කුලගෙය ගිනිගොඩක් නොවන්නයි මේ ඔවදන්

0
27

අද සමාජයේ කුටුම්භය තුළ ඇතිවන විවිධ ප්‍රශ්න නිසා පීඩාවට පත්වන ගැහැනුන් සහ පිරිමින් ප්‍රමාණය අන් කවරදාටත් වඩා වැඩි වී තිබෙනවා. බොහෝ දෙනා නීතිය ඉදිරියේ තමන් බිරිය හෝ ස්වාමියා ලෙස දිවුරුම් දී එක වහලයක් යටට පැමිණෙයි. නමුත් අදහස් නොගැළපීම, ඉවසීමක් නොමැතිකම සහ ඇතැම් පෞද්ගලික ගති ලක්ෂණයන්ගේ තිබෙන දුර්වලතා බොහෝමයක් මේ ගැටුම්වල හේතු කාරණා වී ඇත.

ඇතැම් අවස්ථාවන්වලදී කුටුම්භය තුළ ඇතිවන මෙවැනි සුළු අඬදබර දුරදිග ගොස් ජීවිතයෙන් පවා වන්දි ගෙවූ ආකාරය අප අසා ඇත. එමෙන්ම දික්කසාද නඩුද අද වන විට පෙරටත් වඩා වැඩි වී තිබෙනවා. එම නිසා අද අපි මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන කරුණු කාරණා කිහිපයක් බුදු දහම ඇසුරෙන් විග්‍රහ කර ගැනීමටයි.

අප මහා ගෞතමයන් වහන්සේ අඹු සැමියන් වර්ග හතරකට බෙදා වෙන් කරයි. එනම්,

–             මළමිනියක් සමඟ දිව්‍යාංගනාවක් වාසය කිරීම.

–              දෙවියෙක් සමඟ මළගැහැණියක් එකට වාසය කිරීම.

–              දිව්‍යාංගනාවක් සමඟ දෙවියෙක් එකට වාසය කිරීම.

–              මළමිනියක් සමඟ මළමිනියක් එකට වාසය කිරීම.

එම කොටස් හතරයි. මෙහිදී මළමිනියක් ලෙස උන්වහන්සේ විසින් අර්ථ දැක්වූයේ දුශ්ශීල පුද්ගලයන්ය. දිව්‍යාංගනාවක් හෝ දෙවියකු ලෙස අදහස් කළේ පස්පවින් වැළකී තම ජීවිකාව ගෙනයන පුද්ගලයන්ය. මෙම කොටස් හතර අතරින් සාර්ථක විවාහ ජීවිතයක් ගෙන යා හැක්කේ දිව්‍යාංගනාවක් සහ දෙවියකු විලසින් තම විවාහ ජීවිතය ගෙනයන පුද්ගලයන්ට පමණි. මන්ද පස්පව් කරන පුරුෂයකුට පස්පවින් වැළකී සිටින කාන්තාවක් සමඟ හෝ පස්පව් සිදුකරන කාන්තාවකට පස්පවින් වැළකී සිටින පුරුෂයකු සමඟ එකට වාසය කිරීමේදී මුහුණදීමට සිදුවන ගැටලු වැඩිය. ඔවුන් ඒවාට පිළිතුරු සොයන්නේද ඔවුනොවුන්ගේ බුද්ධි මට්ටමෙනි. නමුත් පස්පවින් වැළකී, ධාර්මික ජීවිතයකට පුරුදු පුහුණු වූ කාන්තාව සහ පුරුෂයාට ඕනෑම ආකාරයක ප්‍රශ්නයකට සාර්ථකව විසඳුම් සෙවිය හැකිය. ඔවුන් ප්‍රශ්නවලදී බොහෝම ඉවසීමෙන් සහ බුද්ධියෙන් යුතුව ක්‍රියාකරයි.

එමෙන්ම වර්තමාන පවුල් ජීවිත කඩාකප්පල් වීමට ප්‍රබල ලෙස බලපාන්නේ එකිනෙකා දෙස සැකයෙන් යුතුව බැලීමයි. සැමියා බිරිය සැක කළහොත් බිරිය සිදුකරන සෑම ක්‍රියාවක්ම සැමියා පෙනෙන්නේ නුහුරටය. එමෙන්ම බිරිය සැමියා එක් මොහොතකට හෝ සැක කළහොත් සැමියාගේ සෑම ක්‍රියාවක්ම බිරියට පෙනෙන්නේද නුහුරුටය. එම නිසා ඔවුනොවුන් අතර සිදුවිය හැකි ගැටුම් වැඩිය.

බෞද්ධ ඉතිහාසය ගැන සාකච්ඡා කිරීමේදී ධනංජය සිටුතුමා සහ විශාඛා සිටු දියණිය ඉතාමත් වැදගත් ඉගැන්වීමක් අපට ලබා දේ. විශාඛා සිටුදේවිය බුදුන් වහන්සේගේ අග්‍ර උපාසිකාව ලෙසින්ද පත්කළේ එතුමියගේ ගුණගරුකභාවය නිසාය. විශාඛා සිටුදේවිය විවාහ ජීවිතයට ඇතුළත් වන අවස්ථාවේදි ධනංජය සිටුතුමා විසින් ලබාදුන් උපදේශය ඉතාමත් වැදගත්ය. ඇත්තෙන්ම එය වර්තමාන සෑම දියණියකටම අදාළ වන්නේ එම උපදෙස් එදත් අදත් එකසේ වලංගු වන නිසාය. එම උපදේශයන් දහය මෙපරිදිය.

ඇතුළත ගිනි පිටතට නොදෙන්න

මෙමඟින් අදහස් කරනුයේ විවාහ ජීවිතයට ඇතුළත් වූ තරුණිය ගැහැනියක් වූ පසු එයින් ඇරැඹෙන යුග දිවිය තුළ ඇතිවන කිසිදු ගැටලුවක් පිටතට නොදෙන ලෙසය.

පිටත ගිනි ඇතුළට නොගන්න

සාමාන්‍යයෙන් විවාහ වූ පසු              බිරිය වාසය කරන්නේ ස්වාමියාගේ නිවෙස තුළය. එහිදී ඇයට ස්වාමියා සහ ඔහුගේ මවුපියන්, සහෝදර සහෝදරියන්ද සමඟ වාසය කිරීමට සිදුවේ. මෙවැනි අවස්ථාවක තම නිවෙසින් පිටත ඇතිවන කිසිම ප්‍රශ්නයක් නිවෙස තුළට නොගන්නා ලෙස විශාඛාවට උපදෙස් ලැබිණි.

දෙන අයට දෙන්න

 මෙයින් අදහස් වන්නේ අත්‍යවශ්‍ය දෙයක් යමකුට ලබාදුන් පසුව එය නැවත තමන් වෙත ලබාදෙන අයට පමණක් එම අත්‍යවශ්‍ය දේ ලබාදෙන්න.

නොදෙන අයට නොදෙන්න

 තම නිවෙසින් රැගෙන යන දේවල් නැවතත් තමන්ට ලබා නොදෙන්නේ නම් එවැනි අයට කිසිවක් නොදෙන ලෙස මෙයින් අදහස් වේ.

භවයේ ජීවත් විය  යුතුයි

මෙයින් අදහස් වන්නේ සැමියා සමඟ සහ ඔහුගේ පවුලේ අයත් සමඟ සාමකාමී ලෙස සතුටින් ජීවත්වන ලෙසයි. මෙහිදී නිවෙස වටපිටාව පිරිසුදුව තබාගෙන මනා සකසුරුවම් ඇතිව තම ජීවිතය පවත්වා ගන්නා ලෙස ඇයට උපදෙස් ලැබිණි.

සුවසේ අනුභව කරන්න

මෙයින් අදහස් වන්නේ බඩ කට පිරෙන්න ආහාර ගැනීම නම් නොවෙයි. මෙයින් අදහස් කරනුයේ ස්වාමියා ඇතුළු සියලු දෙනා ආහාර ගෙන අහවර වූ පසු තමන් ආහාරය ගන්නා ලෙසයි.

සුවසේ නිදන්න

සිටුතුමා විශාඛාවට පැවැසුවේ ස්වාමියා ඇතුළු නිවැසියන් නින්දට ගිය පසු තමා නින්දට යන ලෙසය. මෙහිදී තම ස්වාමියා සමඟින් සුවදායක නින්දක් ගතකරන ලෙසයි.

සියලුදෙනාට පෙර අවදි වීම

සුවසේ නින්දට යන බිරිය නිවෙසේ අනෙකුත් සාමාජිකයන්ට ප්‍රථමව අවදි වී නිවෙසේ වැඩ ආරම්භ කරන ලෙස ඇයට දැන්වීය.

ගිනි පිරිමැසිය යුතුය

මෙයින් අදහස් කරන්නේ තම ස්වාමියාට හිමි දේපළ හා අනෙකුත් සියලු ධනයන් ආරක්ෂා කර ගනිමින් ස්වාමියාගේ මවුපියන්ට ආදරයෙන් සැලකිය යුතුය.

ධනංජය සිටුවරයා තම දියණියට ලබාදුන් ඉහත උපදේශයන් ඉතාමත් අගනේය. වර්තමාන පියවරු තම දියණියන්ට මෙවැනි උපදෙස් ලබාදෙන බවක් පෙනෙන්නට නැත. එසේ උපදෙස් ලබා දෙන්නේ නම් පවුල් ජීවිතය තුළ සිදුවන බොහොමයක් ගැටලු අවම කර ගැනීමට හැකිය. එමෙන්ම වර්තමාන දියණියන්ද විවාහ ජීවිතයට පිවිසීමට පෙර කිසිම ආකාරයකින් හෝ තමන්ගේ කුමරි බඹසර නැති නොකර ගත යුතුය. මන්ද එසේ වුවහොත් ඇයගේ අනාගත පවුල් ජීවිතයට එය සෘජු ලෙස බලපාන බැවිනි.

එබැවින් විවාහ ජීවිතයට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින සියලු දියණිවරුන් විශාඛාවට ලැබුණු මෙම උපදෙස් ගැන තම අවධානය යොමු කිරීම වඩාත් යෝග්‍ය වේ. එමෙන්ම පිටත නිවෙසක ආදරණීය මවුපියන් යටතේ හැදී වැඩී තමන් සමඟ ජීවත් වීමට පැමිණෙන බිරියව රැකබලා ගැනීමේ වගකීම ස්වාමියාටද හිමිය.  දෙදෙනා අතර අනේ‍යාන්‍ය බැඳියාව  තේරුම් ගැනීම, විශ්වාසය හා ආදරය පවතින තාක් කල් කිසිම පවුලක් අකාලයේ කඩා නොවැටේ. ඔවුන් දිගු කලක් සතුටින් සාමයෙන් ජීවත් වේ.

දුමිඳු ලංකා බණ්ඩාර

පූජ්‍ය මාතර විජයසීහ හිමි

තරුණ දම්සභා බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ