චරියා මරලා ඩුබායි පනින්න ගිය නුවන් අල්ලපු එයාර්පෝට් මෙහෙයුම

0
109

මිනිස් ඝාතන සිදුකරන බොහොමයක් තුවක්කුකරුවන් සිය ඉලක්කය සපුරා ගැනීමෙන් පසු සැලසුම් සහගත ලෙස රටින් පලා යන්නේ එම ඝාතන සදා අබිරහසක් කිරීමේ අරමුණෙනි. එමෙන්ම එලෙස පලායෑමෙන් කිසිදා පොලිසියකට හසුනොවෙතැයි ඔවුහු විශ්වාස කරති. එහෙත් මෙවන් අපරාධ පසුපස හඹායන පොලිස් නිලධාරීන්ට තුවක්කුකරු පලා යෑමට මත්තෙන් කොටුකර ගැනීමට හැකියාවක් ඇත්නම් ඒ එම නිලධාරියාගේ රාජකාරිමය පළපුරුද්ද සහ දක්ෂතාව නිසා සිදුවන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු බොහෝ දෙනා පවසන්නේ විමර්ශන පවත්වන පොලිස් නිලධාරියාගේ දක්ෂතාව, පළපුරුද්ද මෙන්ම වාසනා මහිමය නිසාද එවන් අපරාධකරුවන් කොටුවන බවකි.

දින හැටකට ආසන්න කාලයක් තිස්සේ නාඳුනන තුවක්කුකරුවන් විසින් දිගින් දිගටම සිදුකරන මිනිස් ඝාතන නිසා මේ වන විට මුළු පොලිස් දෙපාර්තමේන්තුවම දැඩි ගැටලුවකට මැදිව සිටී. ඒ එම තුවක්කුකරුවන් කොටුකර ගැනීමට පොලිසිය මෙතෙක් අපොහොසත් වීම නිසාය.

ඉකුත් මස 27 වැනිදා රාත්‍රියේ ගල්කිස්ස පොලිස් වසමෙන්ද මෙවන් මිනිස් ඝාතනයක් වාර්තා විය. රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති වීරසේන ද සිල්වා මාවතේ නිවෙසකට කඩාවැදුණු නාඳුනන තුවක්කුකරුවන් එම නිවෙසේ පදිංචි ගෙහිමියා ටී පනස්හය අවියකින් වෙඩි තබා මරා දමන්නේ ඔහුගේ බිරිය අවුරුදු එකහමාරක් වයසැති දරුවාට කිරිදෙමින් සිටි මොහොතකදීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයවීමෙන් විමර්ශනයක් ආරම්භ කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස සිද්ධියෙන් දින තුනකට පසු අදාළ මිනිස් ඝාතනයට සම්බන්ධ වූ තුවක්කුකරු ඩුබායි රාජ්‍යයට පලායෑමට මත්තෙන් කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම කොටුකර ගැනීමට පොලිසියට හැකිවිණි. මෙය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ දක්ෂතාව මෙන්ම වාසනාව මතම සිදුවූවක් බව පොලිසියේ බොහෝ අයගේ මතය වූයේ ඝාතකයන් එලෙස කොටුකර ගැනීමට මෙතෙක් කිසිදු පොලිස් නිලධාරියකුට හැකි වී නොතිබීම නිසාය.

එම සිදුවීම එකිනෙක පෙළ ගැසෙන්නේ මෙවන් ආකාරයෙනි.

ඉකුත් ජූලි මස එක්තරා දිනක තරුණ කාන්තාවක් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හමුවට පැමිණියේ පැමිණිල්ලක් කිරීමේ අදහසිනි.

“සර් රත්මලාන ආර්ථිකයේ ප්ලැට් එකේ ඉන්න නුවනුයි එයාගේ ගෑනියි මටයි මගේ මහත්තයාටයි හොඳටම ගැහැව්වා. අපිව මරනවා කියලාත් කිව්වා.”

දහසකුත් පැමිණිලි විමර්ශනයේ යෙදුණු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එම කාන්තාවගේ පැමිණිල්ල තවත් එක් පැමිණිල්ලක් වුවද ඇගේ ඉතිරි කතාව ඇසූ පමණින් ඔහුගේ අවධානයද ඊට ක්ෂණිකව යොමු විය.

“සර් ඩුබායිවල ඉන්නේ පාතාලේ ධර්මෙත් ඒ වෙලාවේ මගේ මහත්තයට ෆෝන් එකෙන් කතා කරලා තර්ජනය කළා”

ඇය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හමුවේ කීවාය. ධර්මේ යනු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ඝාතනවල නිරතව සංවිධානාත්මකව අපරාධවල යෙදෙන නායකයකු වන අතර ඔහු මේ වන විට රැඳී සිටින්නේ ඩුබායි රාජ්‍යයේය.

ධර්මේ ගැන හොඳින් දැන සිටි මූලස්ථා පොලිස් පරීක්ෂකවරයා එම කාන්තාවගේ පැමිණිල්ල විභාග කිරීම අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා වෙත පැවරුවේ විත්ති පාර්ශ්වය කැඳවා ප්‍රශ්නය නිරාකරණය කරන ලෙස දන්වමිනි.

කෙසේ වෙතත් අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා පැමිණිල්ල සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා විත්ති පාර්ශ්වයේ නුවන් සහ ඔහුගේ බිරිය පොලිසිය වෙත කැඳවන්නටද කටයුතු කරන්නට විය. එහෙත් පැමිණිලි විභාගය සඳහා පැමිණිලිකාරිය සහ ඔහුගේ සැමියා චරිත් නමැත්තාට පොලිසියට පැමිණෙන ලෙස දැන්වූවද ඔවුන් ඒ සඳහා ඉදිරිපත් නොවූ බැවින් විත්ති පාර්ශ්වයේ නුවන් සහ ඔහුගේ තරුණ බිරිය අධිකරණය වෙත යොමු කරන්නට පොලිසිය පියවර ගත්තේය.  අවසානයේ අධිකරණය ඔවුන් ඇප මත මුදා හරින්නට විය.

කාලය මෙසේ දින සති දෙක තුන ගෙවී ගිය අතර මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙනත් රාජකාරිමය කටයුතු නිසා කාර්යබහුල තත්ත්වයක සිටියේය.

ඉකුත් ජූලි මස 27 වැනිදා රත්මලාන ආර්ථිකය ඉදිරිපිට වීරසේන ද සිල්වා මාවතේ පදිංචි පුද්ගලයකු වෙඩි තබා මරා දමන්නේ මේ අතරතුරය.

රාත්‍රි 11.45ට පමණ රත්මලාන ආර්ථික මධ්‍යස්ථාන පොලිස් මුරපළෙන් මේ බව ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත දැනුම් දෙන ලදී.

“සර් ආර්ථිකය ඉස්සරහ පාරේ කාවද මරලා දාලා. පිස්තෝලයක මැගසින් එකත් පාරේ වැටිලා තියෙනවා.”

තොරතුරු සැලවීමත් සමඟ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අපරාධ විමර්ශන අංශය භා ස්ථානාධිපතිවරයාත් සමඟින් රත්මලාන වීරසේන ද සිල්වා මාවතට ගියේ සිය උසස් නිලධාරීන්ද දැනුවත් කරමිනි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තැනැත්තා ඒ වන විටත් රෝහල්ගත කර තිබූ අතර පසුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දැන ගැනීමට ලැබුණේ චරිත් උමයංග ද සිල්වා නොහොත් චරියා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බවකි.

පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සිද්ධිය දැක බලා ගැනීමට පැමිණි මියගිය පුද්ගලයාගේ ඥාතීන් සමඟ කතාබහ යෙදෙන්නට වූයේ චරිත්ගේ ඝාතනය සම්බන්ධයෙන් කුමක් හෝ හෝඩුවාවක් ඔවුන්ගෙන් දැන ගැනීමේ අරමුණිනි.

“සර් දැන් මාසයකට විතර කලින් අර ආර්ථිකයේ  ප්ලැට් එකේ ඉන්න නුවන් එක්ක රණඩුවක් වෙලා ඩුබායිවල ඉන්න ධර්මෙත් මැරුණු චරිත්ට තර්ජනය කරලා තිබුණනේ”

ඥාතීන්ගේ එම කතාබහත් සමඟ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ මතකය අෑතට දිව යන්නට විය. ඔහු මඳක් අතීතය මෙනෙහි කළේය.

“ චරිත් ..චරියා  හරි මීට මාසයකට පෙර කලින් මිනිහාගේ ගෑනි තමයි පොලිසියට ඇවිල්ලා මාව හම්බවෙලා පැමිණිල්ලකුත් දැම්මේ. හරි නුවන් කියලා කෙනෙක් ගෙදරට ඇවිත් ගැහැව්වා කියලත් කිව්වනේ. ඩුබායිවල ඉන්න ධර්මේ කෝල් කරලා චරිත්ට තර්ජනය කළාත් කිව්වානේ.  හරි දැන් මට මතකයි”

“සමහර විට මේ ගේම නුවන් කළාද දන්නෙත් නැහැ. කෝකටත් නුවන් ගැන හොයලා බලන්න ඕනෑ.”

මෙලෙස අතීතය ආවර්ජනය කළ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වහා අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති අලහකෝන් කැඳවා ඔහු විසින් එදා කළ විමර්ශනය ගැන තොරතුරු විමසන්නට විය.

“නාලක ඔයා නේද ඔය කේස් එකට නුවනුයි උගේ ගෑනිවයි ඇරස්ට් කළේ. පොඩ්ඩක් අපි ගිහින් බලමුද නුවනා ගෙදර ඉන්නවාද කියලා. මොකද මට පොඩි සැකයකුත් තියෙනවා ඒකයි.”

එසේ පොලිස් පරීක්ෂක අලහකෝන්ට පැවසූ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එහුද පොලිස් ජීප් රියට නංවාගෙන රත්මලාන ආර්ථික මහල් නිවාස සංකීර්ණයට ගියහ. නිලධාරීන් නුවන්ගේ නිවෙසටද ගියද එහි ‍ෙදාර ජනෙල් වසා දමා තිබිණි. මෙය නිලධාරීන්ට මහත් ගැටලුවක් ගෙන දුන්නේය. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නිවෙසේ පදිංචිව සිටි පුද්ගලයන් නොමැති වීම ගැන අසල්වාසීන්ගෙන් ප්‍රශ්න කරන්නට විය.

“අපි නම් දන්නේ නැහැ සර්. දැන් දවස් දෙක තුනක් තිස්සේ ගෙදර නැහැ. ‍ෙදාරවල් වහලා තිබුණේ.”

නුවන් සහ බිරිය නිවෙසින් අතුරුදන් වීම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ දැඩි සැකයට හේතු විය. ඒ නුවන් සහ මරා දැමූ චරිත් අතර ඇති වූ ගැටුම නිසාය.

“නුවනුයි එයාගේ ගෑනියි ගෙදර නැති එකේ මට පොඩි සැකයක් ආවා. අනික මුන් ඩුබායිවල ඉන්න සංවිධානාත්මක අපරාධකාරයෙක් වුණු ධර්මෙත් එක්ක ගනුදෙනු කරන නිසා මට හිතුණා සමහර වෙලාවට නුවන් ඩුබායිවත් පනින්න පුළුවන් කියලා. ඒ සැකය මත මම ක්‍රියාත්මක වුණා.”

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.  හිත තුළ වූ සැකය මත ඔහු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය භාර ස්ථානාධිපති සේනාධීරට දුරකථන ඇමතුමක් ගත්තේය. සේනාධීර දිලීපගේ මිතුරෙක් විය.

“චීෆ් මගේ ඒරියා එකේ මර්ඩර් එකක් ගැහුවා. ඒකේදි මැරුණු එකාත් එක්ක නුවන් කියලා එකෙක්ගේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. මර්ඩර් එකෙන් පස්සේ අපි නුවන් ගැන හොයලා බැලුවා. නුවනුයි ගෑනියි දෙන්නම ගෙදරින් මිසිං. මිනිහා ඩුබායි ධර්මෙත් එක්ක සම්බන්ධයක් තියෙනවා. මම චීෆ්ට නම් ගම්, අයිඩී නොම්මර සේරම දෙන්නම්, සමහර වෙලාවට ඩුබායි යන්න එයාපෝර්ට් එන්න පුළුවන්. පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉන්න.”

“හරි මල්ලි බය වෙන්න එපා. උඹ මට අයිඩී නොම්මරේ දාපන්කො”

ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාධීර තම මිතුරාට කීය. නුවන්ගේ සහ ඔහුගේ බිරියගේ නම් ගම්, ජාතික හැඳුනුම්පත් අංක ඒ වනවිටත් ගල්කිස්ස අපරාධ විමර්ශන අංශය සතුව තිබිණි. ඒ ඊට මාසයකට පෙර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම සිදුකළ මොහොතේ නිලධාරීන් ඒවා ලබාගෙන තිබූ නිසාය.

කෙසේ වෙතත් නුවන් නමැත්තා මෙරටින් පලායෑම නතර කරලීම සඳහා කෙරෙන තහනම් නියෝගය සම්බන්ධ කරුණු අධිකරණයට වාර්තා කළ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයේ අනුමැතිය සඳහන් ලිපි ලේඛනද කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත යොමු කරන්නට විය. ඒ සමඟම එහි ස්ථානාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් වෙමින් සෙසු නිලධාරීන්ටද ඒ බව දන්වා සිටියේය.

ඒ අතරතුර චරිත් ඝාතනය කිරීමට පුද්ගලයන් පැමිණි ආකාරය හඳුනාගැනීම සඳහා රත්මලාන ආර්ථිකය සහ ඒ අවට ඇති සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමටද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කළේය. ඒ සඳහා කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දෙහිදෙණිය මහතා ලබාදුන් උපදෙස් විමර්ශනයට බෙහෙවින් වැදගත් වූයේ ඔහුද ස්ථානාධිපතිවරයකු ලෙස රාජකාරි කරන සමයේ අපරාධ විමර්ශනය සඳහා දැක්වූ දස්කම් මෙම විමර්ශනයටද වැදගත් වූ නිසාය.

ඒ ඉකුත් ජූලි මස 30 වැනිදාය. රාත්‍රී 8ට පමණ ඇත. එමිරේට්ස් EK 653 ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා යෑමට සූදානම්ව තිබිණි. මේ අතරතුර ගුවන් තොටුපොළ භාර ස්ථානාධිපති සේනාධීර වෙත කිසියම් තොරතුරක් ලැබිණි.

“සර් අපි ට්‍රැවල් බෑන්ඩ් එකක් දාපු නුවන් කියන කෙනායි මිනිහගේ ගෑනියි දැන් යන්න තියෙන ඩුබායි ප්ලයිට් එකට නඟින්න කවුන්ටරේට ඇවිත් ඉන්නවා”

ලැබුණු තොරතුරු අනුව වහා ක්‍රියාත්මක වූ ගුවන් තොටුපොළ පොලිස් ස්ථානාධිපතිවරයා කණ්ඩායමක්ද සමඟින් ගොස් සැකකරු සහ බිරිය අත්අඩංගුවට ගත්තේ ඔවුන් ඩුබායි බලා යෑමට විනාඩි ගණනකට මත්තෙන්ය. පසුව මේ බව සිය මිතුරා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීපට හෙතෙම දන්වා සිටියේය.

ඉන් අනතුරුව අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා නුවන් බව අනාවරණය කරගත් නිලධාරීන් ඔහු සහ ඔහුගේ බිරිය දැඩි ආරක්ෂක රැකවරණය මැද ගල්කිස්ස පොලිසිය වෙත භාරදෙනු ලැබීය.

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ක්ෂණිකව එවන් තීරණයක් නොගත්තේ නම් නුවන් සහ ඔහුගේ බිරිය මේ වනවිට සිටින්නේ ධර්මේ සමඟ ඩුබායි රාජ්‍යයේය.

“ඇයි උඹ චරිත්ව මැරුවේ”

විමර්ශන නිලධාරීහු නුවන්ගෙන් විමසූහ. ඩුබායි බලා පැනයෑමේ බලාපොරොත්තුවද සුන් කරගෙන සිටි නුවන් ඒ වනවිට සිටියේ දැඩි අසරණවය. චරිත් ඝාතනය කිරීමට හේතුව ඔහු එකක් නෑර පවසා සිටියේ වෙන කරන්නට කිසිම දෙයක් නොවූ නිසාය.

නුවන්ගේ බිරිය ළාබාල වියේ පසුවූ රූමත් තැනැත්තියකි. දිනක් ඇය මුණගැසුණු චරිත් ඇයට අනවශ්‍ය වචන කියමින් කතා කරන්නට විය. ඇය මේ බව සිය සැමියා වූ නුවන්ට පවසා තිබුණාය. මින් කිපුණු නුවන් ඇයද සමඟ චරිත්ගේ ගෙදරට ගියේ බිරියට අනවශ්‍ය විහිළු කිරීම ගැන චරිත්ගෙන් විමසන්නටය. ඒ මොහොතේ චරිත්, නුවන්ට සහ බිරියට බැන වැදී ඇති අතර ඒ මොහොතේ නුවන් ඩුබායි රටේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ධර්මේ නමැත්තාට දුරකථන ඇමැතුමක් ගෙන චරිත් ඉදිරිපිටම ධර්මේට සියල්ල පවසන්නට විය.

“දීපන් ෆෝන් එක චරියට”

ධර්මේ නුවන්ට කීවේය. නුවන් දුරකථනය චරිත්ට දුන්නේය.

“මේ මොකද උඹට වෙලා තියෙන්නේ. උඹ හිතුවේ අපි මැරිලා කියලද. අපි තවම ජීවත් වෙනවා. උඹලා යාළුවෝ නේද. උඹ පාඩුවේ ඉඳපන්. ඕවා දුරදිග ඇදගෙන යන්න එපා දන්නවනේ…”

ධර්මේ එසේ කියා තර්ජනයක්ද කර තිබිණි. ඉන් කෝපයට පත් චරිත් ධර්මෙගෙ වචනෙ ගණනකට නොගෙන නුවන්ට පහරක් ගසා ඇත. නුවන් පසුව මේ බව ඩුබායි ධර්මෙට පවසා සිටියේය.

“හරි. ඉඳපන් ඕකට හොඳ වැඩක් කරමු”

ඒ අනුව ධර්මේගේ උපදෙස් මත චරිත් ඝාතනය සැලසුම් කෙරිණි. ඒ සිදුවීමෙන් දින කිහිපයකට පසු නුවන් සහ බිරිය ආර්ථික මහල් නිවාසයේ ‍ෙදාර ජනේල් වසා දමා නිවෙසින් පිටත් වූහ. ඒ ධර්මෙගෙ උපදෙස් මතය.

“ඉන් පස්සේ මේ දෙන්නා ඔලබොඩුව, හොරණ, මහරගම පැත්තේ ඉඳලා තියෙනවා. මහරගමදි තමයි නුවන්ගේ ගෑනි මහරගම ෂොප් එකකට ගිහින් ආමි කැමා ඇඳුම්, කැප් බුට් එහෙම සල්ලි දීලා අරගෙන තියෙන්නේ. එතැනදී ඒ කඩෙන් අහල තියෙනවා ඔයාට මොකටද කැමා ඇඳුම් කියලා. එතැනදී මේ ගෑනු කෙනා කියලා තියෙන්නේ මගේ මහත්තයා ඉන්නේ ආමි එකේ මුලතිව්වල එයාට යවන්න තමයි ඇඳුම් ගන්නේ කියලා.”

“මහරගම ලොජ් එකක දවසක් ඉන්න කොට තමයි පුද්ගලයෙක් අතේ ධර්මෙගේ උපදෙස් මත නයින් එම්.එම්. පිස්තෝලයක් නුවන්ට ගෙනත් දෙන්නේ”

“එතැනින් පස්සේ මෙයාලා යනවා හංවැල්ලේ හෝටලයකට. ඒ හෝටලේ කාමරයක් 28 වැනිදා වෙනකම් බුක්කරලා ඒකේ නවතිනවා.

ඔය අතරේ ධර්මේ කෝල්කරලා නුවන්ට කියනවා” සුදුපාට කාර් එකක් එයි. ඒකේ ඩ්‍රයිවරුයි තව කෙනකුයි එයි. එයා අතේ පනස්හයකුත් තියෙනවා. ගිහින් අරූට ගහලා දාපන්. උෟ මම කියන දේත් අහන්නේ නැතිව උඹට ගැහැව්වනේ…”

ධර්මේ චරිත් ඝාතනය කළ යුතු ආකාරය ඩුබායි රටේ සිටම නුවන්ට පවසන්නට විය.

27 වැනිදා ධර්මේ කී පරිදිම හංවැල්ල හෝටලය අසලට සුදු පැහැති මොටෝරියක නැඟගත් පුද්ගලයන් දෙදෙනකු පැමිණියහ. නයින් එම්.එම්. පිස්තෝලයද අතැතිව ඊට නැඟගත් නුවන් ඔවුහු සමඟ රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසලට ගියහ. ටී-පනස්හය අතැතිව පැමිණි පුද්ගලයා චරිත්ව හඳුනන්නේ නැත. ඔහුට චරිත් පෙන්වීම නුවන්ගේ රාජකාරිය විය. ආර්ථිකය අසල මොටෝ රිය නතර කළ නුවන් සහ සගයා ගිනි අවි දෙකම අතැතිව ආර්ථිකය ඉදිරිපිට ඇති වීරසේන ද සිල්වා පාරේ චරිත්ගේ නිවෙසට ගියහ.

චරිත් පෞද්ගලික කුලී රථ රියැදුරෙකි. එදින රාජකාරියේ යෙදුණු ඔහු ඊට සුළු වේලාවකට පසු නිවෙසට පැමිණ තිබිණි. දියණියන් දෙදෙනකුගේ පියකු වන චරිත් මුහුණ, කට සෝදාගෙන රාත්‍රි ආහාරය ගැනීමට සූදානම් විය. බිරිය කුඩා දියණියට කිරි පොවමින් සිටියාය. ඒ සමඟම කිසිවකු ‍ෙදාරට තට්ටු කරන හඬ ඇසිණි. වේලාව රාත්‍රි 11.40ට පමණ ඇත.

චරිත් ක්ෂණිකව ගොස් ඉදිරිපස ‍ෙදාර විවර කළේය. වහා ක්‍රියාත්මක වූ නුවන් සිය අත තිබූ නයින් එම්.එම්. ගිනි අවිය චරිත් දෙසට එල්ල කර ‘කොකා’ ගැස්සුවේය. එහෙත් ගිනි අවිය ක්‍රියාත්මක වූයේ නැත. චරිත්ට කර කියාගත හැකි දෙයක් නොවීය. නුවන්ගේ ගිනි අවිය අක්‍රිය වූ බව දැනගත් මිතුරා ඒ සැණින් අත තිබූ ටී පනස්හයෙන් චරිත් ඉලක්කකොට වෙඩි කිහිපයක් තැබීය. චරිත් කපාලු කෙසෙල් කඳක් මෙන් ලේ පෙරාගෙන බිම වැටිණි. තුවක්කුරුවෝ සැණින් පලාගියහ.”

නුවන් මේ සියල්ලම නිලධාරීන් හමුවේ හෙළි කරන්නට විය.

“ඉන් පස්සේ මම පිළියන්දල ආර්පිකෝ බැහැලා හංවැල්ලේ හෝටලයට ගියා. එතැනින් අපි දෙන්නා සීදූවට ගිහින් ඩුබායි යන්න ටිකට් සේරම බුක් කරගෙන එයා පොර්ට් එකට ගිහින් ඉන්නකොට තමයි සර්ලා ඇවිත් අල්ලගත්තේ.”

නුවන්ගේ ප්‍රකාශය සත්‍යදැයි සොයා බැලීම සඳහා පිළියන්දල පුදේශයේ සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමේදී ඔහු පවසන්නේ ඇත්තක් බව හෙළිවිය. ඉන් අනතුරුව ඔහුගේ ප්‍රකාශය මත චරිත් මරා දැමීමට යොදාගත් මොටෝරියත් එය තුළ සඟවා තිබූ නයින් එම්.එම්. ගිනි අවියත් සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිය.

“අපි මේ සිද්ධියට හෝකන්දර පැත්තේ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. මිනිහා අතේ යතුරක් තිබුණා. ඒක කොහෙන්ද කියලා බැලුවම ඒක ලොරියක යතුරක්. පස්සේ ඒ ලොරිය ගෙන චෙක් කරද්දී ඒකේ ඇතුළේ තිබිලා හෙරොයින් සහ ඒවා පැකට් කරන්න ගන්න කොළ වගයකුත් හම්බවුණා.”

විමර්ශන පැවැත්වූ නිලධාරියෙක් කීවේය. අත්අඩංගුවට ගැනුණු නුවන් යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළෙක් වන අතර ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ධර්මේගේ ගෝලයෙකි. ඔහු මිනිස් ඝාතන තුනකට චෝදනා ලැබූවෙකි.

අත්අඩංගුවට ගත් නුවන් සහ ඔහුගේ තරුණ බිරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන්නට වූ අතර ඉන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතය.

බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, ගල්කිස්ස කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරි සාරනාත් සමරකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් හා අධීක්‍ෂණය මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන්, කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ ඇතුළු කොස්තාපල්වරුන් වන කුමාර (40527), මේනක (78060), වීරසිංහ (85557) සහ ලක්මාල් (87657) යන නිලධාරීහු මෙම විමර්ශනයට එක්ව සිටියහ.

(පොලිස් විමර්ශන ඇසුරෙන් ලිපිය සකස් විය)

කීර්ති මෙන්ඩිස්