නපුරු යක්ෂයාට බිලි පූජාවක් වූ ජැනටි ඩිපල්මා

0
81

ලෝකයේ අතුරුදන් වීම් සහ අබිරහස් සිදුවීම් විශාල ප්‍රමාණයක් අවුරුද්දක් ඇතුළත වාර්තා වෙනවා. එයිනුත් බොහොමයක් අතුරුදන් වීම් සිදු වන ලැයිස්තුවට ලංකාවෙ නමත් එක් වී තිබීම ශෝකජනකයි. ගණනය කිරීම්වලට අනුව 1980 දශකයේ සිට මේ වෙනකම් ලංකාව තුළ පමණක් අතුරුදන් වීම් 60,000ත් 100,000ත් අතර ප්‍රමාණයක් සිදු වී තිබෙනවා. එයට ලොකුම හේතුව ලෙස බලපාන්නට ඇත්තේ 80 දශකයේ ලංකාවේ තිබූ වාතාවරණය විය යුතුමයි.

එමෙන්ම ලොව වැඩිම පැහැර ගැනීම් ලැයිස්තුවේ 2022 වනවිට අංක 1ට තිබෙන රට වනුයේ තුර්කියයි. තුර්කිය අංක එක වනවිට ලැයිස්තුවේ පළමුවැනි 10 තුළට පිළිවෙළින් තුර්කිය, ලෙබනනය, කුවේට්, කැනඩාව, බෙල්ජියම, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, පාකිස්තානය, ස්වාසිලන්තය, එක්සත් රාජධානිය යන රටවල් එක් වී තිබෙනවා. මෙම පැහැර ගැනීම් පෞද්ගලික තරහකට හෝ නැති නම් කණ්ඩායමක් විසින් එක් පුද්ගලයකු කෙරෙහි දක්වන වෛරය නිසා හෝ එසේත් නැති නම් දේශපාලනික මත නිසා සිදු වන්නක් වෙන්නට පුළුවන්.

තවද කාන්තාවන් දූෂණය කිරීම සහ කුඩා ගැහැනු දරුවන් ගණිකා වෘත්තියට නැති නම් වෙනත් ජාවාරම්කරුවන්ට විකිණීම මුල්කරගෙනද පැහැර ගැනීම් සිදු වන අතර තව විධියකට ඝාතනය කිරීමටද මෙවැනි දේ සිදු කරනවා. අතුරුදන් වීම් ගැන කතා කරනවිට කිසිම පාර්ශ්වයක් සම්බන්ධ නොවී කිසිම හෝඩුවාවක් නැතිව අතුරුදන් වීම්ද වාර්තා වෙනවා. එවැනි අබිරහස් අතුරුදන් වීම් ගැන මීට පෙර ලිපිවලින් මා කතා කර තිබෙනවා. එවැනි දේවල් සිදු වන්නේ තනිව හෝ කණ්ඩායම් ලෙස වනාන්තර, කාන්තාර හෝ ක¾දු නැඟීමට බෝට්ටු පැදීමට ගොසිනුයි. සමහරු නම් මියගිය විධිය සොයා ගැනීමට නොහැකි වූ විට එය අබිරහසක් වෙනවා. තවත් වෙලාවට සිරුරක්වත් සොයා ගැනීමට නොහැකි වීම නිසා අබිරහසක් වෙන සිදුවීම්ද තිබෙනවා.

ඉතින් ඔය කියූ ගොඩක් විදිවලට සිතිය හැකි සිදුවීමක් තමා ජැනට් ඩිපල්මාගෙ සිදුවීම. ජැනට් ඩිපල්මා උපත ලැබුවේ 1956 වර්ෂයේ අගෝස්තු මස 03 වැනි දිනයි. ඇය උපත ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිවලදියි. නිව් ජර්සිවල සිටින සෙසු මිනිසුන්ට වඩා ඩිපල්මා පවුල මේ ප්‍රදේශය තුළ ඉතාමත් ජනප්‍රියයි. එමෙන්ම ඩිපල්මා පවුල මේ ප්‍රදේශයේ ඉහළම පෙළේ පවුලක්ද වූවා. නිව් ජර්සිවල ධනවත් පවුලක් වීමද එක් හේතුවක්. ඩිපල්මා යුවළට 1956දී උපත ලබපු මේ ජැනට් ඩිපල්මා නම් දියණිය පවුලට වාසනාව ගෙන දෙන බව විශ්වාස කළ අතර මෙම පවුලේ සෑම සාමාජිකයෙක්ම වගේ ජැනට්ට නොසෑහෙන ලෙස ආදරය කළා, රැකවරණය ලබා දුන්නා.

ඉතින් කුඩා කාලයේ සිටම ආදරය, රැකවරණය සමඟ ජීවත් වූ ජැනට් ටික ටික වැඩුණේ හරිම හුරතල් විධියටයි. මොකද ඇය ගැන සෑම වෙලාවකම කවුරු හෝ අවධානයෙන් සිටි නිසා පවුලේ හුරතලා බවට පත් වී සිටියා. මෙලෙස ටික ටික වැඩුණ ජැනට් පාසලේ මුල් වසරවල සිටම ඉගෙනීමට ඉතාමත් දක්‍ෂයි. වගේම කිසිම දෙයක් ඇයට ඉගෙනීම අතින් මවුපියන් අඩුවක් කළේ නැහැ. මක් නිසාද මුදල් බලය තිබෙන නිසා ජැනට්ට ඉගෙනීමට මෙන්ම අනෙක් දේවල්වලටද අවශ්‍ය වන සෑම දෙයක්ම ඇයට ලබා දුන් නිසා. ඇයගේ පවුල දැඩි ආගමික භක්තිකයන් වූ නිසා ඇය ආගමට දහමට පවා ළැදි දියණියක්ව හැදී වැඩුණු බව ඇයගේ ආශ්‍රිතයන් දැන සිටියා. එම නිසා ඔවුන් කිසි බයක් සැකයකින් තොරව ඇය ආශ්‍රය කළා. පවුලේ සියල්ලම වගේ ක්‍රිස්තියානි ආගම වැලඳගෙන සිටි අය නිසා පවුලේ හැමෝම ජැනට් වගේම ආගමට ළැදි අයයි. ඉතින් අනිවාර්යෙන්ම ඇයට නිදහස් වේලාවක් හමුවුවහොත් පල්ලියට යෑමට අමතක කරන්නේ නැහැ.

ජැනට් ඩිපල්මා සහ ඩිපල්මා පවුල ජීවත් වූ මෙම නිව්ජර්සි ප්‍රදේශයේ ඒ කාලය වනවිට අනෙක් ප්‍රදේශයන්වලට සාපේක්‍ෂව හොරකම්, ස්ත්‍රී දූෂණ, පැහැරගැනීම්, මංකොල්ලකෑම්, මිනීමැරුම් ගොඩක්ම පහළ තත්ත්වයකයි පැවැතුණේ. ඉතින් ඒ නිසා නිව්ජර්සි වැසියන් බොහොම සාමකාමී විධියට ජීවත් වුණා. ඉතින් ඔහොම පොඩ්ඩ පොඩ්ඩ ජැනට්ද නව යොවුන් වියට පා තැබුවා. ඇයට වයස 16 සපිරීම නිමිත්තෙන් ලොකු සාදයක්ද පැවැත්වූ අතර සෑම දෙයකටම කලින් පල්ලියට යෑමට ජැනට් මෙන්ම පවුලේ අය අමතක කළේ නැහැ. ඉතින් ලොකුවටම ඇයගේ උපන් දිනය සැමරීමට සූදානම් වූ නිසා මිතුරන් ගොඩකට වගේම නෑදෑයන්, අසල්වාසීන්ට එහෙමත් සාදයට ආරධනා කළා. ඔවුන් ඉතාමත් ප්‍රීතිමත්ව සාදයට සහභාගි වූ අතර ජැනට් ඇයගේ මිතුරන් සමඟ එම මොහොතේ කාලය ගත කරමින් සිටියා.

ඉතින් රෑ බෝ වෙනවත් සමඟම ජැනට්ගේ මිතුරන් සියල්ලම විසිරී ගිය අතර නෑදෑයන් සහ අසල්වාසීන් පමණක් ඉතිරි වී සිටියා. ඔවුන්ද වැඩි වේලාවක් නොගෙන විසිර ගිය අතර නිවෙසේ සිටි සේවිකාව නිවෙස අස් පස් කරලා ආහාර සූදානම් කිරීම සඳහා කුස්සිය වෙත ගියා. එදින රාත්‍රිය සියල්ලෝම ආහාර ගෙන නින්දට ගිය අතර පහුවදා සාමාන්‍ය දිනයක මෙන් සියල්ල අවදි වී දෛනික වැඩ කටයුතුවල නිරතව සිටියා. මේ අතරවාරයේදී ජැනට් මව වෙත පැමිණෙන්නේ ඇයගේ සිතේ තිබෙන යම් දෙයක් පැවැසීමටයි. ඒ වෙන කිසිවක් නොව ඇයගේ මිතුරකු හමුවීමට යෑම සඳහා අවසර ලබා දෙන ලෙසට ඉල්ලීමටයි.

ඉතින් උපන්දිනේ සමරලා පහුවදාම ඇයට බලපෑම් කරන්න බැරි නිසාත් ඇය දැන් වයස 16ක යමක් තේරුම් ගත හැකි ළමයෙක් නිසාත් මිතුරියගේ නිවෙසට යෑමට අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඒ අවසරයම ඇති ඇයට සතුටින් ඒ දවස ගත කරන්නට. මෙලෙස ඇය එදා දිනය සතුටින් අවසන් කළේ තවත් දින දෙකකින් ඇය මිතුරිය මුණගැසීමට එම නිවසට යෑමට සූදානමින් සිටි බැවිනි. එහෙත් මේ යන ගමන සැකසහිත ගමනක්. මක් නිසාද මේ වයසේ ගැහැනු ළමයින් මිතුරියන් මුණගැසීමට යනවා යැයි බොරු කියා මිතුරන් සමඟ වෙනත් ගමන් යන්නට පෙලඹෙනවා. නැතිනම් පෙම්වතාව මුණ ගැසීමටද යෑමේ ලොකු ඉඩකඩක් තියෙනවා.

කොහොම නමුත් ඇය මිතුරියගේ නිවෙසට යෑමට අදාළ දිනය එළැඹුණා. මේ දිනය යෙදී තිබුණේ ඇයගේ උපන්දිනය පසු වී හතර වැනි දිනයේදීයි. ඇය එදින උදෑසනම ආහාරද අනුභව කර අදාළ බඩු මුට්ටු සහ වැඩිපුර ඇඳුමක් බෑගයකට දමාගෙන නිවෙසින් පිටත්ව ගියා. දුම්රියපොළට වෙනකම් පියා සමඟ පැමිණි ජැනට් ඩිපල්මා එතැන් පසුව දුම්රියෙන් ගමන් කිරීම ඇරඹුවා. මෙලෙස දුම්රියපොළට ගිය ජැනට් තමාට අදාළ දුම්රිය එනතුරු බලා සිටි අතර ඇය දුම්රියපොළට ගිය විගස ඇයගේ පියා ඒ අසලින් පිටව ගියා. ඉතින් ඇය ගැන එතැන් පටන් කිසිම ආරංචියක් නොලැබුණු අතර ඇය එදින අතුරුදන් වූවා. එදින හවස ඇයගේ මිතුරියට දුරකථන

ඇමතුමක් අරගත් ඩිපල්මා නිවෙස දැනගන්නවා ජැනට් මිතුරියගේ නිවෙසට නොගිය බවට. ඉතින් ඒ නිසාම ජැනට්ගේ මවුපියන් කලබලයට පත් වී ඇයව සෑම තැනකම සෙවීම් කළ අතර දන්න හැම තැනකටම කතා කළා. එහෙත් ඇය ගැන ආරංචියක් දැනගන්න නොලැබුණු නිසා අවසානයේදී ඔවුන් ගොස් පොලිසියේ අතුරුදන් වීමක් සම්බන්ධව පැමිණිල්ලක් දානවා. පොලිසිය මුලින්ම ඇයව සෙවීම ආරම්භ කරන්නේ නිව්ජර්සිවල ඩිපල්මා පවුල ජීවත් වූ ස්ප්‍රිංෆිල්ඩ් ප්‍රදේශයෙනුයි. එහෙත් දුම්රියපොළ හෝ නගරය ආශ්‍රිතව ඇයව දැකපු කෙනෙක් හොයාගන්න ලැබුණේ නැහැ.

පළමු දිනය සහ දෙවැනි දිනය මෙලෙස ගත වුණා. ඇයව සෑම තැනකම සෙවූ අතර එදින ඇය යෑමට නියමිතව තිබූ දුම්රිය නැවැත්වූ දුම්රියපොළවල් ආශ්‍රිතව සැක සහිත සෑම තැනක්ම පිරික්සීමට පොලිසිය සූදානම් වූ අතර සැක සහිත ඕනෑම දෙයක් පොලිසිය වෙත දන්වා පොලිසියට සහාය වන ලෙස සිවිල් වැසියන්ටද ප්‍රකාශ කළ අතර සිතූ ලෙසම සෑම කෙනෙක්ම සහාය දැක්වූවා. ලඳු කැලෑ, කැලෑ මෙන් පාළු නිවාස මෙන්ම සැක හිතෙන සෑම තැනකම ජැනට්ව සොයා යෑමේ මෙහෙයුම් දිගින් දිගටම පුළුල් කරනු ලැබුවා. මෙහෙයුම් කරගෙන ගිය අතර දින සති ගෙවී ගියා. ප්‍රථමව සෙසු ජනතාව තුළ ජැනට් ජීවතුන් අතර සිටින බවට තිබුණ විශ්වාසය නැති වී ගිය අතර ඔවුන් සෙවීම් නවතා දැමුවා. එහෙත් පොලිසියට ජැනට්ගේ සිරුරක් හෝ සොයා ගැනීමට අවශ්‍ය නිසා ඔවුන් දිගටම සොයා බැලීම් කළා. පවුලේ උදවිය නම් සෑම දිනකම ජැනට් ජීවත්ව සිටිනවා යැයි කියන බලාපොරොත්තුව සමඟ ජීවත් වුණා.

කොච්චර දුරට සොයා බැලුවත් අවසානයේ කිසිම දෙයක් පොලිසියිට සොයා ගැනීමට නොහැකි වූවා. පොලිසිය ස්ප්‍රිංෆිල්ඩ් නගරයෙන් ආරම්භ කර ජැනට්ගේ මිතුරියගේ නිවෙස වෙත යනකම් සහ ඒ යන මාවතේ සෑම අස්සක් මුල්ලක් නෑර සොයා බැලීම් කළ අතර පොලිසියට ඇයගේ සිරුරෙන් කොටසක්වත් අඩුම තරමේ සොයා ගන්න නොහැකි වූ නිසා පොලිසියද හෙම්බත් වී සිටියා. ස්‍ප්‍රිංෆිල්ඩ් යනු නිව්ජර්සිවල තිබෙන කුඩා නගරයක්. ඉතින් වසර ගාණකට පස්සේ සිදුවූ පළමු අතරුදන් වීම මෙය නිසා ප්‍රදේශවාසීන් පවා භීතියෙනුයි සිටියේ. නගරයේ එක් කෙළවරක කඩ සාප්පු සහ නිවාස තිබූ අතර නගරයේ එක් පැත්තක් සම්පූර්ණ වනාන්තර සහිත ප්‍රදේශයක් තිබුණේ. මේ වනාන්තර ප්‍රදේශය තුළ විවිධ සතුන් ජීවත් වුණා.

ඉතින් දඩයක්කාරයන් ඉඳහිට මේ කැලෑවට යන්නේ සතුන් දඩයම් කර ගැනීම සඳහායි. ඉතින් සැප්තැම්බර් මාසයේදී. එනම් ජැනට්ගෙ උපන් දිනය පසු වී මසකට පමණ පසු ස්ප්‍රිංෆිල්ඩ්වල මේ වනාන්තරයට යනවා දඩයක්කාරයෙක් තමන්ගේ දඩයම් සුනඛයා සමඟ සතකු දඩයම් කරගැනීම සඳහා. ඔහු තම රයිෆලයද රැගෙන යනවිට එකවරම ඔහුගේ සුනඛයා ඉව පාරක් දිගේ ඔහුව රැගෙන ගියා. සතකුගේ ඉව පාරක් වන්නට ඇතැයි සිතූ දඩයක්කරු සුනඛයා පසුපස ගියද ටික දුරක් යන විට දඩයක්කරුට සුනඛයා මඟහැරී ගියා. ඉතින් සුළු මොහොතකට පසු සුනඛයා නැවත දඩයක්කරු සොයා පැමිණියේ නිකම්ම නම් නෙවෙයි. සුනඛයා කැලෑව තුළ තිබූ මිනිසකුගේ අතක් රැගෙන ආවේ තම ස්වාමියා වෙත ලබා දීමටයි. සුනඛයා ගෙන ආ මේ මිනිස් අත දැක දඩයක්කරු පුදුමයට පත් වූ අතර ඔහු මේ ගැන උනන්දු වී සුනඛයා නැවත පිටත් කර හරිනවා මිනිස් අත රැගෙන ආ ස්ථානය සොයා ගැනීම සඳහා. සුනඛයා නැවත වරක් කැලෑව ඇතුළට ගිය අතර දඩයක්කරුද සුනඛයා ගිය දිශාවටම දුව ගිය අතර දෙදෙනා ගොස් නැවතුණේ කැලෑව තුළ තිබූ ගල් තලාවක් සමඟ ඇති ගුහාවක් තුළයි.

ගුහාව තුළ තිබී දඩයක්කරු නරක් වූ සිරුරක් සොයාගත් අතර දඩයක්කරු වහාම ක්‍රියාත්මක වී පොලිසියට මේ බව දැනුම් දෙනවා. ස්ප්‍රිංෆිල්ඩ් පොලිසිය දඩයක්කරු සමඟ කැලෑව තුළින් ගොස් ගල් තලාව තුළ තිබූ සිරුර වෙත ගිය අතර මේ සම්බන්ධව පරීක්‍ෂණ කිරීම සඳහා ඔවුන් අපරාධයක් සිදු වූ ස්ථානයක් ලෙස නම් කර සාමාන්‍ය ජනතාවට එන්න නොදෙන්න වග බලාගත්තා. ඉතින් මේ යක්‍ෂයාගේ දත  (Devil’s Teeth) ලෙස ප්‍රදේශවාසීන් හඳුන්වන මේ ගල් තලාව තුළ මෙවැනි අපරාධයක් වූවේ කෙසේ දැයි සොයා බලන්නට කැලෑවම සම්පූර්ණයෙන් ආවරණය කර සාක්‍ෂි සොයා ගැනීමට පොලිසිය පටන් ගත්තා. ඒ අතර මියගොස් නරක් වී තිබූ මෙම සිරුර රස පරීක්‍ෂණ වාර්තාවන් සඳහා පරික්‍ෂකවරු වෙත යැවූ අතර ඩිපල්මා පවුලේ ජැනට් ඩිපල්මාගේ මවුපියන්ද පරීක්‍ෂකවරු කැඳවනු ලැබුවේ මෙම සිරුර ඔවුන්ගේ දියණියගෙ දැයි තහවුරු කරගැනීම සඳහායි. ඉතින් මේ මියගිය තැනැත්තිය ජැනට් ඩිපල්මා බවට තහවුරු වූ අතර DNA සාම්පලද ඒ හා සැසඳුණ නිසා සියයට සියයක්ම මෙ සිටින්නේ ජැනට් බවට තහවුරු කර ගන්නවා.

යක්‍ෂයාගේ දත නම් මේ ගල් තලාව තුළට ජැනට්ව ගෙන ආවේ කවුරුන්ද යන වග සොයා ගැනීම පොලිසියේ මීළඟ රාජකාරිය වුණා. එමෙන්ම කවුරු මේ වැඩේ කළත් කුමක් හෝ ආගමකට භක්තියෙන් යුතුව වන්දනා කරන කෙනෙක් බවට නම් නොඅනුමානයි. මක් නිසාද මේ යක්‍ෂයාගේ දත නම් ගල් තලාවේ තිබෙන ගුහාවෙ යම් කිසි ශාන්ති කර්මයක් කර තිබෙන බවට පොලිසිය සොයා ගන්නෙ එහි තිබී සත්ව ඇට කැබලි පූජාවකට ගන්නාක් මෙන් අසුරා තිබීම සහ පූජාවක් කරන්නක් මෙන් සකසා තිබූ ඇටවුම් නිසාවෙනි. එම නිසා ජැනට්ව මිථ්‍යා දෘෂ්ටික ආගමක් වෙනුවෙන් බිල්ලට දෙන්න ඇතැයි පොලිස් පරික්‍ෂකවරු නිගමනයට එළඹෙනවා.

ඉතින් මෙ මිථ්‍යාදෘෂ්ටික ආගම් නව යොවුන් වියේ තරුණ තරුණියන් අතර ප්‍රසිද්ධ නිසා සැකකරු හෝ සැකකරුවන් තරුණයන් වීමේ සම්භාවිතාව ඉතාමත් වැඩියි. අදටත් සාතන් නම් යක්‍ෂයාව වන්දනා කරන නව යොවුන් වියේ තරුණ තරුණියන් ඕනෑ තරම් ඇමරිකාව වැනි රටවල්වල සිටින බවත් මතක් කළ යුතුමයි. ඉතින් පොලිසියේ පළමු සැකය වූයේ ඇයගේ මිතුරන්වයි. ඇයගේ මිතුරන් ඇයව ගෙන්වාගෙන ඔවුන් අදහන යක්‍ෂයාගේ ආගම වෙනුවෙන් බිල්ලට දීම සඳහා ඝාතනය කරන්නට ඇතැයි යැයි සිතූ නිසා සෑම මිතුරකුගෙන්ම වගේ ප්‍රශ්න කිරීම් කළද ඔවුන් සැවොම වාගේ ජැනට් මෙන් සාමාන්‍ය ළමුන් වූ නිසා සැක කළ යුතු දෙයක් සොයා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

ඉතින් මෙලෙස ජැනට්ගේ අසල්වාසීන්ගේ සිට සියල්ලෝම සැකයට ලක් වුවද කිසිවෙක් වැරැද්දක් කළා යැයි සිතන්නට හැකියාවක් ලැබෙන අන්දමේ සාක්‍ෂියක් නොලැබුණ නිසා අපරාධකරුවෙක් සොයා ගන්නට නොහැකි වූවා. මේ අයට අමතරව තව විශේෂ සැකකරුවෙක් සිටියා. ඒ වෙන කවුරුත් නෙවෙයි මේ ගල් තලාව පේන මානයේ දුරකින් මේ කැලෑව තුළම කුඩා නිවෙසක් අටවගෙන ජීවත් වූ නිවාසයක් නොමැති පුද්ගලයායි. ඔහු මෙම ප්‍රදේශයේ අයද දකින්නේ කලාතුරකින් බැවින් පොලිසිය ඔහුව සොයා ගිය අතර ඔහු ජීවත් වූ නිවෙස තිබුණත් නිවෙස තුළ කිසිම පුද්ගලයෙක් නැති බව තහවුරු කරගන්නවා. ප්‍රදේශවාසීන් ඔහු සමඟ වැඩි කතා බහක්වත් නොකළ නිසා ඔහුගේ නමක්වත් ප්‍රදේශවාසීන් දැන සිටියේ නැහැ. හැමෝම ඔහුව හැඳින්වූවේ RED යන නමිනුයි.

ගල් තලාව ආසන්නයේ සිටින මේ රෙඩ් අනිවාර්යෙන්ම දෙයක් දැන සිටි යුතුමයි. එසේත් නැතිනම් රෙඩ් මේ ඝාතනයට කෙළින්ම සම්බන්ධ බව පොලිසිය විශ්වාස කළද සති කිහිපයක් තිස්සේම ඔහු නිවෙසේ නැති බව සොයාගන්නේ ඔහුගේ නිවෙස පාළුවට ගොස් තිබූ නිසයි. ඉතින් රෙඩ්ව කිසිම දවසක සොයා ගන්නට පොලිසියට නොහැකි වූ අතර ප්‍රදේශවාසීන් අතර අදටත් නාගරික පුරාවෘත්තයක් විධියට රෙඩ් ජැනට්ව ඝාතනය කළ බවට කතාවක් ගෙතී තිබෙනවා.

රෙඩ්ව සොයාගත නොහැකි වූ නිසා රෙඩ් මේ ඝාතනයට සම්බන්ධද නැද්ද යන වග හරි හැටි කීමට කවුරුත් සමත්කම් දක්වන්නේ නැහැ. එමෙන්ම ජැනට්ව ඝාතනය කිරීමට කිසිම උල් ආයුධයක් හෝ  තුවක්කුවක් වැනි යමක් භාවිත කර තිබුණේ නැහැ. ඉතාමත් ප්‍රාථමික අයුරින් හුස්ම යන තුරු ගෙල සිර කිරීමක් පමණක් කර තිබූ නිසා රෙඩ් වෙත තව තවත් සැකය එල්ල වුණා.

පොලිසිය මේ ගැන දිගින් දිගටම සොයා බැලීම් සිදු කළද කිසිම සාක්‍ෂිකරුවෙක් අපරාධකරුවෙක් සොයාගන්න ලැබුණේ නැහැ. රෙඩ් නමැති තැනැත්තාද මැයගේ ඝාතනයට පෙර නිවෙස හැරදා ගිය ලකුණු පෙනෙන්න තිබූ නිසා රෙඩ්වද හරිහැටි සැකකරුවෙක් ලෙස ගනන් ගැනීමට හැකි වූයේද නැහැ. කෙසේ වුවත් රටේ සියලුම ප්‍රමුඛ පෙළේ පුවත්පත්වල මේ සම්බන්ධයෙන් මුල් පිටුවේම පුවත් පළ වූ අතර යක්‍ෂ වන්දනාව ගැන ලිය වූ ලිපි එහෙම පුවත්පත් හරහා කරළියට පැමිණෙන්න ගත්තා.

ඉතින් 1972 වර්ෂය වනවිට යක්‍ෂ වන්දනාවේ යෙදෙන්නන් එතරම් නොවුවද අද කාලය වනවිට ඇමරිකාවේ යක්‍ෂ වන්දනාව සඳහා පල්ලි පවා තිබෙනවා. යක්‍ෂ වන්දනාව ප්‍රචලිත නොවූ එවැනි කාලයකදී මෙවැනි දෙයක් සිදු වීම නම් ඉතාමත් ශෝකජනකයි. එමෙන්ම මතක් කළ යුතු දෙයක් තමයි මේ කාලය වනවිට රෝස්මරි බේබි චිත්‍රපටය යක්‍ෂ වන්දනාව ගැන ලොකු උන්මාදයක් ඇති කළ නිසා ජැනට්ගේ ඝාතකයා ඇයගේම සම වයසේ ළමයෙක් වීමේ සම්භාවිතාව වැඩියි. මොකද නව යොවුන් වියේ ළමයින් මෙවැනි කාලයෙන් කාලයට එන රැලිවලට හසු වීම සාමාන්‍ය නිසා.

එමෙන්ම තවද 60 දශකයේ ජීවත් වූ සාතන්වාදියකු වන අනුක්‍රමික ඝාතකයෙක් වූ චාල්ස් මැන්සන් ගැන විවිධ කට කතා මේ කාලය වනතුරුත් පැතිර ගිය හෙයින් හිපි සංස්කෘතිය නියෝජනය කරන ඇමරිකාවේ පහළම මට්ටමේ ජන කොට්ඨාසය චාල්ස් මැන්සන්ව වීරයෙක් ලෙස දුටු නිසා හිපි කෙනෙක් විසින්ම ජැනට්ට මෙලෙස කරන්නට ඇති කියා ජනතා මතයක් පවතිනවා. එමෙන්ම යක්‍ෂ වන්දනාව ගැන 1970 දශකය වනවිට බයිබල් පවා නිකුත් වී තිබුණු නිසා එයට නැඹුරු වූ කෙනෙක් මෙය කරන්නට ඉඩකඩක් තිබෙන්නට පුළුවන්.

මේ සම්බන්ධව ප්‍රදේශයේ පූජකවරු තුළද කතා බස් ඇති වූ හෙයින් ඔවුන්ද විශ්වාස කළේ දැඩිව යක්‍ෂ වන්දනාවට හසු වූවකු මෙලෙස ම්ලේච්ඡ ලෙස හැසිරෙන්නට ඇතැයි කියා. එම නිසා ඒ කාලයේ සිටි පූජකවරු පල්ලිවල වැඩසටහන් පවත්වා මිනිසුන් යක්‍ෂ වන්දනාව වැනි මිථ්‍යා දෘෂ්ටික ආගම්වලට ගොස් ම්ලේච්ඡ වීම වැළැක්වීමට කටයුතු කළා. අද වනවිටත් විවිධ කතන්දර හැරුණුකොට ස්ථිර අපරාධකරුවෙක් මේ ඝාතනය සම්බන්ධව සොයා ගැනීමට පොලිසිය අසමත් වෙලා තිබෙන නිසා මෙම ඝාතනය ඝාතකයෙක් නොමැති අබිරහසක් බවට පත් වී අවසන්.

ධනංජය මධුෂාන්