දෙවියන් උකස් කර ආගම කෙලසන OURFATHER

0
393

පියාගේ නාමය එහෙමත් නැත්නම් ‘Name of the Father’ කියන සංකල්පය ලැකෝනියානු මනෝ විශ්ලේෂණයෙහි එන්නක්. මේක 1955 _ 1956 වගේ කාලෙක ලැකෝන්ගේ සයිකෝසිස් කියන දේශන මාලාව මතින් වර්ධනය වූවක්. ලැකෝන් කියන විධියට පියාගෙ සංකේතීය ලෝකය අපිට කරන්නෙ බරපතළ බලපෑමක්. ඒක සුළුපටු නැහැ. භාෂාව කියන කාල්පනික ලෝකයට පසුකාලීනව මෙයින් එල්ල වෙන්නේ බලවත් බලපෑමක්. පිය නීතිය කියන්නේ හිරගෙයක් කියල ලැකෝන් සංකේත කරන්නේ ඒකයි. පියා කියන්නෙ මහා සංකල්පයක් ආබ්‍රහ්මික ආගම්වලට අනුව පියා කියන්නෙ සර්වබලධාරීත්වය ඇත්තෙක්. මහායන ආගමෙහි එන මහා පීතෘෘ සංකල්පය කියන්න දෙයත් ඊට සමානයි. මහා පුරුෂ වගේ සංකල්ප තිබෙන හින්දු දහමෙහි එන මහා බ්‍රහ්ම කියන්නෙත් එහෙම දෙයක්.

මනෝ විශ්ලෂණයේදී පියා ගැන හොඳට කතා කරපු කෙනෙක් තමයි ෆ්‍රොයිඩ්. ෆ්‍රොයිඩ්ගෙ තහනම සහ තෝටමානයෙ එන ගෝත්‍රික පියාගෙ කතන්දරය මතකද? ඒක මට ආයි මතක් වුණේ නෙට්ෆ්ලික්සුවේ නිකුත් වුණ Our Father (2022) සිනමාපටය හරහා ගෝත්‍රයේ සිය ස්ත්‍රීන් අයිති වුණේ පියාට. ස්ත්‍රිය කියන්නෙ පුරුෂයගෙ දේපළක්. මේ කතන්දරය සොඳුරු නෑ. ලෝකයේ පියවරුන් වර්ග දෙකක් ඉන්නවා. ඉන් එකක් වෙන්නෙ ජීව විද්‍යාත්මක පියා (Biological Father) අනෙක සංඛේතිය පියා (Symbolic Father) ප්‍රවීණ ලේඛක සමන් වික්‍රමාරච්චිගේ ‘අප්පච්චි’ ඇවිත් නවකතාවේ මේ පිළිබඳව ඉතා ගැඹුරින් කතා කරනවා.

‘Our Father’ කියන්නෙ වාර්තාමය සිනමා පටයක්. මේකෙ කතාන්දරය ටිකක් ආන්‍ෙදා්ලනාත්මකයි. එක්තරා ගැහැනියක් තමගේ මවගෙන් ප්‍රශ්න කරනවා, මම මගේ මවුපියන්ට වඩා හාත්පසින්ම වෙනස් වන්නේ ඇයි කියලා. පසුකාලිනව ඇයට දැන ගන්න ලැබෙනවා ඇගේ ගැබ්ගැනීම සඳහා මවුපියන් සපලතා වෛද්‍යවරයෙක් හමුවට ගිය බව. ඇය ඇගේ DNA පරික්ෂාවක් සිදුකරනවා. එහිදී ඇයට ඇගේ DNA හා යාවෙන සමානකම් ඇති බොහෝ අඩ සහෝදර සහෝදරයන් (උරෝජාතයන්) පිරිසක් හමුවනවා. ඇය නමින් ජකෝබා. ජකෝබා මේ පසුපස ලුහුබඳිනවා, ඇයට අවසානයේ සහෝදර සහෝදරියන් 95කින් යුතු පිරිසක් මුණ ගැසෙනවා. මේ සාපරාධී ක්‍රියාවට වගකිව යුත්තා කවුද? ඒ ඔවුන්ගේ ජීව විද්‍යාත්මක පියා සපලතා වෛද්‍යවර (Fertility Doctor) ඩොනල්ඩ් ක්ලයින්. ඔහු තම ස්ත්‍රී රෝගීන්ට සරුභාවය ඇති කරල තිබෙන්නෙ ඔවුන් රැගෙන එන ප්‍රදායකයාගේ (Donor) ශුක්‍රාණුවලින් නොවෙයි තමන්ගෙම ශුකාණුවලින්.

මේක 70/80 දශකවල දිගින් දිගටම සිදුවුණු අපරාධයක්. පසුකාලීන සොයා ගැනීම්වලට අනුව බොහෝ සපලතා වෛද්‍යවරුන් තමන්ගේම ශුක්‍රාණුවලින් මේ ක්‍රියාවලිය සිදුකරන බව වාර්තා වෙලා තිබෙනවා. ඩොනල්ඩ් කියන්නෙ දැඩි ආගමික භක්තිකයෙක්. ඩොනල්ඩ් තරුණ කාලේදී ඔහු අතින් සිදුවන රිය අනතුරකින් කුඩා දැරියක් මියයනවා. මේ ක්ෂතිය එහෙම නැත්නම් ටෘෘමාව තමයි ඔහුගේ දරුවන් බිහිකිරීමේ නොතිත් ආශාව හා යාවෙන්නෙ. පසුකාලීනව ඩොනල්ඩ් සිදු කරල තිබෙන්නෙ ආගමේ නාමයෙන් අපරාධයන් සාධාරණීකරණය කිරීමක්. මේක එසේ මෙසේ දෙයක් නෙමෙයි, ඔහු අන්තගාමී ආගමික සංවිධානයක් වන QuiverFull සාමාජිකයෙක්. ජොකෝබා තමන්ගෙ සහෝදර සහෝදරියන්ට වුණ සාපරාධී ක්‍රියාවලිය ගැන හඬක් නඟනවා. ඇය කියනවා ඔහු ඔවුන්ගේ මවුවරුන් දූෂණය කළ බව. ඇය සොයා ගන්න විධියට අන්තිමේදී ඔවුන් යම් රහස්‍ය සංවිධානයක කුමන්ත්‍රණවාදයේ ව්‍යාපෘතියක වින්දිතයන් බවට පත්වෙලා. පහතින් තිබෙන බයිබල් උපුටනය දිහා පොඩ්ඩක් බලන්නකො.

“ඔබ මවුකුසේ පිළිසිඳගැනීමටත් කලින් මම ඔබව තෝරාගත්තෙමි. ඔබ ඉපදෙන්නත් කලින් මම ඔබව ශුද්ධ සේවයක් සඳහා තෝරාගත්තෙමි.” (යෙරෙමියා 1:5)

ඩොනල්ඩ් මේ දරුවන්ගෙ උප්පත්තීන් පිළිබඳව තමාගේ කිසිදු වරදක් නැති බව ඔප්පු කරන්නෙ බයිබලය පලිහක් කරගෙන. ඇමරිකාවේ ඉන්දියානා අධිකරණයේදී මේ දරුවන් තමන්ගේ අයිතිය ඉල්ලා සටන් කරනවා. නමුත් නීතිය මොනතරම් පීතෘෘවාදීද කියන එක අපිට අවසානේදී තේරුම් යනවා. ඩොනල්ඩ්ට දඬුවම් දීමට නීතියක් පවා නැති බව තමයි මේකෙදි අපට පෙන්වා දෙන්නේ. දිව්‍ය සැලැස්ම කියන එක සුළුපටු නැහැ. ඒත් ආගමට පහර ගසමින් එය පරයා යන විද්‍යාව ආගමේ නාමයෙන් කළ දස දහස් ඝාතනයන් අභිභවා අපරාධයේ යෙදෙන බව මෙහි අරුත නොවේද?

Our Father පැයකුත් විනාඩි තිස් හතක් පුරා දිවෙන බරපතළ වාර්තාගත චිත්‍රපටයකි. මේක ලුසී ජෝඩන් කියන අධ්‍යක්ෂවරියගෙ නිර්මාණයක්. මීට සමාන සිදුවීමක් බී. ජෙකබ්සන් නම් වෛද්‍යවරයෙක් සිදු කර තිබුණා. ඔහුට වසර 280ක සිර දඬුවමක් සහ ඩොලර් 500,000ක මුදලක දඩයක් නියම කර ඇති බව නිව් 1992/03/05 දින යෝර්ක් ටයිම්ස් පුවත්පතේ සඳහන් වුණා. අවසානයේ මතක් කළ යුතු දෙයක් තිබෙනවා. ජුවාන් රල්ෆෝගෙ පේද්‍රෝ පරාමෝ කෙටි නවකතාවේ හුවාන් ප්‍රෙසියා‍ෙදා් තම පියා සොයා යනවා. ඔහුගේ පියා  බලවත්, ධනවත්, ඉඩම් හිමි වැවිලිකරුවෙක්. ඔහුට දරුවන් සියගණනක් ඇති බවත් ඔහු කොමාලා නම් ප්‍රදේශයක සිටින බවත් සඳහන් වෙනවා. අන්තිමේදී ඔහුට පියා මුණගැහෙන්නෙ නැහැ. ඔහුට මුණගැහෙන්නෙ පියාගේ බලයේ මහිමය විතරයි. ඉතින් බලන්න ‘Our Father.’

ගිහාන් සචින්ත