තෙල් සංස්ථාව පාඩු ලැබූ හේතු 8ක් ඇමැති හෙළිකරයි

0
84

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩු ලැබීමට හේතු 08ක් සඳහන් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

වසර ගණනාවක් සහන මිලට නිෂ්පාදන විකිණීම එක් හේතුවක් බව එහි දැක්වේ.

එමෙන්ම, රුපියල අවප්‍රමාණය වීම මෙන්ම ශ්‍රී  ලංකන් ගුවන් සේවයෙන් අයවිය යුතු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 300ක් සහ ලංකා විදුලිබල මණ්ඩලයෙන් අයවිය යුතු මුදල රුපියල් බිලියන 60ක් වීම ඊට හේතු ලෙස අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

මූල්‍ය තත්ත්වය හේතුවෙන් ඉහළ ණය වාරික, නැව් සමාගම් වෙත සිදුකරන ප්‍රමාද ගාස්තු සහ බැංකු පොලීද ඊට හේතු බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

අතිරික්ත සේවක සංඛ්‍යාව, අකාර්යක්‍ෂම සහ අනවශ්‍ය ලෙස ඉහළ වැටුප් ලබන සේවකයන්, 2012 වසරේ සිට ක්‍රියාත්මක වූ 25% වැටුප් වර්ධක, තෙල් පිරිපහදුව ක්‍රියාත්මක නොවීම සහ ආනයනය කරන ලද පිරිපහදු කළ නිෂ්පාදන මත රඳා පැවතීම සහ ඉහළ බෙදාහැරීමේ පිරිවැය ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීමට හේතුවී ඇති බවද ඔහු පෙන්වාදී ඇත.

තාරක සම්මාන්