නුවරින් ඉස්සූ දරුවා මහරගමින් හමුවූ හැටි

0
61

අවුරුදු 9ක දරුවකු පැහැරගෙන දුම්රියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විසින් පොලිසියට දුන් තොරතුරක් මත එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මහරගම පොලිසිය සමත් වී ඇත. මෙම දරුවා නිවෙසින් අතුරුදන්ව ඇති බවට ඔහුගේ මවුපියන් පොලිසියට පැමිණිල්ලක්ද කර තිබිණි.

තලාතුඔය, මයිලපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම නව හැවිරිදි ළමයා ඉකුත් 3දා මවුපියන් සමඟ මහනුවර ශ්‍රී  දළදා පෙරහර බැලීමට පැමිණ සිටියදී සැකකාර පුද්ගලයා මවුපියන්ට නොදන්වා අනවසරයෙන් දරුවා රැගෙන පැමිණ ඇති බව පොලිසිය කියයි.

පසුව එම ළමයාද සමඟ සැකකරු ඉකුත් 4 වැනිදා රාත්‍රියේ කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ගමන් කරන දුම්රියකට ගොඩවැදී තිබේ.

දුම්රිය ගමන් කරන අතරතුර නව හැවිරිදි දරුවා බියට පත්ව සිටින ආකාරය දුටු දුම්රියේ ගමන්ගත් මාධ්‍යවේදියකු වහා මේ බව මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ. පසුව මහරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් වහා මහරගම දුම්රිය ස්ථානය වෙතගොස් දුම්රිය මැදිරියක රැඳී සිටි නව හැවිරිදි දරුවා සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පොලිසියට පවසා ඇත්තේ පෙරහරේ වෙස් නැටුම් සඳහා අවශ්‍ය ඇඳුම් රැගෙන ඒමට තමා කොළඹට පැමිණි බවත් ඒ අතරතුර සෙල්ලම් බඩු අරන්දීම සඳහා දරුවාද සමඟ පැමිණි බවත්ය.

සැකකරු අවුරුදු 30ක් වයසැති පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කීර්ති මෙන්ඩිස්