කොමන්වෙල්ත් ‘කප්’ ගහද්දි තව කට්ටියක් පැනල ගියේ ඇයි?

0
32

‘කොමන්වෙල්ත් ගිය හතර දෙනෙක් පැනලා ගිහිල්ලලු’ මේ දිනවල ශ්‍රී ලාංකික ක්‍රීඩා ප්‍රජාවගේ කතාබහට ලක්ව ඇති ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව තිබෙනවාට සැක නැත. පසුගිය 28 වැනිදා එංගලන්තයේ බර්මින්හැම් නුවරදී ආරම්භ වූ මෙම පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල (Commonwealth Games) නියෝජනය කිරීම සඳහා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 110ක් හා නිලධාරීන් 51ක් (පුහුණුකරුවන් හා අනෙකුත්) ඇතුලුව 161ක් පදක්කම් ගොන්නක බලාපොරොත්තු සමඟින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියහ.

මේ දිනවල රටෙහි පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් පෙරට වඩා මෙවර ක්‍රීඩක-ක්‍රීඩිකාවන් පිළිබ¼දව දැඩි ‘උකුසු ඇසක්’ කණ්ඩායමේ ප්‍රධාන නිලධාරීන් විසින් යොමුකර තිබූ හෙයින් කණ්ඩායමේ එක් එක් ක්‍රීඩාවන් භාරව සිටින නිලධාරියාට වැඩි වගකීමක් පැවැරීමටද කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගෙන තිබිණි.

මේ නිසාම එංගලන්තයට ගොඩ බෑමත් සමඟම සෑම ක්‍රීඩක-ක්‍රීඩිකාවකගේම ගුවන් බලපත්‍රය (පාස්පෝට්) තමන් භාරයට ගැනීමද අදාළ සංගම්වල කළමනාකරුවන් කටයුතු කරනු ලැබුවේ එයින් යම් තරමකින් හෝ සාර්ථක ප්‍රතිඵලයක් අත්කරගනු ඇතැයි යන නිගමනයට එළඹෙමිනි.

එංගලන්තයට පැමිණ දින ගණනක් සුභදායී අන්දමින් ගෙවී ගියද අගෝස්තු 1 වැනිදා රාත්‍රියේදී ජූඩෝ කණ්ඩායමේ කළමනාකරු සහ ක්‍රීඩිකාවක් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදන් වීමත් සමඟ පළමු හෙණගෙඩිය ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල විය.

ශ්‍රී ලංකා ජූඩෝ කණ්ඩායම භාරව සිටි කළමනාකරු විශ්‍රාමික ලුතිනන් අසේල ද සිල්වා සහ චමිලා දිලානි යන ක්‍රීඩිකාව මෙලෙස අතුරුදන්ව ඇති අතර, අදාළ ක්‍රීඩිකාව කිලෝග්‍රෑම් 48 බර පන්තිය යටතේ වේල්සයේ ක්‍රීඩිකාව හමුවේ පරාජය වී ක්‍රීඩා ගම්මානයට පැමිණීමෙන් පසු මෙසේ අතුරුදන්ව ඇතැයි පැවැසේ. දැනගන්නට ඇති පරිදි මෙම ජූඩෝ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් අතුරුදන්වේ යැයි යන සැකය හේතුවෙන් ඔවුන්ගේ ගුවන් බලපත්‍ර ආරක්‍ෂා කරගැනීම සඳහා පත්කර ඇත්තේද අතුරුදන් වූ මෙම කළමනාකරුවා බවය.

එහෙත් ඔහු තම කණ්ඩායමේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ ගුවන් බලපත්‍ර කාමරයේ තබා ඔහුගේ ගුවන් බලපත්‍රය පමණක් රැගෙන ගොස් ඇති නමුත් ක්‍රීඩිකාව තමන්ගේ ගුවන් බලපත්‍රය දමා ගොස් ඇත. මෙය සිදුවී සුළු වේලාවකට පසු අතුරුදන් වූ ක්‍රීඩිකාව කණ්ඩායමේ අනෙකුත් සගයන්ට ‘මට සමාවෙන්න’ යනුවෙන් ජංගම දුරකථන කෙටි පණිවුඩයක් එවා ඇතැයිද පැවැසේ. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා ගම්මානයේ පිහිටි පුද්ගලයන් අතුරුදන්වීමේ පොලිස් ඒකකයට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම විමර්ශන කණ්ඩායම් විසින් ක්‍රීඩා ගම්මානයට පැමිණ ඔවුන් නවාතැන් ගෙන සිටි කාමර පරීක්‍ෂා කොට සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරීක්‍ෂණ පැවැත්වීමට පියවර ගෙන ඇතැයි දැනගන්නට ඇත.

එම සිදුවීම සිදුවී පැය කිහිපයක් ගතවීමටත් මත්තෙන් පසුගිය 2 වැනිදා ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩකයකුත් අතුරුදන්වීම නිසා ශ්‍රී ලංකා බලධාරීන් බලවත් අමාරුවක වැටිණි. මෙවර අතුරුදන් වී ඇත්තේ කිලෝග්‍රෑම් 74 බර පන්තිය යටතේ තරග වැදීමට නියමිතව සිටි සනිත් චතුරංගය. 

ශ්‍රී ලංකාවේ සිට යන ගමනේදී බර්මින්හැම් ගුවන් තොටුපළේදී සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණයේදී කොරෝනා ධනාත්මක වීම නිසා ඔහු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබූ අතර, සිවු දිනකට පසු නැවතත් ඔහුට කරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණයකින් අනතුරුව ඔහුට කොරෝනා වයිරසය නොමැති බව තහවුරු වූ හෙයින් ඔහුව රැගෙන යන ලෙස නිරෝධායන මධ්‍යස්ථාන නිලධාරීන් ශ්‍රී ලංකා කළමනාකාරීත්වයට දැනුම් දී ඇත. එහෙත් ඔහුව රැගෙන ඒමට එම ස්ථානයට ගිය ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලයට ඔහු අතුරුදන් වී ඇති බව පෙනී ගොස් තිබේ.

  මේ අතර සිකුරාදා (5දා) බොක්සිං ක්‍රීඩකයකුද ආගිය අතක් නැති බව ශ්‍රී  ලංකා කළමනාකාරිත්වය දැනුම් දුන්නේය.

මෙම සිදුවීම් සමුදාය හේතුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට පැමිණ සිටින සියලුම ශ්‍රී  ලාංකික ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ ගුවන් බලපත්‍රය කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානීන් වන ගාමිණී ජයසිංහ සහ චන්දන ලියනගේ යන මහත්වරුන් යටතට ගෙන ඇති බවද සඳහන්ය. 

කෙසේ වෙතත් අතුරුදන් වූ සිව්දෙනාටම මාස 6ක වීසා පහසුකමක් ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන්  පොලිසියට හැකියාවක් පවතීද යන්න ගැටලුවකි. එයට හේතු වී ඇත්තේ එංගලන්තය වැනි මානව හිමිකම් නීති රාමුවට උපරිමයෙන්ම හිසනමන රටක පොලිසියකට යම් කෙනකු බලෙන් අත්අඩංගුවට ගත හැක්කේ වලංගු වීසා බලපත්‍රයක් නොමැති නම් පමණක් හෝ නීති විරෝධී ක්‍රියාවක නියැළී ඇත්නම් පමණක් වීමය.

මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් ජූඩෝ කළමනාකරුවා සහ ක්‍රීඩිකාව පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, ඔවුන් ආරක්‍ෂිතව සිටින බව ඔවුන් තහවුරු කරගෙන ඇතැයි දැනගන්නට ඇත.

කරුණු කාරණා එසේ තිබියදී ක්‍රීඩා තරගාවලි නියෝජනය කිරීම ස¼දහා විදෙස්ගතවූ ශ්‍රී ලාංකික ක්‍රීඩක-ක්‍රීඩිකාවන් මෙන්ම එම කණ්ඩායම් සමඟ සංචාරය කළ නිලධාරීන්ද අතුරුදන් වූ අවස්ථා එමටය. කාලයක් ගතවී ඔවුන් එම රටවල රැකියාවල නියැළී යළිත් ශ්‍රී ලංකාවට පැමිණ ‘හොර පූසන්’ සේ යළිත් ක්‍රීඩා සංගම්වල නිලතලවල වැජඹීම සඳහා මෙරට ක්‍රිඩා බලධාරීන් විසින් වරප්‍රසාද ලබාදී ඇති අවස්ථා කොතෙකුත් දැක ඇති බැවින් මෙම සිදුවීමද මෙරට ක්‍රීඩාව කරවන මහත්වරුන්ට ටික කලකින් අමතක වී යනු ඇති බව නොඅනුමානය. එහෙයින් අප විමසා බැලිය යුත්තේ එය සිදුවීමට යන දින වකවානු ගණන් කිරීම පමණි.

විචිත්‍ර වීරසිංහ