මනස සුවපත් කරන ප්‍රායෝගික භාවනාව

0
19

පසුගිය සතියේදී අප සාකච්ඡා කළේ සමථ භාවනා ක්‍රමයක් වන සක්මන් භාවනාව පිළිබඳවයි. සක්මන් භාවනාවේදී සිදු කරන්නේ වම් පාදය හා දකුණු පාදය වෙන වෙනම පොලොවේ ස්පර්ශ වීම සහ පොලොවෙන් එසැවීම පිළිබඳව සිහිය පිහිටුවා ගැනීමයි. ඇස් වසාගෙන කරන පර්යංක භාවනාවකදී අපහසුවෙන් එකඟ කරගන්නා සිත ඇස් විවෘත කරනවාත් සමඟ විසිරීමට ලක් වෙනවා.

ඇස් විවෘත කරගෙන සිදු කරන භාවනාව තුළින් සිත එකඟතාවයට පත් කර ගැනීමට හැකියාව ලැබුණහොත් එම සමාධිය වැඩි කාලයක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙන බව බුදුරජාණන්වහන්සේ දේශනා කළ බව අප පෙර ලිපිය තුළින් සාකච්ඡා කළා. මෙවර භාවනා ලිපිය තුළිනුත් අපි වැඩිදුරටත් සාකච්ඡා කරන්නේ සක්මන් භාවනාව පිළිබඳවයි.

බොහෝ දේවල් ගැන සිතමින් සිටි, නොසන්සුන් සිතක් තිබෙන පුද්ගලයකුට එකවර තමන්ගේ ගමන ගැන සිහිය පිහිටුවා ගැනීම සිදු කළ නොහැකියි. නමුත් මෙම සක්මන් භාවනා ක්‍රමය අපහසු භාවනා ක්‍රමයක් නොවෙයි. කුඩා දරුවෙක් ඇවිදීම ආරම්භ කරන විධිය අප දන්නවා, එක් පාදයක් තබා නැගිටීමට වෙර දරමින් නැවත වැටෙමින් නැවත අඩියක් තබමින්, ආදී වශයෙන් වැටි වැටී ඇවිදීමට උත්සාහ කරනවා. පුද්ගලයකු තමන්ගේ සිහිය පිහිටුවා ගැනීමට උත්සාහ දරන්නේද මේ ආකාරයටම තමයි.

එක පියවරක් තබනවා, සිත වෙන අතක යනවා. නැවත පියවර ගැන සිත යොමා එක් පියවරක් තබනවා, නැවත සිත වෙන අරමුණුවලට ගමන් කරනවා. වෙනත් මනසිකාරවලට ගමන් කරනවා කියලා උත්සාහය අත්හැර දමන්න එපා. අඩි 40ක් පමණ දිගු සක්මන් මළුවක සක්මන් කරන විට නැවත හැරී ගමන් කිරීමේදීද සිත විසිරීමට ලක් විය හැකියි. ඒ පිළිබඳව අධෛර්යමත් වන්නට එපා.

කුඩා දරුවෙක් කෙසේ හෝ උත්සාහ කර ඇවිදීමට පටන් ගන්නවා වගේ ඔබටද කෙසේ හෝ සිත එකඟකර ගැනීමට හැකියාව ලැබෙනවා. සක්මන් භාවනාව කියන්නේ ඇස් විවෘත කරගෙන සිදු කරන භාවනාවක් නිසා ඔබ කඩ සාප්පුවකට යන විට, ඇවිදීමට යන විට සක්මන් භාවනාවේ යෙදෙමින් සිහිය පිහිටුවා ගන්න උත්සාහ කිරීම මනසට විශාල සහනයක් ගෙන දෙනවා.

මා ලෝකයේ බොහෝ ආගම් ගැන අධ්‍යයනය කර තිබෙනවා. භාවනා ක්‍රම පිළිබඳව සඳහන්ව ඇත්තේ බෞද්ධ ධර්මයේ පමණක් නොවෙයි. හින්දු ආගමේ, ජෛන ආගමේ සහ කතෝලික ආගමේත් භාවනා ක්‍රම තිබෙනවා. මුස්ලිම් ආගමේ භාවනා ක්‍රම පිළිබඳව තිබෙනවා යැයි ඔබ විශ්වාස කරනවාද? මුස්ලිම් ආගමේ සුෆී මුස්ලිම්වරු නම් කණ්ඩායමක් සිටිනවා. එහි විවිධ භාවනා ක්‍රම තුළින් උපචාර සමාධි ලබාගන්නා විධිය, සිත තැන්පත් කරන විධිය පිළිබඳව විස්තර කරනවා.

මේ ආකාරයට මා දන්නා තරමින් බොහෝ ආගම් තුළ භාවනා ක්‍රම තිබෙනවා. මේ ආගම් සියල්ලෙහිම පාහේ තිබෙන්නේ සමථ භාවනා ක්‍රමයි. ලෝකයේ විවිධ ආගම්වල විවිධ භාවනා ක්‍රම තිබුණත් සක්මන් භාවනාව ඒ කිසිදු ආගමක දක්නට ලැබෙන්නේ නැහැ. බුදු දහමේ පමණයි සක්මන් භාවනාව විස්තර කර තිබෙන්නේ. වර්තමානයේ අපේ රටේ වෙහෙර විහාර ඉදිකිරීම්, අලුත් වැඩියාකිරීම් බොහෝ වශයෙන් දක්නට ලැබුණත් ඒවායේ සක්මන්මළු සකස් කරන ආකාරයක් දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් අතීතයේ රහතන්වහන්සේලා වැඩසිටි වෙහෙර විහාරවල සක්මන්මළුවක් අනිවාර්යයෙන්ම සකස් කර තිබුණා.

ලෝකයේ ජීවත්වන මිනිසුන් සියලු දෙනාම පාහේ යම්කිසි උමතුවකින් ජීවත් වන බව පර්යේෂණ තුළින් ඔප්පු වී තිබෙනවා. සිහිය පිහිටුවා ගැනීම තුළින් එම මානසික ලෙඩ සුළු මොහොතකට හෝ සුව කර ගැනීමට හැකියාව ලැබෙනවා. මනසට තිබෙන ආරක්ෂාව කුමක්දැයි බුදුරජාණන්වහන්සේගෙන් විමසූ විට උන්වහන්සේ දුන් පිළිතුර වූයේ මනසට තිබෙන එකම ආරක්ෂාව හා රැකවරණය සතිය බවයි. ප්‍රඥාව පහළ කරගැනීමට, මනස අවබෝධ කරගැනීමට සතිය අත්‍යාවශ්‍යයි.

මෑතකදී සිදු වූ එක්තරා සිදුවීමක් පිළිබඳව මා ඔබට පවසන්නම්. එක්තරා දරුවෙක් අප ළඟට පැමිණා. ඔහු ඉංජිනේරුවරයෙක්. ඔහුගේ මව මිය ගිහින්. මවගේ වියෝව දරාගත නොහැකිව පීඩාවට පත් වෙලා ඔහුට සියදිවි නසාගැනීමට සිතෙන බව පැවසුවා. මා ඔහුට විවිධාකාරයේ විපස්සනා ක්‍රම පැහැදිලි කර දීමට උත්සාහ කළත් ඔහුට තම සිත පිළිබඳව සිහිය පිහිටුවා ගැනීමට අපහසුයි.

නමුත් මේ විධියට සක්මන් භාවනාව කරන්න යැයි පැවසූ විට ඔහුට එය කළ හැකි වුණා. සමථ භාවනා ක්‍රම තුළින් සිහිය එකදිගට අමුණා ගත් විට විපස්සනා භාවනාව තේරුම් ගැනීමට පහසුවක් ඇති කරනවා. නමුත් කිසිදිනක සමථ භාවනාව තුළින් නිවන් දැකිය නොහැකියි. සමථ භාවනාව සිහිය දියුණු කිරීමට උපකාරී වනවා පමණයි.

පෙම්වතා පෙම්වතියගේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, සැමියා බිරියගේ ප්‍රශ්න ආදී නොයෙකුත් ප්‍රශ්න නිසා එදිනෙදා ජීවිතයේදී අප බොහෝ දෙනා ජීවත් වන්නේ පීඩාවෙන්. අප පාරේ ගමන් කරන විට පවා මේ ප්‍රශ්න ගැන තැවෙනවා. ඔබ එක පියවරක් සිහියෙන් යුතුව තැබුවහොත් ඒ මොහොතේ අර සියලු ප්‍රශ්නවලින් මිදෙනවා.

යම් මනුෂ්‍යයෙක් එක් මොහොතක් නිවැරදි සිහියෙන් සිටියහොත් එම පුද්ගලයා එම මොහොතේ දුක් විඳින්නේ නැහැ. ඔබ පියවර දහයක් සිහියෙන් සිටියහොත් එම පියවර දහය ඔබ මානසික නිරෝගීතාවයෙන් යුතුව ගත කරනවා. ඔබ බෞද්ධයකු හෝ බෞද්ධ නොවන වෙනත් ආගමිකයකු වුවත් සක්මන් භාවනාව අත්හදා බලන්නට මා යෝජනා කරනවා. වෙනත් රටවල බෞද්ධ නොවන අය පවා මෙම සක්මන් භාවනාව පුහුණු කරන ආකාරය අප දැක තිබෙනවා. සක්මන් භාවනාව පුහුණු වූ කෙනෙක් කිසිවිටෙක සක්මන් භාවනාවේ යෙදීම අත්හරින්නේ නැහැ. මනසට සුවය ගෙනෙන්නේ සිහියයි. දුක්‍ෙදාම්නස් අවසන් කිරීමට, නිර්වාණය සාක්ෂාත් කරගැනීමට තිබෙන එකම මඟ වන්නේ සිහිය පිහිටුවා ගැනීම බව “දුක්ඛ ‍ෙදා්මනස්ස අත්ථංගමාය, ඤායස්ස අධිකමාය, නිබ්බානස්ස සච්චකිරියාච” යනුවෙන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ මෙලෙස සඳහන් කර තිබෙනවා. සිහිය සෑම පුද්ගලයකු තුළම තිබෙනවා.

නමුත් සිහිය හ¾දුනාගත් පුද්ගලයන් සිටින්නේ අල්ප වශයෙනුයි. පුද්ගලයකුට සිහිය හ¾දුනාගැනීමට තිබෙන හොඳම මාර්ගය ලෙස මෙම සක්මන් භාවනාව හ¾දුන්වාදිය හැකියි.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ, එකල සමාජයේ ගායකයෙක්ව සිටි ධනවත් තරුණයෙක් සංසාර දුකින් අත්මිදීම සඳහා මහණ දිවියට එළඹුනා. මහණ දිවියට එළඹීමෙන් පසු තදබල වීර්යයකින් යුතු වූ එම භික්ෂුව සක්මන් භාවනාව තෝරාගෙන උදෑසන සිට රාත්‍රිය දක්වාත්, රාත්‍රියේ සිට උදෑසන දක්වාත් නිදි නොලබා සක්මන් භාවනාවේ යෙදුණා. අවසානයේ පාද පැලී ලේ ගලන තුරුම එම භික්ෂුව සක්මන් කළා. එය දුටු අනෙක් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් මේ භික්ෂුවගේ වීර්යය ගැන පැවැසුවා. මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ එම භික්ෂුව සමීපයට වැඩම කළා. එසේ වැඩම කළ බුදුරජාණන් වහන්සේ 

“ඔබ ගිහි කාලයේ කළේ වයලීන වාදනය කරමින් ගීත ගායනා කිරීමයි. වයලීනයක් සුසර කරන විට කළ යුත්තේ කෙසේද? තත් වඩාත් තද කර වයලීනය සුසර කළ හැකිද? තත් වඩාත් ලිහිල් කිරීමෙන් වයලීනය සුසර කළ හැකිද?”

යනුවෙන් එම භික්ෂුවගෙන් විමසුවා. එවිට එම භික්ෂුව,

“එසේ තත් සුසර කිරීමට නොහැකියි ස්වාමීනි. තත් වඩාත් තද හෝ වඩාත් ලිහිල් නොකර, මධ්‍යස්ථව තබා සුසර කළ යුතුයි” යනුවෙන් පිළිතුරු දුන්නා. එවිට බුදුරජාණන් වහන්සේ බුදු දහම කියන්නේත් මධ්‍යස්ථ ප්‍රතිපදාවක් බව එම භික්ෂුවට පැහැදිලි කර දුන්නා. 

බුද්ධ කාලයේ සක්මන් භාවනාව භාවිත කළ ආකාරය පිළිබඳව මෙම උදාහරණයෙන් පැහැදිලි වෙනවා. එවැනි වීර්යයකින් යුතු පුද්ගලයන් සමීපයට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා.

ඔබත් අවංකව සත්‍ය සොයනවා නම්, අවංකව සිත නිවාගැනීමට උත්සාහ කරනවා නම් අදත් බුදුරජාණන් වහන්සේ ඔබ සමීපයට වඩිනවා. අදටත් බුද්ධ ශක්තිය මේ විශ්වයේ තිබෙනවා. ඔබ අවංකව සත්‍ය සෙව්වොත් ඔබ තුළ තිබෙන බුද්ධ ශක්තිය අවධි වෙනවා. මේ ලිපි පෙළ කියවන ඔබට මේ ජීවිතය තුළ සත්‍ය අවබෝධ කර ගැනීමට එක් පියවරක් ලෙස සක්මන් භාවනාව උපකාරී වෙනවා නියතයි.

කුශාන්ති අනුරාධා බණ්ඩාර

තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ අත්දැකීම්

ඇසුරෙන්..