ඔබගේ ඉඟටිය සත්‍යය නමැති පටියෙන් බැඳ ගන්න

0
58

එබැවින් ස්ථීරව ඉන්න. ඔබගේ ඉඟටිය, සත්‍යය නමැති පටියෙන් බැඳ ගන්න. දමිටුකම නමැති ළයවැස්ම පැලඳගන්න. (එපීස 6: 14)

සත්‍යවාදී වීම කොතරම්දුරට අත්‍යවශ්‍යද? සත්‍යවාදී නොවීමේ ප්‍රතිඵල කොතරම් දුරට දරුණුද? බහුතර බලයකින් පත්වූ නායකයා සත්‍යවාදී නොවීම නිසා ඔහුට සිදුවූ අවමානය කොතරම්ද? ඉහත බයිබල් පාඨය දෙස බැලීමේදී සත්‍ය නමැති පටිය තුළ සවිමත් නොවූ නිසා ඔහුගේ කලිසම ලිස්සා යෑමක් නොවේද සිදුවූයේ?

ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්ගයද සත්‍යයද ජීවනයද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝය” (ශු. ජොහන් 14:6)

ඉහත බයිබල් පාඨය ඔස්සේ ජේසු සමිඳාණන් දේශනා කරන්නේ මාර්ගයද, සත්‍යද, ජීවනයද උන්වහන්සේ පමණක් බවයි. කෙසේද ජේසු සමිඳාණන් “සත්‍ය” වන්නේ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සත්‍ය වන්නේ උන්වහන්සේ පමණක් සත්‍ය වන නිසාවෙනි. ඔබ ප්‍රේමය හඳුනන්නේනම් සත්‍ය ඔබ තුළ පිහිටා ඇත. මන්දයත් ප්‍රේමය නම් දෙවියන්වහන්සේයි.

ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින් යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය. මාගේ පියාණන් වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමඟ වාසය කරන්නෙමු. ශු. ජොහන් 14:23)

ජේසුස් වහන්සේ හඳුනාගැනීමට නැතහොත් සත්‍ය හඳුනාගැනීමට උන්වහන්සේගේ ධර්මය පිළිපැදිය යුතු බව උන්වහන්සේ අවධාරණය කරයි. කුමක්ද උන්වහන්සේ වදාළ ධර්මය? උන්වහන්සේ වදාළ ධර්මය නම් ප්‍රේම කිරීමයි. උන්වහන්සේ ලබා දෙන්නාවූ මූලික නියෝගය නම් අප එකිනෙකාට අවංකව හා සැබෑ ලෙස ප්‍රේම කළ යුතු බවයි. දෙවියන්වහන්සේ පුරාණ ගිවිසුමේ ආඥා මඟින් උන්වහන්සේට කීකරුවන්නට උගන්වා ඇතිසේම, නව ගිවිසුමේ ආඥා දෙකක් මඟින් දසපනත කැටි කර ඇත. මෙමඟින් ජේසුස් වහන්සේ සත්‍යාණන් බවත් උන්වහන්සේ වදාළ ධර්මය තුළින් සත්‍ය නිරූපණය වන බවත් මනාව පැහැදිලි වෙයි.

‘නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’

(ශුද්ධවර මතෙව් 22:39)

ප්‍රේමය ඔබ තුළ පවතින්නේ නම් ඔබට සත්‍යවාදී විය හැකිය. එසේම ප්‍රේමය ඔබ තුළ නොපවතින්නේනම් ඔබ අවස්ථාවාදියකු වනු ඇත. අද වර්තමාන සමාජය තුළ ඔබට දන්දිය හැකිද? ඔබට අසල්වැසියාගේ යහපත කෙරෙහි සතුටු විය හැකිද? උඩඟු නොවී සමාජය තුළ ජීවත් විය හැකිද? ජේසුස් වහන්සේ මූලිකවම නියෝග කළ “අසල්වැසියාට ප්‍රේම කරන්න” යන පනත තුළ ඔබ ජීවත්වෙනවාද කියා මොහොතකට සිතා බලන්න.

 සත්‍යවාදී වීම දුෂ්කර කටයුත්තකි. එයින් සිදුවන්නේ අපට අලාභයකි. සත්‍යවාදී වීම ඉතාමත් කටුක ස්වරූපයක් ගන්නා අතර, සත්‍යවාදී මිනිසාගෙන් බොහෝදෙනා අෑත්වීමට පටන් ගනියි. එයින් දුක, වේදනාව, කඳුළ නිරන්තරයෙන් ඔහුට උරුම වෙති. සැබවින්ම පැවසුවහොත් සත්‍යවාදී වීම බොහෝ සෙයින් අපට පාඩු ලබාදෙන කටයුත්තකි. එබැවින් සත්‍යවාදී වීම එතරම් පහසු කටයුත්තක් නොවන බව තරයේ මතක් කරන අතර එසේ වන්නේ මනුෂ්‍යයා වඩාත් ප්‍රිය වන්නේ සතුටට මිස දුකට නොවීම එයට ප්‍රධානතම හේතුව වන්නේය.

ජේසුස් වහන්සේ නමැති “සත්‍ය” ක්‍රිස්තියානින්ට පමණක් අයිති වූවක්ද? නැත. ජේසුස් වහන්සේව නොදන්නා මනුෂ්‍යයා තුළ පවා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආඥා පිහිටුවා ඇත.

ව්‍යවස්ථාවේ නියමයන් ඔවුන්ගේ සිත්හි ලියවී ඇති බව ඔවුන්ගේ පැවැත්මෙන් පෙනේ. ඔවුන්ගේ හෘදය සාක්ෂිය එය සැබෑ බව සහතික කරයි. (රෝම 2:16)

ඔබ කාමමිථ්‍යාචාරය නොකරනවා නම්, සොරකම් නොකරනවා නම්, ලෝභ නොවන්නේ නම්, අසල්වැසියාට ප්‍රේමකරනවා නම්, අසල්වැසියාට නපුරක් නොකරනවා නම්, ඔබගේ හෘදසාක්ෂිය තුළ ඔබ එකඟ නම් ව්‍යවස්ථාව නමැති ප්‍රේමය ඔබ තුළ සම්පූර්ණ වනු ඇත. එනම් ජේසුස්වහන්සේව නොදන්නා අන්‍යාගමිකයන් පවා තමාගේ හෘදසාක්ෂියට එකඟව අවංක ලෙස ජීවත්වීම තුළින් දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගේ සිත තුළ නිදන් කර තිබෙන ප්‍රේමය නමැති නියමය ඉස්මතු කර පෙන්වයි.

විශේෂයෙන් කතෝලික සභාව ගත්කල විශ්වය පුරාම ව්‍යාප්ත වී ඇති, මිලියන ගණනක් අනුගාමිකයන් සතු ලෝකයේ විශාලතම සභාව වන්නේය. එනම් මිනිස් බව ගත් දේවපුත්‍රයාණෝ මෙලොවට පැමිණ උන්වහන්සේගේ ධර්මය ගැන කියාදුන් සේක. උන්වහන්සේ ඉකුත්වූ ඉක්බිතිද ඒ කාර්යය ලෝකාන්තය දක්වා ඉටුකරන පිණිස සභාවක් පිහිටු වූූ සේක.

ජේසුස් වහන්සේ වර්ෂ 2000කට පෙරාතුව පිහිටු සභාව අද වනවිට විශ්වයේ විශාලතම සභාව බවට පත්වූයේ ශුද්ධාත්මයාණන්ගේ ඉගැන්වීම් තුළින්ද ඒකත්වය තුළින්ද ඉදිරියටම පැමිණ ඇති නිසාවෙනි. එනම් කතෝලික සභාව ගබ්සාව හා සමලිංගික විවාහයන් ප්‍රතික්ෂේප කරනු ලබයි. මෙය ඇමරිකාවේ කතෝලිකයන්ගේද ශ්‍රී ලංකාවේ කතෝලිකයන්ගේද එකම ඉගැන්වීමයි. විශ්වයේ කොතැනක සිටියද සභාවේ ඉගැන්වීම ඒකත්වයක් තුළ රඳා පවතින බැවින් කිසිදා ඉගැන්වීම කිසිම අයුරකින් වෙනස් නොවන්නේය.

ප්‍රේමය යනු කිමෙක් දැයි අප දන්නේ, ක්‍රිස්තුන් වහන්සේ සිය ජීවිතය අප උදෙසා පරිත්‍යාග කළ බැවිනි. අපද, සහෝදරයන් උදෙසා අපේ ජීවිත පරිත්‍යාග කළ යුතුය. (1 ජොහන් 3:16)

කොන්දේසියකින් තොරව ප්‍රේම කරන ආකාරය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද උන්වහන්සේ පසක් කරදුන්හ. උන්වහන්සේ අපට ප්‍රේම කරමින් අප උදෙසා ජීවිතය පූජා කළේ නම්, අපද අපගේ සහෝදරයා උදෙසා ජීවිතය පූජා කළ යුතු නොවේද?

ප්‍රථමයෙන් ඔබ තුළ අරගලයක් ඔබ දියත් කළ යුතුය. ඔබේ නිවෙස තුළද ඔබේ සමාජය තුළද එම අරගලය සත්‍යයට සාක්ෂි දරමින් දියත් කළ යුතුය. එසේ අරගල කරන කල ඔබට බොහෝ නින්දා අවමානයන්ට මුහුණ දීමට සිදු වනු ඇත.

යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා!

(ශු. මතෙව් 16:24)

සත්‍යවාදී වීමට නම් ඔබට ඇති මාංශික, ලෞකික දෑ අතහැරිය යුතු බව ජේසු සමිඳාණෝ අවධාරණය කරයි. එනම් ඔබ තුළ ඇති බලය, මාන්නය, කෛරාටිකකම, වංක බව හා තමා බලවත් ලෙස සලකන “තමකම” හෙවත් ලෞකික දෑ අතහැරිය යුතුබව උන්වහන්සේ පෙන්නුම් කරයි. එසේ අතහැරීම තුළින් ඔබ තුළ තිබූ මාංශික දෑ පරදා ආධ්‍යාත්මික දෑ කෙමෙන් වර්ධනය වන්නට පටන් ගනියි.

ලක්දිව වෙසෙන අප වර්තමානයේ මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වනුයේ ඉන්ධන අර්බුදයයි. පෙර ඉන්ධන සැපයූ ප්‍රමාණයෙන්ම අද වනවිට ඉන්ධන සපයනු ලැබුවත් තෙල් පෝලිම්වල අඩුවක් දක්නට නොමැත. අර්බුදය මුවාවෙන් ඉන්ධන ගබඩා කිරීම මෙයට හේතුව වන අතර එම ඉන්ධන වැඩි මුදලකට අලෙවි කිරීමටද ජනයා පුරුදු වී ඇත.

එවැනි මනුෂ්‍යයකුගේ සත්‍යතාව පිළිබඳ විශාල ප්‍රශ්නාර්ථයක් මතු කරයි. සත්‍යවාදී වී සත්‍යයට සාක්ෂි දැරීමට නම් අප සතු සියලු දෑ අතහැරිය යුතුය. එම මිනිසාට සත්‍යවාදී ලෙස සිටීමට නොහැකි වනුයේ ඔහු එසේ ඉන්ධන ගබඩා කර නොගතහොත් ඔහුට එය විශාල පාඩුවක් අලාභයක් එයින් විශාල දුෂ්කරතාවක් පැමිණෙන නිසාවෙනි. එවැනි මිනිසුන් තමාගේ වාසිය පතා හෘදසාක්ෂියට මුවාවී සත්‍යයෙන් සැඟවී සිටියි.

ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේමයේ විප්ලවය කරන්නට අනන්ත අප්‍රමාණ ලෙස දුක්වින්දාහ. උන්වහන්සේ වරදක් නොකළත් අන් සියල්ලන්ගේ පව් වෙනුවෙන්, ආදරයේ උදාරත්වය ජනතාව අතර මාංශගත කරන්නට ජීවිතය පූජා කළ සේක. එනම් සැබැවින්ම සත්‍යයට සාක්ෂි දැරීම යනු අනෙකා වෙනුවෙන් තම ජීවිතයද පූජා කිරීමය.

ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. තිරිඟු බීජය පොළොවෙහි වැටී නොමළොත් එය තනි බීජයක් පමණක් වේ. එහෙත් එය මළොත් සරු ලෙස පල දරයි. (ශු. ජොහන් 12:24)

අහිමිවීම් තුළින් දුක්වේදනා තුළින්, සත්‍යයට සාක්ෂි දරමින් ඔබේ හෘදසාක්ෂියට එකඟව ඔබ ජීවත් වන්නේනම්, ඔබේ වේදනාව තුළින් අනෙකාට දක්වන ප්‍රේමය දයාව ඔබට අවසානයේදී මහත් ඵල ලබා දෙන බව නොඅනුමානය. කතෝලික සභාවද මෙතරම් වර්ධනය වූයේ ශ්‍රාවකයන්ගේ සිට ක්‍රිස්තු අනුගාමිකයන් අද වනතෙක් සත්‍යයට සාක්ෂි දරමින් තම ජීවිතය පූජා කළ නිසාවෙනි.

අවසන් කොට, සත්‍ය වෙනුවෙන් දුක්විඳීම භාග්‍යයකි. අප සත්‍යයට සාක්ෂි දැරීම පිණිස ශාරීරික වශයෙන් දුක් විඳීමට සූදානම් විය යුතුය. මන්ද ඒ අන්දමින් ශාරීරිකව දුක්වින්ද තැනැත්තේ පාපයෙන් නිදහස්ව සිටියි. මේ ජීවිතයේ ඉතිරි කාලයේද තවදුරටත් මනුෂ්‍ය තෘෂ්ණා අනුව නොව දේව කැමත්ත ලෙස ජීවත් වීම අප සමිඳාණන් උදෙසා සාක්ෂි දැරීමත් එම සාක්ෂි දැරීම තුළින් නියම කතෝලිකත්වය පෙන්නුම් කිරීමටත් පුළුවන්කම ඇත.

අශේන් අරවින්ද (Saints and Angels)
Facebook පිටුවේ ඇඩ්මින්, Catholic Social Media Admins