ගිල්ගමේෂ්ගේ සිහිනය හෙට දවසේ සැබෑවක් වෙයිද?

0
433

ගිල්ගමේෂ් කියන්නෙ ලෝකයේ ලියවුණු ඉපැරණිම කතාන්දරය කිව්වොත් මම නිවැරදියි. ඉතිහාසය කියන්නෙ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒක බරපතළ විෂයක්. ඒක සුළුකොට තැකීම එතරම් හොඳ දෙයක් විධියට මම දකින්නෙ නැහැ. හැබැයි අති නූතන දාර්ශනිකයෙක් වුණ ෆෙද්‍රික් ජෙම්සන් එයාගෙ ‘The Political Unconscious’ කියන පොතේ ලියන විධියට ඉතිහාසය කියන්නෙ නපුරට (Real) අනුව සිදුවන ප්‍රපංචයක්. අවසානයේදී ජෙම්සන් එළඹෙන නිගමනය වෙන්නෙ අද අපි ඉතිහාසය කියල කතා කරන දෙය කිසිසේත්ම පැවැතිලා නැහැ කියන එකයි. කොටින්ම ඉතිහාසය කියල දෙයක් නැත්තේම නැති තරම් කියල ජෙම්සන් කියනවා. ගිල්ගමේෂ් කියන කතන්දරය මිනිස්‌ අත්අකුරින් ලියපු මුල්ම කතාව කියල කියන්නත් පුළුවන්.

මේක වීර කාව්‍යයක්. එහෙම නැත්නම් එපික් එකක් කියල කියන්න පුළුවන්. මේ කතාව අඩංගු පොතේ පිටු නිර්මාණය කරල තිබෙන්නෙ මැටි පුවරුවලින් වීමත් විශේෂත්වයක්. මේ වීර කාව්‍යය වසර 5500කට පමණ පෙර ලියා ඇති බව තමයි විද්වතුන් කියන්නෙ. අනික ගොඩක් පුරාණ ලියවිලි වගේම ගිල්ගමේෂ් වීර කාව්‍යත් ලියවිලා තිබෙන්නෙ පද්‍යයෙන්. මේක ආක්කාදි නම් භාෂාවක අකුරුවලින් මැටි පුවරුවක ලියවුණු බරපතළ කතන්දරයක්. හෝමර්ගෙ ඔඩිසි සහ ඉලිසිද් වගේම වාල්මිකීගේ රාමායණය, මහා භාරතය වගේම ගිල්ගමේෂ්ගෙ වීර කාව්‍යයටත් ලැබෙන්නෙ විශාල තැනක්. මීට වසර පන්දහස් පන්සීයකට පෙර ලියවුණු ගිල්ගමේෂ් වීර කාව්‍යය ලියූ පුද්ගලයෙක් ගැන සඳහන් වෙන්නෙ නැහැ. එහි කර්තෘ අඥාතයි. යුප්‍රටී්‍රස් ‌සහ ටයිග්‍රීස්‌ කියන ගංගා දෙක අතර පිහිටි මෙසපොතේමියානු

ශිෂ්ටාචාරයෙහි මෙය ලියැවුණු බව තමයි විද්වත් මතය වෙන්නෙ. අද වර්ග සැතපුම් එක්‌ලක්‍ෂ හැටනව දහස් ‌දෙසිය තිස් ‌හතරක්‌ විශාල ඉරානය නමැති රටේ විශාල කොටසක්‌ එදා මෙසපොතේමියාවට අයත් වුණු බව තමයි ඉතිහාසඥයන් දරන මතය වෙන්නෙ. මීට අවුරුදු දහස් ගණනකට පෙර ලෝකයේ භූමිභාගයන් කිහිපයකම මේ ශිෂ්ටාචාරයන් පහළ වෙලා තිබෙනවා. යුප්‍රටී්‍රස්‌ ටයිග්‍රීස්‌ ආශ්‍රිත දෙගඟ මැදි රාජ්‍යයක් වූ මෙසපොතේමියාව කියන්නෙ ඉන් එක්‌ බිමක් කියල කියවෙනවා. අනෙක් ශිෂ්ටාචාරය වෙන්නෙ ඉන්දීය උප මහාද්වීපයේ පහළ වූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය.

සැතපුම් 2000ක්‌ දිග ඉන්දු ගංගාව දිගේ පිහිටි සාරවත් පස්‌ සහිත භූමියෙහි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පැවතුණා. හොවැංහෝ සහ නයිල් නිම්න යන නමින් පවා ශිෂ්ටාචාර තිබුණත් මෙසපොතේමියානු ශිෂ්ටාචාරය තරමක් විශේෂයි. ඒ ලෝකයේ මුල්ම අත්අකුරු සම්ප්‍රදාය බිහිවන්නේ මෙසපොතේමියාවට අයත් සුමේරියාවේ නිසායි. ගොවිතැන මුල් කරගත්තු මේ ශිෂ්ටාචාරයෙ මිනිස්සු පසුකාලීනව ගෙවල් ‍ෙදාරවල් නිර්මාණය කරගනිමින් කල්ගෙවනවා. මේ අතරෙදි ඔවුන් අකුරු ලිවීමට හුරුවෙනවා. මේ අකුරු ලිවීමේ කලාව බිහිවීම නිසා තමයි සාහිත්‍යය බිහිවෙන්න ගන්නෙ.

අනෙක් දේ සිහින ගැන කතා කරද්දි ගිල්ගමේෂ් වීර කාව්‍යයේ තිබෙන සිහින පිළිබඳ කතන්දරය බයිබලයේ එන සිහිනවලටත්, බෞද්ධ සාහිත්‍යයේ එන කොසල් රජතුමාගේ සිහිනවලටත් වඩා ඉතා ඉපැරණියි. මෙහෙම බලද්දි ගිල්ගමේෂ් කාව්‍යය මොනතරම් නම් ඉපැරණිද? අපි බලමු මැටි පුවරු එකොළහක ලියවුණු මේ කතන්දරය මොකක්ද කියලා.

ගිල්ගමේෂ් කියන්නෙ රජ කෙනෙක්. ඔහු සුමේරියාවේ නගරයක්‌ වූ සහ උරුක්‌නම් ප්‍රදේශයේ ජීවත් වූ රජ කෙනෙක්. ගිල්ගමේෂ් රජුගෙ මව පූජකවරියක්. ඒ වගේම පියා දෙවියෙක්. මනුෂ්‍ය දුවකගේ සහ දෙවියෙක්ගේ දරුවා වූ නිසා ගිල්ගමේෂ්ගේ ශරීරයෙන් තුනෙන් දෙකක්‌ දිව්‍යමය වූ අතර ඉතිරිය මනුෂ්‍ය වුණා. මේක ටිකක් ග්‍රීක සාහිත්‍යයේ එන ඩෙමි ගෝඩ් එහෙමත් නැත්නම් අඩ දෙවියා නම් සංකල්පයට බොහෝම ළඟයි. හර්කියුලිස් නැත්නම් හෙරක්ලිටස් කියන්නෙත් එහෙම කෙනෙක්. කොහොම හරි ඒකෙන් ඉතා සියුම්ව අදහස් වෙනවා ගිල්ගමේෂ්ගෙ මනුෂ්‍ය කොටස කවදා හෝ දවසක මිය යනවා කියන දෙය. ඒ වගේම මේ කොටසට ලෙඩ රෝග වැල‍ෙ¾දනවා කියන දේත් මතක තබා ගන්න ඕනේ. උරුක්‌ නගරය වටා

විශාල තාප්පයක්‌ ඉදිකරමින් සිටි ගිල්ගමේෂ් ඒ සඳහා තම වැසියන් බලහත්කාරයෙන් යොදා ගනිමින් ඔවුනට තාඩන පීඩන කරනවා. සෑම තරුණියක්‌ම විවාහ වන දිනයේදී දූෂණය කරන්නත් ඔහු පුරුදු වෙලා හිටියා. (මේ අයුරින්ම විවාහයට පෙර රජතුමා මනාලිය දූෂණය කිරීම සමාන කතාවක් තිබෙන සිනමාපටයක් ලෙස මෙල් ගිබ්සන් අධ්‍යක්ෂණය කළ Brave heart පෙන්වා දෙන්න පුළුවන්)

ගිල්ගමේෂ් රජුගේ අවනීතික අකටයුතුකම් නැවැත්වීමට රටවැසියන් උත්සාහ කරනවා. අන්තිමේදි කොහොම හරි  උරුක්‌ වැසියෝ මෙහෙම දෙයක් කරනවා. අන් ආනු කියන සුමේරියන් දෙවියන්ට ඔවුන්ගෙ රජතුමා වුණ ගිල්ගමේෂ් ගැන පැමිණිලි කරනවා. සුමේරියන් ඇදහිල්ලේ විධියට මැවුම්කාරී බලය හිමිවුණේ අරුරු කියන දෙවඟනට. ඇය කැඳවන අන් ආනු දෙවියෝ ගිල්ගමේෂ් පරදවා උරුක්‌ වැසියන්ට සදාකාලික නිදහස්‌ ලබා දෙන්න පුළුවන් කෙනෙක්‌ මවන්න කියල නියෝග කරනවා.

අරුරු දෙවඟන මැටි ගුළියක්‌ රැගෙන සීඩර් ගස්‌වලින් පිරුණු වනයකට ඒක දමා ගසනවා. මේකෙන් එන්කිදු  කියන අර්ධ තිරිසන් අර්ධ මනුෂ්‍ය සත්ත්වයෙක් උපදිනවා. සුමේරියානු වනයට වදින ඔහු දඩයක්‌කාරයන් ඇටවූ උගුල්වලට හසුවුණු සත්ත්වයෝ නිදහස්‌ කරනවා. දඩයක්‌කරුවෝ එන්කිදු කියන අඩ තිරිසන් රාක්ෂ මිනිසා ගැන ගිල්ගමේෂ්ට පැමිණිලි කරන්න ගන්නවා. ගිල්ගමේෂ් වෛශ්‍යාවක් කැඳවලා එන්කිදුව වසඟ කර රැගෙන එන්න කියනවා. මේ වෛශ්‍යාව දවස් හතක්‌ පුරාවට එන්කිදුට ප්‍රේම කරමින් ඔහුට මිනිස්‌ ගතිගුණ පුරුදු කරනවා. මෙතෙක්‌ කලක්‌ සොබාදහම සමඟ බැඳී සිටි මේ නපුරු සත්ත්වයා ක්‍රමයෙන් ස්‌වකීය යහපත් ගතිගුණද, සොබා දහමට වූ ආදරයද නැති කරගත් සම්පූර්ණ

මනුෂ්‍යයෙක්‌ වෙනවා. ඔහු එ‍ෙ¾ඩ්ර පිරිසක්‌ සමඟ එක්‌ව සත්ත්ව පාලනය පුරුදු වෙනවා. ඔහු ඇ¾දුම් අඳින කතාබහ කරන මනුස්සයෙක් වෙනවා. මේ කාලෙදි ගිල්ගමේෂ් රජතුමා සිහිනයක් දකිනවා. තරුවක් කඩාවැටෙනවා තමයි දකින්නෙ. මේ ගැන රජතුමා අම්මගෙන් අහනවා. අම්මා පූජකවරියක් නිසා ඇයට සිහින තේරීමේ හැකියාවත් තිබුණා. ගිල්ගමේෂ් රජුගෙ අම්මා කියන විධියට ඒ සිහිනයේ අරුත වුණේ ගිල්ගමේෂ්ට බලසම්පන්න කලණ මිතුරෙක් හමුවනවා කියන එක. මේ අතරතුරේදි උරුක්‌ නගරයේ විශාල උත්සවයක්‌ සිද්ධ වෙනවා. එදාම විවාහ මංගල්‍යයකුත් පැවැත්වෙනවා. ගිල්ගමේෂ් මනාලිය තම මාලිගයට ගෙන්වාගෙන ඇය කෙලෙසන්නට සැරසෙද්දී අත්වැරදීමකින් රාජ මාලිගයට එන එන්කිදු රජුගේ පහත් ක්‍රියාව ගැන ඉව වැටී වියරු වැටෙනවා.

මේ හේතුවෙන් එන්කිදු සහ ගිල්ගමේෂ් දෙදෙනා සටනට එළඹෙනවා. පැය ගණනක්‌ සටන් කිරීමෙන් පසු දෙදෙනාගේම ශක්‌තිය එක හා සමාන බව දෙදෙනාටම වැටහෙන්න ගන්නවා.  ඔහුගේ අම්මා කියූ ශක්තිවන්ත මිතුරා එන්කිදු බව ගිල්ගමේෂ්ට තේරුම් යන්නෙ මේ වෙලාවේ. මේ වෙලාවෙදි තමාට උපත දුන් සීඩර් ගස්‌ සහිත වනාන්තරය තුළ සිටින හුම්බාබා හුවාවා කියල කියන බලගතු දෙවියෙක් ගැන එන්කිදු, ගිල්ගමේෂ්ට තොරතුරු කියනවා. මේ දෙවියන් පරදවා වනයේ ඇති සීඩර් ගස්‌ සියල්ල කපාගෙන උරුක්‌ නගරයට ගෙන එමු යැයි ගිල්ගමේෂ් යෝජනා කරනවා. බලගතු දෙවියා විනාශ කිරීමට හැකි වුණොත් තමා සුමේරියාවේ ජාතික වීරයක් වන බව ගිල්මේෂ්ගේ විශ්වාසය වෙනවා.

ඒත් හුම්බාබා හුවාවා දෙවියන්ගේ තරම දන්න එන්කිදු මෙයට එකඟ වෙන්නේ නැහැ. දෙවියන් ඉදිරියේදී දෙදෙනාටම මැරුම් කන්න වෙන බව එන්කිදුට ඒත්තු ගැන්වෙනවා. කොහොමහරි අවසානයේදී එන්කිදු ගමනට පොලඹවා ගැනීමට ගිල්ගමේෂ්ට පුළුවන් වෙනවා. ගමන ඇරඹීමට පෙර ගිල්ගමේෂ් තමන්ගේ අම්මා වෙන නින්සුන් පූජකවරිය හමුවී ආශීර්වාද ඉල්ලනවා. ඇය උටු සමාෂ් කියන බලගතු සූර්ය දිව්‍ය රාජයාණන් හමුවී සිය පුත්‍රයාට ආරක්‍ෂාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. හිරු දෙවියා මේකට එකඟ වෙනව වගේම ගිල්ගමේෂ්ට ඉදිරියෙන් එන්කිදු ගමන් කළ යුතුයි කියලත් කියනවා.

සීඩර් වනයට අධිපති හුවාවා හුම්බාවා දෙවියෝ අධික බලයක් ‌ඇත්තෙක්. ඔහු සතුව තියුණු රැස්‌වළලු හතක්‌ තිබෙනවා මෙන්ම ඔහු යෝධයෙක් මෙන් ශක්තිවන්ත හැඩිදැඩියෙක්. ඔහු නිකම් සිටින අවස්ථාවන්වල මේ රැස්‌වළලුවලින් එකක්‌ පමණක්‌ පැලඳගෙන සිටිනවා. සටනකදී පමණක් හතම පලඳිනවා. ගිල්ගමේෂ්ට මව කියන්නෙ මේ එක් වළල්ලක් පමණක් පැලඳ ඉන්න වෙලාවට පහර දෙන්න කියලා. එන්කිදු මුලින්ම සටනට යනවා. අවසානෙදි ගිල්ගමේෂ් ඔහුගෙ හිස ගසා දැමූ බව තමයි කියවෙන්නෙ.

ආපසු උරුක්‌ බලා එන මේ සගයො දෙන්නා සීඩර් වනයේ ගස්‌ කපාගෙන විත් නගරයට අලුත් ගේට්‌ටුවක්‌ හදනවා. මේකට පස්සෙ තමයි මොවුන් දෙදෙනාම ජාතික වීරයන් බවට පත් වෙන්නෙ. මේ අතර ඉන්නාර් (ඉෂ්තාර්, ඉනන්නා යන නමින් හැඳින්වෙන්නෙත් මේ දෙවඟනයි) නමැති දේවතාවියක් ගිල්ගමේෂ්ට වසඟ වෙලා ඔහුගෙ ආදරය පතනවා. ඇය බලගතු සුමේරියානු දෙවියෙක් වන අන් අනු නම් දෙවියාගේ දියණිය. ඇය කාමයට ලොල් තැනැත්තියක් සහ පෙම්වත්තු බොහෝ දෙනෙක් සිටි කෙනෙක් නිසාවෙන් ගිල්ගමේෂ් ඇයව ප්‍රතික්ෂේප කරනවා. මේ හේතුවෙන් බලවත් සේ කෝපයට පත්වන ඉන්නාර් දෙව්දුව දෙව්ලොවේ සිටින බලසම්පන්න කුළු හරකෙක් උරුක්‌ නගරයට එවා නගරය විනාශ කරවන බවට තර්ජනය කරනවා.

තම පියාගෙ කැමැත්තෙන් ඇය ඒ කුළු හරකා නගරයට මුදා හරින්නෙ ගිල්ගමේෂ්ගෙන් පළිගන්න. මේ කුළු හරක් දිව්‍යමය වීම නිසාවෙන් නහයෙන් ගිනි පිට කිරීමට පවා හැකිවූ බව කියවෙනවා. අදටත් කුළු හරකෙක් සිතුවමට නඟද්දි දුම් පිටවීම මේ මිථ්‍යාව නිසාවෙන් ඇති වූවක් බවටද මතයක් වෙනවා. මේ කුළු හරකාගෙන් පිටවෙන ගිනි දලුවලින් උරුක් නගරෙ මනුෂ්‍යයෝ සිය ගණනක්‌ පිලිස්සිලා යනවා. වහා උඩ පනින එන්කිදු කරන්නෙ හරකාගේ අංවලින් අල්ලා ගන්න එක. ඒ අතරෙම ගිල්ගමේෂ් තමන්ගෙ කඩුවෙන් කුළු හරකාට පහර දෙන එක. ඒ වෙලාවෙම එන්කිදු හරකාගේ පසුපස පාද කපා දමනවා. අන්තිමේදි මේ කුළු හරකාව කරකවල දෙව්ලෝකෙට වීසි කරනවා. මේක නිසා ඉන්නාර් දෙව්දුවට තරහ ගිහින් තිබෙනවා.

ඉන්නාර් දෙව්දුව දේව මණ්‌ඩලයේ හදිසි රැස්‌වීමක්‌ කැඳවනවා. ගිල්ගමේෂ් හෝ එන්කිදු යන දෙදෙනාගෙන් එක්‌ අයකු මිය යා යුතු බවට ආඥාවක්‌ ඇය පනවනවා. එන්කිදු දැන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්. මේ හේතුවෙන් ඔහුට උණ රෝගයක්‌ වැලඳෙනවා. මේ උණ නිසාවෙන් ඔහු මිය යනවා. එන්කිදු මරණයට පෙර ඔහු තමාට මනුෂ්‍ය ගතිගුණ ඉගැන්වූ ගණිකාවට සාප කරනවා. කොහොම හරි ගණිකාව ඔහුගෙ අතීත කාලකණ්ණිකම මතක් කරනවා. එන්කිදු මියයන්නෙ ඇයට ආශීර්වාද කරමින්.

එන්කිදුගේ මරණය ගිල්ගමේෂ්ට මරණය ගැන මතක් කර දෙනවා. කවදා හෝ දවසක තමාද මියයන නිසාවෙන් ගිල්ගමේෂ් කම්පා වෙනවා. එන්කිදුගේ අවසන් කටයුතු කිරීමෙන් අනතුරුව ඔහු සදාකාලික ජීවිතය සොයමින් ජීවිතය ලුහුබඳිනවා. ගිල්ගමේෂ්ට මතක් වෙනවා තමාගෙ ශරීරයේ කොටස්වලින් තුනෙන් දෙකක්‌ දිව්‍යමය වන බව. මේ ගැන ඔහු තම අම්මාගෙන් අහනවා. ඔහුට ලැබෙන උත්තරය ඔහුගේ ශරීරයෙන් තුනෙන් එකක් මනුෂ්‍ය බැවින් ඔබ වියපත්ව මියයන බවයි.

මේ කලකිරීමත් එක්ක ගිල්ගමේෂ්   උට්නාපිස්තිම් නම් දෙවියෙක් සොයා ලුහුබඳිනව. ඔහුගේ අවසාන ඉලක්කය සදාකාලික ජීවිතය. අන්තිමේදී ගිල්ගමේෂ්ට මහල්ලෙක් මුණගැසෙනවා. මනුෂ්‍යත්වය ගෑවුණු තැනක්‌ වෙතොත් එතැන තාවකාලික බව පවතින බව ඒ මහල්ලා ගිල්ගමේෂ්ට කියනවා. ගිල්ගමේෂ්ගේ මනසට ප්‍රඥාව පහළ වෙන්නෙ මේ වෙලාවෙ. ඔහු කතා කරන්නේ උට්නාපිස්තිම්ට බව ඔහුට වැටහෙන්න ගන්නවා. අමරණීයත්වය ලබන්නේ කෙසේදැයි ඔහු උට්නාපිස්තිම්ගෙන් විමසයනවා.

එවිට මහා ජල ගැල්මක්‌ ගැන සුමේරියානු කතාවක්‌  උට්නාපිස්තිම් ගිල්ගමේෂ්ට කියනවා (මේක බයිබලේ එන මහා ජලගැල්මට සමාන කතාවක්). මේ ජල ගැල්මට පෙර ලෝකය කියන්නෙ ඝෝෂාකාරී තැනක්. ඉතින් ලෝකය පිරිසුදු කරන්න කියල දේව මණ්ඩලය ජල ගැල්මක් එවනවා. ඒ වගේම මේ මහා විනාශය දෙවිවරුන් අතර රහසක් විය යුතු බවද ඔවුන් ගිවිස ගන්නවා. කොහොම හරි උට්නාපිස්තිම්ට නැවක් හදන් මේ ගංවතුරෙන් බේරෙන්න කියල දෙවියො කියනවා. ගංවතුර ගැලීමෙන් අනතුරුව දින හතක්‌ නැව ජලයේ පාවෙනවා. ඔහු නිමුෂ් නම් කන්දක උඩට වී බේරෙනවා. (උත්පත්ති පොතෙහි එන නෝවාගෙ කතාවද මීට සමානය)

අවසානයෙදි ගිල්ගමේෂ් සදාකාලික ජීවිතය ලබාදෙන්නැයි උට්නාපිස්තිම්ගෙන් ඉල්ලනවා. දින අටක්‌ එක දිගට අවදිව සිටියොත් එය ඔහුට දෙන බව උට්නාපිස්තිම් කියනවා. (සාමාන්‍යයෙන් ඉන්සොම්නියා රෝගියෙක්ට පවා දින හතක කාලයක් නින්ද නොයයි. දින අටක් නොනිදා කිසිවෙක්ට සිටිය නොහැක) එහෙත් ගිල්ගමේෂ්ට නින්ද යනවා. අවදි වන ගිල්ගමේෂ්ට උට්නාපිස්තිම් කියන්නේ මහා සාගරයේ කිමිදී ජීවන පුෂ්පය සොයාගෙන අනුභව කර සදාකාලික විය හැකි බවයි. සයුරේ කිමිදෙන ගිල්ගමේෂ් ජීවන පුෂ්පය සොයාගෙන ආපසු ගොඩ එනවා. ඔහු පසුව පුෂ්පය අනුභව කරමියි සිතා වෙරළේ වැටී නිදනවා. ඒ අතර සර්පයකු විත් පුෂ්පය අනුභව කර නික්ම යනවා. බලාපොරොත්තු කඩවුණු ගිල්ගමේෂ් ආපසු උරුක් ‌නගරයට එන්නෙ බොහෝ අත්දැකීම් ඇති ප්‍රඥාවන්ත කවදා හෝ මියයන රජෙක් බවට පත්වෙලා.

සදාකාලිකත්වය සොයාගිය ගිල්ගමේෂ් රජු අවසානයේ මෙහෙම කියනවා.

“දෙවිවරුන් මිනිසා මැවූ කල, ඔවුන් මරණය මිනිසාගේ වැළැක්විය නොහැකි ඉරණම ලෙසින් සකස් කරන ලද අතර මිනිසා එය සමඟ ජීවත් විය යුත්තේය”

ඒ කතන්දර කෙසේ වෙතත් මේ මොහොතෙදි තාක්ෂණීය ලෝකය සයිබර් අවකාශය මරණයට නව මුහුණුවරක් ලබා දෙන්න උත්සාහ දරනවා. විද්‍යාවේ නවතම පිම්ම වන මෙය නම් කර තිබෙන්නෙ ගිල්ගමේෂ් ව්‍යාපෘතිය (Gilgamesh Project) නමින්. අමරණීය මිනිසෙක්, සදාකාලික ජීවිතයක් අනාගතයේදී ස්ථාපිත කිරීමට බයොනික තාක්ෂණය (Bionic Technology) සහ වයස්ගත  වීම වැළැක්වීම යන ක්ෂේත්‍රයන් ඔස්සේ මේ වන විට විද්‍යාඥයන් සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන සිටින බව වාර්තාගතය. අපගේ ජීවිත කාලය තුළදී මෙය යථාර්ථයක් බවට පත් කරගත හැකි නොවුණත් මතු යම් දිනයකදී ඒ පිළිබඳ බලාපොරොත්තු ඇති කරගැනීමට අනාගත මානවයාට ඉඩක් ලැබෙනු නිසැක වේ.

ගිහාන් සචින්ත