කඳ සුරිඳු දැක ගන්න දුරු කතර මඟ ගෙවා එන මිනිස් කැල බලනු මිනිසුනේ නෙත් යොමා

0
34

උතුරු, නැඟෙනහිර සිට පාගමනින් කතරගම බලා පැමිණෙන මෙම පිරිස් පසුගිය 29 පෙරවරු 10.00 පමණ මඩකළපුව දිස්ත්‍රික්කයට අයත් පානම පිහිටි ඔකඳ දේවාලය වැඳපුදාගෙන ගමන ආරම්භ කරති. ඔකඳ දේවාලය අසලින් පිටත්ව එන මෙම පිරිස ගමන් ගන්නේ කැලේ මැදින් ඇති මාර්ගයක් ඔස්සේය. මඩකළපුව දිසාවේ චවලකඩේ ගනේශා විදුහලේ  පාසලේ ගුරුවරයෙක් වන විනෝද් සින්නප්පු මහතා  තම හිත මිතුරන් කිහිපදෙනකු සමඟ සෑම වසරකම කතරගම පින්කම් කාලයට පාගමනින් කතරගමට පැමිණීම සිදුකරන්නේ මහත් භක්තියෙනි. 29 වැනිදා සවස 05.00 පමණ වන විට මෙම පිරිස වකුරාවෙට්ටේ තිනරු ප්‍රදේශයට ළඟවූ අතර මෙදින රාත්‍රිය එහි ගත කළහ.

එක දිනකට 3000කට වැඩි පිරිසක් මෙම පාද යාත්‍රාවට එක්ව සිටින අතර මෙම සියලුම කණ්ඩායම් එකම තැනක රැය පහන් කිරීම සිදුකිරීම ඔවුන්ගේ ඉපැරැණි චාරිත්‍රයකි. දෙවැනි දින ගමන් ආරම්භ කරන මෙම පාද යාත්‍රා කණ්ඩායම් සින්නවෙට්ට නම් ස්ථානයේදී කුඹුක්කන් ඔය තරණය කර තවත් මායිමකට සේන්දු වෙති. මෙවර මෙම පිරිස් මෙම ප්‍රදේශයට පැමිණෙන විට වර්ෂාව පැවැතීම නිසා කඹයක ආධාරයෙන් ගඟ තරණය කිරීමට සිදුවීම දුෂ්කර කාර්යයක් විය. ඉන් අනතුරුව මොවුන් පැමිණෙන්නේ නාවල්අඩි මඩු ප්‍රදේශයටයි. මෙහිදී යුද හමුදා නිලධාරීන් ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකරන බව මෙම පිරිස කෘතවේදීව  සිහිපත්කර  සිටි. මෙදින මොවුන් වියළං ගඟ හෙවත්  වල්ලිඅම්මාරු පසු කරමින් කට්ටගාමම් ගමට සේන්දු වෙති.

මෙහිදී මොවුන් වනජීවී කාර්යාලයක අධීක්ෂණය යටතේ යාලට ඇතුළු වෙති. මේ වන විට මොවුන් කතරගම සීමාවට පැමිණ ඇති බව දැනගන්නේ පාද යාත්‍රාවේ පැමිණි සියලුම බැතිමතුන්ට මෙහිදී ආහාර ලබාදීම සිදුකිරීම නිසාමය. කලලේවියාල් නම් ග්‍රාමයේදී මෙම දන්සල  පැවැත්වෙන බව මොවුහු පවසති. 29 දින සිට දින 06ක් පා ගමනින් පැමිණි මෙම බැතිමතුන් සිතුල්පව්ව ප්‍රදේශයෙන්  කතරගම පුරවරය බලා ගමන් කරති. සිතුල්පව්ව ප්‍රදේශයේදී  කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ  ආදි සිසු දානපති විදුර වික්‍රමරත්න මහතාගේ මූලිකත්වයෙන් පාද යාත්‍රා බැතිමතුන් වෙනුවෙන් බත් දන්සලකි.

පාද යාත්‍රාවට වසරක් පාසා තේ පැන් සංග්‍රහයක් ලබාදෙන බණ්ඩාරගම විදාගම විහාරවාසී මෙනේරිගම ධම්මික හිමියන්ගේ තේ පැන් දන්සල මෙවරත් සිතුල්පව්ව මාර්ගයේ තිබූ බව මෙම බැතිමත්හු පැවැසූහ. මෙම කණ්ඩායමේ මූලික විනෝද සින්නප්පු මහතා 11 වතාවට සහභාගි වන මෙම පාද යාත්‍රාවට එකතු වී සිටින රෝහණ අලහකෝන් මහතාට විස්තර ලබාදීම පිළිබඳව විශේෂ ස්තුතිය.

බන්දුල අලහකෝන්