ඉපැරැණි චීන ග්‍රන්ථයකින් අභයගිරි ඉතිහාසයේ තෝම්බුව එළියට ආ හැටි

0
24

ඔබ සංචාරකයකු පමණක් නොව දැනුම සොයා යන්නකු, ගවේෂකයකු ලෙස සැරිසරන්නේ නම් අභයගිරිය හා එම විහාර පරිශ්‍රය ඉතා වැදගත් තැනකි. ඔබ පාසල් සිසුවකු නම් අලුත් දැනුම සොයා යන්නේ නම් එම පෙදෙස දැනුම් ගබඩාවකි. එහෙත් හුදු දැක බලාගෙන මලක් පුදා යනවා විනා ඔබ එහි යටගියාවත්, එයින් මතුවූ අලුත් තොරතුරුත් දැනගෙනම යන්නේ නම් එම ගමන වඩාත් අර්ථ පූර්ණ වනු ඇත.

“අභයගිරිය ඉදි කළේ කවුද? යන්නට ඉතා හොඳම ලිඛිත සාක්ෂිය තිබෙන්නේ මහාවංශයේය. ඒ අනුව ක්‍රි.පූර්ව 103-102 සහ 89-77 අතර දෙවතාවක රාජත්වයට පත් වළගම්බා රජු හෙවත් “වට්ටගාමිණී අභය” මෙය ඉදිකොට ඇත. අභයගිරිය ගොඩනැඟෙන්නට පාදක වූ යුගය ලක්දිව ඉතිහාසයේ එක් අර්බුද ගණනාවකට මුහුණදුන් සමයක් විය. වළගම්බා රජු බලයට පත්වී මාස 05ක් ගතවනවාත් සමඟ රෝහණ දේශයේ “නකුල නගර” නම් පෙදෙසක විසූ “තිස්ස” නම් බ්‍රාහ්මණයකු රජුට එරෙහිව කැරැල්ලක් ඇරැඹීය.  එම කාලයේම දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩයන් හත්දෙනකු අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කළහ. බරපතළ කඩාවැදීමක් හා ප්‍රහාරයක් වශයෙන් පිළිගැනෙන මෙම ආක්‍රමණය හමුවේ රජුට ඊට මුහුණ දී ගත නොහැකි වූයේය. ආක්‍රමණය හමුවේ රජුට පලා යන්නට සිදුවූ අතර ආක්‍රමණිකයන් අතර වූ “වදාමහ” නම් අයකු රජුගේ ආදරණීය බිසව වූ “සෝමා” දේවියත් තවත් අයකු පාත්‍රා ධාතුවත් රැගෙන ඉන්දියාවට පලා ගොස් තිබේ. රජු අසරණ විය.

මෙකලම දරුණු නියඟයක් රට පුරා පැතිර ගිය අතර එය වංශකතාවල සඳහන් වෙන්නේ “බැමිණිටියාසාය” නමිනි. මිනිසුන් බඩගින්නේ වියරුව ගිය අතර ඇතැම් අවස්ථාවල මිනීමස් බුදින්නටද වූ බැව් පැවැසේ.

එක් පැත්තකින් නියඟයත් තවත් පැත්තකින් දරුණු ආක්‍රමණයකුත් මැද දකුණු ඉන්දියාවෙන් එල්ල වූ ද්‍රවිඩ ආක්‍රමණයට එරෙහි වන්නට වළගම්බා රජුට නොහැකිවීම සිතා ගත හැකිය. යුද්ධයකට පිරිස් රැස් කරගන්නවා තබා ජනතාව ජීවත්වීමත් අසීරු තැනකට වැටිණි. කෙසේ වෙතත් නිරතුරුවම අනුරාධපුරයේ වූ තත්ත්වය වෙළෙන්දන් හා නාවිකයන් හරහා දැන කියාගත් ද්‍රවිඩයන් නිරතුරුව මෙරටට කඩා වදින්නට උත්සාහ දැරූ බව මින් පැහැදිලිය. එහි ප්‍රමුඛ වූයේ “පුලහත්්ථි, බාහිය, පණයමාර, පිළයමාර, දාඨිය” යන ද්‍රවිඩ ආක්‍රමණිකයෝය.

වළගම්බා රජු සටනින් පරාජයට පත්වී පලායන රජුට යන්නට වූයේ “ගිරි” නම් නිගණ්ඨයාගේ නිගණ්ඨාරාමය පසුකරගෙනය.  ගිරි නිගණ්ඨයා  රජු දැක රජුව ද්‍රවිඩයන්ට අල්ලා දීමට කල්පනා කොට “මහා කළු සිංහලයා පලා යනවා!”ය කියා කෑ මොරදී ඇත. රජු මෙය සිහියේ තබා ගත්තේය. අවසානයේ  සටන් වැලක් සිදුකොට “දාඨිය” නම් වූ ද්‍රවිඩ ආක්‍රමණිකයාද මරා දමා වළගම්බා රජු දෙවැනි වරටත් රාජ්‍යත්වයට පත්වූයේය. මහා වංශය ඇතුළු වංශකතා දක්වන්නේ නිගණ්ඨයාගේ පරිභවය එම සිදුවීමත් “අභයගිරි විහාරය” ඇතිවීමට මූලිකම හේතුවක් වූ බවය. ගිරි නිගණ්ඨයා විසූ තැන වනසා දැමූ රජු එහි ‘අභයගිරිය” ඉදිකළ බැව් කියැවේ. “ගිරි” නම් කොටස නිගණ්ඨයා සිහිවීමටත්  “අභය” කොටස තමන් සිහිවීම උදෙසාත් එකතු කොට “අභයගිරි” කරවූ බැව් ප්‍රකට අදහසය.  මහාචාර්ය කුලතුංග පෙන්වා දෙන්නේ දීගපාෂාණය ප්‍රකට විශාල පර්වත භූමිය ආශි්‍රතව ගොඩනැඟූ විහාරය “අභයගිරිය” විය හැකි බවය. එය තවදුරටත් විවාදාත්මක අදහසකි.

කෙසේ වෙතත් වංසත්ථප්පකාසිනිය සඳහන් කරන පරිදි වළගම්බා රජුගේ සොහොයුරා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කර අවසානයේ දිවි නසාගත් “අභය” සහ “උත්තර” යන කුමාරවරුන් දෙදෙනා සිහිවීම පිණිස ඔවුන්ගේ ඥාතීන් විසින් මෙම ස්ථානයේ ‘අග්ගිප්පවෙසික’ නමින් දාගැබක් කරවූ බවත්ය.  එය ගජබාහු රජතුමා විශාල කරවා “අභ්‍යත්තරය” නාමය තැබූ සඳහනක්දවේ.

අභයගිරිය පිළිබඳව පුළුල් පර්යේෂණවලින් පසු ලක්දිව වෙනත් දාගැබ්වල මෙන් අභයගිරි දාගැබේ නිදන් කළ ධාතු පිළිබඳ සඳහනක් නැතිවීම  විශේෂයක්කොට සැලකේ. එහෙත් පස්වැනි සියවසේ ලක්දිවට පැමිණි දේශාටක චීන ජාතික භික්ෂුවක වූ “ෆාහියන්”ගේ වාර්තාවකින් කියැවෙන්නේ “බුදුරදුන්ගේ සිරිපා ලකුණ මත අභයගිරි දාගැබ ඉදිකර ඇත” යන්නය. “පාලි මහා බෝධි වංශයේ සඳහන් වන්නේ “සිව්බුදුවරුන් ශ්‍රී ලංකාද්වීපයට වැඩමකර යළි දඹදිවට වැඩම කිරීම සඳහා නැඟුණු තැන්වල පාද ලාංඡන ස්ථූප කරවූ අතර ඉන් ගෞතම බුදුන් සිය තෙවැනි ගමනේදී, දඹදිවට වැඩම කිරීමට අහසට නැඟී ඇත්තේ මතු ඇතිවන “ශිලා චේතිය” නම් ස්ථානයෙන් බවත්” ලෙසින්ය.

වඩාත් විස්තර සහිතව මහාචාර්ය සෙනරත් පරණවිතානයන් මේ කියන “ශිලා චේතිය” කුමක්ද යන්න දීපවංශයේ පාඨයක් ඇසුරෙන් දක්වන්නේ “අභයගිරි විහාරය සහ එම චෛත්‍ය අභ්‍යන්තරයෙහි පිහිටි “සිලාථූපය” හෙතෙම කරවූවා” වශයෙනි. මෙම මතය තහවුරු වන දෙයක් ෆාහියන් සඳහන් කර තිබෙනවා පමණක් නොව අභයගිරි මළුවෙන්ද ඉතා දුර්ලභ සිරිපතුල් ලාංඡනයක් හමුවීමෙන් මීට පණක් ලැබේ. එහි නෙළා තිබෙන සිරිපතුල්, අප සාමාන්‍යයෙන් දකිනා ගලෙන් ඉහළට මතුකෙරෙන උත්තලාකාර ස්වභාවයක් ගන්නේ නැත. එය සැබැවින්ම පෙනෙන්නේ බුරුල් වූ පස් මත පා තැබූ විට එහි ගැඹුරට එරී සටහන් තැබුණු පා සලකුණක් ලෙසටය.

මේ සුවිශේෂ අභයගිරි දාගැබ් පරිශ්‍රයෙහි මෑතකදී කළ කැණීම්වලින් එහි නැඟෙනහිර වාහල්කඩේ තැන්පත් කර තිබුණු සර්වඥධාතුද හමුවී තිබේ. මැටි කරඬුවක බහා තිබුණු රමණීය රන් කරඬුවක මේ ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබිණි. එය පොළොන්නරුවේ රජ කළ කල්‍යාණවතී රැජිනගේ පූජාවක් ලෙස පිළිගැනෙයි.

අභයගිරි දාගැබේ විශේෂත්ව කිහිපයක්ද තිබේ. එය ලෝකයේ විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා දාගැබ වේ. පුරාණයේ මිනිස් අතකින් ඉදිකළ ගොඩනැඟිලි අතර විශාලත්වයෙන් සතරවැනි ස්ථානය ගනියි. එය ඉදිකරනු ලැබූ අවධියේ මෙහි උස රියන් 120ක්ව තිබී ඇත. එය අඩිවලින් ගතහොත් 400ක් පමණ වන බැව් විද්වත් මතයයි. 12 වැනි සියවසේදී මහා පරාක්‍රමබාහු රජතුමා කළ අවසන් ප්‍රතිසංස්කරණවලදී එහි උස අඩි 280ක් වී තිබේ. එක් පැත්තක් අඩි 585ක් දිගැති සමචතුරස්‍රාකාර සලපතළ මළුවේ විශාලත්වයම අක්කර 8ක් තරම් වීම එහි විශාලත්වය කියාපාන්නකි. ඒ අනුව ලොව දාගැබක් සතු විශාලතම සලපතළ මළුව අභයගිරි දාගැබට හිමිය. වැලිමළුවද සහිතව අභයගිරි චෛත්‍ය අංගණය විශාලත්වයෙන් අක්කර 14ක් ඉක්මවයි.

වළගම්බා රජතුමා මේ අසමසම දාගැබ හා විහාර සංකීර්ණය ඉදිකොට එවකට මහා විහාරයේ වැඩ විසූ “කුපික්ගල තිස්ස” නම් භික්ෂුන් වහන්සේට පූජා කර තිබේ. මෙම භික්ෂුව වළගම්බා රජතුමා සතුරන්ගෙන් සැඟවී අතිශය දුෂ්කර වනගත දිවියක් ගතකරද්දී තුදුස් වසරක් පුරා රට මුදාගැනීමේ සටන් සංවිධානය කර ගැනීමට නිරතුරුව සහාය වූ හිමිනමකි. එහෙත් කවර හෝ ප්‍රතිලාභයක් භික්ෂුවක් විසින් පෞද්ගලිකව ලබාගැනීම නිර්මල ථෙරවාදී “මහා විහාර සම්ප්‍රදාය”ට පටහැනි ක්‍රියාවක් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් තිස්ස තෙරණුවන්ව “ගිහියන් සමඟ අනවශ්‍ය ලෙස සම්බන්ධතා පැවැත්වීම යන” කුල සංඝට්ඨව වෙහෙතියි” යන චෝදනාව මත “පබ්බාජනීය කර්මය” සහිතව මහා විහාරයෙන් නෙරපා හැර තිබේ. මෙය ගැටලු ඇති කරවන්නට හේතු විය. මහා විහාරයේ තීරණය පිළිනොගත් තිස්ස තෙරණුවන්ගේ ශිෂ්‍යයකු වූ “බහලමළුතිස්ස” හිමියන් ඊට විරෝධය පෑහ. අනතුරුව විශාල භික්ෂුන් පිරිසක් සමඟ අභයගිරියට වැඩම කොට එහි පදිංචි වූහ. මෙය ලංකා ඉතිහාසයේ “ප්‍රථම සංඝභේදය” ලෙස සටහන් වෙයි.

මෙයින් පසු අභයගිරිය වෙනත් පාර්ශ්වයක ස්වභාවයක් ගනිමින් ස්වාධීනව වර්ධනය වන්නට පටන් ගත්තේය. එනිසාම අභයගිරි පාර්ශ්වය මහායාන අදහස්වලින් පිරුණේයැයි කීවද එම විහාරයේදී ථෙරවාදයද ඇතුළු විවිධ ආගම් සහ දර්ශනවාද, වෛද්‍යකර්මය, ජේ‍යාතිෂය වැනි විද්‍යාවන්ද, වාපී, ලෝහ, සායම් තැනීම ඇතුළු කර්මාන්ත යනාදී පුළුල් පරාසයක විෂයයන්ද උගන්වා තිබෙන බව මෑතකදී කළ පුරාවිද්‍යාත්මක කැණීම් මඟින් තහවුරු වී තිබේ. විද්වතුන්ගේ මතය අනුව මේ වෙනස් විදියේ හැරවුම්, පිබිදීම් නිසා වඩාත් විචාරශීලීව හා විවෘත මනසකින් මෙහි අධ්‍යයනය කටයුතු සිදුකෙරුණු නිසා අනුරාධපුර යුගයේ අවසාන භාගය වන විට අභයගිරිය ලෝ ප්‍රකට විද්‍යායතනයක් බවට පත්විය.  එනිසාම දකුණු ඉන්දියාව, චීනය, කාශ්මීරය, ජාවා ආදී රටවල් සමඟද සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට හැකි වී තිබේ.

මේ පිළිබඳව චිනයෙන් ලැබෙන තොරතුරුද වැදගත් වේ. චීන මූලාශ්‍රවලින් ද මෙම තොරතුරු තහවුරු වේ. ඒ අනුව චීන භික්ෂුණින්ට නිවැරැදි උපසම්පදාව ලබාදීමට මූලික වී ඇත්තේ අභයගිරියේ මෙහෙණි ආරාමයක වැඩ විසූ සිංහල භික්ෂුණීන් වහන්සේලා පිරිසකි. එහි ගිය ඔවුන්ගේ ගණපූර්ණය මදිවීම නිසා නැවත වරක් “තිසාර” (තිව් -සො-රා) නම් භික්ෂුණියකගේ ප්‍රධානත්වයෙන් තවත් කණ්ඩායමක් චිනයට වැඩම කර තිබෙන බව පී- චියූ- නි-චුන් නම් ඉපැරැණි චීන ග්‍රන්ථයක සඳහන් වෙයි. එසේම පස්වැනි සියවසේදීම “යසගුප්ත” සහ “බුද්ධනන්දි” ඇතුළු භික්ෂුන් වහන්සේලා පස්නමක් බුදුපිළිම සහ පාත්‍රා ධාතුවේ චිත්‍රයක් රැගෙන චීනයට වැඩම කළ බව චීන මූලාශ්‍රවල තවදුරටත් සඳහන් වේ.

කෙසේ වෙතත් “අභයගිරි විහාර පරිශ්‍රය” තුළින් මතුවන ඓතිහාසික සත්‍යයට අනුව ලක්දිව දැනුම වර්ධනය වුණු සහ පතළ කළ විචාරවත්ව හා සංවාදශීලීව  විවෘත මනසින් සියලු විද්‍යා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නට හැකි වූ මධ්‍යස්ථානයක් ලෙස මෙය වර්ධනය වූ බැව් පෙනෙයි. එබැවින් අභයගිරිය යනු හුදු ගඩොල් ගොඩක නිර්මාණයක් පමණක් නොව එම පරිශ්‍රය දැනුම් ගබඩාවක්ව තිබුණු බැව් පෙනෙයි.

සජිත් රෝහිත ලියනගේ

(පර්යේෂණ වාර්තා ඇසුරෙනි)