කතරගම යන පාද යාත්‍රිකයන්ට ජනපති දුන් තෑග්ග

0
10

කතරගම ඇසළ උත්සවය සඳහා උතුරු නැඟෙනහිර සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන.  බැතිමතුන්ට ආරක්ෂාව හා ජල සම්පාදනය ඇතුළු යටිතල පහසුකම් සැපයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි රුපියල් මිලියන 2.04ක මුදලක් වෙන් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් මුහුණපාන දුෂ්කරතා පිළිබඳව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඊට අදාළ පහසුකම් සලස්වන ලෙස උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව අදාළ පහසුකම් සැපයීම ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ සිදුකරනු ඇත.

වාර්ෂිකව ඇසළ උත්සවය නිමිත්තෙන් බැතිමතුන් තිස්දාහකට අධික පිරිසක් ඔකඳ සිට පා ගමනින් කිලෝමීටර් 90කට වැඩි දුරක් ගෙවා කතරගම පූජා භුමිය වෙත පැමිණීම අතීතයේ සිට පැවත එන්නක් වන අතර, එම ගමනේදී ඔවුන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතර ඇතැම් විට වන සතුන්ගෙන් වන ආපදාවලටද මුහුණ දී තිබේ. මේ පිළිබඳ අවධානය යොමු කරමින් එම බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුකම් සැපයීම වෙනුවෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී ඇත.

සඳුනි ගමාරච්චි