කඳ සුරිඳුගේ මහිමය පෙන්වන කතරගම පුද බිම

0
126

මෙය කඳ සුරිඳු පිළිබඳව වදන් කවි පොතේ එන ඉතා ප්‍රසිද්ධ බොහෝ දෙනා අතර ජනප්‍රිය කවියකි. ඓතිහාසික කතරගම පුරවරයේ. මැණික් නදිය මේ දිනවල ගලා යන්නේ නිහැඩියාවෙන් නොවේ. මේ ගඟට බැස කිමිදී දිය නා ගෙන පිරිසුදු වත් හැඳගෙන ‘හරෝහරා’ යන නද දෙන බාල තරුණ මහලු වයස්වල විවිධ තරාතිරම්වල මනුෂ්‍යයන්ගේ නාදය දසත පැතිර යන්නේ පංචතූර්ය නාදයත් සමඟය.

කතරගම පුදබිමේ අසිරිමත්  ලක්ෂණය නම් බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික ආගමිකයන් ආගම් භේදයෙන් තොරව එකම පුදබිමකට එක් වී පුද පූජාවල යෙදීමයි.

කතරගම පුදබිමේදී එකම දෙවියකුගේ පිහිට පතන සියලු දෙනාම සැදැහැති බැතිමතුන් ලෙස එකිනෙකා උරෙනුර ගැටී වැඳුම් පිදුම් කරන්නාහ. වට්ටියේ ගෙනා පලතුරු, රස කැවිලි බෙදා හදාගෙන භුක්ති විඳින්නාහ

වර්තමාන සමාජයේ විද්‍යමාන වන ජාති භේද වර්ග භේද තුළ පන්ති භේද පක්ෂ භේද මේ පුදබිම තුළදී ඉස්මතු නොවේ. සමාජයේ දක්නට ලැබෙන සකළවිධ බෙදීම් අමතක කර සාමකාමීව පුද සිරිත් පවත්වති.

මේ තත්ත්වය යටතේ කතරගම පුදබිම බෞද්ධ උරුමයකට වඩා විශ්ව සංස්කෘතික උරුමයක් බවට පරිවර්තනය වී ඇතැයි කියතහොත් එය බොහෝ සේ නිවැරැදිය.

සත්ත්ව මාංස අනුභවයෙන් තොරව පංචශීල ධර්මය මත පදනම් වූ දැහැමි සිතින් යුතුව මෙතැනට එක අය පෙහෙ වී කඳසුරිඳු පිහිට පතති. සෙත් ශාන්තිය ඉල්ලති. ආවාහ _ විවාහය සඳහා මෙන්ම ලෙඩ රෝග සුව කර ගැනීම සඳහාද දිවා රෑ සෙත් කවි කියති.

විවිධාකාර වරම් ඉල්ලති. දෙවියන්ගේ වරම් ලැබූ සිය දහස් ගණන් ජනයා රක්ත වස්ත්‍රයන් දරාගෙන මේ කතරගම දෙවොල වටා ගොස් අවුරුදු 2,600කට පෙර බුදුන් වහන්සේ වැඩම කර එදා රත්හඳුන් ලීයෙන් කැටයම් කරතිබූ කිහිරි (සඳුන්) වනයේ පිහිටි කිරි වෙහෙර වැඳපුදා දෙවියන්ට පින්පෙත් දෙති.

බුදුන් වහන්සේ එදා මෙම කිහිරි වනයේ පිහිටි කිරි වෙහෙර ළඟදී  දෙසූ ‘ධම්චමක්ක වප්ප’ ධර්ම දේශනාවේ හඬ ආකාශ තලයේ තවමත් පාවෙමින් පවතී.

කිරි වෙහෙර හාස්කම් ඇති පූජා භූමියකි. එතැන රෑට හමන විවිධ මල් සුවඳ, සඳුන් කපුරු සුවඳ මේ භූමිය පුරා විසිර යන්නේය.

කතරගම මේ පුදබිම තුළ පිහිටි කිරි වෙහෙරද බුදුන් වහන්සේගේ පා ගැටුණු බෞද්ධ සිද්ධස්ථාන දහසය අතර (16) වටිනා සිද්ධස්ථානයකි. එය රජමහා විහාරයකි. අද එහි අධිපති පදවිය දරන්නේ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හාමුදුරුවෝය.

කතරගම දේවාලය අසලම ඇත්තේ අභිනවාරාමයයි. අද අභිනවාරාවාධිපති පදවිය ශාස්ත්‍රපති පූජ්‍ය කපුගම සරණතිස්ස රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමියන්ය.

කතරගම දේවාලය ඉදිකර ඇත්තේ කාවන්තිස්ස රජතුමාගේ  පුත් ගාමිණී රජු විසින් යැයි මහාවංශය කියයි. දුටුගැමුණු රජතුමා එළාර රජු සමඟ යුද්ධයට යෑමට පෙර කතරගම දෙවියන්ගේ පිහිට පැතූ බවත් යුද්ධය දිනාගත් පසුව මේ දෙවොල ඉදිකළ බවත් ඉන් හෙළිවන්නේය.

ඉන්දීය දීර්ඝ ආයුෂ ලබන කතා පුවත් (යෝගී) පිළිබඳව ලියා ඇති තිරු මන්දිරම් ග්‍රන්ථයේ කතරගම ගැන සඳහන් වී ඇත්තේය.

කතරගම මැණික් ගඟ අවට වූ වන පෙදෙසෙහි අවුරුදු දහස් ගණනක සිට සාන්තුවරයන් තවුසන් හා සිද්ධි යෝගීන් තවුස්දම් පුරා ඇත. වර්තමානයේ එහි වාතාවරණය ආධ්‍යාත්මික කම්පනයන්ගෙන් ගැවසී ඇත. ඊට බර වී ඇත.

මුරුගන් දෙවියන් වල්ලි අම්මා නම් වැදි ස්ත්‍රියට පෙම් කළ පුවතක් කතරගම හා සම්බන්ධව පවතී.

කාර්තිකේය දෙවියන් හෙවත් මුරුගන් දෙවියන් ඇය හමු වී ඇය හා විවාහ වූයේද කතරගමදී යැයි සඳහන් වේ. එදා පටන් අද දක්වාම මුරුගන් දෙවියන් එහි ජීවත්වන බව කියති. කතරගම දෙවියන්ද සිද්ධි යෝගියෙකි. කතරගම යනු කාර්තිකේය ග්‍රාම යන්නෙන් බිඳී ආවකිි.

කතරගම දේවාලය ඉදිකිරීම සඳහා මුරුගන් කාර්තිකේය (සිද්ධි යෝගිවරයා) බෝගනාදර් සිද්ධි යෝගිතුමන්ට ආරාධනා කර ඇත්තේය. මේ දේවාලය ඉදිවීමෙන් පසුව (ක්‍රිස්තු වර්ෂ 203දී නොවැම්බර් 30 උපන්) බාබාජි නාග්රාජිතුමා වයස අවුරුදු එකොළහ වන විට වෙනත් උගත් තවුසන් පිරිසක් සමඟ බරණැස සිට පාගමනින් ඔරු පාරුවලින් ඉතා දුෂ්කර ගමනක් මාස ගණනක් ගෙවා කතරගම ශුද්ධ භූමියට පැමිණ ඇත. බාබාජි තවමත් සිද්ධි යෝගියකුව දීර්ගායුෂව ජීවත්වන සෘෂිවරයෙකි. කතරගම මේ සෘෂිවරයාගේ යෝගි බිමයි.

බාබාජි සිද්ධි යෝගිතුමන්ගේ ගුරුවරයා වූ බෝගහාදර් සිද්ධි යෝගි සෘෂිවරයාට කතරගම දේවාලය නිර්මාණය කරන්නට මුරුගන් දේවතාවා ආරාධනා කළ බව සෘෂි වංශ කතාවේ එයි.

ඒ අනුව කතරගම දේවාලය නිර්මාණය කර ඇත්තේ කතරගමට අධිපතිව සිටි මුරුගන් දේවතාවා වැඩිහිටි කන්දේ සිට හී සැරයක් විද එය වැටුණු ස්ථානය තුළය. එළාර රජු පරදවා රට එක්සේසත් කළ දුටුගැමුණු රජුට යුද ජය ගැනීමට කළ ආශීර්වාදයට කෘතගුණයක් සේ කතරගම දේවාලය ඉදි කරන ලදැයි සෘෂි කතා පුවත්වල එයි.

දේවාලය තුළ ඇති පෙරහරේ ගෙන යන්නේ බලගතු මන්ත්‍රවලින් ශක්ති ගැන්වුණු රන් තහඩුවකි. එය බෝගනාදර් සිද්ධි යෝගි විසින් නිර්මාණය කරන ලද්දකි. එය මුරුගන් හෙවත් කඳ සුරිඳුන්ගේ පිහිට ලැබෙන ආකාරයේ. මහ බලයක් පිහිටුවා නිමවන ලද්දකි.

කතරගම ගැන ‘බාබාජි සහ අටළොස් සිද්ධි ක්‍රියා යෝග සම්ප්‍රදාය’ ඉහත කී ප්‍රවෘත්ති සඳහන් වේ. තවත් අතකින් එම සිද්ධි කතාවේ සඳහන් වන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගෙවුණු තැන බුද්ධ ධර්මය විකෘති වී යන බවය.

ඉන් අවුරුදු 800ක් ගිය තැන ‘නාග‘ නමැත්තකු ධර්මය නැවත සොයාගෙන ආරක්ෂා කරනු ඇතැයි බුදුන් වහන්සේ දේශනා කළ බවය.

මේ කතාව අනාගත කතරගම් පුරයට බාරය. එය කතරගම් ‘බාබාජි නාග්රාජ්’ දිව්‍යමය තත්ත්වයට පත් ඒ පරිද්දෙන්ම ජීවත්වන වසර දහස් ගණනක් නොමියන සෘෂිවරයා විය හැකි යැයි භාරතයේ මතයයි.

කතරගම බුදුරජාණන් වහන්සේ සිරිලකට වඩින්නටත් පෙර පැවැති පුරාණ රාජධානියකි.

බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සෝවාන් ඵලයට පැමිණි මරණින් පසු කතරගම දෙවියන් ලෙස ඉපදී ඇතැයි සිතන මහසෙන් රජු වේවා හින්දු ජන කතාවල එන ස්කන්ධ කුමාරයා හෝ වේවා කතරගම දෙවියන්ගේ ඇදහීම කවර දවසක කොතැනින් ආරම්භ වූයේ දැයි කියන්නට අපේ ඉතිහාසඥයන්ට පවා පැනයක්ව ඇත.

කතරගම ආරිය රජ පෙළපතක් තිබූ බව ඉතිහාසය කියයි. අසුර යුගයේ සිටම පෙළපතින් පෙළපතට ආ මේ රජ පෙළපත අතීතයේ පටන් දඹදිවට අෑ¼දා ගැනීමක් පැවැතියේය.

ලංකාව ආරක්ෂා කිරීමේ බලය කතරගම දෙවියන්ට හිමි විය.

ශිව දෙවියන්ම ලෙස සැලකෙන රාවණා යුගයටත් එහා සිට කතරගම දෙවි ඇදහීම තුළ බලගතු දේව ආත්මයක් ඇති වගතුග ජන වහරේ එයි.

මහා සම්මත රජ පරපුරටත් එහා ගිය හෙළ රාජ වංශිකයන් අතර අසුර රජ කෙනෙක් ජන කතාවේ එයි. මේ රාජ වංශයේ ‘භයශ්‍රී ව’ ආදිම රජ කෙනෙකි.

මේ රජුගේ පස්වන පරම්පරාවට උරුමය ඇති ශිව රජුගේත් මව ලෙස සැලකෙන  උමා මෙහෙසියගෙත් පුතා මහාසේනය.

මේ මහසෙන් රජු කතරගම දෙවියන් ලෙස සිංහල බෞද්ධ ජනතාව අදහන බුදුන් දවස සිටි මහසෙන් රජු නොවන බවටද ඉතිහාසඥ මතයකි. කඳ කුමරුගේ උපත පිළිබඳව පවතින ජනකතා අතර විවිධ කතා එයි.

ශිව දෙවියන් හා උමා දේවිය විවාහයට පත්ව උපන් පුතා කාර්තිකේය හෙවත් ස්කන්ධ කුමාරයා බව මතයකි.

ස්කන්ධ කුමාරයා තාරක නම් අසුරයා සමඟ යුද වැදී ඔහු පැරැදවීය. ඒ පැරණි මත අනුව කළු ගං තොටේදීය. ගඟෙන් උතුරු පැත්ත දේශාසත්‍රය. දකුණු පැත්ත වේලාපුරය.

කඳ කුමරු ගඟෙන් දකුණු පැත්ත රුහුණු පුරය තම රාජධානිය කරගත් බව ජනකතාවල එයි. මේ රාජධානි පැරණි වංශ කතාවේ කියවෙන්නේ ‘කතරගම’ හා ‘සඳුන්ගම’ ලෙසය.

මහසෙන් රජතුමා බුදුන් දවස සෝවාන් වූ පුවත කතරගම දෙවි පුවතේ සඳහන්ව ඇත්තේය.

මකර රවිගේ කැති නැකැත් දිනයක උපන් කතරගම දෙවියන් කුජ ග්‍රහයාට අධිපතිය.

ජේ‍යාතිෂයේද කතරගම දෙවියන් ඇදහීම ගැන කියැවෙන්නේය. එය ‘ජෛමිනි’ සූත්‍රයේය. එය ‘මහර්ෂි’ගේ කියමනකි. මහර්ෂි ග්‍රන්ථ කර්තෘවරයෙකි. මුනි කෙනෙකි. වජ්‍ර වාරකයෙකි. හෙණ පහර පවා වළකන්නට ශක්තිය ලද ඉර්ෂිවරයෙකි. ජෛමිනි මුනිගේ තම සැඩ සුළං සහිත  වැසි ඇති හෙණ පිපිරීම් දිනයක සිහි කළ විට (නැඟෙනහිර _ උතුර බලා) හෙණ බය ඇති නොවේ.

යම් මනුෂ්‍යයෙක් උපදින විට ඔහු අදහන දේවතාවා පිළිබඳව ආත්මකාරකයා කවුදැයි කරන විස්තරයේ කතරගම දෙවි අදහන කෙනෙකුගේ් උත්පත්තිය හඳුන්වා දී තිබේ.

කතරගම දෙවියන් කතරගම් පුරයට පමණක් අධිපති යැයි සිතීම මුළාවකි.

මේනයින් බලන විට කතරගම දෙවියන් කුජ ග්‍රහයාගේ බලයයි. රක්ත වර්ණය ඊට හිමි පාටය. කතරගම දෙවියන් ලොවටම අධිපති බව දේවවංශ කතාවේ එයි.

ශ්‍රී  ලංකාව තුළ බලය පතුරුවා දේව තෙදහස් දෙවිඳුගේ බල තේජස පාන පුරය කතරගමයි.

කවුරු මොනවා කීවත් කතරගම් පුරයට ශතවර්ෂ ගණනාවක ඉතිහාසයකි.

නොපෙනෙන දේව හාස්කම්වලින් යුතුය. කතරගම දේවාලයද දුටුගැමුණු රජ සමයේදී මේ රට එක්සේසත් වීම නිසා පිහිටුවන ලද්දකි. දකුණු ඉන්දීය ආධ්‍යාත්මික බලය, ශක්තිය ඇති සිද්ධි සෘෂිවරුන්ගේ පාද ස්පර්ශය ලද මේ භූමිය පවිත්‍රය.

කතරගම් පුරය හරහා ගලා යන්නේ මැණික් ගඟයි. මැණික් ගංතොටේ පිහිටි මේ ඓතිහාසික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය මේ දිනවල පැවැත්වෙන්නේ රටට දේව ආශීර්වාදය පතාය.

ලෝකයේ පළමු වැනි කතරගම දෙවොල මෙහි ඇත. එය පවතින්නේ කතරගම ස්කන්ධ දෙවියන්ට අයත් දෙවොල ලෙසයි. එය අපට ඇති මහා ජාතික වස්තුවකි. මා මුලින් සඳහන් කළ පරිදි බෞද්ධ හින්දු _ මුස්ලිම් _ කතෝලික බැතිමතුන් උරෙනුර ගැටී දෙවියන්ට පුද පූජා පෙරහර පැවැත්වෙන්නේ මේ ජූලි මාසයේදීය.

කතරගම දෙවොල සහිත පුද බිමේ පුද පූජා පවත්වන්නට අතීතයේ පටන් රටම එක් වූයේය. රට තුළ පුංචි කතරගම දේවාල රැසකි. කතරගම දෙවියන් මුල් කර අදහන දෙවියන්ගේ ළඟ සිටින තම ඥාති භෞතික (භූත ආත්ම) පින් පමුණුවා ගන්නට එන බැතිමත්තු ලක්ෂ ගණනකි.

උතුරේ වැසියන් දවස් ගණන් මෙතැනට පයින්ම එති. යති. ගස් යට වැතිරී නිදති. දේවාලය වටා පෙරළෙමින් නටති. ගයති. ඔවුහු කතරගම දෙවියන්ගේ වරම් ලබාගෙන ආපසු යති. ගමේ ගෙදර දේවාල පවත්වති.

කතරගම දෙවියන්ගේ දේව ධර්මයක් ඇත්තේය. ඒ අවිහිංසාවයි.

මේ අවිහිංසාව කතරගම දේවාලය පාලනය කරන ධර්මයයි. නිර්මාංසව දෙවියන් වඳින්නට ඔබ ආ යුතුය. ඓතිහාසික කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු මඬුල්ලකි. එය දුටුගැමුණු මහ රජතුමාගේ නියමයෙන් පරම්පරාවට ආවෝය. ඔවුහු කතරගම දෙවියන්ට මහත් භක්ති ආදරය දක්වන්නෝය.

මෙහි අද ප්‍රධාන කපු ධුරන්දරය සොමිපාල ටී. රත්නායක මහතා දරන්නේය.

ඔහු කතරගම දේවාලයේ හැට හත් වසරකට වඩා සේවය කර ඇත්තේය. අදට ඔහුගේ වයස අවුරුදු 83කි. ඔහු ඉතා කුඩා කාලයේ සිට ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ආශීර්වාද කර ඇත්තේය.

කතරගම ඉතිහාස කතාවේ තවත් අමතක කළ නොහැකි දෙයකි. මේ පූජනීය බිම  පුදබිමක් බවට පත්කළේ ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. මැතිනිය තුළ කතරගම දෙවියන්ට මහත් භක්තියක් පැවැතිණි. අගමැති ඩඩ්ලි සේනානායක මහතා 1970දී කිරිවෙහෙර කොත් පැලඳවීම සිදු කළේය. කතරගම දේවාලය තුළ පුද පෙරහර ඇරඹෙන්නේ බෞද්ධ චාරිත්‍රානුකූලවය. පෙරහර සංවිධානයේ මෙවර නායකත්වය දරන්නේ වර්තමාන බස්නායක නිලමේ ඩිල්ෂාන් ඩබ්ලිව්. ගුණසේකර මහතාය.

අගෝස්තු 12 දා දිය කැපීමේ මංගල උත්සවයෙන් එය අවසාන වන්නේ අගෝස්තු මස 14 වැනිදාය.

 එච්.ඩබ්ලිව්. අභයපාල

ප්‍රවීණ හස්ත රේඛා පර්යේෂණ

විද්‍යාඥ

077-1549883