නගුලත් එක්කම ගොවියෙක් ගිලගත්ත හාස්කම් සපිරි ඉඳුරන්නාවිල දිය බුබුළ

0
61

එදින සඳ ඇති රැයකි. දැල්වෙන පහනක්ද ඇතිව, සුදු ගවයන් දෙදෙනකු සමඟින් ගොවියෙක් රාත්‍රියේදී ඉඳුරන්නාවිල විල අසලම තම කුඹුරේ වැඩ කරමින් සිටියේය. සත්තකින්ම තවත් නිමේෂයකින් සිදු වන්නේ කුමක්දැයි කිසිවකු දැන සිටියේ නැත. නමුත්, යම් විස්මිත සිදුවීමක් සිදු වෙමින් තිබිණි. ගත වූයේ නිමේෂයකි. ක්ෂණිකව, ගොවියා හා සුදු ගවයන් දෙදෙනා මෙන්ම නඟුලද ගවයන්ගේ අඟෙහි එල්ලා තිබූ ආලෝකය විහිදුවන පහනද එක්වරම මඩ සහිත හැලේ එරී නොපෙනී ගියේය.

ගොවියා මර හඬ දී කෑ ගසන්නට විය. ගවයන්ගේ බෙරිහන්දීමත් මධ්‍යයේ මෙම විල අසල මහ පොළොවේ ගිලී ගිය ගොවියා නඟුල හා සුදු ගවයන් දෙදෙනා එකෙණෙහිම නොපෙනී මහ පොළොවට ගිලගත් බව පැරැණි ගම්වැසියෝ පවසති. ගොවියා, සුදු හරක් බාන, නඟුල, දැල්වෙමින් තිබූ පහනද යක්ෂයෝ බිලිගත් බව අදටද ඉඳුරන්නාවිල ගම්මානයේ නැතහොත් ඩී.එස්. සේනානායක ගම්මානයේ ගැමියෝ පවසති.

සිදුවූයේ කුමක්ද? එය අද වනවිටත් අබිරහසකි. මහ රෑට මේ විල අසලින් අද්භූත හඬවල්, ශබ්ද මෙන්ම හොල්මන්, අවතාරද, මළ යක්කුද, කළු කුමාර යක්ෂයාද මේ විලට අරක්ගෙන ඇති බව අදටද ගැමියෝ විශ්වාස කරති. ඉඳුරන්නාවිල ගමේ කිසිදු පායන කාලයකදී වුවද සිඳී නොයන මෙම අබිරහස් විල පුදුම සහගතය.

දෙවියන් විසින් දෙන ලද්දා වූ විල නැතහොත් ඉඳුරන් විසින් දුන් ගම හා විල නිසා  ඉඳුරන්නාවිල මහාවිල් සහිත ගම්මානයේ අරුම පුදුම දිය බුබුළ සොයා ගිය සුන්දර ගමන සත්තකින්ම බිය සැක මුසු වූ මහා දුෂ්කර ගමනකි. මෙම ගම්මානය අදටද සුන්දර වූ ගොවි ගම්මානයකි.

ගමෙහි අදටද ජීවත්වන වැඩිහිටියන් පවසන්නේ, ඉඳුරන්නාවිල කුඹුරු යාය හැල් කුඹුරු යායක් මඩ සහිත එරෙන, සෙලවෙන වෙල් යායක් බවය.

අතීතයේදී අහංගම ගොවියාපාන ගම්මානය දැවැන්ත වූ කුඹුරු සහිත වෙල් යායක්ව තිබිණි. ඒ ගම අසලම දේනුවෙල හෙවත් දෙවියන් විසින් දුන් වෙල් යායද පිහිටියේය. අප සඳහන් කරන මේ අබිරහස් ඉඳුරන්නාවිල කුඹුරුයාය හා  ගොවියාපාන ගමද, දේනුවල ගමද යම් සම්බන්ධතාවක් තිබුණු බව මෙම ගම්මානවල ජනතාව පවසති.

මහා ගල් පර්වත සහිත ගොවියා වී වපුරන ලද කුඹුරු යායක් ගොවියාපාන නම් විය. ඉඳුරන්නාවිල විලෙහි ජලය ගොවියාපාන දක්වා ගලාගෙන ගොස් ඇත. අදටද මහා ජල කඳක් මේ ගම්මානය හරහා තවත් ගම්මාන රැසක් පසු කරමින් ගොවියාපාන ගම අසලින් මහ මුහුදට ගලා බසියි. මේ ජලය පානය කිරීම සඳහා ඉතා පිරිසුදු සීතල ජල කඳකි. එය සංරක්‍ෂණයට මෙතෙක් රට පාලනය කළ කිසිදු පාලකයෙක් කටයුතු නොකිරීමද සත්තකින්ම හරි පුදුම සහගතය.

ඉඳුරන්නාවිල ගම්මානයට ඇති තරම් ජල සම්පත තිබේ. නමුත්, අවට  ගම්මානවන දික්කුඹුර, පණුගල්ගොඩ ආදීකොට ඇති ගම්මානවල ජනතාව ජලය නොමැතිව අපා දුක් විඳිති. නමුත් මේ මහා ජල සම්පත ඇළ, වේලි, කුඹුරු, ලියදි දිගේ ගොවියාපාන ගංගාව හරහා ගොවියාපාන අසලින් මහ මුහුදට ගලා යයි.

එකල ගොවියෝ ඉඳුරන්නාවිල ගමෙහි තම කුඹුරු සරිකර ගත්තේ නඟුල බැඳි ගවයන් උපයෝගී කරගෙනයි. මෙම ප්‍රදේශයේ ගොවියන් මහා අස්වනු සරි කර ගත්තේ මේ අන්දමිනි.

පෙර සඳහන් කළ පරිදි, එදින රැයේදී ඉඳුරන්නාවිල ගමෙහි අවට කුඹුරුවල සී සාමින් සිටි ගොවියෝ බලා සිටියදීම භූත, යක්ෂ වින්නැහිය විල අසලදී ගිලී ගිය පුවත අදටද ගැමියන් පවසන්නේ මහත් ත්‍රාසයකිනි. අදටද ගිලී ගිය බැව් කියන දැල්වෙන පහනේ ආලෝකය විල අසලදී රාත්‍රියට දැකගත හැකිය. ඒ බවද ගම්වැසියෝ අප සමඟ කීහ.

මේ ගමට ආසන්න ගම වූයේ පහන්චාලිය නැතහොත් පාන්චාලිය ගම්මානය වේ. පැන්තාලිය පසුව පහන්චාලිය වූ බවද අදට මේ ගම පන්චාලිය ලෙස නම් කර තිබේ. පන්චාලිය ගමේ හතරමං හන්දියේ පැන්තාලියක් තිබූ නිසා මේ ගම පැන්තාලිය නැතිනම් පාන්චාලිය ලෙස නම් වූවා විය හැකි බව ගම්මුන්ගේ අදහසයි.

අෑත අතීතයේදී සතර දිසාවෙන්ම පා ගමනින් ඇවිද එන ජනතාවට දිය පිපාසය සංසිඳුවන්නට මේ පැන්තාලිය උපයෝගීි කර ගත් බව ගැමියෝ කියති. එම පැන්තාලියට දිය ගෙන එන ලද්දේ ඉඳුරන්නාවිල දිය බුබුළුවලින් බවද පැවසේ.

මේ ඉඳුරන්නාවිලට අරක්ගෙන සිටින යක්ෂ, භූත, හොල්මන්, කළු කුමාර යක්ෂ යක්ෂණියන්ගේ බැල්මක් තිබෙන නිසා මෙය සිදු වූ බවට ගැමියන් අදටද පවසන්නේ බිය මුසු වූ ආකාරයෙනි.

ගොවියාපාන ගම්මානයේ ගොවියාපාන ගංගාව අසලින් මුහුදට වැටෙන ස්ථානයේ අදටද දැකිය හැකි වූ කොළඹ, ගාල්ල, මාතර මහා මාර්ගයට සමීපව මුහුද පැත්තේ, යකින්නගේ දූපත අදටද දැකිය හැකිය. මෙම යකින්නගේ දූපත හා ඉඳුරන්නාවිල වෙල්යායේ පිහිටි දූපත අතර මහා භූත බලවේගයක්, යක්ෂ බලවේගයක්, බැල්මක් තිබෙන බවද ඉඳුරන්නාවිල ගම්මානයේ ජනතාව පෙන්වා දෙති.   

මේ අනුව, ගම්මු පවසන්නේ, ගොවියා, සුදු ගවයන් දෙදෙනා, නඟුල, දැල්වෙන පහන මේ දිය බුබුළ හරහා පොළොව යටින් ඇති මහා ජල කඳට එක්ව ගොවියාපාන ගම්මානයේ ගොවියාපාන ගමෙන් මතු වීම නිසා මේ ස්ථානය ගොවියාපාන නම් වන බවයි. ගොවියාපාන ගම්මානය  අදටද ධීවර ගම්මානයක් ලෙස පවතී.

ඉ¾දුරන්නාවිල දිය බුබුළේ ජලය මුහුදට වැටෙන ගොවියාපාන අසල මුහුදේ කුඩා දූපතකි. එය හ¾දුන්වා ඇත්තේ යකින්නගේ දූපත නමිනි. මේ දූපතට අරක්ගත් යක්ෂණියක් සිටින බවටද ගොවියාපාන ගම්මානයේ ජනතාව පවසති.

මේ දූපතේ අරුම පුදුම ගල් කුහරයක් ඇති බවත් ඒ තුළින් අෑත මුහුදේ සිදුවීම් ළංකර  බැලීමටද සතුරු මුහුදු යාත්‍රා තිබේද යන්න පහසුවෙන් පැහැදිලිව දැකගත හැකි ආකාරයටද මෙම ගල් සිදුර ස්වාභාවිකව සකස්ව තිබූ බව ප්‍රදේශවාසීහු පවසති. වඩා අෑත මුහුදු සීමාවක් සමීප කර දිස්වන ආකාරයට මේ යකින්නගේ දූපතේ ඇති අරුම පුදුම ගල් තලාවක සිදුරෙන් දැකිය හැකි බවද අදටද ගම්මානයේ ගම්මුන්ගේ විශ්වාසයයි.

යක්ෂ ගෝත්‍රික ජනතාව දකුණු මුහුදු තීරයේ පදිංචිව සිටිය බවද මෙහි සන්ධිස්ථානයක් මෙම යකින්නගේ දූපත අසල තිබී ඇති බවද පොතපතෙහි සඳහන් වේ.

කුවේණිගේ පරපුරේ නෑදෑයෝ මෙහි සිටින්නට ඇති බවත්, කපු කැටීම කරගෙන ගොස් ඉන් පසුව, රේන්ද බීරළු කර්මාන්තයද දකුණු මුහුදු තීරයේ පිහිටි ගම්මානවල පෘතුගීසීහු හ¾දුන්වා ඇති බවද පොත පතෙහි සඳහන් වේ.

රේන්ද කොට්ටය නම් මුළු ගලක් මෙම යකින්නගේ දූපතෙහි අදටද දැකිය හැකිය. එය දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රසිද්ධ වූ තෝතැන්නකි. මේ සිද්ධියට ඉඳුරන්නාවිල ගම්මානයද සම්බන්ධතාවක් පවතී.

අහංගම, ගොවියාපාන ගම්මානයේ පිහිටි යකින්නගේ දූපත අසලම දේනුවල නමින් ගම්මානයක් අදටද දැකිය හැකිය. එයටද දෙවියන්ගේ යම් සම්බන්ධයක් ඇති බවද ඒ ගම්වැසියෝ පවසති. මේ සියලුම ගම්මානවල ආරම්භය ඉඳුරන්නාවිල මහා පුදුම බිලි ගන්නා වූ දිය බුබුළ සහිත ඉඳුරන්නාවිල ගම්මානය බවද ප්‍රදේශවාසීහු පවසති. ඉඳුරන්නාවිල ගම අසල මාවැල්ල ගම්මානයේද විලක් ඇත. එය මාවැල්ල දිය බුබුළයි. එයද මෙම දිය බුබුළට සම්බන්ධව පවතී.

මේසා විශාල වටිනාකමක් ඇති ඉතිහාසයක් සහිත, මේ දිය බුබුළ අද වනවිට විනාශයට පත්ව ඇති බව ඉ¾දුරන්නාවිල ගොවීහු පවසති. ඉ¾දුරන්නාවිල ස්වාභාවික දිය බුබුළේ ජල මූලාශ්‍ර පද්ධතිය විනාශ වීමේ තර්ජනයකට ලක්වී ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. අනාදිමත් කාලයක සිට මේ දිය බුබුළේ සංවර්ධනයට පියවර නොගැනීම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි ඉ¾දුරන්නාවිල දිය බුබුළ සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ බිත්තර වී නිෂ්පාදනයට විශාල දායකත්වයක් සැපයෙන ඉඳුරන්නාවිල  යායේ  යල සහ  මහ දෙකන්නයේ වගා කටයුතු වෙනුවෙන් දිය බුබුළෙන්  ලැබෙන ජලය අදටද යොදා ගනී.

මහවිල බුබුළ යාය, කැරැන්ගහ බුබුළ යාය, ඕවිට බුබුළ යාය, බටකැටිය බුබුළ යාය, ඇතුකුඹුර බබුබුළ යාය ආදීකොට ඇති යායවල මේ දිය බුබුළු පැතිරී පවතී. දැනට දිය බුබුළු  කිහිපයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇත. මෙම දිය බුබුළු සංවර්ධනය කොට ආරක්ෂා නොකළහොත්, ජලය හිඟවීමෙන් වී වගා කන්නයක් පාසා විශාල වී අස්වැන්නක් රටට අහිමි වීමට ඉඩ ඇති බවද ගොවීහු පෙන්වා දෙති.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ඉඳුරන්නාවිල දිය බුබුළු සුරැකීමේ සංවිධානයේ සභාපති එච්.කේ. සෝමපාල මහතා (76) මෙසේ කීය.

ගමේ පවුල් දෙදහසකට (2000) පමණ ගොඩමඩ ඉඩම් හිමිව තිබෙනවා. ඉඳුරන්නාවිල යායේ එක් තැනක සිට සෙලවූ විට මුළු යායම සෙලවෙනවාය කියා අපේ සීයලා, ආච්චිලා අපට පවසා තිබෙනවා. මෙම ප්‍රදේශය හරහා පවතින භූගත ජල මූලාශ්‍ර හේතුවෙන් යාය කිහිපයක දිය බුබුළු මතුවෙනවා. ඒ කාලයේ මේ ජලයෙන් කුඹුරු අක්කර 1000ක් පමණ සාර්ථකව වී වගා කරනවා. දැන් වගා කරන්න බෑ පෝර, තෙල් නෑ. දැනට මෙම බුබුළු කිහිපයක් වැසී ගොස් තිබෙනවා. මහවිල යායේ ප්‍රධාන බුබුළේ කොටසක්ද වැසී යෑමේ තර්ජනයට ලක්වී තිබෙනවා. අප ගොවි සංවිධානය විසින් ගොවියන්ගේ මුදලින් ප්‍රදේශයේ ඇළ වේලි සකස් කර තියෙනවා. එය ප්‍රමාණවත් නෑ. රජයේ අනුග්‍රහයක් මෙයට ලැබිය යුතුයි.

චමීර ගමගේ මහතා (30) මෙසේ කීවේය.

ඉ¾දුරන්නාවිල දිය බුබුළේ සම්පත් මේ වනවිට නිකරුණේ  විනාශ වෙමින් පවතිනවා. අපතේ යන ජලය නිසි ප්‍රයෝජනට ගන්නට බලධාරීහු මෙතෙක් පියවර ගෙන නෑ. ඒ නිසා පිරිසුදු ජලය නිකරුණේ මහ මුහුදට ගලා යනවා. මෙම දිය බුබුළේ ජලය අවට ගම්මානවල උග්‍ර ජල හිඟයක් ඇති ප්‍රදේශවලට නිසි ප්‍රයෝජනයට ගන්නට බලධාරීන්ගෙන් පියවරක් ගන්න කියලා ඉල්ලා සිටිනවා.

එරංග කොඩිතුවක්කු මහතා (40)  මෙසේ කීය.

වැසි ජලයෙන් වී වගාව සිදු කරන ජනතාවට විල්වල ජලය  නිසි ප්‍රයෝජනයක් ගන්නට හැකියාවක් නෑ. බලධාරීහු ඒ සම්බන්ධයෙන් මුනිවත රකිනවා. ඉඳුරන්නාවිල අපට වී වගාව හා ගොඩ ගොවිතැන් සිදු කරන්නට ජලය නෑ. නමුත් ඒ සඳහා නිසි වැඩසටහනක් කිසිවකුටත් නැහැ.  මෙම සරු වූ ජලජ පරිසරය දෙස් විදෙස් සංචාරකයන්ට සත්තකින්ම තෝතැන්නක්. මින් ඒ ඇත්තන්ට පහසුකම් සපයන්නට හැකි නම් එය රටට ඩොලර් ගෙනෙන අමතර වූ ආදායමක්. අමතර රැකියා රැසක්ද ජනිත කරවන්නට  ඇති හැකියාවද තිබේ. නමුත් ඒ ඇත්තතෝ මින් ප්‍රයෝජනයක් ගන්නා බවක් දැකිය නොහැකියි.

අපේ ගමේ ගොවියෝ කොතරම් අඩුපාඩු තිබුණත් වගා කරනවා. කාබනික ක්‍රමයට වගා කරනවා. ඉපනැල්ලේ මුං ඇට වගා කරනවා. නියර වගාව, කොරටු වගාවද ගමේ සියලුම ගොවියෝ සිදු කරනවා. මේ වගාවන් සඳහා අපි අපටම කියා කෘෂි උපකරණ යන්ත්‍ර සකස් කරගෙන තියෙනවා. ඒවාට තෙල් ගහන්න වුවමනා නෑ. ඇන්ජින් නෑ. සරල තාක්‍ෂණික, උපකරණ යොදාගෙන වගා කරනවා.

අතුල කනකහේවා මහතා (48)

දියබුබුළ සංවර්ධනය කර දෙන්න කියලා ඉල්ලනවා. මෙම දිය බුබුළ පුරා අක්කරයකට වැඩි බිමකයි තියෙන්නේ. දිය බුබුළේ ඉඩම් සමහරු බලහත්කාරයෙන් අල්ලාගෙන තියනවා. දිය බුබුළු රැසක් වසා ලී කොට දමලා හරස් කර තියෙනවා. මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට කීවත් සමහරු බලහත්කාරකමින් මෙම බිම් අල්ලාගෙන තියනවා.

මෙම දිය බුබුළේ සිට අහංගම ගොවියාපාන දක්වා පොළොව යටින් උමඟක් තියෙනවා. මෙම දිය බුබුළේ යම් දෙයක් දැමූ විට අදටත් විනාඩි කිහිපයක් ගතවන විට කිලෝ මීටර් 10ක් පමණ අෑත පිහිටි ගොවියාපාන ගංගාවෙන් යකින්නගේ දූව අසලින් මතු වෙනවා. විලට දමපු යම්කිසි ද්‍රව්‍යයක්, උපකරණයක්, පොල් ගෙඩියක් වගේ බර දෙයක් දැම්මත් අදටද ගිල ගන්නවා. ඒ පොල් ගෙඩිය විනාඩි කිහිපයකින් ගොවියාපාන ගමෙන් ගොවියාපාන ගංගාවෙන් මතු වෙනවා. මෙහි අබිරහස් පිළිබඳව අදටත් ගැමියෝ කතා කරනවා.

මෙය සංරක්‍ෂණය කරන්න කියලා ඉල්ලා සිටිනවා. රුපියල් ලක්ෂ 125ක් වැය කර මෙය සංවර්ධනය කළා. එය ගොවියන්ගේ අදහස් ගන්නේ නැතුව තමයි සිදු කළේ. කිසිදු ප්‍රයෝජනයක් නෑ. අපරාදේ මුදල් වතුරේ ගියා. මෙම විල අද විනාශ වෙලා තියෙනවා. ගමේ පැරණි උදවිය පවසන්නේ මෙම විල අවුරුදු ගණනාවකට පෙර මහ ගල්, ලී කොට ගෙනත් දමලා අලි ඇතුන් දමලා පාගා ජලය එන විල්වල ජලය පාලනය කළ බවටද අදටත් සාක්ෂි තියෙනවා.

ප්‍රදේශයේ ජනතා නියෝජිත ලලේන්ද්‍ර අද්දරගේ මහතාගෙන් කළ විමසුමකදී ජල බුබුළ සම්බන්ධයෙන් දැවැන්ත සැලසුමක් දියත් කොට පියවරෙන් පියවර සංවර්ධන කටයුතු සිදු කරන්නට ඉදිරියේදී පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.

කෙසේ නමුත්, මෙම ඉඳුරන්නාවිල අද්භූත ජල බුබුළේ ආරක්ෂාව හා සංවර්ධනයට පියවර ගැනීම බලධාරීන්ගේ වගකීම බව ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.

නිමල් අල්ගෙවත්ත