ගෝල්ෆේස් භූමියට සහන කාලයක්

0
11

අදාළ නීති ප්‍රතිපාදන මත ලබන 10 වැනි දිනට පසු ගාලුමුව‍ෙදාර අරගල භූමියේ සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා තෙක් වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් රජය වැළකී සිටින බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ 05දා ප්‍රකාශ කර සිටියේය. එම භූමියෙන් 05දා සවස 5ට පෙර ඉවත් වන ලෙසට පොලිසිය විසින් කර ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා සිටිමින් අරගලකරුවන් තිදෙනකු විසින් ගොනු කොට තිබූ ‘රිට්’ පෙත්සම් පිළිබඳ මූලික කරුණු විමසුමේදී අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා නීතිපතිවරයාගේ වාචකය ප්‍රකාශ කර සිටියේය.

විනිසුරු සෝභිත රාජකරුණා සහ විනිසුරු ධම්මික ගනේපොල යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ එම පෙත්සම් විමසුම සිදුවිය.

එකී කාලවකවානුව තුළ එනම්. 10 වැනි දිනට පෙර අදාළ නීති ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන අනෙකුත් මූලික ක්‍රියාකාරකම් ආදිය සිදුකිරීම සඳහා පොලිසියට කිසිදු බාධාවක් නොමැති බැව් මෙහිදී විනිසුරු මඬුල්ල නීතිපතිවරයාට දන්වා සිටියේය.

එමෙන්ම පොලිසිය දැනුම්දී ඇති පරිදි එම භූමියෙන් ඉවත්ව යෑමට හෝ ඉදිකොට ඇති අනවසර ඉදිකිරීම් ආදිය ඉවත්කර ගැනීමට විරෝධතාකරුවන්ටද මෙම ප්‍රතිඥාව මඟින් කිසිදු බලපෑමක් සිදු නොවන බවද විනිසුරු මඬුල්ල පෙත්සම් පාර්ශ්වයට දන්වා සිටියේය.

ජනාධිපති නීතිඥවරුන් වන රියන්සි අර්සකුලරත්න, සාලිය පීරිස්, එම්.ඒ. සුමන්දිරන්, අස්තික දේවේන්ද්‍ර යන නීතිඥ මණ්ඩලය පෙත්සම් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.

කමල් මහේන්ද්‍ර වීරරත්න