්සන් තැබූ මාතලේ දිසාවේද රත්වත්තේ පරපුරට නෑකම් කියූවෙක්.

දරුවන් හය දෙනකු සිටි රත්වත්ත පවුලේ වැඩිමහල් දියණිය සිරිමා වූ අතර බාර්න්ස් සීවලී මැකී හා ක්ලිෆර්  ලෙසින් සහෝදරවරුන් හතරක් සහ පැටි්‍රසියා නමින් සහෝදරියක්ද සිටි අතර ඇය කර්නල් එඩ්වඩ් ජේම්ස් දිවිතොටවල හා විවාහ වූවා සිරිමා රත්වත්තේ 1940දී එස්.ඩඩ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක හා විවාහ වූවා.

බණ්ඩාරනායක පරපුර නුවර පාරේ ප්‍රකට හොරගොල්ල වලව්ව තනවන ලද්දේ ‍ෙදාන් සොලමන් ඩයස් බණ්ඩාරනායකයි. ඔහුගේ වැඩිමල් පුතා වූයේ ‍ෙදාන් ක්‍රිස්ටෝපර් හෙන්රිකස් ඩයස් බණ්ඩාරනායකයි. ඔහුගේ බිරිය වූයේ ඇනා ෆ්ලොරන්තිනා ෆීලිප්ස් පණ්ඩිතරත්න ළමාතැනීයි. ඔවුන් දෙදෙනාට දරුවන් හය දෙනකු සිට ඇති අතර එකම පිරිමි දරුවා වූ සර් සොලමන් 1862 මැයි 22දා උපත ලද අතර ඔහුගේ සීයා වූ ‍ෙදාන් සොලමන් මියගොස් තිබුණේ ඊට තෙවසරකට පෙර. එනම් 1859 සැප්තැම්බර් 26 ඊට සියවසකට පසු 1959 සැප්තැම්බර් 26දා මුනුපුරාද මිය ගියේ දෛවයේ හිමිකමක් ලෙසිනි.

සර් සොලමන්ගේ අක්කගේ ස්වාමියා වූයේ ජේ.පී. ඔබේසේකර ලංකා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රිවරයෙක්ව සිට තිබෙනවා. සියනෑ කෝරලයේ නැඟෙනහිර කොටසේ මුහන්දිරම් පදවිය ලද සර් සොලමන් වයස 36දී විවාහ වූයේ ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රිවරයකු වූ ක්‍රිස්ටෝපර් ඔබේසේකරගේ දියණිය ඩේසි එස්ලින් සමඟින් සර් සොලමන්ගේ එකම පුත්‍රයා වූයේ එස් ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකයි. එකම ලේලිය වූයේ සිරිමා රත්වත්තේයි. ඔවුන්ගේ දරුවන් තිදෙනා වූයේ සුනේත්‍රා චන්ද්‍රිකා හා අනුරයි.

1945 ජුනි මස 29 වැනි දින උපත ලද චන්ද්‍රිකා බණ්ඩාරනායක මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංගයන් හා විවාහ විය. 1974දී ශ්‍රී ලංකා නිදහස් ඉක්ෂයේ කාන්තා ලීගයේ විධායක කමිටුවේ සාමාජිකයකුව කටයුතු කළ අතර 1972 සිට 1976 දක්වා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ප්‍රධාන අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කළා. 76 සිට 79 දක්වා ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සභාපති ලෙසත් කටයුතු කළා. 1993දී බස්නාහිර පළාත් ප්‍රධන මහ ඇමැතිනිය වූ ඇය 1994දී පොදුජන එක්සත් රජයේ අගමැතිවරිය වූවා.

2004 අප්‍රියෙල් ජනතා විමුක්ති පෙරමුණේ ආධාර ඇතිව මහින්ද රාජපක්ෂ අගමැති ධුරය යටතේ නව ආණ්ඩුවක්ද පිහිටුවූවා. ඇයගේ සොහොයුරා වූ අනුර බණ්ඩාරනායකයන්ද දේශපාලනයට පිවිසි අතර හදිසි රෝග තත්ත්වයක් මත ඔහු දිවියෙන් සමු ගත්තා.

ජයවර්ධන පරපුර

ඉයුජින් විල්ෆ්‍රඩ් ජයවර්ධන නම් විනිසුරුවරයාගේ දරුවකු වූ ජූනියස් රිචඩ් ජයවර්ධනයන් සාමාජිකයන් 11 දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වුණා. 1938දී ලංකා ජාතික කොංග්‍රසයෙහි ක්‍රියාකාරිකයකු වූ ඔහු 1940දී එහි ලේකම් ධුරයටත් 1943දී රාජ්‍ය සභාවේ කොළ නිල් ව්‍යවස්ථාවටත් තේරීපත් වුණා. 1943දී රටේ පළමු කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමැතිවරයා වුණා. 1978දී පළමු විධායක ජනාධිපතිවරයා වූයේද ඔහුයි. ඔහුගේ පුතා වූයේ රවී ජයවර්ධනයි.

විජේවර්ධන පරපුර

විජේවර්ධන පරපුරේ ප්‍රධානියා වූ ඩී.ආර්. විජේවර්ධන එංගලන්තය ගොස් බැරිස්ටර් විභාගය සමත් වූවෙක් පමණක් නොව ඔහු එම රටෙහි ලිබරල්වාදීන් හඳුනාගෙන ඔවුන්ගේ ලිබරල් මතවාදයට අනුකූලව එම මතවාදය ප්‍රචලිත කිරීම සඳහා ලේක්හවුස් ආයතනයද පිහිටුවා මෙරට පැවැති බි්‍රතාන්‍ය මාධ්‍ය ආයතනවලට ප්‍රබල බලපෑමක් ඇති කළා වූ මහඟු චරිතයක්. තිරය පිටුපස සිටිමින් නිදහස් සටනටද තම උපරිමයෙන් සහයෝගයක් ලබාදී දුන්නෙක්.

ඩී.ආර්. විජේවර්ධනගේ සහෝදරියගේ දරුවා වූයේ ජූනියස් රිචඩ් නොහොත් ජේ.ආර්. ජයවර්ධනයි. ඔහුගේ දරුවා වූයේ රවී ජයවර්ධනයි.

ජේ.ආර්.ගේ බෑනා කෙනකු වන්නේ රනිල් වික්‍රමසිංහය. ඒ අනුව සේනානායක පරම්පරාවෙන් පටන්ගත් රට කරවන පරපුරු කිහිපයක බල හුවමාරුවේ මෙවර සන්ධිස්ථානය රනිල්ය. ඉන්පසු  වන කතාව අනාගතයට තබමු.

නිශාන්ති ධර්මප්‍රිය