පිරිත් නූලක බලය තිබෙන්නේ වරු තුනද?

0
31

පිරිත් දේශනාව වගේම පිරිත් නූලත් බෞද්ධ ආගමිකයන්ගේ ජීවිතය හා බෝහො සමීපයි. සෑම සුබ කටයුත්තකටම පෙර එනම් ගෘහ කටයුතු සාර්ථක කර ගැනීමට, විභාග කටයුතුවලින් සාර්ථක ඵල ලබා ගැනීමට, ගැබිනි මවුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිරිත් දේශනා කිරීම අද මෙන්ම එදා සමාජයේත්  පැවැති සුලබ කරුණක්.

ඒ වගේම පිරිත් සමඟ පිරිත් නූලත් බොදු ජනතාව අතර ඉතාම ප්‍රසිද්ධ දෙයක් බව කවුරුත් දන්නා දෙයක්. බෞද්ධයන් පිරිත් දේශනාව අවසන් වූ පසු පිරිත් නූලක් අතෙහි හෝ බෙල්ලෙහි ගැට ගසා ගැනීම, පිරිත් නූල නිවෙස වටා ඇදීම නිතර සිදුකරන දෙයක්. එහෙත් ඇතැම් උදවිය පිරිත් නූලකින් සැබැවින්ම තමාට බලයක් ලැබෙනවාද ආරක්ෂාවක් ලැබෙනවාද යන්න නිතරම ප්‍රශ්න කරනවා.

එදා මෙන්ම අදත්  බෞද්ධ වත් පිළිවෙත්වල ප්‍රමුඛස්ථානය හිමිවන පිරිත් දේශනා මෙන්ම පිරිත් නූලෙහිත් ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිව යන්නක්. මහවංශයේ සත්වැනි පරිච්ජේදයේ දැක්වෙන පරිදි විජය කුමාරයා ඇතුළු පිරිස ලක්දිවට ගොඩබැස්ස පසු උපුල්වන් දෙවියන් බමුණු වේශයක් මවා පැමිණ “මෙහි මනුෂ්‍යයෙක්  නැත. එම නිසා ඔබට භයක් නොවේවා” යනුවෙන් පවසා

න සන්ති මනුජා එත්ථ

නච හෙස්සති වෝභයං

ඉති වත්වා කුන්ඩිකාය

තේ ජලේන නිසිංචිය

සුත්තංච තේසං හත්ථෙසු

ලගෙත්වා නභසාගමා

යන ගාථාවද සජ්¿ධායනා කොට කෙණ්ඩියෙන් පිරිත් පැන් ඉස විජය කුමරු ඇතුළු පිරිසගෙ අතෙහි පිරිත් නූල් ගැටගසා ආශීර්වාද කළ බව ඉතිහාසයෙහි සඳහන් වේ. ඒ අනුව අපට විශ්වාස කළ හැකි කරුණක් වන්නේ අෑත අතීතයේ සිටම පිරිත් නූල අපට සමීප වන බවයි.

තේලපත්ත ජාතකයේද සඳහන් වන පරිඳි පසේ බුදුන් වහන්සේලා යකින්නියකගෙන් බේරීම සඳහා බෝධි සත්ත්වයන් වහන්සේට පිරිත් වැලි සහ පිරිත් නූලක් දුන් බවත් එම වැලි ඇඳ වටා ඉස රැය පහන් කළ බවත් එයින් බෝධි සත්ත්වයන් වහන්සේ ආරක්ෂා වුණු බවත් දක්වා ඇත.

අතීතයේ කෙසේ වුවත් වර්තමානයේදී මෙම තත්ත්වය හාත්පසින්ම වෙනස් වී ඇත. අද බොහෝ දෙනකුගේ අතෙහි පිරිත් නූලක් තිබුණත් එහි අගය දන්නෙ ඉතා අතළොස්සක් බව අනිවාර්යයෙන්ම කිව යුතුය. ඇතැම් අය විලාසිතාවකට පිරිත් නූල් අතෙහි බඳින අතර පිරිත් නූල මහතට බැඳ ගැනීම එයට හොඳම උදාහරණයක්. අද බොහෝ පිරිස් පිරිත් නූලක් ලබාගැනීම වෙනුවෙන්ම පන්සලට යන අය සිටින අතර ඇතැම් අය ලෙඩකට දුකකට, විභාගයකට ආදී කාරණා වෙනුවෙන් ආශීර්වාද ලබා ගැනීමට පිරිත් නූල්  භාවිත කරයි.

මිනිසාගේ කායික රෝග මෙන්ම මානසික රෝග සුවපත් කරන්නත්, පෙනෙන නොපෙනෙන භූත අමනුෂ්‍ය කරදර, හදි හූනියම්, හදිසි විපත් කරදර වසංගත ආදී සියලු දෙයකටම ආශීර්වාද පිරිත් නූලෙන් සහ පිරිත් දේශනාවලින් ලැබෙන බවට බොදු භක්තිකයන් විශ්වාස කරන අතර එම නිසාම ලංකාවෙහි අස්සක් මුල්ලක් නෑරම බෞද්ධයන් පිරිත් දේශනාවන් සිදුකර අවසානයේ පිරිත් නූලක් අතෙහි හෝ බෙල්ලෙහි ගැටගසා ගැනීමට අමතක කරන්නේ නැත.

සම්මා දිට්ඨි සූත්‍රයට අනුව පිරිත් නූලක් අතෙහි බැඳගෙන සිටින කාන්තාවකට කාමය වරදවා හැසිරීමට එන ලෙස පිරිමින් අයුතු  යෝජනා නොකළ යුතු බව සඳහන් වේ. පිරිත් නූලකට ප්‍රධාන වශයෙන් නූල් තුනක් ගනු ලැබේ. එම නූල් තුනෙන් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය අර්ථවත් කරන අතර බුදුන් වහන්සේගේ සවනක් ගණ බුදු රැස් අර්ථ ගන්වමින් ඒ ඒ පාට නූල් ගෙන පාට නූල්ද සකස් කරනු දක්නට ලැබේ.

එසේම පිරිත් නූලක බලය රඳා පවතින්නේ තුන්වරුවක්ද යන ප්‍රශ්නය බොහෝ දෙනකුට ඇති වී තිබෙන ගැටලුවක්. බහුතරයකගේ මතය එය වුවත් පිරිත් නූලක බලය තුන්වරුවකින් අවසන් වනවා යන අදහස මුලාවක් ලෙස දැක්විය හැකිය. පිරිත් නූලෙහි බලය රඳාපවත්වා ගැනීම, බලය ලබාගැනීම ඒ ඒ පුද්ගලයා සතු කාරණයකි. පුද්ගලයා දැහැමි වන තරමට සහ ධර්මයට අනුගතව ජීවත්වන තරමට පිරිත් නූලහි බලය වැඩිවන බවත් පස් පව්වලින් යුතු පුද්ගලයාගේ පිරිත් නූලෙහි බලය වරුතුනක්වත් රඳානොපවතින බවත් සඳහන් කර ඇත.

පිරිත් නූල අතේ බැඳීමට වඩා කරේ දැමීමෙන් වැඩි බලයක් සිරුරට ලබාගත හැකිබව සඳහන්වේ. එහෙත් අද පිරිත් නූල අතෙහි බැඳීම සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. ඇතැම් අය පිරිත් නූල කරෙහි බැඳීමට වඩා අතෙහි බැඳීමට කැමැත්තක් දැක්වූවත් ධර්මානූකූලව විමසා බැලුවහොත් ඉතාම සුදුසු වන්නේ කරට පිරිත් නූල බැඳීමයි. එයින් ගෙලත් සමඟ මුළු හිසම ආරක්ෂා වන අතර පිරිත් නූල ශරීරයේ ස්පර්ශවන තරමට පිරිත් නූලෙහි ගැබ්වුණු තුණුරුවන් ගුණ, ශරීරගතව සියලු ලෙඩ රෝගවලින් අමනුෂ්‍යය උපද්‍රවවලින් ආරක්ෂා කරනු ලැබේ.

අප කරන සෑම කටයුත්තක්ම සාර්ථක වීමට නම් අප ඒ සම්බන්ධයෙන් විශ්වායක් තැබිය යුතුය. එසේම පිරිත් නූලක් බැඳගෙන සිටි පළියට තෙරුවන් ගුණ බලය අපට ලැබෙන්නේ නැත. එම නිසා පිරිත් නූලෙහි බලය ලබාගන්නට නිසැකයෙන්ම පුද්ගලයා තුළ විශ්වාසයක් තිබිය යුතුය.

එසේම පිරිත් නූලෙහි බලය ලබා ගන්නට නම් එය පිරිසුදුව තබා ගැනීම වැදගත් වේ. යම් හෙයකින් පිරිත් නූල අපිරිසුදු වූ විට එයට උඩින් පිරිත් නූලක් බැඳීමට වඩා සුදුසු වන්නේ එය ඉවත් කර අලුත් පිරිත් නූලක් බැඳ ගැනීමයි. ඇතැම් විට එක් පිරිත් නූලක් උඩ තවත් පිරිත් නූලක් බැඳීම අන් අයගේ විහිළුවට පවා ලක්වේ. පන්සිල් ආරක්ෂා කර ගැනීම, ආගමික කටයුතුවල නිතර නියැළීම මඟින් ඔබට පිරිත් නූලෙහි බලය තව තවත් වැඩිකර ගත හැකිය.

එපමණක් නොව මෙම පිරිත් නූල් ඉවත් කිරීමේදී පයට පෑගෙන ස්ථානයක  නොදැමිය යුතු අතර තෙරුවන් ගුණයෙන් බල ගන්වන ලද  පිරිත් නූල ගෞරවයෙන් ඉවත් කර ගසක අත්තක බැඳිය යුතු වේ. එබැවින් බෞද්ධයන් වන අපගේ  දුක් ගැහැට විඳින මිනිස් ජීවිතවලට, කායික මානසික පීඩා දුරුකරන අධ්‍යාත්මික ඔෟෂධයක් මෙන්ම ප්‍රබල ආරක්ෂක ක්‍රමයත් පිරිත් නූල බව සිහියේ තබා ගත යුතුය.

සචිනි බස්නායක

පූජ්‍ය දෙල්මෑල්ලේ සුමනරතන හිමි