ගෑස් පෝලිම් අවසන් කළ කවුරුත් නොදන්න දින 22 මෙහෙයුම

0
96

ගෑස් අර්බුදයේ ආරම්භය

ලිට්රෝ ගෑස් සමාගම ගෑස් ආනයනය කිරීම වෙනුවෙන් එළැඹ තිබූ ගිවිසුම 2022 පෙබරවාරි 28 වැනි දිනෙන් අවසන් විය. නමුත් ගෑස් සැපැයුම අවසන් වූයේ මාර්තු මාසයේදීය. සමාගම නව සැපයුම්කරුවකු වෙනුවෙන් ටෙන්ඩරයක් පිරිනැමීමේ වැඩපිළිවෙළ සකස් කරමින් සිටියේය. එය ආරම්භ වූවේ ජනවාරි මාසයේ සිටය.  එහිදී සැපයුම්කරු දීර්ඝකාලීන ණයවර ලිපියක් අවශ්‍ය බව සමාගමට දැනුම් දුන්නේය.

ඒ වනවිට රටට ඩොලර් අර්බුදය දැනෙමින් තිබිණි. එය තීව්‍ර කරමින් මහ බැංකුව ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව ප්‍රකාශ කළේ අප්‍රේල් 08දාය. ඉන්පසුව සමාගම ඩොලර් සොයාගැනීමේ ගැටලුවේ පැටලුණු අතර රාජ්‍ය හා පෞද්ගලික බැංකු ණයවර ලිපි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය. ගෑස් හිඟය ආරම්භ වූයේ ඒ අනුවය. අප්‍රේල් පළමු සතියේ සිට ගෑස් මිලදී ගැනීමේ හැකියාව ලිට්රෝ සමාගමෙන් ගිලිහී ගියේය.

ඉන්පසු හිටපු සභාපතිවරයා ගෑස් සැපයුම්කරු වූ ඕමාන් ට්‍රේඩින් සමාගම සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ නොකළේය. පෙබරවාරි 28 දින ඕමාන් ට්‍රේඩින් සමඟ පැවැති ගෑස් ගිවිසුම අවසන්වීමත් සමඟ අර්බුදය උත්සන්න වීමට පටන් ගත්තේය. සමාගම දීර්ඝකාලීන ණයවර ලිපියක් ඉල්ලා සිටියේ ද පැවැති ඩොලර් අර්බුදය හේතුකොට ගෙනය.

අලුත් සැපයුම්කරුවකු තෝරාගැනීම වෙනුවෙන් සමාගම ඒ වනවිටත් ටෙන්ඩර් විවෘත කර තිබිණි. ඒ වසරක කාලයකටය. ඒ අවස්ථාවේදී දීර්ඝ කාලීන ණයවර ලිපියක් විවෘත කිරීමට ලිට්රෝ සමාගමට හැකියාව පැවැතිණි. මන්ද ආර්ථික අර්බුදයේ ආරම්භක අවස්ථාව එය වූ නිසා ලිට්රෝ සමාගම සතුවත් මහ බැංකුව සතුවත් මූල්‍ය ශක්තිය තිබිණි.

මුදල් සොයාගැනීම හා අලුත් ටෙන්ඩරයට අනුමැතිය ගැනීම වෙනුවෙන් ඒ වන විට සාකච්ඡා ආරම්භ වී තිබූ අතර සාකච්ඡාවන්හි ප්‍රගතිය ගැන ඇමැති මණ්ඩලය දැනුවත් කරමින් පැවැතිණි. මහ බැංකුව ඇතුළු රටේ සියලු බැංකු දීර්ඝකාලීන ණයවර ලිපියක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරද්දී ඇමැති මණ්ඩලයටද අවසානයේ ඊට මැදිහත් විය නොහැකි බව සමාගමට දැනුම් දෙන ලදී.

සමාගම සතුව පැවැති ගෑස් තොග අවසන් වීමත් සමඟ රට පුරා පාරිභෝගිකයෝ 100,000ක් පමණ ගෑස් පෝලිම්වලට එකතු වන්නට වූහ. ඒ වනවිට එක පසෙකින් දීර්ඝ කාලීන සැපයුම්කරුවකු අහිමි වෙද්දී අනෙක් පසින් ඩොලර් සොයාගැනීමට නොහැකි තත්ත්වයකට ද ලිට්රෝ සමාගම පත්ව සිටියේය.

විකල්ප සෙවීම

දීර්ඝකාලීන සැපයුම්කරු අහිමි වීමත් පාරිභෝගික ඉල්ලුම ඉහළයෑමත් යන තත්ත්වයන් යටතේ වුව ලිට්රෝ සමාගම දෛනිකව උපයා ගන්නා මුදල් ඩොලර් බවට පරිවර්තනය කරගනිමින් ගෑස් නැවක් ගෙන්වා බෙදාහැරීමේ උත්සාහයක නිරත විය. ඒ අවස්ථාවේදී ක්ෂණික මිලදී ගැනීමේ පිළිවෙත අනුගමනය කළ සමාගම අතේ තිබෙන මුදල්වලට සරිලන ලෙස ගෑස් මිලදී ගැනීමට හුරුවිය.

ගෑස් මෙටි්‍රක් ටොන් 3,500ක හෝ 7,000ක හෝ ගෑස් නැවක් ගෙන්වා වෙළෙඳපොළට නිකුත් කිරීමට සමාගම කටයුතු කරන්නට පටන් ගත්තේ අප්‍රේල් මාසයේ මැද භාගයේ සිටය. එය පැවැති ඉල්ලුමට කිසිසේත් ප්‍රමාණවත් වූයේ නැත. එම නිසා කිසිවිටෙක පෝලිම අවසන් වූවේ නැත. ලිට්රෝ ගෑස් බෙදා නොහරින හැම දිනකම පාහේ පාරිභෝගිකයන් අසූ දහසත් ලක්ෂයත් අතර පිරිසක් පෝලිමට එකතු වූහ.

මෙසේ දෛනිකව පෝලිමට එකතු වූ සංඛ්‍යාව මාස එකහමාරක් දෙකක් වන විට මිලියන 4.5ක් දක්වා ඉහළ ගියේය. ලිට්රෝ සමාගම සෙවූ විකල්ප ක්‍රියාමාර්ගවලින් වූයේ පෝලිම් වැඩිවීම පමණි.

මුදල් ගෙවන විදිහට ගෑස් ආනයනය කෙරුණු නිසා ගෑස් ලබා ගැනීම වෙනුවෙන් පැවැති පෝලිම් දිගින් දිගටම දිගු වූයේය. ගෑස් වෙනුවෙන් කළු කඩයක්ද නිර්මාණය වූ අතර ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 25,000 දක්වා ඉහළ ගියේය. ඒ වනවිට රටේ ගෑස් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට මෙටි්‍රක් ටොන් 35,000ක් පමණ වුවමනා වූ නමුත් ලැබුණේ මෙටි්‍රක් ටොන් 3,500ත් 7,000ත් ප්‍රමාණයකි.

මූල්‍ය අර්බුදය

යහපාලන ආණ්ඩුව ඉවත් වන විට ලිට්රෝ ආයතනය සතුව රුපියල් බිලියන 21ක තැන්පතු පැවැතිණි. එය මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 11ක ලාභාංශ ගෙවන ආයතනයක් බවටද පත්ව තිබිණි. නමුත් 2022 ජුනි මාසයේ වත්මන් සභාපති මුදිත පීරිස් ආයතනය භාර ගනිද්දී ආයතනයේ ණය බර රුපියල් බිලියන 11ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ඒ වසර දෙකක කාලයක් තුළය. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළයෑමට සමාන්තරව ගෑස් මිලෙහි වෙනසක් නොකිරීම මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුවක් වූ බව එහි මූල්‍ය අධ්‍යක්ෂිකා ලක්මාලි සී. හපුආරච්චි කීවාය. 2019 ඔක්තෝබර් සිට 2021 අගෝස්තු දක්වා ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගියද දේශීය වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ දැමීමට පැවැති රජය අවසර ලබාදී තිබුණේ නැත. ඒ වනවිටත් ගෑස් වෙනුවෙන් මිල සූත්‍රයක් පැවැතියත් එය ක්‍රියාත්මක වී තිබුණේද නැත. ගෑස් අලෙවියෙන් සමාගම ඉපයූ මුදල ප්‍රමාණවත් වූයේ ගෑස් නැවක් දෙකක් ගෙන්වා ගැනීමට පමණි.

ආයතනය සතුව පැවැති බිලියන 10.4ක මුදල් සංචිතය 2021 වෙද්දී සෘණ මිලියන 100ක් දක්වා පහත වැටුණේය. මේ නිසා ආයතනය තුළ රුපියල් හිඟයක් ද මතුවුණේය. මිල සංශෝධන නොකිරීමත් දුර්වල කළමනාකාරීත්වයත් නිසා ආයතනය පාඩු ලබන්නට පටන්ගෙන තිබිණි.

කෙසේ වුවද මුදල් හොයාගෙන කෙරුණු ගෑස් ඇණවුම්වලින් ලැබෙන ගෑස් පවා පාරිභෝගිකයන්ට ලැබුණේ නැත. ඒවාද අත්‍යවශ්‍ය සේවාවන් ලෙස හඳුනා ගැනුණු ස්ථානවලට හා කර්මාන්ත ශාලාවලට බෙදා දුන් බැවිනි. ලිට්රෝ සමාගමේ පාරිභෝගිකයෝ ලක්ෂ 50 ඉක්මවති.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසු ගත් පළමු තීරණය වූයේ මාස 4කට ඕමාන් ට්‍රේඩින් සමාගමට නැවතත් සැපයුම් ලබාදීමට ඇණවුම් කිරීමය. එසේ ගෑස් අර්බුදය සමනය කරන අතරම මාස 12ක දිගුකාලීන සැපයුම්කරුවකු සොයා ගැනීම වෙනුවෙන් නැවත ටෙන්ඩර් කැදවන ලෙසට ද කැබිනට් මණ්ඩලය ලිටේරෝ සමාගමට නියම කළේය.

සැපයුම්කරුවන්ට චෝදනා එල්ල කිරීම

ඕමාන් ට්‍රේඩින් සමාගම දූෂිත ගනුදෙනුවලට උත්සාහ කළ බව හිටපු සභාපති තෙෂාර ජයසිංහ ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කළේය. එය නීතිය හමුවේ විසඳා නොගෙන මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල කිරීම නිසා ගෑස් සැපයුම්කරුවෝ ලිට්රෝ සමඟ ගනුදෙනු කිරීමට මැළි වූහ.

ගෑස් සැපයුම අඩාල වීමට මෙයද හේතුවක් විය. හිටපු සභාපතිවරයා එම අවස්ථාවේදී මුදල් සොයා ගෙන ක්ෂණික ඇණවුම් මඟින් ගෑස් ගෙන්වා ගත්තද එය රටේ ගෑස් අර්බුදයට විසඳුමක් වූයේ නැත. සැපයුම්කරුවන් රාජකාරි මට්ටමෙන් කටයුතු කළා විනා සුහදව ගැටලු විසඳා ගැනීමට සූදානම් වූවේ නැත. ඔහු චෝදනා එල්ල කිරීම නිසා වෙනත් සැපයුම්කරුවන්ගෙන් පවා ණය පදනම මත ගෑස් සැපයීම ප්‍රතික්ෂේප විය.

හිටපු සභාපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් හොඳම සැපයුම්කරුවකු අමනාප වූයේය. අවසානයේ ඔහුද ධුරයෙන් ඉල්ලා අස්විය. ඉන්පසු පත් කෙරුණු වැඩබලන සභාපතිවරයාටද අර්බුදය අවසන් කරගැනීමට නොහැකි විය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 20 දෙනකුගෙන් සමන්විත ඇමැති මණ්ඩලයක් පත් කළේ මේ අතරය.

ලෝක බැංකුවේ සහාය

 අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ගෑස් අර්බුදය විසඳීමට අවශ්‍ය පියවර ගැනීමේ වගකීම භාර දෙනු ලැබුවේ සාගල රත්නායකටය. ඔහුගේ පළමු ඉල්ලීම වූයේ වැඩබලන සභාපතිවරයා වෙනුවට නව සභාපති ලෙස මුදිත පීරිස් පත් කළ යුතු බවය. ඔහු 2019 දක්වා ලිට්රෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක යන තනතුර දරමින් සිටි තැනැත්තාය.

ජුනි 15 වැනි දින ඔහුට සභාපති ධුරය හිමි විය. ඉන්පසුව ඕමාන් ට්‍රේඩින් සමාගම සමඟ යළි සාකච්ඡා ආරම්භ විය. ඔවුන් මෙරට කොන්දේසිවලට එකඟ කරගැනීමට හැකි වූ බවත් මුදල් සොයා ගැනීමේ මාර්ගයට පිවිසි බව සභාපති මුදිත පීරිස් කීවේය.

ඉන්පසු දවස් 20ක් ඇතුළත ගෑස් ටොන් 33,000ක් ගෙන්වා ගැනීමට අවශ්‍ය සාකච්ඡා ආරම්භ විය. ලෝක බැකුව සමඟ සාකච්ඡා ආරම්භ වූයේ සාගල රත්නායකගේ මැදිහත්වීමෙනි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහාය දෙද්දී අපනයනකරුවන්ගේ සංගමය මැදිහත්වී ඩොලර් සොයා දීමේ විශේෂ මැදිහත්වීමක් කළ බවද සභාපතිවරයා කියා සිටියේය.

ලෝක බැංකු නිලධාරීන් සමඟ ගනුදෙනුවේදී ඉතා ප්‍රවේශම්කාරී විය යුතුය. කටයුතු විනිවිද භාවයෙන් සිදුවිය යුතු අතර දූෂණයට-වංචාවට ඉඩක් නැත. ලිට්රෝ සමාගම නිසි ලෙස වැඩ කර තිබේදැයි ඔවුන් සෑම අංශයකින්ම සොයා බලා තිබිණි.

ඒ අනුව ලිට්රෝ සමාගමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 70ක් ලබාගැනීමට ගිවිසුම්ගත වීමට හැකියාව ද ලැබිණි. තෛ්‍රපාර්ශ්වීය ගිවිසුමකට අනුව ලෝක බැංකුව ඩොලර් මිලියන 70ක් ලබාදීමටත් ලිට්රෝ සමාගම ඩොලර් මිලියන 20ක් යෙදවීමටත් එකඟ වීමෙන් පසු ගෑස් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් ලබාගැනීමට අවස්ථාව උදා විය. ඒ ඔක්තෝබර් අවසානය දක්වාය.

මේ වන විට ටොන් 30,000ක් ආනයනය කර තිබේ. එයින් ගෑස් පෝලිම් අවසන් කිරීමට අවස්ථාව උදා විය. ලෝක බැංකුවත් සමඟ ඇති කරගත් ගිවිසුමේ තවත් වාසියක් තිබේ. එනම් ලිට්රෝ සමාගම මහා භාණ්ඩාගාරය වෙත ලෝක බැංකුවේ ණය මාස 5ක් තුළ මාස් පතා ගෙව්වද මහ භාණ්ඩාගාරයට එය ලෝක බැංකුවට ගෙවීමට ඇත්තේ තවත් අවුරුදු 15කිනි. ඒ අනුව ඩොලර් මිලියන 22ක අමතර මුදලක් මේ නිසා මහා භාණ්ඩාගාරය සතු වන්නේය.

ලිට්රෝ සමාගම මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මිල සූත්‍රයක් ආරම්භ කර තිබේ. එහි පළමු පියවර ලෙස ගෑස් මිල අඩු කිරීමට නියමිතය. දවස් 22ක මෙහෙයුමකින් ගෑස් පෝලිම් අවසන් වූවේ එලෙසිනි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක

අවදානමක් අරගෙන තමයි අපි මේ වැඩපිළිවෙළට අත ගැහුවේ. මම ගෑස් සමාගමේ මවු සමාගමට පවා කතා කළා. නිලධාරීන් ගෙන්වා ගනිමින් බාධා මොනවාද කියා දැන ගනිමින් ඒ බාධා ඉවත් කර ගන්න තමයි මම උත්සාහ කළේ. මහ බැංකු නිලධාරීන් ලිට්රෝ සමාගමේ නිලධාරීන් එක්ක දිවා රෑ නොබලා සාකච්ඡා කරලා ගත්තු පියවර අද සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා.

රටේ ගෑස් පෝලිම් නැති වෙන්න තව සතියක් යාවි. නමුත් අද රට ගෑස්වලින් පෝෂිතයි. ලෝක බැංකු නිලධාරීන් අපට ලොකු සහායක් දුන්නා. අපට මේ ප්‍රශ්නය විසඳ ගන්න එය ලොකු උපකාරයක් වුණා. කොපමණ චෝදනා එල්ල වුණත් ජනතාවට අද එක දුරකථන ඇමැතුමෙන් ගෑස් සිලින්ඩරයක් ගෙන්වා ගැනීමට අවස්ථාව උදා වෙලා තියෙනවා. මම නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් මෙය සම්බන්ධීකරණය කළා. එය අද සාර්ථක වෙලා තිබෙනවා.

බුද්ධිසිරි