ඖෂධ සංස්ථාව කෑවේ හිටපු සභාපතිද?

0
18

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2019 දෙසැම්බර් මාසයේ සිට 2021 නොවැම්බර් දක්වා සභාපති තනතුර දැරූ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ වසර දෙකහමාරක පාලන කාලය තුළ සංස්ථාව වැසී යන තත්ත්වයට පත් කරමින් පෞද්ගලිකත්වයට මුල්තැන දෙමින් ගෙනගිය දූෂිත පාලනය ගැන වහාම පරීක්‍ෂණයක් පැවැත්වීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි සංස්ථාවේ සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කොට තිබේ. මොහුගේ අදූරදර්ශී පාලනය හේතුවෙන් සංස්ථාව ඔෟෂධ හිඟයකට පත් කරමින් අද වන විට අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග හතරෙන් තුනක්, එනම් ඔෟෂධ වර්ග 320ක් නොමැති තත්ත්වයකට ලංකාවේ ලොකුම ඔෟෂධ ජාලය හිමි සංස්ථාව පත්කර තිබෙන බව සේවක සංගමය පෙන්නා දෙයි.

නිසිපරිදි රටට අවශ්‍ය ඖෂධ ආනයනය කරමින් ඔසුසලේ ෆාමසි ජාලය ඔස්සේ ඖෂධ අලෙවි කරමින් සැලකිය යුතු ලාභයක් ලබාගෙන භාණ්ඩාගාරයෙන් යැපුම් දීමනා නොලබන තත්ත්වයක සාර්ථකව මෙම සංස්ථාව 2019 දෙසැම්බර් මාසයට පෙර සිටි සභාපතිවරුන් විසින් පවත්වාගෙන ගිය බවත්, ඉන් පසුව සභාපති පදවියට පත් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ පාලන කාලය තුළ නිලධාරීන් පත් කිරීමේදී සංස්ථාවට අදාළ නීති රෙගුලාසි හා පටිපාටිවලට පටහැනිව සුදුසුකම් නැති නිලධාරීන් පවා පත්කර තිබෙන බවත් පෙන්වා දෙන සේවක සංගමය, උදාහරණ කීපයක්ද ජනාධිපති වෙත යවා ඇති ලිපියෙන් පෙන්නාදී තිබේ.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) වරලත් ගණකාධිකාරිවරයා කිසිදු හේතුවක් නොදක්වා විනය පරීක්‍ෂණයක්වත් නොපවත්වා එක් රැයකින් සේවයෙන් පහ කිරීම, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (උපාංග) සර්ජිකල් තනතුරට සම්මුඛ පරීක්‍ෂණයක්වත් නොපවත්වා සභාපතිගේ හිතවත්කමට පත් කිරීම, ආනයන කළමනාකරුට (සර්ජිකල්) යම් අක්‍රමිකතාවක් කරන ලෙසට කළ බලකිරීමකට අවනත නොවීම නිසා දේශපාලන බලය පෙන්නා එම නිලධාරියා වහාම වෙනත් ඔසු සලකට මාරු කිරීම, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) තනතුරට තම ඥාතියකු පත් කිරීම, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ ආරක්‍ෂක අංශයේ පුද්ගලයකුගේ ඥාතියකු ප්‍රවර්ධන

කළමනාකාර ධුරයට පත් කිරීම, ව්‍යාජ ලිපි ඉදිරිපත් කරමින් වාප්පු අංශයේ නිලධාරි තනතුරකට බඳවා ගැනීම සහ එම තනතුර ලබාදී මසකට පසුව පැවැති පරීක්‍ෂණයකදී ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර තිබීම සනාථ කර ගැනීමෙන් පසුව එම නිලධාරියා මානව සම්පත් අංශය මඟින් ඉවත් කිරීමෙන් පසුව, මේ අක්‍රමිකතාවට අදාළ කිසිවක් පොලිසියට හෝ වෙනත් වගකිවයුතු ආයතනයකට පැමිණිලි නොකරන ලෙසට බලපෑම් කිරීම, නීති විරෝධී ලෙස පත්වීම්, උසස්වීම් ලබාදීම හා තමන් නොරිස්සන නිලධාරීන් අනවශ්‍ය ස්ථානවලට මාරුකර යැවීම හා සේවකයෙන් පහ කිරීම, හිටපු සභාපතිගේ පාලන කාලය තුළ සිදුව තිබීම ගැන තොරතුරු ඉදිරිපත් කරන සේවක සංගමය, මේ තත්ත්වය හේතුවෙන් සේවකයන් දැඩි අසීරුතාවකට හා කලකිරීමකට පත්ව සිටින බවද ජනාධිපතිවරයාට පැමිණිලි කොට තිබේ.