ලංකාවේ ප්‍රේක්ෂකාගාරය මැටියි කියලා මං හිතන්නේ නෑ

0
46

තම වෘත්තීය ජීවිතය ගුරු වෘත්තියෙන් ආරම්භ කොට මේ වනවිට කලා ලෝකයේ අධ්‍යක්ෂවරයෙක්, ගීත පද රචකයෙක් මෙන්ම තිර පිටපත් රචකයකු ලෙස ප්‍රසිද්ධ වී ඇති ඔහු නමින් කසුන් මහේන්ද්‍ර හීනටිගලයි. ඔහුගේ නවතම කෙටි චිත්‍රපටය ගැන හා ඔහුගේ ඉදිරි වැඩකටයුතු  පිළිබඳව හදගැස්මට සම්මුඛ වුණා.

කොහොමද මේ දවස්වල?

පාලකයන් විසින් මුල් උදුරා දමන ලද බිමක බීජ වපුරමින් පිපෙන පැළවලට දිය ඉසිමින් නිර්මාණකරණයේ යෙදී ඉන්නවා.

ලංකාවේ අරගල භූමියේදී රූගත කෙරුණු ‘Ngh HOME ගෝඨා’ (PO HOME GOTA) ජාත්‍යන්තර සිනමා උළෙලවල් නියෝජනය කිරීමට සූදානම් නේද? ඒ ගැන කතා කළොත්?

ඇත්තටම PO HOME GOTA කියන්නේ මම නිර්මාණය කරපු මගේ දෙවැනි කෙටි චිත්‍රපටය. මීට පෙර මම නිර්මාණය කළා ‘අපි දැන් කොහෙද යන්නෙ (31st Night)’ කියන කෙටි චිත්‍රපටය. ඒක ජාත්‍යන්තර සිනමා උළෙලවල සම්මානයට නිර්දේශ වුණා. PO HOME GOTA සිනමාපටය ගෝල්ෆේස් අරගල භූමිය පදනම් කරගෙන හදපු මුල්ම සිනමා නිර්මාණය. මෙහි සියලු රූපරාමු එහිම රූගත කරමින් සැබෑ අරගලීය වටපිටාව තුළම තමයි නිර්මාණය කළේ. PO HOME GOTA සිනමාපටය ගෝල්ෆේස් අරගලබිමේ තනන ලද ටියර් ගෑස් සිනමාශාලාවේදී මංගල දැක්ම පැවැත්වූවා. අනික තමයි PO HOME GOTA සිනමාපටය අප රූගත කළේ අරගලයේ උච්ඡතම අවධියෙදි. ඒ විප්ලවීය අත්දැකීම මගේ අධ්‍යක්ෂණ ජීවිතේ කිසිදා අමතක නොවන්නක්. මේ වෙනකොට මගේ නිෂ්පාදන කණ්ඩායම අපේ ඒ චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලවල් සඳහා යොමුකරමින් සිටිනවා. ඒක නුදුරු අනාගතයේදීම අපේ රටේ වගේම ලෝකයේ සියලුම දෙනාට දැකබලා ගන්න හැකියාව ලැබෙයි.

මෙතරම් අර්බුදය පවතින රටක හා කාලයක, අරගලය ගැන, ඔබේ උත්සාහය සිනමාත්මකව භාර ගැනීමට ලංකාවේ ප්‍රේක්ෂකයා සූදානම් යැයි ඔබ සිතනවාද?

මෙහෙමයි, ලෝකයේ කිසි දවසක කිසි කලෙක කිසි රටක ප්‍රේක්ෂකාගාරය කිසිවක් එක සැරේ ගහෙන් ගෙඩි එන්නා වගේ භාර අරගෙන නැහැ. ඒකට යම්කිසි කාලයක් ගතවෙනවා. විශේෂයෙන් අපේ වගේ රටක. ෆිල්ම්ස් බලනවා තියා බහුතරයක් මිනිස්සු පාන් කියාගන්න බැරුව ඉන්න බිමක. ඉතිං සැබෑ නිර්මාණකරුවාට කොකෙක්ට වගේ ඉවසීමක් අවශ්‍ය වෙනවා කියලා මං විශ්වාස කරනවා. ඒ වගේම තමයි ඔබ ඔය කියන ලංකාවේ ප්‍රේක්ෂකාගාරය සමහරු කියනවා වගේ ‘මැටියි’ කියලා මං හිතන් නැහැ. අපේ ඕඩියන්ස් එක අවංකයි. අප්ඩේට්.

කොලිවුඩ් – හෙළවුඩ් හවුල් සිනමා නිර්මාණයක් වන ‘Second Show’හි ඔබේ දායකත්වය ගැන සඳහන් කරමු?

දකුණු ඉන්දියානු සහ ලාංකේය නිෂ්පාදනයක් වන , මේ දිනවල සිනමාශාලා රාශියක තිරගතවන ‘සෙකන්ඩ් ෂෝ’ සිනමාපටයේ ලාංකේය ගීත රචකයා මම. එහි ගීත තුනක් ඇතුළත් වෙනවා. මං ඒ ගීත තුනම රචනා කළා. කසුන් කල්හාර, උරේෂා රවිහාරි, කුෂාණි සඳරේඛා වැනි ගායක ගායිකාවන් ඒ ගී ගායනා කළා. ඉතිං මේ අන්තර්ජාතික අත්දැකීම ගැන කතා කළොත් මේක මගේ නිර්මාණ ජීවිතේ ඇතුළේ මං ලබපු හරිම වටිනාමය අවස්ථාවක්. මොකද මට මේ සඳහා මුලින්ම ඇමැතුම ලැබුණෙ ඉන්දියාවෙන්. මේ සිනමාපටයේ සම නිෂ්පාදකවරියක් විසින් තමයි මට මුලින්ම කතා කළේ. ඔවුන් ලංකාවෙ ගීත රචකයන් අතරින් මාව ඒ සඳහා සම්බන්ධ කරගන්න ආසාවෙන් සිටින බව කිව්වා. මම ඉතාම කැමැත්තෙන් ඒ වැඩේ භාරගත්තා.

මං ඉස්කෝලෙ යන කාලෙ ඩී.වී.ඩී. එහෙකින් බලපු Anjathe කියන පට්ට ටැමිල් ෆිල්ම් එකේ හිටපු අජ්මාල් අමීර් කියන නළුවා සෙකන්ඩ් ෂෝ සිනමාපටය තුළ මා ලියූ ගීතවලට රඟපානවා, නර්තනයේ යෙදෙනවා දකිනකොට මං නිරාමිස සතුටක් භුක්ති විඳිනවා. ඒක මාර ලල්, ආතල්. ඒක මෙතෙක් මං ලබපු වටිනාම එක්ස්පීරියන්ස් එක හැටියට මට දැනෙනවා.

කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ නිර්මාණ කෙටි චිත්‍රපට හා වෙබ් ටෙලි කතා හා Music Videoවලට පමණක් සීමා තිබෙන්නේ ඇයි?

මං තාම කලාව ඇතුළේ ගමනක් එමින් පවතින කෙනෙක්. මං එන්නෙ හෙමින්. මට එකරැයෙන් උඩ යන්න බැහැ. එහෙම වුවමනාවකුත් නැහැ. මොකද මේ කලාවට මාව කවුරුත් වඩාගෙන ආවේ නැහැ. මං මේකට පරම්පරාවෙන් ආවේ නැහැ. මේ ගමන තනිකරම කටු කාලා, සෑහෙන ප්‍රතික්ෂේප කිරීම් භුක්ති විඳලා, හිත රි‍ෙදා්ගෙන මානසිකව තුවාල ලබලා අටලෝදහමම තනියම දරාගෙන එන ගමනක්. මොකද මං තරයේ විශ්වාස කරනවා නිර්මාණකරුවෙක් බිහිවෙන්නෙ ඔහු ලබාගන්න සමාජ අත්දැකීම් ඔස්සේ. ඇසුරු කරන මිනිස්සු ඔස්සේ. ප්‍රායෝගිකව වැඩ කිරීම ඔස්සේ. වසර ගණනාවක ප්‍රැක්ටිස් එක ඔස්සේ. මොකද ලංකාව වගේ රටක කේක්වලටත් ඉන්ඩස්ටි්‍රයක් තිබෙනවා. දුම්වැටිවලටත් ඉන්ඩස්ටි්‍රයක් තිබෙනවා.

ඒත් කරුමෙක මහත ආර්ට්වලට ඉන්ඩස්ටි්‍රයක් නෑ. ඒ නිසා නිර්මාණ වේවා නිර්මාණකරුවන් වේවා ඔවුන්ව රැකගන්න, ඔවුන්ට අතදෙන්න හයියක් වෙන්න කවුරුත් නෑ. හැමතැනම පෙළින් පෙළ අටව ගත්ත කල්ලි කිහිපයක් තිබෙනවා. ඒ නිසා මං හිතනවා විඳපු විඳින කටුවල ප්‍රමාණයට තමයි මේ වගේ රටවල්වල නිර්මාණකාරයෝ පදම් වෙන්නේ. මම දිනපතා පන්නරය ලබනවා. සරලවම කියනවා නම් මං මගෙ ආතල් එක බොක්කෙන්ම එන්ජෝයි කරනවා. අද වෙනකොට මට මගේම නිෂ්පාදන ආයතනයක් තියෙනවා.

ලංකාව වැනි රටක කලාකරුවකු වශයෙන් පමණක් ස්ථාවර වී කටයුතු කළ හැකි යැයි කසුන් සිතනවාද?

මං මගේ අධ්‍යාපනය පැත්තෙන් නීතිවේදියෙක්. මං උසස් අධ්‍යාපනය හැදෑරුවෙ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ. ඔබ අහපු ප්‍රශ්නෙ දෙපැත්තක් මං දකිනවා. එක පැත්තකින් ඔබ කියන කතාව සහතික ඇත්ත. ලංකාව වගේ රටක මං අර කලිනුත් කිව්වා වගේ ඉන්ඩස්ටි්‍රයක් නැතුව, මුට්ටි අල්ලන්නේ නැතුව, කඩේ යන්නේ නැතුව, ස්වාධීනව නැඟී හිටින්න පුළුවන් ස්ථාවර වෙන්න පුළුවන් ‘කොන්දක්’ සහ ‘ආර්ථික තත්ත්වයක්’ කලාකරුවෙක්ට නැහැ. කලාකාරයෙක් අසනීප වුණාම ඒ මනුස්සයා මැරෙනකල් බලාගෙන ඉන්න රටක් මේක. ඉතිං ඔබ කියපු කතාව ඇත්ත. කලාකරුවෙක්ට මේකෙ කොන්ද කෙළින් තියාගෙන පවතින්න අමාරුයි.

හැබැයි මං විශ්වාස කරන්නෙ ඕකෙ අනික් පැත්ත. ඒ තමයි නිර්මාණකරුවා මනා ඉවසීමකින්, දරා ගැනීමකින්, විශ්වාසයකින් තමා කරන දේට ඇත්තටම ආදරෙන් ඒක කළොත් ‘වැඩ’ ඔහුව හොයාගෙන එනවා. ඒක එක රැයෙන් කිසි රටක වෙලා නැහැ. ඒකට වසර ගණනාවක් ගතවෙනවා. සමහර වෙලාවට පැය විසි හතරම වැඩ කරන්න වෙනවා. නින්ද කැප කරන්න වෙනවා. අධ්‍යාපනය ඩිග්‍රිය කැප කරන්න වෙනවා.

ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන සඳහන් කරමු?

මේ දවස්වල මම අධ්‍යක්ෂණය කිරීමට නියමිත නුදුරේදීම රූපගත කිරීම් අරඹන්නට ඉන්න ටෙලි නාට්‍යයක පිටපත සකසමින් ඉන්නවා. එහි පෙර නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතිනවා. ලාංකේය ප්‍රේක්ෂකාගාරයට ඒක නවමු අත්දැකීමක් වෙයි කියලා මම සහ මගේ නිෂ්පාදන කණ්ඩායම හිතනවා. ඒ වගේම පසුගිය කාලයේ රූගත කරපු මියුසික් වීඩියෝ කිහිපයක් ළඟදීම රිලීස් කරන්න කටයුතු සකසනවා. එහි එක් ගීතයක රංගනයෙන් යෙදෙන්නේ සුදක්ෂ නර්තන ශිල්පිනී අසේකා විජේවර්ධන. ඒ නිර්මාණ සියල්ල නුදුරේදීම දැකබලාගන්න පුළුවන්. ඒ වගේම පසුගිය වසර කිහිපයක ඉඳන් ලියා අවසන් කරපු මගේ කෙටි කතා පොතක්, කවි පොතක්, නවකතා පොතක් පිළිවෙළින් එළිදක්වන්න ‘හරි මොහොත’ එනකල් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම මගේ ජීවිතේ සුවිශාලතම හීනය ෆීචර් ෆිල්ම් එකක්; දිගු සිනමාපටයක් නිර්මාණය කිරීමේ පූර්ව සාකච්ඡාහි නිරතව ඉන්නවා. ඔන්න ඕවත් එක්ක මං මගේ පාඩුවෙ හුස්ම ගන්නවා.

රමෝද් ජයවර්ධන