තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුනේ මෙඅප රැක දෙන සේක්වා

0
387

මනුෂ්‍යයාගේ විශ්වාස සහ ඇදහිලි පිළිබඳව සැලකීමේදී ආදිකාලයේදී ගස් ගල් ගැන, කඳු ගැන නොයෙක් නොයෙක් විශ්වාස තිබුණා. මිනිස්සු වැස්ස ඇතිවෙන්නේ කොහොමද? සුළං හමන්නේ කොහොමද? වගේ  ස්වාභාවික දේවල් වෙන්නේ කොහොමද කියල දැනගෙන හිටියේ නැති නිසා ඒවා ගැන අත්භූත විශ්වාස තිබුණා.

ඒ වගේම මිනිස්සු විශ්වාස කළා, මේවා යම්කිසි බලයකින් සිදුවෙනවා කියලා. එම බලය පසුකාලීනව දෙවියන් ලෙස සිතා යම්කිසි බලවේගයක් පිළිබඳව  විශ්වාස කරන්නට ඇතැයි කියා සිතෙනවා. එම ස්වාභාවික සිදුවීම් පමණක් නෙවෙයි, ලෙඩ රෝග පවා සැදෙන්නේ විශේෂ බලවේගයක් නිසා යැයි මේවාට හේතු නොදන්නා කාලයේදී ආදි ජනයා විශ්වාස කළා. ඒ වගේම  සමාජයේ පැවැත්මට ප්‍රයෝජනවත් වේයැයි සිතා ස්වාභාවික වස්තු, ප්‍රයෝජනවත් වන දේවල් පිළිබඳව විශේෂ ගෞරවයක් තිබුණා.

ඒ අය අත්දැකීමෙන් දැන සිටියා විශාල කඳුවලින් ගංගාව පටන්ගෙන ගලන බව, කඳු මුදුන්වල වලාකුළු ගැවසෙනවා, ඒ තැන්වලට වහිනවා, ඒ නිසා ඒ තැන්වලින් ජලධාරා ගලාගෙන එනවා කියලා. ජලය ඒ අයගේ ජීවිතවලට හුඟක් අවශ්‍ය වුණා. ඒ නිසා ඉතාමත් ආදිකාලයේ සිට සලකා තිබෙනවා කඳු මිනිසාට ප්‍රයෝජනවත් වන යම්කිසි බලවේගයක් තිබෙන ස්ථානයක් බව. ඒ නිසා ආදිකාලයේදී ඒවාට ගෞරවය කිරීමට, වැඳුම් පිඳුම් කිරීමට මිනිසා නැඹුරු වෙලා තිබෙනවා. මේ විශාල කඳුවලට ගෞරව කිරීම අද දක්වාම පැතිරිලා තිබෙනවා. පුරාවිද්‍යාඥයෝ ඒවා ගැන ගවේෂණය කරලා එම ප්‍රදේශවල තිබුණ නටබුන් ආදිය පරීක්ෂා කරලා, මෙම විශ්වාස ඉතා ආදිකාලයේ පටන් පැවතෙන්න ඇතියි නිගමනය කරලා තිබෙනවා.

ඒ මොකද මිනිස්සු හිතනවා කන්දෙන් තමන්ගේ ජන සමූහයට ජීවත් වීමට ලොකු ප්‍රයෝජනයක් ඇතැයි කියලා. ඒ නිසා මිනිසා ටිකක් දියුණු වෙලා කෘෂිකර්මය ආරම්භ කළාට පසු කඳුවල  විවිධ ධාන්‍ය වර්ග වවලා සාමුහික වශයෙන් ධාන්‍ය එකතු කරලා. අපි හිතමු ගොයම් වගේ ධාන්‍යයක් නැති නම් ඉරිඟු වගේ ධාන්‍යයක් කපලා එය සමූහය වශයෙන් ධාන්‍යය කඳෙන්, අනෙක් පැළෑටියේ වියළි ස්වාභාවයෙන් වෙන්කර ගනීමට සුදුසු තැන් හුඟක් වෙලාවට තිබුණේ කඳු ආශ්‍රිතවයි. ඒ කඳු ආශ්‍රිතව තිබුණා ගල්වලින් සෑදුණු සමහර තැනිතලා ප්‍රදේශ. එතැනට ධාන්‍ය ගෙනගොස් ධාන්‍ය මත සතුන්ව යොදවලා එහාට මෙහාට යවලා ශාකයෙන් ධාන්‍ය බීජ වෙන්කර ගන්න විශාල තැනිතලා ප්‍රයොජනවන් වුණා.

තමන්ගේ ගොවිතැන් ආදියට, ශාකවලින් බීජ වෙන්කර ගැනීමට, කඳු ආශ්‍රිතව සාමූහිකව යොදා ගන්නා ස්ථාන තිබිලා තිබෙනවා. එම නිසා ඒවා වැඳුම් පිඳුම් කළ යුතු තැන්, කියලා සලකලා තිබෙනවා. මේ වගේ හුඟක් රටවල විශාල කඳු වැටි පවා ශුද්ධ කඳු ලෙස සලකලා තිබෙනවා. මැරුණට පස්සේ ඊළඟ භවයක්, ආත්මයක් ඇතිවෙයි කියන විශ්වාස නිසා සමහර රටවල අය විශ්වාස කර තිබෙනවා, මැරුණට පස්සේ තමන්ගේ ආත්මය ගොස් කඳුවල වාසය කරනවා කියලා. ඒ නිසා පැරන්නන්ගේ ආත්ම රැඳිලා තිබෙන ස්ථාන වශයෙන්ද සලකලා කඳු පූජනීය ස්ථාන ලෙස සලකා වැඳුම් පිඳුම් කර තිබෙනවා.

සමහර ගිනි කඳුවලින්, ගිනි කන්දෙන් ලෝදිය පිටවයෑම නිසා මිනිස්සු කල්පනා කර තිබෙනවා වැරදි කරපු අයගේ ආත්ම පෘථිවිය අභ්‍යන්තරයේ ගිනි ගොඩක ජීවත්වනවා කියලා. ඒ  අය විශ්වාස  කරපු අපාය වගේ ස්ථානයක් පෘථිවිය මධ්‍යයේ තිබෙනවා, ඒවා කඳුවලින් වටවී තිබෙන බව විශ්වාස කර තිබෙනවා. ඒ නිසාත් ඒ අය කඳුවලට බියක් සහ ගෞරවයක් දැක්වුවා.

ඉන්දියාවේ ටිබෙට් රටට අයිති කයිලාෂ් යන කන්දේ ඒ අයගෙ දෙවිවරුන් නැවතිලා ඉන්නා බව ඒ අය විශ්වාස කරනවා. ඒ නිසාත් කඳුවලට වන්දනාමාන කරනවා. කයිලාෂි කියන කන්දට යෑම තහනම් කර තිබෙනවා. හේතුව වන්නේ පූජනීය කන්දක් පෑගීම් සුදුසු නැති බව සිතලයි. හැම රටකම වගේ මෙවැනි කඳු තිබෙනවා.

චීනයේ, කොරියාවේ වගේ රටවලත් තිබෙනවා. ඒ වගේම චීනයේ තිබන Fuji කියන කන්ද ගෞරවයට පාත්‍ර වූ කන්දක්. ඒ වගේම චීනයේ තිබෙනවා Tate Yama සහ Fanjingshan කඳු ආදි කාලයේ සිටම මිනිස්සු වඳින පුදන කඳු ලෙස ඒවා ඒ අය සලකා තිබෙනවා මිනිසාට ප්‍රයෝජන ගත හැකි භූත කොට්ඨාසයක්, අදෘශ්‍යමාන බලවේගයක් මෙම  කඳුවල ජීවත් වන බව. සමහර රටවල මුළු කන්දම දෙවි කෙනෙක් විධියට විශ්වාස කර තිබෙන්නේ. ඊට පසුව එය දෙවි කෙනකු වාසය කරන ස්ථානයක් වශයෙන් සලකලා තිබෙනවා.

තවමත් ඉන්දියාවේ ශිව සහ පාර්වතී ඉන්නේ කයිලස් කියන කන්ද කියලා විශ්වාස කරනවා. ක්‍රිස්තියානි ආගමේ සිනායි කන්දෙදී මෝසෙස්ට දෙවියන් වහන්සේ විසින් දස පනත ලබා දුන් බවට විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම ඒබ්‍රහම්ට තමන්ගේ ළමයව පූජා කරලා බිලිදෙන්න තිබ්බෙත් කන්දක් උඩ. ඒ නිසා දෙවියන්ට කඳුවලට  සම්බන්ධයක් තිබෙන බවට  හැම ආගමකම වගේ විශ්වාසයක් තිබෙනවා. මේ නිසා කඳු තමයි වන්දනාවට ගොදුරු වෙලා තිබෙන්නේ. ඒ වගේම සමහර කඳුවලට පුදපූජාවලට අතිරේකව බිලිපූජාත් ලබාදී තිබෙනවා. දකුණු ඇමරිකාවේ ඉන්කාවරු බිලිපූජා සිදුකළ ගෝත්‍රියක්. ඒ අය කඳුවලට සාමාන්‍යයෙන් අවුරුදු දහතුනක් පමණ වයසක් සහිත  දරුවෙක්ව ගෙනගොස් දරුවා සිහි නැති කරලා කන්ද මුදුනෙ තබලා එනවා. සිහිසුන් වන දරුවා ආහාර නැතිව එතැන මියයනවා.

ඒ විධියට මැරෙන්න දීම කන්දට කරන ලද බිලිපූජාවක් වශයෙන් ඒ අය සලකලා තිබෙනවා. ඒවා දැන ගන්න ලැබුණේ එම කඳු ආශ්‍රිතව කරපු පුරාවිද්‍යා කැනීම් නිසා මේ විධියට මියගිය දරුවන්ගේ නරක් නොවුණ මෘත ශරීර මමි යන තත්ත්වයට හැරුණු මෘත ශරීර දකින්නට ලැබිලා තිබෙනවා. ඒ නිසා අපි හිතන්නේ පැරණිතම විශ්වාසයක් පැවතිලා තිබෙන්නේ කඳුවලට, විශාල පර්වතවලට වැඳුම් පිදුම් කිරීම බව. ඊට පසුව එවැනි ක¾දු නැති ප්‍රදේශයවල සිටින ජනයා වැඳුම් පිදුම් කිරීමට යොදාගෙන තිබෙන්නේ විශාල වෘක්ෂ.

වෘක්ෂවලට වැඳීමට, පුදපූජා පැවත්වීම නිසා  දේවල් ලබා ගැනීමට හැකිවේය යන විශ්වාසය හුඟක් රටවල පැවතිලා තිබෙනවා. ඒ සඳහා  විශාල වෘක්ෂ භාවිත කර තිබෙනවා. ඒවායෙන් විශාල සෙවණක් ලබා දුන්විට, විශාල ඵලදාවක් ලබා දුන්විට, අලංකාර කොළ මල් පිපී තිබුණ නිසා වෘක්ෂවලට වැඳුම් පිදුම්කර තිබෙනවා. ඒ වගේම විශ්වාසයක් පැවතිලා තිබෙනවා වෘක්ෂයකට යම්කිසි පුදපූජාවක් කරලා ඉල්ලීමක් කළොත් එය ඉෂ්ට වෙන බව. ඒ නිසා හුඟක් රටවල වෘක්ෂවලට පුදපූජා කිරීමට පටන්ගෙන තිබෙනවා. ඒ කාලයේ පහසුවෙන් හොයාගන්න පුළුවන්, පුදපූජා කරන්න පුළුවන් හොඳම වස්තුව වශයෙන් සලකා තිබෙන්නේ මල්. ඒ නිසා මල් කඩලා වෘක්ෂයට පූජා කිරීම, වෙනත් වෘක්ෂයක අතු ගෙනල්ල එල්ලීම, වෙනත් ශාකයක ලස්සනට තිබෙන අත්තක් ගෙනල්ල පැලැන්දීම වගේ දේවල් කර තිබෙනවා.

සමහර රටවල විශ්වාස කර තිබෙනවා යම්කිසි  රෝගයක් වැලඳුණාම එම රෝගියාගේ ඇඳුමෙන් කොටසක් ගසේ සිදුරක හෝ අත්තක එල්ලුවාම එම රෝගය සුවවන බව. සමහර රටවල තවමත් රෝගියෙක්ගේ වස්ත්‍රයේ කොටසක් රැගෙන ගොස් වෘක්ෂයේ බෙනයක් ඇතුළට දමනවා, අත්තක එල්ලනවා වගේ දේවල් නොදියුණු ගෝත්‍රිකයන් අතර තිබෙනවා. ලංකාවෙත් වෘක්ෂවල අතු එල්ලීම සමහර ප්‍රදේශවල තවමත් තිබෙනවා. ඒවාට වැඳුම් පිදුම් කරනවා. යුරෝපීය රටවල සමහර අය හිතලා තිබෙනවා ගස්වල භූතයෝ ජීවත් වනවා කියලා. ඒ නිසා භූතයෝ ඒ අයට උදවු කරයි කියලා හිතලා ඒ  අය වැඩිපුර ජීවත්වෙලා තිබෙන්නේ Oak කියන ගස් විශාල වශයෙන් තිබෙන වනාන්තරවල. ඊට අතිරේකව Ash, Apple, Elder යන වෘක්ෂ භූතයෝ ජීවත් වන වෘක්ෂ ලෙස සලකලා ඒවට විශේෂ බලයක් ඇතැයි සිතා ඒවා පුදපූජාවලට ලක්කර තිබෙනවා. එංගලන්තයේ Hodson ශාකය පූජනීය ශාකයක් ලෙස ක්‍රිස්තියානි අය සලකලා තිබෙනවා.

Hodson ශාකය ගැන විවිධ විශ්වාස පැවතිලා තිබෙන අතර එම ශාකය හැදිලා තිබෙන්නේ Joseph Arimathea යන පූජකයාගේ හැරමිටියෙන් බවට විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා තමයි එම ශාකයට විශේෂ සැලකිල්ලක් සහ පුදපූජා පවත්වන්නේ. ආදි කාලයේදී  ශාකවලට විවිධ මල්, රෙදි කැබලි එල්ලීම හැම රටකම වගේ වාර්තා වෙනවා. දකුණු ඇමරිකාවෙ විශාල ශාකවල රෙදි පටි එල්ලලා තිබුණ බවට ඒ කාලයේ එහි සංචාරය කළ අය වාර්තා කර තිබෙනවා. ඒ වගේම ඒ කාලයේ ජීවත් වූ අශ්වයන් එම ගස් අසල බිලි පූජා කළ බව වාර්තා වෙනවා.

රෝගයක් වැලඳුණාම රෝගියාගේ වස්ත්‍ර එල්ලන චාරිත්‍රය වෙනුවට සමහර රටවල අය විශ්වාස කර තිබෙනවා රෝගියාගේ රෝගය වෘක්ෂයට පවරා දෙන්න පුළුවන් කියලා. එම පැවරීම සිදුකරනවා, සමහරවිට රෝගියාගේ හිසකෙස් ගෙනල්ලා පවරනවා කියලා ශාකයට භාරගන්න කියල ශාකයේ සිදුරකට දානවා. ඊළඟට සමහර ප්‍රදේශවල දරුවෙක් උපන් විට එම දරුවා වෙනුවෙන් පැළයක් සිටුවුවහොත් එම පැළය එම දරුවාගේ ජීවිතයට සම්භන්ධ වෙනවා. කියලා විශ්වාසයක් තවමත් සමහර ප්‍රදේශවල තිබෙනවා. ඒ නිසා එම ශාකය පැළවන විට එම දරුවා වැඩිවියට පැමිණිලා, දරුවගෙ ජීවිත කාලයෙදිම දරුවගෙ නෑදෑ පිරිස විසින් එයට ගෞරව කරනවා, පුදපූජා කරනවා. අරාබි රටවල විශ්වාසක් තිබෙනවා, Jinn කියන භූතයා වෘක්ෂවල වාසය කරන බව. Jinn සතුටු කිරීමට අරාබි රටවල ආදිකාලයේදී බිලිපූජා පවත්වා තිබෙනවා.

සමහරවිට ඒ අය විශ්වාස කර තිබෙනවා, සමහර රෝග හැඳුණාම වෘක්ෂය යට නිදාගත්තම එම රෝගයට පිළියම එම වෘක්ෂයට සම්බන්ධ භූතයා විසින් සිහිනයෙන් කියනවා කියලා. මේ වගේ විශ්වාස නිසා තමයි වෘක්ෂවලට සැලකිල්ලක් දැක්වීම ආදි කාලයේ පටන් පැමිණියේ. යුරෝපයේ සහ ආසියාවේ පිළිගෙන තිබෙනවා වෘක්ෂවලට විශේෂ බලයක් තිබෙන බව. සාමාන්‍යයෙන් පොදු වශයෙන් ක්‍රිස්තියානි අය සහ මුස්ලිම් ආගමික අය වෘක්ෂවලට පුදපූජා කිරීමට විරුද්ධ වෙලා තිබෙනවා. පුදපූජා කළ යුත්තේ ආගමික කර්තෘවරයාට විතරයි කියලා මතයක් තිබෙන නිසා ආගම් පැතිරීමට පෙර පැවති වෘක්ෂවලට ගරු කරන්න ඕනෑ, වැඳුම් පිදුම් කරන්න ඕනෑ වගේ විශ්වාසයක් ආගමික විශ්වාස විසින් නැතිකර තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් වූයේ වෘක්ෂවලට ගෞරව කළ රටවල වෘක්ෂවලට තිබූ ගෞරවයය, භක්තිය නැතිවෙලා වෘක්ෂවලින් ප්‍රයෝජන ගත යුතුයි කියලා වෘක්ෂ කැපීම වැනි වාණිජ කටයුතු සඳහා යොදා ගන්න මිනිස්සු පෙලඹිලා තිබෙනවා. කැලිෆෝනියාවේ 1850 වන තෙක් ගස් කැපීම සිදුකර නැහැ. 1850දී පමණ වාණිජ කටයුතු සඳහා වෘක්ෂ කැපීම ආරම්භ කර තිබෙනවා. කැලිෆෝනියාවේ විසිඑක් ලක්ෂයකටත් වඩා විශාල Coast redwood කියන දැවන්ත ශාකවලින් පිරුණු වනාන්තරක් තිබිලා තියනවා. එය සම්පූර්ණයෙන්ම කපලා විනාශ කර තිබෙනවා. ඒ වගේම සිය උස මීටර් 100 වඩා විශාලව වැවෙන ශාක තිබුණ වනයක්. ඒවා වෘක්ෂ පිළිබඳව තිබුණ  විශ්වාස නිසා සිදුවුණ හානියක්. එය වෘක්ෂ ඇදහීම නිසා පමණක් නොව ඇදහිල්ලෙන් ඉවත් වූ නිසා සිදුවන හානියක්.

ඒ වගේම වෘක්ෂ ආරක්ෂා කිරීමටත් ආගමික මත මුල්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම හින්දු ආගම තුළ විශ්වාසයක් තිබෙනවා වෘක්ෂවලට හිතක් තිබෙන බවට. ඒ අයට වේදනාවක් දැනෙන බව. ඒ නිසා හින්දු ආගමික මතය නිසත් වෘක්ෂවලට ගරු කරන්න, විනාශ නොකරන්න මිනිස්සු නැඹුරු වෙලා තිබෙනවා. ඒ වගේම බෞද්ධයන්ගේ විශ්වාසයක් තිබෙනවා බෝධි වෘක්ෂයයට බුදුන් බුද්ධත්වය ලැබූ බවට. ඒ නිසා බෝධි වෘක්ෂයට විශාල ගෞරවයක් දක්වනවා. පොදු වශයෙන් ගත්තාම ලංකාවේ අයගේ විශ්වාසයක් තිබෙනවා විශාල වෘක්ෂවල දේවතාවන් ඉන්න බව. ඒ නිසා එම වෘක්ෂයට හානියක් වුණොත් එම දේවතාව කෝපයට පත්වෙලා අනතුරක් වෙයි කියලා තිබෙන විශ්වාස නිසා එම වෘක්ෂවලට ගරු කරනවා.

යම්කිසි ඉදිකිරීමක් කිරීමට ඉඩ ලබා ගනීමට ආදී දෙයකට වෘක්ෂය කපන්න වුණොත් එම වෘක්ෂයට පුදපූජා පවත්වලා, සමහර විට ආරාධනා කරනවා එම වෘක්ෂයේ ඉන්න අධිපති දෙවියන්ට වෙනත් වෘක්ෂයකට යන්න කියලා ඉන් පසුව තමයි වෘක්ෂය කපන්නේ. අපිට ඉතිහාසය තුළදීත් පේනවා දුටුගැමුණු රජතුමා  රුවන්වැලි මහා සෑය හදන්න පෙර එම ස්ථානයේ විශාල වෘක්ෂයක් පැවතිල තිබෙනවා. එම වෘක්ෂයේ අධිපති වෙලා සිට තිබෙන්නේ ස්වර්ණමාලී කියන දේවතාවිය. ස්වර්ණමාලී කියන දේවතාවියට පුදපූජා කරලා වෙන තැනකට යන්න කියලා ආරාධනා කර තිබෙනවා. එවිට ස්වර්ණමාලී කියා තිබෙනවා හදන චෛත්‍යට මගේ නම දෙන්න කියලා. එම ඉල්ලීම මත එම වෙහෙර ස්වර්ණමාලී චෛත්‍ය ලෙස නම්කළ බවට සඳහන් වෙනවා.

ලංකාවේ නුගගහට ගෞරව කිරීම සමහර ගම්බද ප්‍රදේශවල තවමත් තිබෙනවා. දෙවියන් ඉන්නව කියලා විශ්වාසය නිසා ඒවගේ විශාල ගස් කපන්න මිනිස්සු බයයි. ඉන්දියාවේ නුගගහ වැඳුම් පිදුම් කිරීමට විශේෂ ලෙස සලකනවා ඒ අය සලකනවා නුගගස විෂ්ණු, ශිව, බ්‍රහ්ම යන දෙවිවරු තිදෙනාගේම සංකේතයක් බවට. දරුවන් ලබාගැනීමට අවශ්‍ය වුණොත් නුග ගසට දරුවන් ලබාදෙන ලෙස ආයාචනා කළාම දරුවන් ලැබෙන බවට විශ්වාසයක් තිබෙනවා. දිවුල් ගස ශිව දෙවියන්ට සම්බන්ධ බව විශ්වාස කරනවා. ඒ නිසා ශිව දෙවියන්ව සතුටු කරන්න දිවුල් පත්‍ර පූජා කරනවා. ආගමික කටයුත්තකට භාජන වන ශාකයක් නිසා බොහෝ දිවුල් ගස් විනාශ නොකර ආරක්ෂා වෙනවා. අඹ අතු හින්දුවරු උත්සව අවස්ථාවල ‍ෙදාරවල්වල එල්ලා තිබෙනවා. කොහොඹ ශාකය දුර්ගා කියන දෙවඟනට සම්බන්ධ ශාකයක් බව විශ්වාස කරනවා.

ඒ වගේම කොහොඹ කොළ  පිලිස්සූ විට එන දුමාරය අනිසි ප්‍රතිවිපාක දෙන භුතයන්ව පලවා හරින්න උපකාර වන බවටත් විශ්වාස කරනවා. තවමත් ලංකාව තුළ විසබීජ නාශකයක් වශයෙන් කොහොඹ කොළ භාවිත කරනවා. කෙසෙල් ශාකයෙන් ලැබෙන කෙසෙල් කැන්වලට අමතරව ඉන්දියාවේ විශාල වශයෙන් කෙසෙල් ගෙඩි විෂ්ණු දෙවියන්ට, ලක්ෂ්මී දෙවියන්ට පූජා කිරීමට යොදා ගන්නවා. පොල් ශාකය දකුණු ඉන්දියාවේ ඉතා පූජනීය වෘක්ෂයක්. හැම හින්දු පූජාවකටම පොල්ගෙඩි භාවිත කරනවා. ඒ අය විශ්වාස කරනවා පොල් වෘක්ෂය ලක්ෂ්මී දෙවගන වගේ කියලා. ඒ නිසා පොල් ගසේ හැම කොටසකින්ම ජන සමාජයයට විශාල ප්‍රයෝජනයක් තිබෙන නිසා වැදහත් සහ වැඳුම් පිදුම් කළ යුතු ශාකයක් වශයෙන් සලකනවා.

පොල් ගෙඩියක් ලෙලි ඉවත් කළාම පොල් ගෙඩියේ තිබෙන ඇස් තුනක් වැනි පෙනුමක් එයින් සංකේතවත් වන්නේ ශිව දෙවියන්ගේ ඇස් බවට පිළිගැනීමක් තිබෙනවා. එම නිසාත් පොල් ශාකයට විශාල ගෞරවයක් තිබෙනවා. අපේ රට ගැන සලකා බැලුවොත් දේවානම්පියතිස්ස රජුගේ කාලයේදී බෞද්ධ ආගම ලංකාවට ගෙන ඒමට පෙර වාසය කළ ජනතාව පුදපූජා කර ලෙඩ රෝග සුවකර ගැනීමට නොයෙක් නොයෙක් උපේක්ෂා ඉෂ්ටකර ගන්න යොදා ගෙන තිබෙන්නේ නුග සහ තල් ගස්. එම ශාකවලට යාඥා කර මිනිසුන්ගෙ ඉල්ලීම් සිදුකර ඒවා ඉටුවේ යැයි විශ්වාසය පැවතිලා තිබෙනවා.

බෞද්ධාගම ලැබුණට පසු ගෞරව කළ යුතු ශාකය වශයෙන් බොධියක් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට පැමිණියාට පසු, සංඝමිත්තා තෙරණිය ඉන්දියාවේ බුද්ධගයා නුවර බුදුන් බුද්ධත්වයට පත්වූ ස්ථානයේ බෝධියේ ශාකයක් රැගෙන ලංකාවට පැමිණ එම ශාකය අනුරාධපුර රෝපණය කළාට පසු විශාල ගෞරවයක් බෝධි වෘක්ෂයට ලබා දෙන්න පටන් ගත්තා. ඒ නිසා එතෙක් නුග සහ තල් ගසට වන්දනාමාන කරමින් සිටි මිනිස්සු ඒ වෙනුවට බෝධියට වන්දනාව කරන්න පටන් ගත්තා.

ඉන්පසු සෑම ගමක් පාසාම එම බෝධි වෘක්ෂය පූජනීය ස්ථානවල සිටුවාගෙන ගෞරවය කරන්න පටන් ගත්තා. බුද්ධාගම පැමිණීමට පෙර නුග සහ තල් ශාකයෙන් කළ ඉල්ලීම් ඒ විධියටම බෝධියෙන් ඉල්ලන්න පටන් ගත්තා. වර්තමානයේදී බෝධිය හඳුන්වන්නේ  බෞද්ධාගමෙන් ලැබූ ඇදහීමක් වශයෙන් නෙවෙයි, ගෞරව කළ යුතු ශාකයක් වශයෙන් මිස ඉල්ලීම ඉටුකරන ශාකයක් වශයෙන් නෙවෙයි. නමුත් ඉල්ලීම් ඉටුකිරීමට භාවිත කරන වෘක්ෂයක් වශයෙන් බෝධිය භාවිත කරනවා. ශිෂ්‍යයත්ව විභාගයට, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට, උසස් පෙළ විභාගයට සමත් කිරීමට බෝධි පූජා පාසල් මට්ටමෙන් සංවිධානය කර පවත්වනවා.

ඒ වගේම තවමත් උගත් පක්ෂය පවා ලෙඩ රෝගයක් සැදුණොත් බෝධි පූජාවක් කරන්න පෙලඹෙනවා. සමහර විට ප්‍රභූ කෙනෙක්ට හෝ සමහර භික්ෂුන්ට ලෙඩ රෝගයක් හැඳුණමත්, සමහරවිට පුවත්පත්වල තිබෙනවා රටම එකතු වෙලා බෝධි පූජා පවත්වන්න කියලා. සමහර අවස්ථාවල මේවට රාජ්‍ය අනුග්‍රහය පවා ලැබෙනවා. බෝධි පූජාවට විභාග සමත් කිරීමට විශේෂ බලයක් ඇතැයි සිතනවා. සමහර අවස්ථා තිබෙනවා බෝධිය දිහා බැලුවම පේනවා විභාග අංකය ලියලා කොළ එල්ලා තිබෙනවා, රෙදි කඩක විභාග අංකය ලියලා සමත් කර දෙන්න කියලා බෝධියේ එල්ලලා තිබෙනවා.

ඒ තත්ත්වයට මේ මිථ්‍යා විශ්වාස ඇවිල්ලා තිබෙනවා. ශාක නැත්නම් මේ ලෝකයේ ජීවය නෑ. සතුන් ජීවත් වන්නේ ශාක නිසයි, ශාක ජීවත් වන්නේ ශාක නිසයි. ශාක ස්වාභාවික වශයෙන් ජලය, කාබන්ඩයොක්සයිඩ් අරගෙන සූර්යයාලෝකයෙන් ආහාර හදනවා. ආහාර නිෂ්පාදන කරන නිෂ්පාදනාගාර තමයි ශාක. ශාක නැත්නම් කිසිම ශාකයකට ජීවත් වෙන්න බෑ. සත්තු ජීවත් වන්නේ එම ශාකවලින් නිපදවන ආහාර අනුභව කරලා. එම නිසා අපි ශාක සහ වනාන්තර රැක ගත යුතුයි.

බෝගස පමණක් නොවෙයි මනුෂ්‍යයන්ට හිතකර සෑම ශාකයක්ම ආරක්ෂා කරගත යුතුයි. විශේෂයෙන්ම වර්තමාන පාසල් අධ්‍යාපනය තුළ අවධාරණයක් තිබිය යුතුයි. පැරැන්නෝ වගේ අය තමන්ගේ වාණිජ කටයුතු සඳහා පැළෑටිවලින් කරන සමහර කාර්යන් අමතක කරල ඒවා නිකරුනේ වනාන්තර කපනවා, එළිකරනවා, විකුණනවා, වගේ දේවල් නිසා සමස්ත මනුෂ්‍ය වර්ගයාටම හානියක් සිදුවන බව ඒ අයට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි වෘක්ෂයට සැලකිය යුත්තේ එහි භූතයෙක් වාසය කරන නිසා යැයි සිතා නෙවෙයි.

ශාකයක තිබෙන වැදගත්කම පිළිබඳව විද්‍යුත් මාධ්‍යයෙන් හෝ අධ්‍යාපනය ලබාදිය යුතුයි. ශාකවලින් අපට ලබා දෙන සේවය නිසා ඒවා ආරක්ෂා කළ ගත යුතු බව. එසේ නොමැතිව වැඳුම් පිඳුම් කිරීමට යෝග්‍ය නිසා නෙවෙයි. නිවැරදි විද්‍යාත්මකව ආකල්ප සහිතව අපි ශාක ආරක්ෂා කරගත යුතුයි.

රමෝද් ජයවර්ධන

සමාජ විද්‍යා පර්යේෂක ඒ.ඩී. ගුණසේකර