දෙල්ගොඩ කත මරා කුණ්ඩසාලෙට පැන්න වෑල්ඩින් බාස් කොටු කළ හැටි

0
70

මෙතෙක් සිදුවූ කාන්තා ඝාතන දෙස හොඳින් නිරීක්‍ෂණය කරද්දී එම ඝාතන බොහොමයක් පෙදරේරුවන් අතින් සිදුව ඇති බව පැහැදිලිව පෙනෙන කරුණකි. නොයෙකුත් පළාත්වලින් දිනක වැටුප සඳහා නිවෙස්වල සහ වතුපිටිවල සේවයට එන මෙවන් පෙදරේරුවන් හෙවත් බාස්වරු බොහෝමයක් මත්කුඩුවලට ඇබ්බැහිවූවෝ වෙති. මොවුන් මත්කුඩු පානය සඳහා නිවෙසේ ඇති රන් ආභරණ හෝ මුදල් පැහැරගෙන යෑමට උත්සුක වීම නිසා බොහෝ කාන්තාවන්ට සිය ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුවූ පුවත් අප බොහෝ විට අසා ඇත්තෙමු.

සමහරෙක් මෙම ඝාතනය කරනුයේ සොරකම සිදුකරන මොහොතේ කාන්තාවන් මොවුන් පැහැදිලිව හඳුනා ගැනීම නිසාය. මෙලෙස කාන්තාවන් ඝාතනය කර ඔවුන් සතු මිල මුදල්, රන් අභරණ සොරාගෙන පලායන මොවුන් කොටුකර ගැනීම පොලිසියට එතරම් ලෙහෙසි පහසු නොවේ. ඒ ඔවුන්ගේ නම් ගම්  හෝ පවුල්වල විස්තර කිසිවකුත් සතුව නොතිබෙන හෙයිනි. අෑත ප්‍රදේශවල සිට රැකියාවන් සොයා නගරයට පැමිණෙන මොවුන්ගෙන් සමහරකුගේ ඉලක්ක වන්නේ තනිවම නිවෙස්වල ජීවත්වන වයෝවෘද්ධ කාන්තාවන් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

නම් ගම් ඇතුළු කිසිදු විස්තරයක් නැතත් ඔවුන් පසුපස හඹායන දක්‍ෂ පොලිස් විමර්ශකයන් නොයෙකුත් සූක්‍ෂ්ම උපක්‍රම මඟින් මොවුන් අල්ලා ගන්නේ  වෘත්තීයමය වශයෙන් දක්වන පළපුරුද්ද සහ ඊට කැපවුණු රාජකාරිය නිසාවෙනි. ඉකුත් 12 වැනිදා දෙල්ගොඩ, කඳුබොඩ නිවාස සංකීර්ණයේ පිහිටි සුවිසල් නිවෙසකද තනිවම ජීවත්වූ හතළිස් දෙහැවිරිදි කාන්තාවක් පිහිපහර එකොළහක් ඇන අමානුෂික ලෙස නිදි ඇඳ මත මරාදමා තිබිණි.

ඇය අවිවාහක තැනැත්තියකි. එමෙන්ම උපාධිධාරිනියකි. ලංකා ගනේෂි පනාපිටිය නම්වූ ඇය ඝාතනයට ලක්වන විට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කළාය.

කඳුබොඩ නිවාස සංකීර්ණය පිහිටියේ මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ බැවින් සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරැඹුවේ මීගහවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසිනි. පොලිසියට මේ බව දන්වන්නේ ලංකාගේ නිවෙසට යාබදව පදිංචිව සිටින ඇගේම බාල සොහොයුරිය විසිනි.

එදින රාත්‍රියේ ලංකා නිවෙසේ විදුලිය දල්වා නැති බව වටහාගත් ඇය ඒ නිසා කිහිප වතාවක්ම අක්කාගේ දුරකථනයට ඇමතුම් ගත්තද ඊට ප්‍රතිචාර ලැබී නොතිබිණි.

“එදා රෑ අක්කගේ ගෙදර ලයිට් දාලා තිබුණේ නැහැ. එයා නිදාගන්නේ උඩතට්ටුවේ කාමරේ. ඒ කාමරේ ජනේලයකුත් ඇරලා තිබුණා. ඒ වෙනකොට නවය  හමාරත් පහුවෙලා. අක්කා ගෙදර ලයිට් දාලා නැත්තේ ඇයි කියලා මට සැක හිතුණා. මම මේක මහත්තයාට කිව්වා. මහත්තයා ගිහින් ඇරලා තිබුණ ජනේලයෙන් ගේ ඇතුළ බලද්දී තමයි අක්කා ලේ පෙරාගෙන ඇඳේ වැටිලා ඉන්නවා දැක්කේ…”

බාල සොහොයුරිය පොලිසිය හමුවේ කියන්නට වූවාය. සිද්ධිය සැලවීමත් සමඟ මීගහවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති විමලරත්න ඇතුළු කණ්ඩායමක් වහා දෙල්ගොඩ, කඳුබොඩ පිහිටි එම නිවාස සංකීර්ණයට ගියහ. ඒ වන විට වේලාව රාත්‍රි 10.30ට ආසන්න වී තිබිණි.

ඇඳ මත වැටී සිටි උපාධිධාරිනිය ඒ වන විටත් මියගොස් සිටියාය. පොලිස් පරීක්‍ෂක විමලරත්න සිද්ධිය ස්ථානාධිපතිවරයා ඇතුළු උසස් නිලධාරීන්ට දන්වා සිටි අතර ඔවුන්ගේ උපදෙස් මත කැලණිය කොට්ඨාස අපරාධ පරීක්‍ෂණාගාරයේ (සොකෝ) ස්ථානාධිපති සේනාධීර ඇතුළු කණ්ඩායමක්ද සිද්ධිය වූ නිවෙස වෙත පැමිණියහ. ඇගේ ගෙලට අනින ලද තියුණු පිහිය ඒ වන විටත් ඇගේ ගෙලෙහිම රැඳී තිබුණාය. කෙසේ වෙතත් ලංකා ගනේෂි මෙනවියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූයේ ඉන් අනතුරුවය. ඇගේ ගෙලේ ඇනී තිබූ පිහිය විමර්ශනයට ලක්වූ අතර ඇගේ ගෙල දෙපසද පිහි පහර විය. මුළු සිරුර පුරා පිහි පහර 11ක් නිරීක්‍ෂණය වී  තිබිණි.

වැඩිදුරටත් කරන ලද විමසීමේදී පොලිසිය අනාවරණය කරගත්තේ ලංකා මරා දැමූ ඝාතකයා ඇගේ ගෙල බැඳි රන් මාලය සහ ඇගේ පාදයේ තිබූ පා සලඹද පැහැරගෙන ගොස් ඇති බවය. ඒ අනුව එම භාණ්ඩ පැහැර ගැනීම සඳහා ඇය මරා දමන්නට ඇතැයි යන සැකයද නිලධාරීන් තුළ විය.

මේ අතර ඇඟිලි සලකුණු නිලධාරීන් ලංකාගේ නිවෙස තුළ සහ ඇය ඝාතනය වූ කාමරය තුළ ඇඟිලි සලකුණු පරීක්‍ෂාවේ යෙදුණු අතර එහි ප්‍රතිඵලයක් හැටියට නාඳුනන ඇඟිලි සලකුණු 22ක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිය. ඒ වන විට ලංකාගේ නිවෙසේ නාන කාමරය තුළ තිබූ රෝම කූප දෙකක්ද සොකෝ නිලධාරීන් විසින් සොයාගෙන තිබීම විශේෂත්වයක් විය.

කෙසේ වෙතත් විමර්ශනවල මූලික ඉලක්කය වී  තිබුණේ ඒ අවට ඇති සී.සී.ටී.වී. කැමරා වෙතය.

“අපි ඒ නිසා සී.සී.ටී.වී. කැමරා චෙක් කළා. මේ ගෙදර කැමරා තිබුණේ නැහැ. ඒ නිසා ඒ අහල පහළ තියෙන කැමරා බලද්දී අපිට පෙනුණා පුද්ගලයෙක් දහවල් 11.30ට විතර පාර දිගේ යනවා. හැබැයි ඒ රූප රාමු එච්චර පැහැදිලි නැහැ. තවදුරටත් කැමරා බලද්දී ඒ පුද්ගලයාම පාන්දර හයට විතර කළුවරේ ඇවිදගෙන එන දර්ශනත් තිබුණා. ඒවත් පැහැදිලි නැහැ.”

විමර්ශන පවත්වන පොලිස් නිලධාරියෙක් කීවේය. කෙසේ වෙතත් සී.සී.ටී.වී. රුප රාමු එතරම් පැහැදිලි නොමැති නිසා පොලිස් කණ්ඩායමේ අවධානය සෙසු පුද්ගලයන් වෙත යොමුවිය.

“ඉන් පස්සේ අපි බැලුවේ මේ ගෙදරට ආගිය කට්ටිය. ගෙදර වැඩ කරන්න ආව අය. බාස්ලා, වත්තේ පොල් කඩන්න, වත්ත සුද්ද කරන්න එහෙම ආගිය කට්ටිය කවුද කියලා හොයන්න පටන් ගත්තා.”

මෙම සෙවීමේදී පොලිස් ඇස ඒ අවට පදිංචි පොල් කඩන්නකු වෙත යොමුවිය. ඒ ඔහු සිද්ධියට පෙරදින ඒ අවට ගැවසී ඇති නිසාය. නිලධාරීන් ඔහු පොලිසියට රැගෙන ආවේය. දීර්ඝ ලෙස ප්‍රශ්න කළද ඔහුගෙන් ලංකාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි විය.

“පස්සේ අපිට ගෙදර අයගෙන් දැන ගන්න ලැබුණා මේ සිද්ධියට දවස් තුනකට කලින් ඒ ගෙදර තාප්පයට ඉහළින් යකඩ වැටක් ගහනවා. ඒකේ  යකඩ බාර් ගහන්න බාස්ලා තුන්දෙනෙක් ආවා කියලා.”

“ඒ යකඩ වැට හදලා තියෙන්නේ 8, 9, 10 යන දවස්වල. අපි ඒ කවුද කියලා හොයලා බැලුවා. ඒත් ඒ ආවෙ කවුද කියාල ගෙදර කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඒත් එයාලා කිව්වා ඒ වැඩේ කරන්න අපි මීපේ පැත්තේ එක්කෙනකුට තමයි කොන්ත්‍රාත් එක දුන්නේ එයා තමයි ගෝලයෝ දාලා යකඩ බාර් හැදුවේ කියලා.”

ඉන් අනතුරුව පොලිස් කණ්ඩායම මීපේ බලා පිටත්ව ගියහ. ඒ කොන්ත්‍රාත්කරු සොයා ගැනීම සඳහාය. කොන්ත්‍රාත්කරු සොයාගත් නිලධාරීන් ඔහුගෙන් ලංකාගේ නිවෙසේ යකඩ වැට සකස් කළ පුද්ගලයන් ගැන තොරතුරු විමසුවේය.

“සර්.. මමත් හරියට ඒ මිනිස්සු ගැන දන්නේ නැහැ. මම ඔය වැඩේ කරන්න වෑල්ඩින් බාස් කෙනෙක් ඕනයි කියලා ෆේස්බුක් එකේ දැන්වීමක් දැම්මා. ඒ දැන්වීමට එක්කෙනෙක් ආවා. ඔය වැඩේට බාස්ලා තුන්දෙනෙක් වැඩ කළා.”

“අර දැන්වීමට ආපු මිනිහා කොයි වගේ කෙනෙක්ද…?”

“හීන් කෙට්ටු හාදයෙක්. මම නම මොකක්ද කියලා ඇහුවම කිව්වේ සිරිමල් කියලා විතරයි. මට අයිඩෙන්ටියේ කොපියක් ඕනැයි කිව්වම දැන් අතේ නැහැ මම දවස් දෙකකින් විතර ගෙනත් දෙන්නම් කිව්වා. ඒත් ගෙනත් දුන්නේ නැහැ. මට ඉල්ල ගන්නත් බැරිවුණා. හැබැයි වැඩකරලා මිනිහා 10 වැනිදා සල්ලිත් අරගෙන යන්න ගියා.”

කොන්ත්‍රාත්කරු අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා හමුවේ කීවේය.

“හරි තමන්ට ඒ මිනිහව දැක්කොත් හඳුනන්න පුළුවන්ද…”

“පුළුවන් සර්…”

“එහෙනම් මේ පින්තූරවල ඉන්නේ ඒ පුද්ගලයද කියලා බලනවකො…” අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා මීපේ කොන්ත්‍රාත්කරු වෙත ඔහු සතුව තිබූ අපැහැදිලි සී.සී.ටී.වී. කැමරා පින්තූර පෙන්වන්නට විය.

අපැහැදිලි පින්තූර දෙස මොහොතක් බලා සිටි කොන්ත්‍රාත්කරු “ඔව්… සර්.. මේ සුනිමල් තමයි…” යැයි කියා සිටියේය.

පොලිස් පරීක්‍ෂක විමලරත්නගේ සිතට සිහින් සතුටක් ඇති විය. අනිවාර්යයෙන්ම මුලින්ම කළ යුත්තේ සුනිමල් සොයා ගැනීම බව ඔහුට වැටහුණේය. ඒත් ඊට තිබූ එකම බාධාව වූයේ සුනිමල් ගැන තොරතුරු කිසිවක් කොන්ත්‍රාත්කරු සතුව නොතිබීමය. එහෙත් පොලිස් පරික්‍ෂකවරයා සිය උත්සාහය අතහැරියේ නැත.

“මිනිහා මීට කලින් වැඩ කරපු තැනකවත් නමක් දන්නේ නැද්ද…”

පොලිස් පරීක්‍ෂක විමලරත්න කොන්ත්‍රාත්කරුගෙන් විමසුවේය. එහෙත් සුනිමල් ගැන මතකයක් ලබා ගැනීමට ඔහුට එකවර නොහැකි විය.

“සර්… මිනිහා මීට කලින් හෝමාගම පැත්තේ වැඩපළක වෑල්ඩින් වැඩ කරලා තියෙනවා. එතැනට ගියොත් මොකක් හරි තොරතුරක් හොයා ගන්න පුළුවන් වේවි…”

කොන්ත්‍රාත්කරුගේ ප්‍රකාශය මත නිලධාරීහු හෝමාගම වැඩපළ බලා පිටත්ව ගියහ. පැයකට දෙකකට පසු නිලධාරීන්ට එම වැඩපළ සොයා ගැනීමට හැකි වුවද සිරිමල් ගැන තොරතුරක් දන්නා කෙනකු එතැන නොවීය.

“සර්… ඒ මනුස්සයා මෙතැන වැඩ කළේ මීට අවුරුදු දෙකකටත් කලින්. දැන් කොහේ ඉන්නව ද දන්නේ නැහැ. එයා ගැන අපි මුකුත් විස්තර දන්නෙත් නැහැ.” දැන් අවුරුදු දෙකක්ම ගිහින්නේ සර්…”

හෝමාගම වැඩපළේ පිරිස නිලධාරීන්ට කීහ. පොලිස් විමර්ශකයන් නැවත ගැටලුවකට මැදිවිය. ඒ සුනිමල් ගැන කිසිදු තොරතුරක් ඔවුන් සතුවද නොතිබීම නිසාය. ඒත් කොන්ත්‍රාත්කරු නිලධාරීන්ට සහාය විය. ඔහුගේ මාර්ගයෙන් සුනිමල් සොයාගන්නට නිලධාරීන් උත්සුක විය.

“මිනිහා දන්නා කියන යාළුවෙක්වත් දන්නේ නැද්ද…”

පොලිස් පරීක්‍ෂකවරයා ඔවුන්ගෙන් විමසුවේය.  ඔවුන් සමඟ හිතවත්ව සුනිමල් දන්න කියන අයකු සොයා ගැනීමට නිලධාරීහු උත්සුක වූහ.

“සර් මිනිහත් එක්ක මෙහෙ වැඩකරපු කොල්ලෙක් හිටියා. මිනිහා ඉන්නේ මතුගම. මිනිහත් වෑල්ඩින් වැඩ තමයි කළේ. මිනිහා සමහර විට සුනිමල් ගැන දන්නවා ඇති.”

“මිනිහගේ ටැලිෆෝන් නම්බරේ තියෙනවද?” පොලිස් පරීක්‍ෂකවරයා කොන්ත්‍රාත්කරුගෙන් විමසීය.

“පොඩ්ඩක් ඉන්න සර්.. මම බලන්නම්. මගේ ළඟ තියෙන්න පුළුවන්…”

මොහොතකට පසු ඔහු පොලිස් පරීක්‍ෂකවරයා අත ජංගම දුරකථනයක අංකයක් තැබීය.

පොලිස් පරීක්‍ෂකවරයා වහා එම අංකය සියතට ගෙන ඊට ඇමතුමක් දුන්නේය. ඒ කිසියම් උපායශීලී රඟපෑමක නිරත වෙමින්ය.

“එයා අපේ ගෙදර මීට කලින් වැඩ දෙක තුනක් කරලා දුන්නා. මට ටැලිෆෝන් නොම්බරේත් දීලා ගියේ මොනව හරි දෙයක් තිබුණොත් කියන්න කියලා. ඒත් ඒක දැන් මට හොයාගන්න බැහැ.”

පොලිස් පරීක්‍ෂකවරයා ඔහුට එලෙස කීවේ තමා පොලිස් නිලධාරියකු බව නොකියාය. කෙසේ වෙතත් ඔහු පොලිසියේ ලණුව ගිල්ලේය.

“අනේ සර්… එයාගේ ටැලිෆෝන් නොම්බරේ මගේ ළඟ නැහැනේ…”

“අයියෝ එහෙමද…”

“ඒකනේ සර් දැන් මොකද කරන්නේ…”

“ඔය සුනිමල් ඉන්න ගෙවල්වත් දන්නේ නැද්ද. මිනිහම තමයි මගේ වැඩේට හරි යන්නේ. ඒකයි මම මිනිහවම හොයන්නේ…”

“සර්.. මිනිහගේ ගෙවල් තියෙන තැන  මම හරියට දන්නේ නැහැ. හැබැයි කුණ්ඩසාලේ නත්තරන්පොත පැත්තේ තමයි ගෙවල් තියෙන්නේ. ඒ හරියට ගිහින් වෑල්ඩින් කරන සුනිමල්ගේ ගෙදර කොහේද කියලා ඇහුවම හොයා ගන්න පුළුවන් සර්… කන්දක් උඩ තමයි සර් තියෙන්නේ…”

ඔහුගෙන් තවත් තොරතුරු ලබාගත් පොලිස් පරීක්‍ෂක විමලරත්න සිය කණ්ඩායම සමඟ කුණ්ඩසාලේ නන්තරන්පොත බලා පිටත්ව ගියේ ඉන් අනතුරුවය. ඒ වන විට සුනිමල් විසින් කොන්ත්‍රාත්කරුට ලබාදුන් දුරකථනයද විසන්ධි කර තිබූ අතර පොලිස් කණ්ඩායම මරා දැමුණු ලංකා නමැත්තියගෙන් පැහැරගෙන ගොස් තිබූ ජංගම දුරකථන අංකය ඔස්සේද විමර්ශනයක් සිදු කරන්නට විය. ඒ කුමන පැත්තකින් හෝ සුනිමල් කොටුකර ගැනීමට අවශ්‍ය නිසාය.

කුණ්ඩසාලේ ගමන අති දුෂ්කර විය. ඒ ඔහු පදිංචි නිවෙස සොයා ගැනීමට ඇති අපහසුතාව නිසාය. කුණ්ඩසාලේ නත්තරන්පොත ප්‍රදේශයට ගිය ඔවුන්ට එම ප්‍රදේශයේ කඳු මුඳුනක පිහිටි සුනිමල්ගේ මහගෙදර සොයාගන්නට ලෙහෙසි පහසු වූයේ නැත.

නිලධාරීන් එහි ගියේද උපායශීලී ක්‍රම අනුගමනය කරමින්ය. ඔවුන් හැසිරුණේ එම වසමේ පිහිටි පොලිසියේ නිලධාරීන් ලෙසය. නිවෙසේ සිටියේ සුනිමල්ගේ වයෝවෘද්ධ මවුපියන් පමණි.

“කෝ සුනිමල්…”

පොලිස් පරීක්‍ෂක විමලරත්න සුනිමල්ගේ මවගෙන් විමසුවේය.

“ඇයි සර්… පුතා මොකක් හරි ප්‍රශ්නයක්…”

“නැහැ නැහැ බය වෙන්න එපා. පුතාට මේ වරන්ට් එකක් තියෙනවා. හරි කමක් නැහැ ආවොත් එයාට පොලිසියට එන්න කියන්නකෝ…” එසේ කී පොලිස් පරීක්‍ෂකවරයා නිවෙසින් පිටවූයේ සුනිමල්ගේ මවගේ දුරකථන අංකයද ඉල්ලාගෙනය.

යළි මීගහවත්ත පොලිසියට ගිය පොලිස් පරීක්‍ෂක විමලරත්න විමර්ශනවල තත්ත්වය ස්ථානාධිපති හේරත්ට පැහැදිලි කළේය. ඔහුගේ උපදෙස් මත ඉදිරි විමර්ශන සිදුකළ පොලිස් පරීක්‍ෂකවරයා සුනිමල් සොයාගත නොහැකි වූ තැන මරා දැමුණු ලංකා මෙනෙවියගෙන් පැහැරගත් ජංගම දුරකථනයට අදාළ විස්තරාත්මක වාර්තාව ඔස්සේ ඉදිරියටම ගියේය.

“ඔය අතරේ දවසක් මම නිකමට වගේ සුනිමල්ගේ අම්මගේ ෆෝන් එකට කෝල් එකක් ගත්තා. සුනිමල්ගේ යාළුවෙක් කතා කරන විධියට…”

“අම්මේ කෝ සුනිමල්… මට මේ එනවයි කිව්වා තවම ආවේ නැහැනේ…”

පොලිස් පරීක්‍ෂකවරයා වෙස් මාරු කරමින් සුනිමල්ගේ මවට කීවේය. ඇයද පොලිස් පරීක්‍ෂකවරයාගේ උගුලට හසුවූවාය.

“පුතේ මේ දැන් ගෙදර හිටියා… ඔය පහළට යන්න ඇති… මගේ හිතේ…”

ඇගේ කතාවෙන් සුනිමල් නිවෙසට පැමිණ ඇති බව පොලිස් පරීක්‍ෂකවරයාට වැටහුනේය. ඒ බව ඉහළ නිලධාරීන්ට දැනුම් දුන් හෙතෙම කණ්ඩායමක් සමඟ ඒ මොහොතේම කුණ්ඩසාලේ නන්තරන්පොත ප්‍රදේශය බලා පිටත් වූහ.

පැය කිහිපයකට පසු නිලධාරීහු නන්තරන්පොත සුනිමල්ගේ නිවෙස වටකළහ. ඒ කිසිවකුටත් නොදැනෙන ලෙසටය. එලෙසම කිසිවකුටත් පැන යෑමට නොහැකි වන අන්දමටය. නිලධාරීන් සුනිමල්ගේ නිවෙසේ ‍ෙදාරට තට්ටු කළේ ඉන් පසුවය. ඒ සමඟම සුනිමල්ගේ සිතට කිසියම් බයක් දැනෙන්නට ඇත. ඔහු වහා කාමරයක ඇඳක් යටට රිංගුවේය. සුනිමල්ගේ මවුපියෝ බියටත්, සංත්‍රාසයටත් පත්ව සිටියහ.

නිවෙස සෝදිසි කිරීමෙන් පසු කාමරයක ඇඳක් යට සැඟවී සිටි සුනිමල් අල්ලා ගැනීමට පොලිසියට එතරම් අපහසු නොවීය. දෑතට වැටුණු මාංචු කුට්ටමද සමඟ සුනිමල් රියට ගොඩකර ගනිද්දී සුනිමල්ගේ මවුපියෝ කරකියාගත නොහැකිව ඉකි ගසමින් කඳුළු සලන්නට වූහ.

“ඇයි සර්… මගේ පුතා මොන වරදක් කළාටද…”

ඊට කිසිවක් නොකී නිලධාරීන් සුනිමල්ද රැගෙන කෙළින්ම ආවේ මීගහවත්ත පොලිසියටය.

“උඹ දන්නවානේ මොකටද උඹ ගෙනාවේ කියලා… කෝ අර කෙල්ල මරලා ගත්ත රත්තරන් බඩු…” පොලිස් පරීක්‍ෂකවරයා කිසිදු වචනයක් නො‍ෙදාඩා කෙළින්ම සුනිමල්ගෙන් විමසන්නට විය. සියල්ල නිලධාරීන් හෙළි කරගෙන අවසන්ව ඇතැයි සුනිමල් සිතුවේය.

එකොළොස් පොළකට පිහියෙන් ඇන ලංකා ගනේෂි මරාදැමූ ආකාරය සුනිමල් හෙළි කළේ ඉන් පසුවය.

“මම එදා ඒ ගෙදරට ගියේ ගෙදර කවුරුත් නැතැයි කියලා හිතාගෙනයි. මම හිතුවේ නෝනා වැඩට ගිහින් කියලා. ඒ ගෙදර නෝනා විතරයි ඉන්නේ. වෙන කවුරුත් නැති විත්තියත්  මම දන්නවා සර්… ඒ නිසා තමයි මම කුස්සියේ තිබුණු කොන්ක්‍රීට් කණුවේ එල්ලිලා උඩ තට්ටුවේ බැල්කනියට නැග්ගේ. එතැන ජනේලය ඇරලා තිබුණේ සර්…”

“ඒකෙන් මම ඇතුළට ගියාට පස්සේ තමයි නෝනා ඇතුළේ කාමරයේ ඉන්නවා දැක්කේ. නෝනා මාව දැක්කා. අඳුනත් ගත්තා. මම හිතුවා ඒ බයට නෝනා කෑගහයි කියලා…”

“ඒ නිසා එක පාරට මම නෝනගේ ඇඟට පැනලා අතිනුයි කොට්ටෙනුයි මුහුණයි කටයි තදකරා. පස්සේ ඒ කාමරේ මේසේ උඩ ඔය පිහිය තිබුණා. නෝනා කෑ ගහලා දඟලන නිසා මම පිහියෙන් ඇනගෙන ඇනගෙන ගියා.”

“මම හිතුවා ගෙදර සල්ලි ඇති කියලා. හැම තැනම සල්ලියි රත්තරන් බඩුයි හෙව්වා. හම්බ වුණේ නැහැ. පස්සේ මම නෝනගේ කරේ තිබුණු මාලයයි, කකුලේ දාලා තිබුණු පා සළඹයි එයාගේ ෆෝන් එකයි අරගෙන යන්න ගියා…”

ඔහු පොලිස් නිලධාරීන් හමුවේ කීවේය. සිද්ධියෙන් පසු ඔහු බසයක නැඟ බණ්ඩාරවෙල බිරියගේ ගෙදරට ගොස් ඇයට ලංකා මරා ගත් රන් මාලයත්, පාසලඹත් ලබාදී එය උකස් කර ගෙන එන ලෙස දැනුම් දෙන්නේ එම රන්බඩු පාරේ තිබී අහුලා ගත් බව කියමින්ය. බිරිය එම රන් බඩු උකස් කර තිබුණේ රුපියල් 63,000ක මුදලකටය. ඉන් අනතුරුව බිරියට ඉන් කොටසක් ලබාදී ඉතිරි මුදලද රැගෙන ඔහු කුණ්ඩසාලේ පිහිටි මහ ගෙදරට ගොස් සිටියදී මෙසේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. උකස් කරන ලද රන් භාණ්ඩද පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

කැලණිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජේ.වයි.බී. ක්‍රිශාන්ත සහ සහකාර පොලිස් අධිකාරි (vi) ධනංජය පෙරමුණ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත මීගහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත හේරත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එල්.ඒ. විමලරත්න ප්‍රමුඛ සැරයන් සුමේධ (35434), ලක්මාල් (53921), කොස්තාපල්වරුන් වන ලක්‍ෂිත (77931), රාජපක්‍ෂ (88789), කාන්තා කොස්තාපල් පියුමි (11241) සහ පොලිස් රියැදුරු ප්‍රදීප් (15179) යන නිලධාරීහු මෙම විමර්ශනවලට එක්ව සිටියහ.

පොලිස් පරීක්‍ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.

 කීර්ති මෙන්ඩිස්