නෙල්ලි-වැල්මදට-තිප්පිලි ඇතුළත් කිහිල්ලේ සැරව ගෙඩි නසන කසායක්

0
5

ඉන්ධන හිඟය හින්දා මේ දවස්වල පොදු ප්‍රවාහනයේ කවුරුත් ගමන් බිමන් යනවා. පොදු වාහනයක යද්දී ඔබ අසලම සිටින්නන් තරමක් එහාට මෙහාට වෙනවා නම්, රැකියා ස්ථානයේදී පවා ඔබ සමඟ සල්ලාපයේ යෙදෙන්නට කිසිවකුත් නොඑන්නේ නම්, කුමක් හෝ ගැටලුවක් ඔබ තුළම පවතිනවා. ඔබ ලස්සනට, පිළිවෙළට අඳිනවා. හැඩට ඉන්නවා. නමුත් ටිකක් විතර ළං වුණාම ඔබ ළඟින් යම් අපුල ගන්ධයක් දැනෙනවා නම් එය ඔබගේ දහඩිය ගඳ විය හැකියි.

කිහිල්ලේ තරමක් දෘඪ වූ පුංචි ගෙඩියක් හෝ ගෙඩි කිහිපයක් හටගන්නවා. ඒවා දැඩි වේදනාවක් ගෙන දෙනවා. මේවා “ගඩගෙඩි” ආකාරයට දිස්වෙනවා. මේ ගෙඩි එකක් දෙකක් හෝ කිහිපයක් එකවර ඇතිවීම හෝ සිදුවිය හැකියි. මෙම ගෙඩි අතරින් සමහරක් ඉබේම නැතිවී යනවා. ඒත් සමහර ගෙඩිවලින් ගඩගෙඩිවලින් මෙන් ස්‍රාවයක් වෑස්සෙනවා. මෙය ඉතා දුර්ගන්ධයෙන් යුක්තයි. මෙම පීඩිකා ඇතිවීම සිදුවන්නේ ස්වේද ග්‍රන්ථියක මුඛය අවරෝධවීමෙන් ග්‍රන්ථියේ උපදින ස්‍රාවය එකතු වී එයට ස්ටැෆිලෝ කොකයි නම් බීජයන්ගේ පීඩිතවීම හේතු කොටගෙනයි. කිහිල්ලේ ඇතිවන මෙම රෝගී තත්ත්වය කක්ෂා රෝගය හෙවත් ස්වේද ග්‍රන්ථි ප්‍රදාහය ලෙසද හඳුන්වනවා.

කක්‍ෂා රෝග තත්ත්වය හේතුවෙන් කිහිල්ලේ ඉතා දැඩි වේදනාවක් ඇතිවීම, දුර්ගන්ධයෙන් යුත් ස්‍රාවයක් ගැලීම හා කිහිල්ලේ නිරන්තර තෙත්වීම හේතුවෙන් ඔබට එකවර කරදර කිහිපයකට මුහුණ දිය යුතු වෙනවා. ඉතා දැඩි වේදනාව ඔබගේ සුපුරුදු සැහැල්ලු බව පලවා හරිනවා. දුර්ගන්ධය හේතුවෙන් ඔබගේ හිතවතුන් අතර ඔබ ඉබේටම තනිවෙනවා. එමෙන්ම කිහිල්ලෙන් ගලන ස්‍රාවය වළක්වා ගන්නට නොයෙකුත් පියවර ගැනීමට සිදුවීම ඔබට වඩාත්ම කරදරයක් වෙනවා. රෝග තත්ත්වයන් කොහොමත් ජීවිතයට කරදරයක් තමයි. අපි සෑම විටම උත්සාහ කළ යුත්තේ නිරෝගීව සිටීමටයි. විශේෂයෙන්ම කක්ෂා රෝග තත්ත්වය ඇතිවීම වළක්වා ගැනීමට ඔබගේ කිහිල්ලේ පිරිසුදු බව පිළිබඳ වඩා වැඩි අවධානයක් යොමුකළ යුතුයි. ඔබ ස්නානය කරන විටදී මෙන්ම මුහුණ අතපය සෝදා ගන්නා අවස්ථාවන්වලදී කිහිලි ප්‍රදේශය හොඳ හැටියට සබන් ආලේප කර සෝදා පිරිසුදු කර ගන්න. ඉන් පසු කිහිලි ප්‍රදේශය හොඳින් තෙත මාත්තු කරගෙන පුයර ස්වල්පයක්, ඕඩිකොලෝන් බින්දු කිහිපයක් හෝ ඩියඩ්රන්ට් ස්ප්‍රේ ස්වල්පයක් හෝ ආල්ප  කර ගන්න. එය ඔබට වඩාත් සැහැල්ලුවක් ගෙන දේවි. නිතරම පිරිසුදුව ශරීරය තබාගැනීම තුළින් බොහෝමයක් චර්ම රෝග ඇතිවීම වළක්වා ගත හැකි බව මතක තබා ගන්න.

ඔබට කක්ෂා රෝගය සෑදී තිබේ නම් තවත් ප්‍රමාද නොවී ඒ සඳහා සුදුසු ආයුර්වේද ප්‍රතිකාර ලබාගන්න. කිහිල්ලේ ගෙඩි පැළීමට හෝ සිදුරු කර ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. බලගතු ආයුර්වේද ඔෟෂධ මඟින් ඔබට ඉතා පහසුවෙන් කක්ෂා රෝග තත්ත්වය සුවකර ගත හැකිවනු ඇත. කක්ෂා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට තව තවත් ප්‍රමාදවීම හේතුවෙන් වඩාත් පීඩාකාරී හුඹස් බන්ධන රෝගය පවා ඇතිවිය හැකි බව මතක තබා ගන්න. මෙම රෝගයට ප්‍රතිකාර නියම කිරීමේදී ඒ ඒ රෝගියා අනුව හා කිහිල්ලේ සංවේදී බව අනුව ඔෟෂධ ගළපා ගත යුතු අතර පොදුවේ කාහටත් සුදුසු කසායක් ඉදිරිපත් කරන අතර නිසි පරිදි කසාය පානය කර නිරෝගී බව ලබාගන්න.

තිප්පිලි, වැල්මදට, නෙල්ලි, කොහොඹ පොතු, ලුණුවිල, රත්කිහිරි කළං 2 බැගින් වතුර පත 8-1 සිඳුවා උදේ සවස සති 2ක් බොන්න.

වෛද්‍ය

සජානි වාසනා

ප්‍රනාන්දු

BAMS (Hons) University of Kelaniya

ධන්වන්තරි ආයුර්වේදය _

බිම්බාරාම පාර,

පිළියන්දල

0718659179