මහරු රූ සිරින් වන ගැබ මත් කෙරුව ‘භරණ’ ඇත් රජුනි නුඹ අද කොතැනක ද?

0
13

පදවිය රක්ෂිතයේ සිටි අතිශය තේජස් මහේශාක්‍ය ඇත් රජු තිරිසන් මිනිසුන්ගේ ප්‍රහාරයකට ලක්ව ජීවිතයෙන් සමුගෙන ගෙවී ගොස් ඇත්තේ සති තුනක කාලයකි.

දනුද්දර නම් වූ තවත් දළ ඇතකු සමඟ මහ වනය තුළ ඇති වූ ද්වන්ධ සටනක ප්‍රතිඵලයක් ලෙස දැඩි ලෙස තුවාල ලැබ රෝගාතුරව සිටියදී තිරිසන් මිනිසුන් විසින් මහේශාක්‍ය මරා දමා තිබුණේ දළ පැහැරගෙන යෑම සඳහා බව හෙළි වී තිබිණි.

අසාධ්‍ය තත්ත්වයෙන් ඇද වැටී හුස්ම අදිමින් සිටි මහේශාක්‍යගේ එක් දළයක් කපා ගෙන යෑමට ජාවාරම්කරුවන් සමත්වූයේ එම දළට පොරෝපහර පනහකට අධික සංඛ්‍යාවක් එල්ල කිරීමෙන් පසුවය.

මහේශාක්‍යගේ ඝාතනය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරවන්නට සමත් වුවද ඇතා මරා දැමූ කිසිවකු මෙතෙක් කොටුකර ගැනීමට වන ජීවීය හෝ පොලිසිය අසමත් වෙද්දී ඉකුත් 26 වැනිදා තවත් එවන් සද්දන්ත ඇත් රජකු වූ භරණ ද හිත්පිත් නැති කුරිරු මිනිසුන් අතින් ඝාතනය වී තිබිණි.

ගල්කිරියාගම පොලිස් වසමේ උල්පතගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට යාබදව ජාතික නාමල් උයන රක්ෂිතයේ තිබී භරණ හස්තියාගේ සිරුර වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබිණි.

කලා වැව රක්ෂිතය වාසස්ථානය කරගෙන සිටි භරණ දැඩි සංචාරක ආකර්ෂණයට ලක්වූ ඇතෙකි. අඩි 9ක් ඉක්ම වූ සද්දන්ත දේහයට සරිලන අඩි 4ක් දිග පිරිපුන් දළ යුගලය භරණගේ තේජස දෙගුණ තෙගුණ කරවන්නට සමත් විය.

තිස් පස්වැනි වියේ පසුවන භරණ කලා වැව ජාතික උද්‍යානයත් ජාතික නාමල් උයන ආශ්‍රිතවත් නිරන්තරයෙන් සැරිසැරුවේ තවත් ආරක්ෂිත අලින් දෙතුන් දෙනකු පිරිවරාගෙනය.

සංචාරකයන්ගේ සිත් මනා ලෙස බැඳගත් නිසාදෝ භරණගේ රුව ඔවුන්ගේ කැමරා කාචවලට රිසිසේ සටහන් විය. ඊට ප්‍රධානතම හේතුවක් වූයේ භරණගෙන් දේශීය විදේශීය සංචාරකයන්ට කිසිදු කරදරයක් හිරිහැරයක් නොවූ නිසාය. භරණ එතරම් සාමකාමී ඇතකු විය. මේ නිසා භරණටද කාගෙන්වත් අනතුරක් සිදු නොවීය. ඒ නිසාදෝ භරණ මිනිසුන්ට ඉතාමත් සුහද ළෙන්ගතු විය. මේ නිසා භරණ දැකබලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයෝ ඇදී එන්නට වූහ. කලා වැව රක්ෂිතයේ වෙසෙන අලි ඇතුන් අතරින් භරණට ඇත්තේ සුවිශේෂී තැනකි. ඒ අද වන විට කලාවැව රක්ෂිතයේ ඉතිරිව ඇති ඇතුන් දෙතුන් දෙනා අතරින් භරණද එක්් සද්දන්තයකු වූ හෙයිනි.

ඉකුත් ජූලි මස 26 වැනිදා ගල්කිරියාගම වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරීන්ට අලියකු වැටී සිටින බවට දුරකථන ඇමැතුමක් ලැබිණි. ඒ වන විට සහකාර අඩවි ආරක්ෂක බණ්ඩාර ඇතුළු නිලධාරීන් හිටියේ වෙනත් රාජකාරියක නිරත වෙමිනි.

එම කර්තව්‍යය හමාර කළ ඔවුන් ජාතික නාමල් උයන දෙසට පැමිණෙමින් සිටියදී වනජීවී නිලධාරීන්ට දැනගන්නට ලැබුණේ ඇතා වැටී සිටින්නේ වෙඩි වැදී බවය. නිලධාරීන් වහා ඇතා වැටී සිටි ස්ථානයට ගොස් නිරීක්ෂණය කරද්දී ඔවුන්ට පෙනී ගියේ වැටී මියගොස් සිටින්නේ සංචාරක ආකර්ෂණය දිනාගත් භරණ නම් ඇතා බවයි. එහෙත් භරණගේ සිරුරේ වෙඩි වැදුණු සලකුණු කිසිවක් නොවිණි. වැඩිදුරටත් නිරීක්ෂණය කරද්දී භරණ මියගොස් ඇත්තේ විදුලිසර වැදීමෙන් බවට නිලධාරීන්ට සැකයක් ඇති විය. ඒ වැටුණු භරණගේ සිරුරට යටවී ඇති වයරයක කොටස් දැකීමත් සමඟය.

භරණ වැටී සිටි ඉඩමට ආසන්න ඉඩමේ නවාතැනක් ඉදිකිරීමේ සලකුණු තිබූ අතර ඇතා වැටී සිටි ඉඩම වවුනියාවේ පදිංචිකරුවකුට අයත් එකක් විය.

ඔහුගේ මස්සිනා කෙනකු විසින් ආසන්න ඉඩමේ නවාතැන් පොළක් ඉදිකරමින් සිටියද වනජීවී නිලධාරීන් පවසන්නේ එම ඉඩම් මහවැලියට අයත් ඒවා බවය.

නවාතැන්පොළ ඉදිකරන ඉඩමේ පමණක් ඉදිරිපිට තාප්පයක් ඉදිකර තිබූ අතර ඉඩම වටා කම්බි වැටක් යොදා ඉඩම ආරක්ෂා කර තිබෙන අයුරු වන ජීවී නිලධාරීහු දුටුහ. කෙසේ වෙතත් නිලධාරීන්ට නිරීක්ෂණය වූයේ අවස්ථා කිහිපයකදීම අලින් එම කම්බි වැට කඩා බිඳ දමා ඇති බවය. ඉදිකෙරෙන නවාතැන්පොළ හැරෙන්නට ඉඩමේ වෙනත් කිසිදු වගාවකුදු එහි නොවීය.

අක්කර කාලක පමණ භූමි භාගයක පිහිටි එම ඉඩමේ නවාතැන් පොළ තවමත් ඉදිවෙමින් පවතින අතර ඒ සඳහා විදුලිය ලබාගෙන ඇත්තේ නීත්‍යනුකූල නොවන ආකාරයට බවද නිලධාරීන්ට නිරීක්ෂණය විය. එලෙස විදුලිය ලබාගෙන ඇත්තේ ඊට යාබද නිවෙසකින්ය. වයරයක් උපයෝගි කරගෙන අනවසරයෙන් ලබාගත් විදුලිය භූමියේ තාප්පය හා ඒවාට යොදා තිබිණි. කෙසේ වෙතත් භරණ ගැටී ඇත්තේ මෙලෙස යොදන ලද විදුලි රැහැනේය.

“ඇතා රෑ තමයි වැටිලා තියෙන්නේ. ඒත් කවුරුත් දැකලා තිබුණෙත් නැහැ. දන්නෙත් නැහැ. කැලයට හරක් බඳින්න ගිය කෙනෙක් ඇතා වැටිලා ඉන්නවා දැකලා කෑ ගහලා තියෙනවා අලියෙක් බුදි කියලා. පස්සේ අහල පහළ අය එතැනට ඇවිත් ඉඩම අයිතිකාරයාට කතා කරලා මේ ගැන කියලා. පස්සේ තමයි අයිතිකාරයා එතැනට ඇවිත් තියෙන්නේ. පස්සේ අපට දැනගන්නට ලැබුණා අලියට යටවෙලා තිබුණු කරන්ට් එක දාපු කම්බිය කට්ටිය එකතු වෙලා ගමේ ළිඳකට දාලා තියෙනවා කියලා.”

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමේදී වන සත්ත්ව අඩවි නිලධාරියෙක් පවසා සිටියේය. වන අඩවි නිලධාරීන් ඇතා වැටුණු ස්ථානයට පැමිණීමට පැය දෙකකට ආසන්න කාලයක් ගතව තිබූ අතර ඔවුන් පැමිණෙන විට එතැනට ගල්කිරියාගම පොලිස් නිලධාරීන්ද පැමිණ විමර්ශන ආරම්භ කර තිබිණි. මෙහිදී වනසත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරීන්ට දැනගන්නට ලැබී ඇත්තේ විදුලි රැහැන් දැමූ පුද්ගලයාද ගල්කිරියාගම පොලිසියේ සේවය කරන නිලධාරියකු බවය.

මෙහිදී වන සත්ත්ව අඩවි ආරක්ෂකයන් ස්ථානයට  පැමිණ සිටි ගල්කිරියාගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයාට පවසා ඇත්තේ භරණ වැටී සිටින්නේ වෙඩි වැදීමෙන් නොව විදුලිසැර වැදීමෙන් බවට විශ්වාස කරන බැවින් මේ සම්බන්ධයෙන් ඉඩම් කොටස හිමි බව කියන පොලිස් නිලධාරියා ගැන සැකයක් ඇති බවකි. එහෙත් ඇතා මියගොස් ඇත්තේ කුමන හේතුවකින්ද යන්න නිශ්චිතව දැන ගැනීම සඳහා භරණගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කිරීම සුදුසු බව දෙපාර්ශ්වයේම අදහස වූහ.

පසුව මේ සම්බන්ධයෙන් වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරීන් විසින් කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර ඉන් අනතුරුව භරණ මිය ගියේ කෙසේද යන්න නිශ්චිතව දැන ගැනීම සඳහා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවා කෝට්ටගේ මහතාගේ මෙහෙයවීම යටතේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සිදු කෙරිණි.

මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර භරණ  හස්තියාට පින් පතා මතක වස්ත්‍ර පූජාවක් පැවැත්වීමටද ප්‍රදේශවාසීහු අමතක නොකළහ. ඉන් අනතුරුව පැන් වැඩීමක්ද සිදු කෙරිණි.

මහ සංඝරත්නය වෙත අටපිරිකර පූජාවක් පවත්වා ආගමික වතාවත් ඉටුකිරීමටද ගල්කිරියාගම වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළහ. ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ භරණ සඳහා ආගමික වතාවත් සිදුකරනු ලැබූහ. මේ සඳහා ප්‍රදේශයේ විශාල පිරිසක් එක්ව සිටියහ.

“භරණ බලන්න ලෝකයේ බොහොමයක් රටවල සංචාරකයෝ එනවා. ඒත් භරණගෙන් ඒ කිසිම කෙනකුට හිරිහැරයක් වුණේ නැහැ. භරණ නිකම්ම නිකම් ඇතෙක් නෙවේ. එයා ලංකාවට ඩොලර් උපයලා දුන්න ඇතෙක්.

භරණට අපි කියන දේ හොඳට තේරෙනවා. මටත් අවස්ථා කිහිපයකම මූණට මූණ මුණගැහිලා තියෙනවා. අනේ පුතා ඔයා මොකද මෙහෙ කියලා කිව්වම ළමයෙක් වගේ අනෙක් පැත්ත හැරිලා යනවා. මැරෙන්න කලිනුත් ඇවිත් නිදාගෙන හිටියා මම කතා කළාම හිටපු තැනින් යන්න ගියා.

ඇතාගේ මරණයට වගකිව යුත්තන්ට දඬුවම් දිය යුතුයි.

ඉන් අනතුරුව භරණගේ මරණ පරීක්ෂණය සිදු කෙරුණු අතර එහිදී අනාවරණය වූයේ භරණ මියගොස් ඇත්තේ විදුලිසැර වැදීමෙන් බවය. ඒ අනුව කිසිවකු විසින් ඇටවූ අනවසර විදුලි රැහැනක් නිසා දෙස් විදෙස් සංචාරකයන්ගේ මන‍ෙදාළ සැපිරූ භරණට අකාලයේ මියැදෙන්නට සිදුව ඇති බව අනාවරණය විය.

භරණට කිසිදු රෝගයක් නොතිබූ බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූ අතර කිසිදු බාහිර තුවාලයක්ද සිරුරේ නොතිබිණි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරීන් විමර්ශන ඇරැඹූ අතර භරණගේ මරණය සඳහා උපයෝගි කරගත් විදුලි රැහැන් ඒ අසල ළිඳක දමා තිබියදී සොයා ගත්තේ ඉන් පසුවය. ඉන් අනතුරුව එම විදුලි රැහැන් යොදා අදාළ ඉඩමට විදුලිය ලබාදුන් පුද්ගලයා පසුවදා අත්අඩංගුවට ගැනුණේ තවත් වයර් කොටසක්ද සමඟය.

“සර් මම ඇතාගේ මරණයට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ ඉඩමට කරන්ට් එක ඇදගන්න ඕන කියලා මගෙන් ඉල්ලුවා. ඉතින් මම ඒක දුන්නා විතරයි.” ඔහු වන නිලධාරීන් ඉදිරියේ එසේ පැවැසීය. පසුව සිද්ධිය ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත යොමු වුණු අතර අඩවි ආරක්ෂක නිලධාරීන් භරණ ඇතාට සිදු වූ අනතුර ඔහුට පැහැදිලි කිරීමෙන් පසු අනවසර විදුලි රැහැන යෙදූ බව කියන සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව ආරක්ෂක නිලධාරීහු ස්ථානාධිපතිවරයාට පවසා සිටියහ. ඒ මොහොතේ ස්ථානාධිපතිවරයා සැකකාර කොස්තාපල්වරයා නිල කාමරයට කැඳවා කරුණු පැහැදිලි කළද ඔහු වන සත්ත්ව අඩවි නිලධාරීන්  සමඟ යෑම ප්‍රතික්ෂේප කරන්නට විය. ඔහු හීන් සීරුවේ නිලධාරීන්ගෙන් මඟ හැර ගොස් තිබිණි.

කෙසේ වෙතත් අඩවි ආරක්ෂක නිලධාරීන් යළි වනජීවී කාර්යාලයට ගියේ සැකකාර කොස්තාපල්වරයා නොමැතිවය. එහෙත් විදුලිය අනවසරයෙන් ලබා දුන් පුද්ගලයාත් ඇතා වැටී සිටින බවට දුරකථන ඇමැතුම දුන් අයත් ඇතා වැටී සිටි ඉඩමේ හිමිකරුත් ඇතා මිය ගිය පසු විදුලි කම්බි ගලවා ඉවත් කළ අයත් සිය කාර්යාලයට රැගෙන ගොස් ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කළ වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරීහු ඔවුන් තිදෙනා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් භරණට මිය යෑමට හේතුවූ කරුණු කාරණා අධිකරණයට වාර්තා කරන්නට විය.

“සාමාන්‍යයෙන් ගෙදරකට වගාවක් හරි දේපළක් හරි විනාශ කරන්න අලි එනවා නම් අපි විදුලි වැටක් විධියට විදුලිය යොදා ගන්නවා නම් ඒක සර්කිට් එකක් හරහා තමයි විදුලිය දාන්නේ. එතකොට අලියට හානියක් වෙන්නේ නැහැ. මෙතැන සර්කිට් එකක්වත් නැතිව නිකම්ම තමයි විදුලිය දීලා තියෙන්නේ. එතකොට එතැන කිසියම් චේතනාවක් තියෙනවා කියලා අපිට දැනෙනවා. සර්කිට් එකක් හරහා දැම්මා කියන්නේ මරණ චේතනාවක් නෙවේ. වගාව හරි දේපළ හරි ආරක්ෂා කරගන්නනේ. අපි ඒ බව පොලිස්  ස්ථානාධිපතිවරයාටත් පැහැදිලි කර දුන්නා.”

“එතැන වැවක් තියෙනවා නා උයන වැව කියලා. ඒකෙන් වතුර බීලා ඇවිත් තමයි ඔය අනතුරට මුහුණ දීලා තියෙන්නේ. එතැන තව කම්බියක් තිබුණා. ඒකේ කරන්ට් එක නැහැ. ඒ නිසා ආයෙත් ගිහින් වැවෙන් වතුර බීලා අනෙක් පැත්තෙන් යන්න හදනකොට තමයි භරණට කරන්ට් එක වැදිලා තියෙන්නේ.”

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රධානියෙක් ‘මව්බිම’ට කීවේය.

කෙසේ වෙතත් භරණගේ අවසන් කටයුතු සිදු කෙරෙන මොහොතේ ඊට සහභාගි වෙමින් සිටි පිරිසට ඉතාමත් සංවේගී දසුනක් දැකගත හැකි විය.

ඒ භරණගේ සිරුර මිහිදන් කරන මොහොතේ පැමිණ සිටි එම පිරිස මවිත කරමින් වෙනත් වන අලියකු එම ස්ථානයට කඩා වැදීමට උත්සාහ කිරීමය. මෙම දර්ශනය එතැන සිටි ඡායාරූප ශිල්පීන්ගේ කැමරා කාචවල පවා සටහන් වූ අතර පසුව කළ සොයා බැලීමේදී හෙළි වූයේ එම වන අලියා භරණ ජීවත්ව සිටියදී භරණගේ ආරක්ෂාවට නිරන්තරයෙන් වනයේ සැරිසැරූ අලියකු බවය.

කලාවැව රක්ෂිතයේ ගාම්භීරත්වය ලෙස සැලකූ භරණ හස්තියාගේ අකල් මරණයට හේතුව අනවසර විදුලි රැහැනක් බව අනාවරණය වී ඇති බව වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරීහු කළ විමර්ශනයේදී හෙළි වී ඇති අතර ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරු ගල්කිරියාගම පොලිසියේම නිලධාරියකු බවට හඳුනාගෙනද තිබේ.

නීතිය රකින මෙවන් නිලධාරියකුගේ අනිසි ක්‍රියාකලාපය හේතුවෙන් රටක් වටිනා ඇතකුට අකාලයේ සමුගන්නට සිදුවීම ඇත්තෙන්ම ඛේදජනක තත්ත්වයකි.

ගල්කිරියාගම වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රේමසිරි විතානගේ මහතාගේ සහ අඩවි සහකාර එච්.එම්.එස්. බණ්ඩාර යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත වන සත්ත්ව නියාමකවරුන් වන ඩී.එම්.කේ. ඩී. දසනායක, ඩබ්ලිව්. එස්. එල්. විජේසිංහ, ක්‍ෂේත්‍ර සහායකවරුන් වන එම්. ඩී.බී. දර්ශන, ඊ.එම්. එස්.එන්. ඒකනායක, ස්වේච්ඡා මාර්ගෝපදේශක ඩී.එම්. ආනන්ද බණ්ඩාර, සිවිල් ආරක්ෂක ඊ.එච්. එල්. එස්.කේ. ඒකනායක, සම්පත් වීරසූරිය, සී.සී. කුමාර සහ රියැදුරු අමිල චින්තක යන නිලධාරීහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූහ.

කීර්ති මෙන්ඩිස්

පින්තූර – කේ.කේ. ආරියදාස