ජනාධිපතිගේ කතාවේ හැටියට ඇමැතිකම් ගන්න තියා ආණ්ඩුව අද්දරටවත් යන්න හිතෙන්නේ නෑ

0
24

ජන අරගල තීව්‍ර වීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ තනතුරු හැරපියා ගියා, රනිල් වික්‍රමසිංහ ජනපති වුණා ඒ නව නායකත්වය යටතේවත් රටට හොඳ කලක් යයිද?

අපි ඉඳලම බලමු මොකක්ද වෙන්නේ කියලා. ඉන්පසුව පුළුවන් පුරෝකථනයක් කරන්න. දැනට අපි බලන්නේ සිදුවෙමින් පවතින දේවල් ගැන පමණයි.

පසුගිය 3දා නව ජනපතිවරයා කරපු කතාවේදී බොහෝමයක් දේවල් පැවැසුවා. එය ඇසුවම ඔහුට සහයෝගය දෙන්න සිතුණේ නැද්ද?

වචනයට වඩා අපි බලන් ඉන්නේ ක්‍රියාව දෙසයි. ක්‍රියාව දෙස බලලාම තමයි අපි සලකා බැලීමක් හෝ කරන්නේ.

ඔහු සර්වපාක්ෂික ආණ්ඩුවකට මිත්‍රත්වයේ දෑත් දිගු කරනවානේ, අනෙක ඔබලාත් ඉල්ලුවේ සර්වපාක්ෂික ආණ්ඩුවක්නේ?

අපිට එකඟ විය හැකි ආකාරයේ රාමුවක් තුළ එම ආණ්ඩුව හැදෙනවා නම් අපිට පුළුවන් ඒ ආණ්ඩුව සමඟ ගනුදෙනු කිරීම සඳහා එකතු වීමේ සීමාව පැහැදිලි කිරීමට.

ඒ කියන්නේ වාසුදේව නානායක්කාර රනිල්ගේ සර්වපාක්ෂික ආණ්ඩුවේ ඇමැතිකමක් ගන්න සූදානම්ද?

ඕනෑම වගකීමක් ගන්න මම සූදානම්. නමුත් මේ වෙද්දි මම ඒ ගැන තව සිතමින් සිටිනවා.

මොනවද ඔය තරම්ම සිතන්නට තිබෙන්නේ?

පසුගියදා එතුමා කරපු කතාවේ හැටියට නම් ඇමැතිකමක් ගන්න තබා ඒ ආණ්ඩුව අද්දරටවත් යන්න පුළුවන් කියලා මට හිතෙන්නේ නැහැ.

ජනාධිපතිවරයා පැවැසුවා 2048 වෙද්දි අපේ රට පූර්ණ සංවර්ධිත රටක් කරන්න පුළුවන් බවත් වසර 25ක් සඳහා ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හදන බවත් මේවා සාධනීය, ප්‍රායෝගික යෝජනා නෙවෙයිද?

මම මීට පෙරත් පැවැසුවානේ වචනයට වඩා අපි බලන්නේ ක්‍රියාව දෙසයි කියලා. එතුමාගේ සැලසුම් අපි මීට පෙරත් දැක තිබෙනවානේ. එතුමා යහපාලන ආණ්ඩුවේ අගමැතිව සිටියදී තමයි අඥඨචඪදඪදඨ ඉපඪ ඹ්චදඬච කියන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැලසුම දැම්මෙත්. ඒවා තමයි එතුමාගේ යෝජනා සහ සැලසුම්. ඒ සැලසුම මේ රටට ඉතාම අහිතකර එකක්.

රාජ්‍ය ව්‍යවසාය අකාර්යක්ෂම, අසාර්ථක ආර්ථික සංකල්පයක් බවත් චීනය, වියට්නාමය වැනි සමාජවාදී රටවල් දැන් මෙයින් බැහැරව ඇති බවත් ඔහු පවසනවා?

එතුමා එහෙම කියනවා. නමුත් අපි එතුමාගේ කතාව දිගහැරලා විවෘත කරලා බලමුකෝ.

ආණ්ඩුව අද්දරටවත් නොයා ඉන්නවා කියන තීරණය ගන්න මේ අදහසත් එක් හේතුවක් වුණාද?

මේ කතාව පමණක් නෙවෙයි බොහොමයක් හේතු තිබෙනවා. දැන් මේ කතාව ගත්තොත් ලංකාවේ ආර්ථිකයේ 70%ම තිබෙන්නේ පෞද්ගලික අංශයේ මිසක් රාජ්‍ය අංශයේ නෙවෙයි. අනෙක් කාරණය වියට්නාමයේ සහ චීනයේ රාජ්‍ය ව්‍යවසායන් ක්‍රියාත්මක කරන්නේ නෑ කියපු  එක අමූලික බොරුවක්. රාජ්‍ය නායක කතාවක ඒ වගේ අමූලික බොරුවක් කිව්වේ ඇයි කියලා මට හිතා ගන්න බැහැ.

චීනය සහ වියට්නාමය වැනි රටවල 70%ම ආර්ථිකය තිබෙන්නේ රාජ්‍යය අතේ. ඒ විතරක් නෙවෙයි රාජ්‍යය තමයි වසරින් වසර සහ මාස 06න් 06ට ඒ ආර්ථික කටයුතු මෙහෙයවන්නෙත්. මම හිතන්නේ ජනපතිවරයා අයිතියයි, භුක්තියයි, කළමනාකරණය අතරේ පටලවාගෙන තිබෙන්නේ. එතුමා පවසන්නේ අයිතිය රාජ්‍යයේ වුණාට කළමනාකරණය පෞද්ගලිකයි කියලයි.

ඉතින් එහි වරදක් තිබෙනවාද?

අපි කියන්නෙත් කළමනාකරණය දියුණු කළ යුතුයි කියලයි. ප්‍රථමයෙන්ම ඡන්දයෙන් තේරී පත්වන සේවකයන් සේවක සභාවලට කළමනාකරණය සඳහා එකතුවීමට ඉඩ දිය යුතුයි. එවිට අලාභය දුරු වෙනවා. 1970 ශ්‍රී  ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිව සිටියේ අනිල් මුණසිංහ. ඒ මහත්මයා සිටි කාලයේ ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලැබුවා සේවක සභා සංගමයේ සහයෝගය මත. සේවක සභා සහයෝගය ලැබුණු සෑම තැනකම නාස්තිය දූෂණය අඩුවුණා. ලාභ ලැබුණා. අපි කියන්නේ නැහැ සේවක සභාවට දීම අත්‍යවශ්‍යයි කියලා. නමුත් අපි යෝජනා කරන්නේ දක්ෂ අය කළමනාකරණයට පත් කරගන්න කියලයි.

ජ.වි.පෙ. සර්වපාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්නේ නැහැලු. ඔබලාගෙත් යම් යම් කොන්දේසි තිබෙනවා, ඒ කියන්නේ මේක නොකෙරෙන දීගයක්?

ජ.වි.පෙ. කියන්නේ යෝජනාව කුමක් වුවත් එහි කුමක් අඩංගු වුවත් අපිට වැඩක් නැහැ. අපි කොහොමත්ම හවුල් වෙන්නේ නැහැයි කියලා. නමුත් අපි කියන්නේ යෝජනා අනුව සලකා බැලිය හැකි එකඟ විය හැකි රාමුවක් තුළ හැදෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් සමඟ කටයුතු කිරීමට ඉඩක් තිබෙයි කියලයි. ඒ කියන්නේ රාමුව හරි නම් අපිට පුළුවන් හවුල් වීමට.

ඔබලාගේ පක්ෂ 10 ස්වාධීන එකමුතුව තුළ තවම එකමුතුවක් තිබෙනවාද?

ඇයි ඔබ එවැනි ප්‍රශ්නයක් අසන්නේ.

ඇතැමුන් කොන්දේසි විරහිතව රනිල්ට සහාය දෙනවලු, තවත් අය හදිසි නීතියේදී පක්ෂ වුණා. තවත් සමහරු ඇමැති ධූර ගත්තා ඒකයි එවැන්නක් ඇසුවේ?

එකමුතුව තුළ අසමාන මත තිබෙනවා. යම් යම් ප්‍රශ්න සම්බන්ධයෙන් ස්වාධීන පක්ෂ එකමුතුව තුළ එකමුතුවක් නැති විවිධ මත තිබෙනවා. මම හිතන්නේ එය ස්වාභාවික තත්ත්වයක් මිසක් අස්වාභාවික තත්ත්වයක් නෙවෙයි කියලයි.

ඉදිරියේදී පිරිස විසිරෙයිද?

එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. විවිධ අසමාන මත තිබුණු පමණින් එවැන්නක් වෙයි කියලා නිගමනයකට එන්න එපා. මේ ස්වාධීන පක්ෂ එකමුතුවේ පළල්  රාමුව දෙස බැලුවොත් ඔබට එකමුතු බව පෙනේවි. ඒ පළල් රාමුව දැකගන්න ඕනා නම් “මුළු රටම හරි මඟට” පොත් පිංච කියවන්න.

නමුත් ඒ යෝජනාවලියෙන් වැඩක් වුණේ නැහැ නේද?

අපි එය එළිදැක්වූවේ මෙවැනි අර්බුදකාරී මොහොතක කඩිනමින්ම කළ යුතු දේවල් මොනවාද කියලා අවබෝධ කරවීමට. විශේෂයෙන් ඉන්ධන ලබාදීම ගැන කතා කළහොත් විමල් වීරවංශ සහෝදරයා මේ සම්බන්ධයෙන් බොහෝ දුරක් ගියා. අපි රුසියානු තානාපති මුණගැසුනා, ඉන්ධන සමාගම සමඟ කතා කළා, අපේ රටේ ඇමැතිට තොරතුරු දුන්නා, ලිපි හුවමාරුවට උපකාර කළා. වසරක් පුරා අඛණ්ඩව තෙල් ණයට ලබා දීමට රුසියානු සමාගම එකඟ වුණා. නමුත් අපේ අය තවම කල් මරනවා. අපි කරන්න පුළුවන් සියල්ලම ඒ වෙනුවෙන් කළා. මෙතැනින් එය ඉදිරියට ගෙන යා යුතු ආණ්ඩුවයි.

හිටපු ජනාධිපතිවරයා රුසියාවෙන් තෙල් ගැනීම ගැන වැඩි උනන්දුවක් පෙන්වූවේ නැහැ නමුත් නව ජනාධිපතිවරයා මේ ගැන උනන්දු වෙයිද?

එක් නීති නිලධාරිනියක් කියනවලු මේ සමාගමේ පැටිකිරිය ගැන සොයා බලන්න ඕනා කියලා. නිකන් ලැබෙන අශ්වයාගේ දත් බලන්න ඕනද කියලා මම ඇගෙන් අහනවා. එතුමිය සොයන්නේ ඩොලර්වලින් ගනුදෙනු කරන සමාගම් වෙන්න ඇති. නමුත් මේ ගනුදෙනු වෙන්නේ රූබල්වලින්. ඩොලර්වලින් ගනුදෙනු කරන්න ඇලුම් කරන අය රූබල්වලින් ගනුදෙනු කරන්න තිබෙන අකැමැත්ත නිසා විවිධ හේතු සොයනවා කියලයි මට සිතෙන්නේ.

රුසියාව කිට්ටු කරගන්න ගිහින් ඇමරිකාව තරහ වෙයි කියලා බයද දන්නේ නැහැනේ?

එදා කතාවේදී ජනපතිවරයා කිව්වා සියලුම රටවල් අපේ මිත්‍ර රටවල් බව. එතැනදි ඔහු පැවැසුවේ නැහැනේ රුසියාව හැර අනෙක් රටවල් මිතුරුයි කියලා.

අපේ රටේ නව ජනාධිපතිවරයෙක් පත්වුණු සෑම විටම පළමුවෙන්ම සුබ පැතුවේ ඉන්දියාවනේ?

ඔව්.

නමුත් මෙවර  ඒ පිළිවෙළ සිදුවුණේ නැහැ. මුලින්ම සුබ පැතුවේ රුසියාව සහ චීනය?

සුබ පැතුම් ඉක්මන් වෙන්නත් පුළුවන් පමා වෙන්නත් පුළුවන්. එය ලොකුවට සිතන්න ඕන දෙයක් නෙවෙයි.

තවමත් බටහිර රටවල් ඔහුට සුබ පතා නැහැ.  ඒ කියන්නේ බටහිර රටවල සහ ඉන්දියාවේ ආශීර්වාදය සහාය නව නායකත්වයට නැහැයි කියන එකද?

සුබ පැතුම් පමා වීමෙන් එවැන්නක් නිගමනය කරන්න බැහැ. පමාවට හේතු ගණනාවක් තිබෙන්න පුළුවන්. නමුත් බටහිර රටවල් බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ න්‍යායපත්‍ර අනුව අපි වැඩකළ යුතු බවට. ඔවුන්ගේ සැලසුමක් තිබෙනවා ඉන්දු පැසිෆික් කියලා. ඒ සැලැස්ම වෙන රටවල ක්‍රියාත්මක කරවීම තමයි බටහිර රටවල අදහස. එයට එකඟ වෙන්න අපේ කිසිම නායකයකුට බැහැ.

අරගලකරුවන්ව විවිධ ආකාරයට නිර්වචනය කරන බව පෙනෙනවා, ඇතැමෙක්ට ඔවුන් අරාජිකකරුවෝ, ව්ට්ර්ණීකාරයෝ, හයිජැක්කරුවෝ මොකක්ද ඔබේ නිර්වචනය?

අරගලය තුළ විවිධ කණ්ඩායම් සිටිනවා. ඒ අය අතර විවිධ න්‍යායපත්‍රයන්, විවිධ අරමුණු තිබෙනවා.  ඒවා සමාන නැහැ. පසුගිය දිනවල පාර්ලිමේන්තුව වටකරලා පාර්ලිමේන්තුවට කඩාවැදීමට ගිය පිරිස සැබැවින්ම අරගලයේ පොදු මතය නියෝජනය කළේ නැහැ. එයත් සිදුවුණේ අරගලය නමින්. ඒ නිසා අද කරන ආකාරයට අරගලකරුවන් වර්ග කරන්න බැහැ. එසේ කරනවා නම් එය ඉතා සියුම් ආකාරයට වර්ග කරන්න වෙනවා.

ඔබ නියෝජනය කරන කඳවුරෙනුත් විවිධ අර්ථකථනයන්, නිර්වචනය කිරීම් සිදුවන බව පෙනෙනවා?

ඔව්. අපේ පක්ෂ 10ත් සමහරු යම් යම් මත පළ කරනවා අරගලයේ කණ්ඩායම් ගැන. නමුත් ඒ අදහස් ගැන මට මුකුත් කියන්න බැහැ. එසේ වර්ග කිරීමක් කරනවා නම් නීති විරෝධීව චේතනාත්මකව ක්‍රියා කළ, නොකළ ආදී වශයෙන් තමයි වර්ග කොට හඳුනාගන්න වෙන්නේ. ආණ්ඩුව මේ මොහොතේ ක්‍රියා කළ යුත්තේ එසේ කිරීමටයි.

ස්වාධීන පක්ෂ එකමුතුවේ ඇතැම් පිරිස් රනිල් වික්‍රමසිංහ සතුටුවෙන ආකාරයේ කතා කියමින් සර්වපාක්ෂික ආණ්ඩුවේ ඇමැතිකම් ගන්නද සූදානම් වෙන්නේ?

ඒක මට හරියටම කියන්න බැහැ. ඒක අහන්න ඕනා ඔවුන්ගෙන්ම තමයි.

යම් විධියකින් ඇමැතිකම් භාරගත්තා කියමුකෝ, එතැනින් එහාට මොකක්ද පක්ෂ එකමුතුවට වෙන්නේ?

අපේ පක්ෂ එකමුතුවේ සිටි ටිරාන් අලස් මහත්මයා ඇමැතිකමක් ගැනීමෙන් පසුව ස්වාධීන එකමුතුවෙන් ඉවත් වුණා. ඉවත් වෙන්නට යෝජනා කළා. තවත් අය ඇමැතිකම් ලබාගත්තොත් ඒ ආකාරයටම මේ පක්ෂ 10 තුළ ඉන්න බැහැ.

නව ජනපතිවරයාගේ රාජාසන කතාව තුළ  ඔබ හඳුනාගත් ප්‍රබලතා සහ දුබලතා මොනවාද?

මේක තව වසර 02කට පමණක් පිහිටුවාගත් ආණ්ඩුවක්. වසර 02ක් තුළ කළ හැකි දේවල් තිබෙනවා. ඒ දේවල් මොනවාද කියලා වඩාත් පැහැදිලිව අප ඉදිරියේ තැබුවහොත්  එයට දිය යුතු සහයෝගය කුමක්ද කියලා අපිට සලකා බලන්න පුළුවන්.

ඔහු පවසනවා ප්‍රචණ්ඩත්වයට ඉඩ නොදෙන බව, මේ ප්‍රකාශය සමාජය තුළ විවිධාකාරයෙන් වරනැඟෙනවා, මේ සම්බන්ධව ඔබේ කියවාගැනීම කෙබඳුද?

කාටවත් වුවමනා පරිදි ප්‍රචණ්ඩත්වය කියවගන්න බැහැ. ලංකාවේ නීති පොත්වල ප්‍රචණ්ඩත්වය කියන දේ විග්‍රහකොට තිබෙනවා.

අරගලයේදී ප්‍රචණ්ඩත්වය වැපිරූ බව කියමින්, අනුබල දුන් බව කියමින් මේ මොහොතේ සිදුවන අත්අඩංගුවට ගැනීම් ගැන ඔබ සතුටු වෙනවද?

නැහැ. තෝරලා, බේරලා, වර්ග කරලා අත්අඩංගුවට ගන්න බවක් මට නම් පේන්නේ නැහැ. නිකන් එකම දැලට දාලයි ගන්න හදන්නේ. මැයි 09දා ප්‍රචණ්ඩකාරීව හැසිරුණු, ගෙවල් ගිනි තබපු, මන්ත්‍රිවරයෙක් ඝාතනය කරපු අයව අත්අඩංගුවට ගැනීම උචිතයි. එය අප්‍රමාදව සහ වහාම කළ යුතුයි. එහෙම නැතිව මේ නිකන් මිනිස්සු අත්අඩංගුවට අරන් හරියන්නේ නැහැ. උසාවියෙන් නියෝගයක් දීලා තිබියදී පාරේ ගියාට අත්අඩංගුවට ගන්න එක තේරුමක් නැහැ. ඒවද වැඩ?

අපේ රටේ සාමාන්‍ය ජනතාව ජනපති මැඳුර දැකලත් නැහැ. මැඳුරේ ඇතුළ දැකලත් නැහැ. සමහරු ස්වීමංපූල්වලට බැහැලත් නැහැ. ඒවා දුටු සැණින් ගමේ ඇළ ‍ෙදාළට බහිනවා වගේ බැහැලා නෑවා. ඒකටත් හරියට ගතු කීම් කියනවානේ.

ජන අරගලය ප්‍රචණ්ඩත්වය කරා පරිවර්තනය වීමත් සමඟ දේශපාලනඥයන්ට ඇතිව තිබුණු අනාරක්‍ෂිත හැඟීම  සහ භීතිය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට වාසි සහගතව බලපෑවා නේද?

පොහොට්ටුවේ වැඩි ප්‍රමාණයක් මන්ත්‍රිවරුන්ට අවශ්‍ය වුණා ආරක්‍ෂාව. ඒ සඳහා කෘතහස්ත, කලින් අගමැතිකම් කරපු, බොහොම තද මර්දනකාරී පියවරයන් අරගෙන තිබෙන පුද්ගලයකු මේ වැඩේ භාරගත්තොත් ඔවුන්ට ආරක්‍ෂාව ලැබෙයි කියලා සිතුවා.

අනෙක් පිරිස තමයි ස.ජ.බ. ඔවුන් ස.ජ.බ. සිටියාට ඊට පෙර එ.ජා.ප.යේ. ඒ නිසා ස.ජ.බ. පිරිසකුත් රනිල් වික්‍රමසිංහට ඡන්දය දුන්නා. ඒ හැර ඊව්ඒ එකෙත් පිරිසකුත්, මුස්ලිම් කොංග්‍රසයත් ඔහුට ඡන්දය දුන්නා. අපේ පක්‍ෂ 10 නම් එක සිතින්ම දුන්නේ ඩලස් අලහප්පෙරුම මහත්මයාට.

හොඳටම විශ්වාසද?

ඔව් කිසිවෙක් වෙනස් මතයක සිටියේ නැහැ.

අඟහරුවාදා ඩලස් අලහප්පෙරුම දිනන බව කැට තබා පැවැසුවත් බදාදා පෙරවරුවේ තත්ත්වය කණපිට පෙරළුණා. මොකක්ද වුණේ?

එසේ විය හැකි බවට පැවැසුවේ විමර්ශකයන්. නමුත් බදාදා නොවෙයි මෙය කණපිට පෙරළුණේ. ඊටත් පෙර සිටම තත්ත්වය කණපිට පෙරළෙමින් තමයි තිබුණේ. මර්දනයට හොඳ පළපුරුදුකම්, අත්දැකීම් තිබෙන අයෙක් ජනාධිපති වුණොත් අපිට ආරක්‍ෂාව ලැබෙයි කියලා හිතපු එක තමයි ප්‍රධානම දේ.

ඒ කියන්නේ ඩලස්ට අරගලය මට්ටු කරන්න බෑ. මන්ත්‍රිවරු සුරක්‍ෂිත කරන්න බෑ කියන මතය ප්‍රබලව ඉස්මතු වුණා?

ඔහු මීට පෙර ජනාධිපතිකම් කරලා නැහැනේ. අනෙක් එක ඉතින් ඔහු තද පියවර ගන්න කෙනෙකුත් නෙවෙයිනේ.

සජිත් ප්‍රේමදාසත් සමඟ එකතු වීමත් අවාසියට හිටියේ නැද්ද?

සජබයෙන්නේ එතුමගේ නම යෝජනා කරන්නේ. සජිත් ප්‍රේමදාස යෝජනා කරපු එක ජී.එල්. පීරිස් ස්ථිර කළා. එහෙම නම් ඩලස් අලහප්පෙරුම මහතා කොහොමත් සජබත් සමඟ එකතු විය යුතුයිනේ. සජබ එකතු වුණු නිසා විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට පොහොට්ටුවේ අය ඡන්දය දුන්නා නම් ජී.එල්. පීරිස් මහත්මයාගේ ස්ථිර කිරීම ගැන සලකා බලන්න තිබුණානේ.

රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරවන්න රාජපක්‍ෂවරු උදවු කළාද?

මම ඒක ගැන ඇත්තටම දන්නේ නැහැ. මම ඕවා ගැන අනුමාන කරන්නෙත් නැහැ.

ඡන්දය අවසානයේ අපි ඩලස්ව දැම්මා. නමුත් අපි දාපු කෙනා පැරදුණානේ කියලා මහින්ද රාජපක්‍ෂ මහත්මයා බොහොම සිනාමුසුව පැවැසුවා. ඇත්තටම ඩලස්ව දිනවන්න ඔහු කටයුතු කරන්න ඇතිද?

අපෝ, අමූලික බොරුවක්. මහින්ද මහත්තයා ඩලස්ට ඡන්දය දුන්නේ නැහැ. මම නම් පිළිගන්නේ නෑ ඒ කතාව. මහින්ද මහත්තයා ඩලස්ව දිනවන්න කැම්පේන් එකක් කළේ නැහැ. දේශපාලනයේදී හිතමිත්‍රකම්, නෑදෑකම් නිරන්තරයෙන් වෙනස් වෙනවා. කාලයෙන් කාලයට සන්දර්භයෙන් සන්දර්භයට ඒවා වෙනස් වෙවී යනවා.

හවුල්කාර ස්වාධීන පක්‍ෂ එකමුතුව හදිසි නීතියට පක්‍ෂ වෙද්දී ඔබ ඡන්දය නොදී මඟහරිනවා. ඇයි මත දෙකක්?

මම ඡන්දය දීමෙන් වැළකී සිටියේ මට  හදිසි නීතියට ඡන්දය දෙන්න බැරි නිසා. හදිසි නීතිය ගැන මම කරපු කතාවක ඇයි එයින් වැළකී සිටියේ කියලා මම කිව්වා. මේ හදිසි නීතිය මර්දනකාරී අවියක්. මර්දනකාරී අවියක් දෙන්නේ කා අතටද කියන එක අපි දෙවරක් කල්පනා කළ යුතුයි. එය දෙන්නේ කවර සන්දර්භයක් තුළද කියන එකත් නැවත සිතිය යුතුයි. සන්දර්භය බැලුවත් හදිසි නීතිය වුවමනා නැහැ. බලය දෙන්නේ රනිල් වික්‍රමසිංහට නිසා අපි එක වරක් නොවෙයි දෙවරක්ම බිය විය යුතුයි. ඒ නිසා මම ඡන්දය දීමෙන් වැළකී සිටියා.

ගෝඨාභය රාජපක්‍ෂගේ පසුබැසීම සහ පලායෑම ගැන මොකක්ද ඔබේ මතය?

මට සිතෙනවා එතුමා රටින් පිට වෙලා යන්න අවශ්‍ය නැහැ කියලා. මහින්ද මහත්තයා කළා වගේ නාවික කඳවුරක ඉඳලා නැවත පැමිණෙන්න තිබුණා.

නැවත ජනපති ධුරයටද?

නැහැ. මම කියන්නේ රටින් පිට නොවී මෙරටම සිට ධුරයෙන් ඉවත් වෙන්න තිබුණා කියලයි. ධුරයේ ඉන්නවද, ඉවත් වෙනවද කියන එක එතුමගේ කැමැත්තක්නේ.

ඔහු නැවත මවු රටට පැමිණියහොත් ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

ඒ මනුස්සයා මෙහෙට නෑවිත් කොහේ යන්නද? ගෙවල් ‍ෙදාරවල් මෙහෙනේ තිබෙන්නේ. ඇමරිකාවෙත් තිබුණට එහෙන් වීසා දෙන්නේ නැහැලුනේ. එහෙම නම් ඔහුට මෙරටට එන්න පුළුවන්. හිටපු ජනාධිපතිවරයෙක් විධියට එතුමාට ගෙයක් හිමිවෙනවා. අනෙකුත් පහසුකමුත් ලැබෙනවා. ඒවා අනෙක් අයට වගේම එතුමාටත් දෙන්න ඕනා.

හැමෝම එක එල්ලේ ගෝඨා එපා කිව්වට, ක්‍රමයෙන් කට්ටියට ගෝඨාභය රාජපක්‍ෂ ගැන අනුකම්පාවක් ඇතිවෙමින් තිබෙන බවක් පේනවා. ඔබටත් එවැනි හැඟීමක් ඇතිවෙලාද මෙහෙම කතා කරන්නේ?

ඔය කියන කාරණාව ඇත්ත. නමුත් මගේ හිතේ නම් එවැනි අනුකම්පාවක් ඇතිවෙලා නැහැ. නමුත් අනෙක් අය අතරේ එවැනි අනුකම්පාවක් ඇති වෙමින් පවතින බව මටත් පෙනෙනවා. මම කතා කරන්නෙත් යුක්තිය ගැන මිසක් අනුකම්පාවක් ගැන නෙවෙයි. චන්ද්‍රිකා මැතිනියට ලැබුණු දේවල් එතුමාටත් දෙන්න ඕනා.

නව ජනාධිපතිවරයා වංචා, දූෂණ අවම කරන බවට පොරොන්දු වුණා?

ඔව්. බොහොම හොඳයි.

ඒ කියන්නේ  ඔහුගේ කාලයේ සිදුවුණු බැඳුම්කර වංචාව ඔහුට අමතක වෙලාවත්ද?

අනේ ඔව් ඉතින්. මනුස්සයා බොහොම අහිංසක කතාවක් කරන්නේ. මේකෙ ලොකු විහිළුවක් තිබෙනවා.

හදනවාය කියන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වතාවේදීවත් හැදෙයිද?

වචනය දෙස නෙවෙයි ක්‍රියාව දෙස තමයි අපි බලන්නේ. කෙසේ නමුත් මෙය විය යුතුයි. ජනාධිපති ක්‍රමය නැති කළ යුතුයි. නාමික ජනාධිපතිවරයෙක් රාජ්‍යයේ කටයුතු මෙහෙයවීමට සිටිය යුතුයි. බලය පාර්ලිමේන්තුවට සහ කැබිනට් එකට, යෝජිත කොමිෂන් සභාවලට ලැබිය යුතුයි. නමුත් මේ කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වය ගැන කැබිනට් එකට පිළිතුරු ලබාදීම අත්‍යවශ්‍යයි.

ඊළඟට සමාජ ආරක්‍ෂණය ව්‍යවස්ථාපිත විය යුතුයි. ආදායම් නැවත බෙදීයෑමක් ව්‍යවස්ථාවට ඇතුළත් වෙන්න ඕන. මානව හිමිකම් සුරැකීම, විවිධ ජන කණ්ඩායම්වල අයිතීන් සුරැකීම, කාන්තාවන්ට රැකවරණය ලැබෙන ක්‍රම ගැන සහ ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ගැන නව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුමයි.

අරුණි මල්ලවආරච්චි