නොකෙරෙන වෙදකමක් වූ සර්වපාක්ෂික ආණ්ඩුව

0
9

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව වන පාර්ලිමේන්තුවේ තුන් වැනි සැසිවාරය ආරම්භ කරමින් ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ ඒකාබද්ධව වත්මන් අර්බුදකාරි අවස්ථාවට මුහුණදීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය පැත්තේත් විපක්ෂය පැත්තේත් මන්ත්‍රිවරු නොනවත්වාම මේසයට තළන්නට වූහ. ජනපති රනිල්ගේ කතාවට මන්ත්‍රිවරු පී්‍රතිය ප්‍රකාශ කළේ අම්මා මුත්තා කාලෙවත් නොඇසූ වැදගත් අදහසක් ජනපති රනිල්ගෙන් ඉදිරිපත් වූ පරිද්දෙනි.

සර්වපාක්ෂික ආණ්ඩු යෝජනාව 2022 වසරේ වඩාත්ම පිළුණු වෙමින් තිබෙන කතාවය. රට දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලෙන විට සියලු දේශපාලන පක්ෂවල සහභාගිත්වය ඇති ආණ්ඩුවක් පිහිටුවා ඊට මුහුණ දිය යුතුය යන මතය ප්‍රථමයෙන් ඉදිරිපත් කරන ලද්දේ 2022 මාර්තු 2දා පක්ෂ 11 සන්ධානය විසිනි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊට පිළිතුරු දුන්නේ යෝජනාව ඉදිරිපත් කළ ඇමැතිවරු කැබිනට්ටුවෙන් නෙරපා හැරීමෙනි.

අනතුරුව මල්වතු අස්ගිරි මහ නාහිමිවරුද, තෛ්‍රනිකායික මහනායක හිමිවරුද එම අදහස ඉදිරිපත් කළහ. ගෝඨාගෝගම අරගලකරුවෝද අප්‍රේල් 10දා සර්වපාක්ෂික ආණ්ඩුවක අන්තර්වාර පාලනයක් යෝජනා කළහ. මැයි 6 වැනිදා ශ්‍රී  ලංකා නීතිඥ සංගමයද සර්වපාක්ෂික ආණ්ඩුවක් යෝජනා කළේය. ජා.ජ.බ. හා ස.ජ.බ. දේශපාලන පක්ෂද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත්ව සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා ඉඩ ලබාදිය යුතු බව යෝජනා කළේය. අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහද දැන් නැවතත් සර්වපාක්ෂික ආණ්ඩුවක් යෝජනා කර තිබේ.

ඔහු එම යෝජනාව කරන්නේ නව කැබිනට් මණ්ඩලයක්ද පත් කිරීමෙන් අනතුරුවය. අර්බුදය නැහැයෙන් උඩට යන තුරුත් සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවන කතාව දිග ඇදෙමින් තිබේ. සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සඳහා කෝ¾දුරු තෙල් හත් පට්ටයක් සහ තවත් කොපමණ ඕනෑ දැයි අප දන්නේ නැත.

ජනාධිපති රනිල් විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන බව කියන විට පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රිවරු අත්පොළසන් දුන්හ. ඒ සියල්ලන්ම 17, 18, 19, 20 ව්‍යවස්ථා සංශෝධනවලට ඡන්දය දුන්නැත්තෝය. ඔවුන් සමාන කළ හැක්කේ දේවදත්ත තෙරුන් ගිජුකුළු පව්වේ සිට බුදුරජාණන් වහන්සේට ගලක් පෙරළුවා යැයි කී විටත් සාධුකාර දුන් උපාසක අම්මලාටය.

……………………………………………………………………….

පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකරගෙන් පැහැදිලි කිරීමක්

26 වැනි සිකුරාදා ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුවේ පැවැති හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර විසින් පවත්වන ලද කතාව සම්බන්ධයෙන් ඉකුත් 28 වැනිදා කතු වැකියෙන් අප ඉදිරිපත් කළ අදහස් නිවැරදි නොවන බව මන්ත්‍රිවරයා විසින් දන්වා ඇත. ඒ මහතා පැහැදිලි කරන්නේ තමා තරුණ පරපුරට ඔවදනක් වශයෙන් එම අදහස් දැක්වූ බවය.

පා.ම. සරත් වීරසේකර

“දැන් සොකෝ ඔෆිසස්ලා  ජනාධිපති මන්දිරයට ගිහිල්ලා ඇඟිලි සලකුණු ගන්නවා. ඒ ඇඟිලි සලකුණු ගන්න සියල්ලන්ටම කවදාවත් රටින් පිට යන්න බෑ. නඩු දානවා. නඩු දාලා  වැරැදිකාරයෝ වුණොත් ඔහුට කවදාවත් පොලිස් වාර්තාවක් හම්බ වෙන්නේ නෑ. අපි දන්නවා රජයේ රැකියාවලට, හමුදාවට, පොලිසියට බැ‍ෙ¾දනකොට තමන්ගේ අයියලා, මල්ලිලා, මාමලා, බාප්පලා පමණක් නොවෙයි දුර ඥාතියෙක් වුණත් වැරැද්දක් කරලා දඬුවම් ලබා තිබුණොත් ඔහුට රැකියාව ලැබෙන්නේ නෑ. එහෙම නම් මේ තරුණයන්ට අපි දෙන අවවාදය තමයි තමන් වැරැදිකාරයා වෙලා උසාවියෙන් දඬුවම් කළොත්  ඔවුන්ගේ පරම්පරාවේ කිසිම කෙනකුට රජයේ, විශේෂයෙන්ම හමුදාවේ, පොලිසියේ ඇතුළු රජයේ රැකියාවකට කවදාවත් යන්න හම්බ වෙන්නේ නෑ.”