නිවන් යන්නට පෙර එක් වරක් වඩිනු මැන වැලපෙනා හදවත් නිවා සනහන්නට…

0
65

හැමෝගේම මුහුණුවල ඇත්තේ වචනවලට ගොනුකර ගත නොහැකි බලවත් වේදනාවකි. ඒ වේදනාව වඩාත් හොඳින් පෙනෙන්නේ දෙනෙත්වලින් ගලාහැලෙන උණු කඳුළුවලිනි. ‘මේ වගේ සෙනඟක් සර් වෙනුවෙන් ආවේ අපේ සර් ඇත්තටම දෙවියෙක් වගේ මනුස්සයෙක් නිසයි.’ එසේ කියන්නේ දහසක් දරුවන්ගේ නෙත් පෑදූ මහේෂ් දුක්ගන්නාරාල ගුරුතුමාගේ වියෝව දරාගත නොහැකි සිසුවියකි. කුරුණෑගල, ගෙපල්ලව, ඇසළ උයනේ පදිංචිව සිටි මහේෂ් දුක්ගන්නාරාල ගුරුවරයාව බොහෝ අය දන්නේ ‘දුකා’ සර් ලෙසින්ය. එසේත් නැතිනම් ‘Smart Physics Sir විදිහටය.

අනුරාධපුර, රත්නපුර සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශවල අතිශය සාර්ථක භෞතික විද්‍යා අමතර පන්ති පැවැත්වූ මේ ගුරුවරයා දරුවන්ට ආදරය කළ, තම වෘත්තියට ආදරය කළ අමුතුම විධියේ ගුරු දෙවියෙකි.

‘සර් පන්ති පටන් ගත්තේ 2008 අවුරුද්දේ. 2022 අවුරුද්ද වෙද්දී දරුවෝ දස දහස් ගණනකට සර් විෂය දැනුම ලබා දුන්නා. මේ අවුරුද්දේ සර්ගේ ක්ලාස්වලට දරුවෝ තුන්හාර දහසක් පමණ හිටියා. මම ඒක දන්නේ 2009 අවුරුද්දේ ඉඳලම සර් එක්ක මම ඉන්න හින්දා.’

එසේ කීවේ ධනුෂ්ක ජයසංඛය. ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දීප්තිමත් සිසුවකු වූ ‘දුකා සර්’ එයින් පසුව වෘත්තිය ලෙස තෝරා ගන්නේ ඉන්ජිනේරු රස්සාවය. එහෙත් නොබෝ කාලෙකින් ඔහු ඒ රැකියාවට සමුදෙන්නේ ටියුෂන් පිස්සුව ඔළුවට ආ නිසාය.

“මට දරුවන්ට උගන්වන්න ඕන ඒ නිසා ක්ලාස් ටිකක් පටන් ගන්න හිතුවා.” ඔහු එසේ කියා මුලින්ම ටියුෂන් වෘත්තියට පිවිසුණේ කුරුණෑගලින්ය. ඒ අනුව ඔහුගේ අමතර පන්තියට සිසු සිසුවියන් දහයක් පහළොවක් අතර ප්‍රමාණයක් පැමිණියහ.

‘සර් පන්ති පටන් ගන්නේ ඔන්න ඔහොමයි. ඒත් පුංචි කාලයක් යද්දී මහා පුදුම විදිහට සර්ගේ ක්ලාස් එකට ළමයි එන්න ගත්තා.

ඒකට හේතුව සර්ගේ ආකර්ෂණීය ඉගැන්වීම. ඒ වගේම සර් ඒ දරුවෝ වෙනුවෙන් කරපු කැප කිරීම. සර් කවදාවත් සල්ලි පස්සේ දිව්වේ නැහැ. මම ඒ ගැන හොඳට දන්නවා. සර්ගේ ක්ලාස් එකේ සල්ලි එකතු කරන්නේ මම. ළමයින්ට කාඩ් දෙන්නෙත් මම. හැම ක්ලාස් එකටම මම යනවා. ඒ හින්දම මම දන්නවා ‘දුකා සර් ෆී්‍ර කාඩ් කීයක් දීලා තියෙනවාද කියලා. ඒ ගාණ තුන්හාර සියයක් විතර වෙනවා. ‘පව් මල්ලි! ඒ දරුවන්ට සල්ලි නැහැ. ෆී්‍ර කාඩ් දෙන්න’ කියනවා.”

දුකා සර් මියයන විට ඔහු පැන සිටියේ වයස අවුරුදු 41 ආයු කඩුල්ලය. ඒ කාල සීමාව තුළ ඔහු ගත කළේ පුදුමාකාර ආදර්ශවත් ජීවිතයකි.

‘සර් හැම මාසෙම සැලකිය යුතු මුදලක් හෙව්වා. ලංකාවේ කොරෝනා වසංගතය ලොකුවටම තියෙන වෙලාවක සර් මට කිව්වා අපි මාසික ආදායමෙන් ලොකු ගාණක් වියදම් කරලා නැති බැරි අයට ආහාර මලු දෙමු කියලා.

ඒ විදිහට සැලසුම් කරලා සර් ලක්‍ෂ 46ක ආහාර මලු බෙදාදුන්නා. තවත් කෙනකුගේ කඩා වැටුණු ගෙදරක් හදන්න ඒ මාසෙම ලක්‍ෂ 15ක් ලබා දුන්නා.’ ධනුෂ්ක යළිත් කීවේය.

“මේවා තමයි බන් අපි අරන් යන්නේ. බොරුවට තණ්හාවට ගුළිකරගෙන ඉඳලා වැඩක් නැහැ.” දුකා සර්ගේ මුවේ රැඳී  තිබුණු මේ වාක්‍ය පේළිය ඔහු මන්තරයක් මතුකරන්නා සේ නිතරම කීවේ හදවතින්මය.

තවත් එක් කාලයකදී ‘දුකා සර්’ බදුල්ලේ Smart Physics පන්තියක් ඇරැඹුවේ ගණිත විද්‍යාව හදාරන ගමේ දරුවන්ට සුපිරි දැනුමක් ලබාදීමේ අදහසින්මය. එහෙත් ටික දවසක් ගතවෙද්දී ඔහුගේ ජීවිතයට දැඩි වෙහෙසක් දැනෙන්නට පටන් ගත්තේය.

‘සර් කුරුණෑගල ගෙදර ඉන්නේ බදාදාට විතරයි. බ්‍රහස්පතින්දා උදේ ඉඳලම සර් ඉන්නේ ගෙදරින් පිට. ඒ කියන්නේ අනුරාධපුර, බණ්ඩාරවෙල, රත්නපුර පවත්වන ක්ලාස්වලට දුවනවා. මේක අධික වෙහෙසකර තත්ත්වයක්. සර් වැඩිපුර ඉන්නේ මහමඟ.

“තින් මේ නිසාම තමයි සර් බදුල්ලේ පන්තිය නවත්වන්න හැදුවේ. ඒත් දරුවන්ගේ අම්මලා, තාත්තලා වගේම දරුවෝ අඬන්න වැලපෙන්න පටන් ගත්තා.”

මේ සංවේදී කාරණය වටහාගත් දුකා සර් ඊළඟට කළේ කවුරුත් කිසිවිටෙක නොසිතන නොකරන වැඩකි.

“මේ හැම දරුවෙක්ම මගේ බණ්ඩාරවෙල පන්තියට එන්න.  මම ඒ වෙනුවෙන් බස් සේවාවක් පවත්වනවා. ඒකට සල්ලි දෙන්නේ මම. ඔය දරුවන්ට තියෙන්නේ සත පහක්වත් වියදම් කරන්නේ නැතිව එන්න විතරයි, දුකා සර් කීවේය.

අවසානයේදී දුකා සර් මේ වෙනුවෙන් බස් රථ කීපයක්ම යොදා ගත්තේය. මේ බස් රථ සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ‍ෙදාළොස් වතාවක් පමණ බණ්ඩාරවෙල සිට බදුල්ලටත්, බදුල්ලේ සිට බණ්ඩාරවෙලටත් ගමන් කරන්නට විය.

“මේ බස්වලට එක් ගමන් වාරයක් සඳහා සර් 14,000ක  මුදලක් ලබා දුන්නා. ඇත්තටම කිව්වොත් සර් ළමයින්ට දීපු ෆී්‍ර කාඩ් සහ බස් ගාස්තු බැලුවහම සර්ට ඉතුරු වෙන දෙයක් නැහැ. අතිනුත් ගෙව්වා. ඒත් සර් කියන්නේ ‘දරුවෝ පව් බන්’ කියලයි.”

මහේෂ් දුක්ගන්නාරාල එසේත් නැතිනම් දුකා සර් මේ හැම දෙයක්ම කර තිබුණේ ජනප්‍රියත්වය තකා නොවේ. ඔහු තමන් කරන පින් අතේ වැඩ කටයුතු ගැන ප්‍රචාරයක් පවා බලාපොරොත්තු වුණේ නැත.

‘සර්.. ඔයා කරන මේ දේවල් ෆේස්බුක් එකේවත් අපි දාන්න ඕන..’ ධනුෂ්ක එසේ කියද්දී “මොනවද මල්ලි… අපි කරන දේවල් අපිටනේ” දුකා සර් පුරුදු වාක්‍ය පේළියෙන්ම උත්තර දුන්නේය.

“ඒත් මම එහෙම නිකම් හිටියේ නැහැ. සර් ඔන් ලයින් ක්ලාස් කරද්දී ඒවා පවා රෙකෝඩ් කරලා ‘යූ ටියුබ්’ එකේ දැම්මා. අද ඉතුරු වෙලා තියෙන්නේ ඒවා විතරයි. සර් නැහැ” ධනුෂ්ක වේදනාවෙන් කීවේය.

දුකා සර් ධනුෂ්ක ඇසුරු කළේ ගෝල බාලයා ලෙස නොවේ යාළුවෙක් විදිහටය. කතා කළේ මල්ලී කියාය. ඒ විදිනටම සර් ළඟ සිටි අනෙක් කෙනා ටිරාන් සමන්ත කුමාරය.

“අපි අවුරුදු 15ක් විතර එකටම හිටිය අය. සර් අපිට සැලකුවේ කිසිම වෙනසක් නැතිව. අපිත් එහෙමයි. සතියකට සැරයක් ගෙදර යන හින්දා අපි තුන්දෙනාම එකාවන් හැමෝම ගැන සෙවිල්ලෙන් හිටියා.”

දුකා සර් කවදාවත් රෝගී වී නැත. අඩපණ වී අෑලි මෑලි ගතියකින් කාලය ගත කළේද නැත. ඔහුට ඕනෑ වුණේ කඩියකු මෙන් වැඩ කරන්නටය. සිනාසී සිටින්නටය. දරුවන් සමඟ විෂය කරුණු කතා කරමින් ඔවුන්ගේ දැනුම වඩන්නටය.

“සර් පාවිච්චි කරන්නේ ස්මාර්ට් ෆෝන් එකක් නෙවෙයි. පුංචි එකක්. මගේ ෆෝන් එක ඉල්ලගෙන තමයි ‘යූ ටියුබ්’ එකේ වීඩියෝ ටිකක් හරි බලන්නේ. ඒ බලන්නෙත් වෙනත් ගුරුවරු උගන්වන විෂය කරුණු හා දැනුමට උපයෝගී වෙන විෂයට අදාළ දේවල්. එහෙම බලන ගමන් සර් කියනවා මම මේවා බලන්නේ අපි කවුරුත් සර්ව සම්පූර්ණ මිනිස්සු නොවන හින්දා බන්. අනිත් ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න තියෙන දේවල් වුණත් අපිට වැදගත් වෙනවා. අපිත් නොදන්නා දේවල් තියෙනවනේ.”

දුකා සර් එසේ කීවේ ඔහු තුළ තිබූ නිහතමානී ගති පැවතුම් නිසාමය.

මේ ආකාරයට කාටත් අවහිරයක්, හිංසාවක් නැතිව ජීවත්වූ දුකා සර් එක් විටම රෝගී වූයේ මීට සතියකට පමණ පෙරය.

“එදා අනුරාධපුරේ තිබුණු පන්තිය ඉවර කරලා අපි යන්න පිටත් වුණේ බණ්ඩාරවෙලටයි. එහෙම යද්දී සර් එක පාරටම මට තට්ටුවක් දාලා කිව්වා වාහනය අයිනක නවත්වන්න කියලා. ඒ මහියංගණය හරියේදී එළිවෙන ජාමේ.” ඒ අනුව ධනුෂ්ක අතරමඟ අයිනක වාහනය නතර කළේය. ඊළඟට ගුරුවරයා වමනය කරන්නට පටන් ගත්තේය.

“කෑමක් නරක් වෙලාද කොහෙද” ටිකක් වෙලා යද්දී හරි යයි.”

එසේ කියූ දුකා සර් තවත් මොහොතකින් මෙසේ කීවේය.

“උදේ ක්ලාස් එක කරන්න බැරිවේවි වගේ. මම ටිකක් නිදාගන්නම්… උඹ ළමයින්ට ටියුට් ටික දීලා ඒවා කරන්න කියපන්කෝ. මම පැයක් දෙකක් නිදාගෙන ඉඳලා ආපසු ක්ලාස් එකට එන්නම්.”

එදා දුකා සර් කවදාවත් නොකරන විදිහේ විවේකයක් ලබා ගත්තේ මයික්‍රෆෝනය ගෙන දරුවන් දැනුවත් කිරීමෙන් පසුවය.

කෙසේ හෝ පෙර කී පරිදිම පැයක් දෙකක් විවේක ගත් දුකා සර් යළිත් ක්ලාස් එකට ආවේ සාමාන්‍ය ආකාරයටය. එසේ පැමිණ ඔහු එම අමතර පන්තිය නිමා කොට සවස පවත්වන පන්තියද හොඳින් පවත්වාගෙන ගියේය.

“ඔය විදිහට සර් හොඳින් හිටියත් මම නිකම් හිටියේ නැහැ. ක්ලාස් එක ඉවර වුණු හැටියේ ඒ පළාතේ වෛද්‍යවරුන් දෙපළක් ළඟටම අරන් ගිහින් සර්ගේ තත්ත්වය පරීක්‍ෂා කොට බැලුවා.

එහිදී කිව්වේ සර්ගේ වෙහෙස මහන්සිය නිසා මෙහෙම වෙන්න ඇති කියලයි. බෙහෙත් දුන්නෙත් පැරසිටමෝල් විතරයි.

“ඇත්තටම දැන් මට හිතෙනවා ඒ දවසේ එහෙම පෙන්නුවේ සර් අපිව දාලා යන ගමනේ පෙරනිමිත්තද කියලා.” ධනුෂ්ක යළිත් කීවේ ඉවසාගත නොහැකි වේදනාවෙනි.

මේ ආකාරයට පෙර  සලකුණු පෙන්වූ දුකා සර් යන්නට ගියේ ජූලි මස 30 වැනිදා රාත්‍රියේය. ඊට පෙර 29 වැනිදා සවසත් ධනුෂ්කට දුකා සර් කතා කළේය.

“එතකොට සවස 6.30-7.00ට වගේ ඇති. සර් කතා කරලා වාහනයට තෙල් ගහන එක වගේම ක්ලාස් එකට අරන් යන ටියුට් ගැනත් කතා කළා.

එදා බදාදා නිසා පහුවෙනිදා ඒ කියන්නේ බ්‍රහස්පතින්දා උදේ තමයි අපිට යන්න තිබුණේ. ඒත් බ්‍රහස්පතින්දා උදේ 10.30ට විතර කතා කළේ සර්ගේ නෝනා. ඇය කතා කරලා කිව්වා සර් බාත්රූම් එකේ වැටිලා කියලා.

ධනුෂ්ක ඉන්න තැන සිට දුකා සර්ගේ නිවෙසට කිලෝමීටර් 20ක් පමණ තිබේ. මේ නිසාම ඔහු වහා ගියේ දුකා සර්ව රැගෙන ආ කුරුණෑගල රෝහලටය.

ඒ වෙද්දී සර්ගේ හෘද ස්පන්දනය හරිහැටි සිදුවෙන්නේ නැහැ. සර්ගේ නෝනා එක්ක ආපු දෙන්නා තමයි හුඟක් උත්සාහ අරගෙන ඒ අඩපණව තිබුණු ස්පන්දනයත් ආරක්‍ෂා කරගෙන ඇවිත් තිබුණේ ප්‍රථමාධාර ලබා දෙමින්.”

කුරුණෑගල රෝහලට ගෙනා දුකා සර්ගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු පරීක්‍ෂණ කීපයක්ම සිදුකළහ. ශල්‍යකර්මයක් සිදුකළ යුතු බවත් දන්වා සිටියහ. එහෙත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොතිබුණේ අවශ්‍යම වෛද්‍ය උපකරණත් අක්‍රිය වී  තිබූ නිසාය.

එයින් පසුව ගුරුවරියක වූ දුකා සර්ගේ බිරිය නිලූකා තෙන්නකෝන් හා ධනුෂ්ක ඇතුළු පිරිස ගන්නේ වෙනස්ම තීරණයකි.

“අපි සර්ව කොළඹ අරන් යමු.” ඒ අනුව කොළඹ පෞද්ගලික රෝහලකට කතා කළ ඔවුන් රෝහලින්ම ගෙන්වා ගත් ගිලන් රථයෙන් දුකා සර්ව රැගෙන ආවේය.

“ඒකේ සර්ට කෘත්‍රිම ශ්වසනය ලබාදිය හැකි උපකරණ පවා තිබුණා. ඒ නිසා තමයි අරන් ආවේ.”

මේ ආකාරයේම ජීවිතයත් මරණයත් අතර සිටි මහේෂ් දුක්ගන්නාරාල ආදරණීය ගුරුතුමාව රැගෙන විත් පෙරකී පෞද්ගලික රෝහලට ඇතුළත් කළේ කෙසේ හෝ කුමන වියදමක් දරා හෝ ඔහුගේ ජීවිතය බේරා ගැනීමේ අදහසින්ය.

“රෝහලේදී සර්ගේ තත්ත්වය ගැන හොඳින් පරීක්‍ෂා කොට බැලුවා. බලලා කිව්වා සර් ඉන්නේ දරුණුම තත්ත්වයක කියලා. ඒ කිව්වා වගේම ජූලි 30 වැනිදා රාත්‍රියේ අපේ සර් නොඑන ගමන් ගියා. ඒක අපිට දරාගන්න බැහැ. සර් අපිට සැලකුවේ සේවකයෝ හැටියට නෙවෙයි. එක බත් එක කන්න කතා කරනවා. වෙන කාට හරි කතා කරලා වැඩකට අපිව යවනව නම් කියන්නේ ධනුෂ්ක මල්ලිව එවනවා එයා අත ඒක එවන්න කියලා. සර් අපිට සැලකුවේ එහෙමයි. එයා මුදල් පස්සේ දුවපු නැති, ජනප්‍රියත්වය පස්සේ දුවපු නැති අමුතුම විදිහේ යහපත් ගති පැවතුම් තිබුණ මනුස්සයෙක්. ඇයි මහත්තයෝ අපේ සර්ට මෙහෙම වුණේ” ධනුෂ්ක වේදනාවෙන් යුතුව ප්‍රශ්න කළේය.

වසර ගණනාවක් එකට සිටි, එකට ගමන් බිමන් ගිය, එකට වැඩ කළ ධනුෂ්කලා තරම් දුකා සර් ගැන කිසිවකු දන්නේ නැත. එකදු හිත් රිදවීමක්වත් නැතිව එක  දිගට ගලා ආ ඒ ඇසුර වඩාත් හොඳින් දන්නේද ඔවුන්ය.

“සර්ගේ පුංචි කොලු පැටව් දෙන්නා තාත්තා දිහා බලාගෙන අඬනකොට, ප්‍රශ්න නඟනකොට අපිට වාවන්නේ නැහැ. අනේ ඇයි අපේ සර්ට මෙහෙම වුණේ.”

දුකා සර් භෞතික විද්‍යාව හදාරන දරුවන් අතරද ඉතා ජනප්‍රිය එමෙන්ම ගුරු ගෞරවය රැකගත් මහඟු චරිතයකි. ඒ නිසාම මේ වියෝව ආරංචි වූ සැණින් ඔවුන් වැල නොකැඩී ඇසළ උයනේ නිවෙසට ආවේ වාවාගත නොහැකි වේදනාවකින්ය.

ඇතැම් දරු දැරියෝ වෛද්‍ය වෘත්තිකයෝය. තවත් දරුවෝ ඉන්ජිනේරුවෝය. එසේත් නැතිනම් යම් යම් පෞද්ගලික ආයතනවල උසස් රැකියාවල නියුතු උදවියය.

“අපිට අපේ සර් පුරාවෘත්තයක්. ඒ පුරාවෘත්තය තමයි නිමා වුණේ. සර්ගේ හිනාව මතක් වෙනවා. සර් කතා කරන විදිහ මතක් වෙනවා. සර් ස්ටේජ් එකේ අපට උගන්ව උගන්ව ඇවිදින විදිහ මහත් වෙනවා. අනේ අපේ සර්…” ඔවුන් හැමෝගේම හද ගැස්ම නැඟෙන්නේ ඒ ආකාරයටය.

‘අනේ සර් යන්න එපා කියලා කෑගහලා අපේ හිත් කියනවා. නිවන් යන්න කලින් ආපසු එක වතාවක් හරි අපි අතරට එන්න සර්… සර්ගේ මිනිසත්කමේ සුවඳ අපේ හිත්  තුළ රැව්දෙනවා. ඒක හැමදාම ඒ විදිහටම තියේවි.”

දුකා සර්ගෙන් අධ්‍යාපනය හැදෑරූ සිසුවියක් පවා ඒ විදිහට කිව්වේ වෛද්‍යවරියක් දක්වා ඇයට ගමන් කරන්න පුළුවන් විදිහේ විෂය දැනුම ලබාදුන් ආකාරය යළි යළිත් මහත් කරමින්ය.

කෙසේ හෝ මේ වෙද්දී මතකය පමණක් ඉතිරි කොට දුකා සර් යන්නට ගිහින්ය. එහෙත් ඔහු මෙලොවට ඉතිරි කොට ගිය මනුස්සකම ඒ විදිහටම තිබෙන්නේය. අමනුස්සයන් ගැන වැඩිපුර අහන්නට දකින්නට ලැබෙන මේ කාලයේ දෙවිවරුන් වැනි මෙවැනි මිනිසුන්ගේ හැර යෑම නම් අපි කොයි කාටත් දරාගත නොහැකිය. දුකා සර් ගැන අප තුළ ඇත්තේ එවන් හැඟීමකි.

ඒ හැඟීම වඩාත් තිව්‍ර වී දැනෙන්නේ දුකා සර්ගේ මෑණියන් තම ආදරණීය එකම පුතාගේ දේහය වැලඳගෙන කඳුළු සැලූ විදියෙනි.

“අනේ මගේ අප්පච්චි, ඇයි මාව දාලා ගියේ”

හැබෑවටම ඒ ආදරණීය වචන කිහිපය තුළ තිබුණේ තම මෑණියන්ටත් අප්පච්චී කෙනකු මෙන් සැලැකූ පුදුමාකාර දරුවකුගේ සුවිශේෂී ගති පැවැතුම්ය.

දුකා සර්… ඔබ හැබෑවටම පුරාවෘත්තයකි.

සමන් ප්‍රියංකර නම්මුනිගේ