මට ලැබුණු චරිත ගැන මම තෘප්තිමත් නැහැ

0
31

මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක් අපි ‘හදගැස්ම’ කතා බහට එක්කාසු කර ගන්නට සිතුවා. නමින් විරාජ් පෙරේරා වන ඔහු මේ වන විට බොහෝ  ගීත රූප රචනා ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙන අතර රූප රචනා කලාව තුළ ඉදිරියෙන්ම සිටින කලාකරුවෙක් ලෙසත් අපිට විරාජ්ව හඳුන්වන්නට පුළුවන්. එයට අමතරව මෙම කාලයේ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් බවට පත් වී තිබෙන පාර දිගේ හි රෙක්සිගේ චරිතයෙනුත් ප්‍රේක්ෂක හදවතට සමීප වන විරාජ් ඔහුගේ නවතම කලා කටයුතු ‘හදගැස්ම’ට පැවැසුවේ මෙලෙසින්.

මේ දිනවල කොහොමද වැඩකටයුතු?

අපහසුතා මැද්දේ වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම පාර දිගේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සමඟ තමයි මේ දවස් ගෙවෙන්නෙ. ඊට අමතරව ඉරේෂ් ලොකුබණ්ඩාර මහත්මයගේ අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. මීමුරේ තමයි එහි රූපගත කිරීම් තිබුණේ. ධර්මේ කියන නපුරු චරිතයක් එහි නිරූපණය කරන්නට අවස්ථාව ලැබුණා. ඒ වගේම මේ වසර මට ගොඩක්  විශේෂයි. හේතුව කිව්වොත්  චිත්‍රපට දෙකකට  ආරාධනා ලැබුණා. ඒ දෙකම උදාර පල්ලියගුරු අයියගේ එයින් එකක් 69 කියන චිත්‍රපටය. ඒ චිත්‍රපට දෙකම මේ වසර තුළ තිරගත වෙයි. සිනමාව තුළ මගේ පළමුවැනි අත්දැකීම තමයි මම මේ විඳින්නෙ. එය මගෙ ලොකු සිහිනයක්. රංගනයට අමතරව මගේ රැකියාවේ වැඩකටයුතුත් කරගෙන යනවා.

කොහොමද පාර දිගේ රෙක්සිගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර?

රෙක්සි කියන්නෙ හැමදෙයක්ම සිනහවෙන් බාර ගන්න චරිතයක්. හරි විනෝදයෙන් සිටින චරිතයක්. ප්‍රතිචාර නම් හොඳටම හොඳයි.

ටෙලි නාට්‍ය නළුවා කියනවට වඩා විරාජ්ව හඳුන්වන්නේ මියුසික් වීඩියෝවල රඟපාන නළුවා කියලයි. ඒ ගැන කතා කළොත්?

ඔව්. මම එය කැමැත්තෙන් භාර ගන්නවා. මේ වන විට මම මියුසික් වීඩියෝ පන්සියකට අධික ප්‍රමාණයකට  රංගනයෙන් සහභාගි වුණා. ඒ වගේම  රූප රචනා හරහා තමයි මම මේ ක්‍ෂේත්‍රයට පැමිණෙන්නේ. ඒ වෙනුවෙන් මේ මොහොතේ සියලුම ගායක ගායිකාවන් හට ස්තුතියි කියනවා මේ ක්‍ෂේත්‍රය තුළ මාව රඳවා තබා ගැනීම සම්බන්ධයෙන්.  සියයට අසූ පහක් පමණ ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීතවල රැ‍ෙදන්නට මට හැකි වුණා. ලංකාවේ වැඩිම ගීත රූප රචනා ප්‍රමාණයක රඟපෑවේ මම. අවසානයේ අමල් පෙරේරා අයියගෙ රූප රචනයකට තමයි සහභාගි වුණේ. මේ අර්බුදය එන්න කලින් නම් මාසෙකට රූප රචනා දහයකට පමණ සම්බන්ධ  වුණා. නමුත් දැන් මේ ගැටලු සමඟ ඒ කටයුතුත් ඇනහිටලා තිබෙනවා.

රංගන ක්‍ෂේත්‍රය තුළ සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නෙ නැහැ කියලා ඇතැම් අය විවිධ මත පළ කරනවා. ඒ පිළිබඳ විරාජ්ගේ අදහස කොහොමද?

ඇත්තටම සුදුස්සාට සුදුසු  තැන නැහැ. ඒ දෙය කොතැනත් එහෙමයි. නාළිකා බෙදාගෙන, චැනල් බෙදාගෙන. එකම අයගේ පිරිසක් තමයි ඒවායෙත් වැඩ කරන්නේ. හරිම කනගාටුයි මේ තත්ත්වය පිළිබඳව. ඇතැම් රංගන ශිල්පීන් රංගනයෙහි යෙදෙන්නෙ එකම නාළිකාවක එකම ටෙලි නාට්‍යයක පමණයි. නමුත් ඔවුන් එක දිගට වසර කිහිපයක් ජනප්‍රිය නළුවන් වන අවස්ථා තිබෙනවා. අපි කැමැතියි කෙනෙක් ඉදිරියට එනවට. නමුත් බෙදා වෙන් කරන්න නරකයි. බොහෝ අය මේ පිළිබඳව කතා කරන්නෙ නැහැ.  දැන් කලාවත් දේශපාලනය වගේ වෙලා. කලාව තුළ  නැත්තේ නම් වශයෙන් බෙදීම් පමණයි.

දිනෙන් දින කලා ක්‍ෂේත්‍රයට එකතුවන නව මුහුණු ඔබට අභියෝගයක්ද?

නැහැ. ඔවුන් මට අභියෝගයක් කියලා මම කිසිම විටෙක සිතන්නෙ නැහැ. ඇතැම් අය හතු පිපෙනවා වගේ ක්‍ෂේත්‍රයට එනවා යනවා. නමුත් අපි  ප්‍රවීණ අයගෙන් තවමත් දේවල් ඉගෙන ගන්නවා. උදාහරණයක් විධියට උද්දික ප්‍රේමරත්න සමඟ වැඩ කරන විට ඔහුගෙන් මම දවසින් දවස දේවල් ඉගෙන ගන්නවා. මම මේ ක්‍ෂේත්‍රයට පැමිණිලා දැනට වසර නමයක් පමණ  වුණත් මම අදටත් සිතන්නෙ මට තවත් දේවල් හදාරන්නට තිබෙනවා කියලයි.

වර්තමානයේ රට තුළ ඇති වී තිබෙන  අර්බුදකාරී තත්ත්වය කලාවට බලපා ඇති ආකාරය කතා කළොත්?

අර්බුදය නම් දරුණුම විධියට බලපා තිබෙනවා.  නිර්මාණ කර ගන්නට විධියක් නැහැ. නිෂ්පාදකවරුන් හට නිර්මාණ වෙනුවෙන් යොදවන්නට මුදල් නැහැ. ඒ වගේම අපි ගැටලු මැද හරි ටෙලිනාට්‍යයක් කළත් ප්‍රේක්ෂකයන් හට ටෙලිනාට්‍යයක් නරඹන්නට වෙලාවක් නැහැ. ගෑස් ටික, තෙල් ටික හොයන්න පාරට බහින්න වුණහම මිනිස්සුන්ට මොන ටෙලිනාට්‍යද? සෑම ක්‍ෂේත්‍රයක්ම වැටිලා වගේ කලා ක්‍ෂේත්‍රයත් වැටිලා.  රූගත කිරීම්වලට  ගියාට කරන්ට් නැහැ. රූගත කිරීම්වලට යන්න වාහනවල තෙල් නැහැ. ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව කතා කරන විටත් හරිම දුකයි.

කාර්යබහුල වැඩිකම  නිසා  ඔබට පවුල මඟ හැරෙන්නෙ නැද්ද?

මම මොන දේ කළත් මුල් තැන දෙන්නෙ පවුලට.  වැඩිපුර කාලය ගත කරන්නෙ මගෙ බිරිය, දරුවන් සමඟ. මගෙ දුව හිල්වුඩ් ජාත්‍යන්තර පාසලේ තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. පුතා ඉගෙන ගන්නේ චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ  එක ශ්‍රේණියේ. මගේ බිරිය නර්තන ගුරුවරියක්. ඇය නමින් චතූ විජේසිංහ. පාසල් ප්‍රේමයකින් තමයි මම ඇය සමඟ විවාහ වුණේ. එදා වගේම අදත් හරි ආදරයෙන් අපි ජීවත් වෙනවා. චතූ කියන්නෙ හොඳ ඉවසීමේ ශක්තියක් තිබෙන හොඳ දරා ගැනීමක් තිබෙන කාන්තාවක්. නැතිනම් මට මේ වගේ ක්‍ෂේත්‍රයක නිදහසේ වැඩ කටයුතු කරගෙන යන්න අපහසුයි.

රංගනය තුළ විරාජ්ට ලැබෙන අවස්ථා අඩුයිද?

බිස්නස් කරන කෙනකුට බිස්නස් වැඩි වෙනවා වගේ  රඟපාන කෙනෙක් විධියට චරිත ලැබෙනවා නම් අපි හරිම කැමැතියි. හැම දෙයක්ම ලැබෙන්නෙ අපේ වාසනාව මත. නමුත් මට ලැබුණු චරිත පිළිබඳව මම තෘප්තිමත් නැහැ. මගෙ හිතේ තදින්ම තිබෙන විශ්වාසයක් තමයි මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියන එක.

ඔබ විවාහයකයෙක්, පියෙක් කියන සාධකය ඔබේ ජනප්‍රියත්වයට බාධාවක් කියලා ඔබ සිතනවාද?

කොහෙත්ම නැහැ. වැදගත් වන්නෙ දක්ෂකම සහ විනය පමණයි. අපි හොඳ දෙයක් කළොත් මිනිස්සු අපිට අනිවාර්යයෙන්ම ආදරය කරනවා. ඒ වගේම පෞද්ගලික ජීවිතයක් අපි හැමෝටම තිබෙනවා. සොබාදහමින් සහ දෙවියන්ගෙන් ලැබුණු ආශීර්වාදය මත තමයි අපි මේ දේවල් කරන්නෙ. ඒ නිසා මම පියෙක් කියන එක කුමන මොහොතකවත් බාධාවක් විධියට දකින්නෙ නැහැ. සින්ගල් කියනවට වඩා ආඩම්බරකාර පියෙක් කියන ලේබල් එකට මම කැමැතියි. මිනිස්සු අපිට ආදරේ කරන්නෙ අපේ දක්ෂතාවට පමණයි.

විරාජ් මේ තැනට එන්න ලොකු කැපකිරීමක් කරන්න ඇති නේද?

ඔව්. මම මේ තැනට එන්න ගොඩක් මහන්සි වුණා.  කැපවීමෙන් වැඩ කළා. මම ගැන දන්න අය දන්නවා. රූපගත කිරීමකට වුණත් මම වෙලාවට යනවා. ඒ වගේම ක්‍ෂේත්‍රය තුළ තිබෙන්නට අවශ්‍යය විනය මම ළඟ තිබෙනවා. මම ජේ‍යෂ්ඨ රංගන ශිල්පීන් හට ගරු කරනවා. ඒ වගේම මම කිසිම කෙනකුට හිත රිදෙන විධියට කතා කරන්නෙ නැහැ. රැකියාවක් කරන ගමන් කලාව කරන නිසා  දෙපැත්තම සමබර කර ගන්නට තිබෙන කාලය අඩුයි. නමුත් අද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර දුටු විට මට හරි සතුටුයි. මට මා ගැන ආඩම්බරයි.

රංගන ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු කොහොමද?

අජිත් ලොකුගේ  අයියගෙ අධ්‍යක්ෂණයෙන් හැඩ වන අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නට ලැබුණා. ඒ වගේම සුදත් දේවප්‍රිය මහත්මයගේ  චිත්‍රපටයකටත් රංගනයෙන් දායක වෙන්නට ලැබුණා. තව රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යය තුනක් පමණ විකාශය වන්නට තිබෙනවා. ඉදිරියේදී ඒවත් විකාශය වේවි.

සචිනි බස්නායක