ආණ්ඩුවයි අරගලකරුවොයි අතර පාලමක්

0
46

ආණ්ඩු විරෝධී අරගලකරුවන් සහ පාලක කණ්ඩායම් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වේ.

ජන අරගලකරුවන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඉකුත් සිකුරාදා (05දා) පැවැති සාකච්ජාවේදී මේ අයුරින් එකඟතාවකට පැමිණ ඇත.

එමෙන්ම පනවා ඇති හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කරන්නැයිද අරගලකරුවන් ජනපතිගෙන් ඉල්ලීමක් කර ඇත.

එහිදී හදිසි නීතිය පනවා ඇත්තේ මර්දනය ක්‍රියාත්මක කිරීමට නොව ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය අණ පනත් සම්මත කර ගැනීමට බව ජනපති එහිදී අරගලකරුවන් හමුවේ අවධාරණය කොට ඇතැයි වාර්තා වේ.

අනීතිකව සිදුකරන සියලු අත්අඩංගුවට ගැනීම් වහාම නවතා අත්අඩංගුවට ගත් අය පිළිබඳව හා නීති කඩ කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිසමක් පත්කරන ලෙස අරගලකරුවන් ජනපති හමුවේ පවසා තිබේ.

ගාලුමුව‍ෙදාර කේන්ද්‍ර කොටගත් අරගල භූමිය එම ස්ථානයෙන් ඉවත් නොකොට එය ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයක් ලෙස පවත්වා ගෙන යෑමට අවකාශය සලසන්නැයි අරගලකරුවෝ ජනපතිගෙන් ඉල්ලීමක් කර ඇත.

අරගලයට සම්බන්ධ වූ පිරිස් හා රජය අතර සංහිඳියාව ගොඩනැඟීම සඳහා සියලු පාර්ශ්ව ඒකාබද්ධ කොටගත් කමිටුවක් ස්ථාපිත කරන ලෙස අරගලකරුවෝ ඉල්ලීමක් කර ඇති අතර එයට පිළිතුරු දෙමින් එළඹෙන සතිය වන විට දෙපාර්ශ්වයටම එකඟ විය හැකි යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට ජනපති පැවැසූ බව අප කළ විමසීමකදී අරගලකරුවෝ පැවැසූහ.

එමෙන්ම පනවා ඇති හදිසි නීතිය හේතුවෙන් LGBTQ + ප්‍රජාවට සිදුව ඇති අපහසුතා පිළිබඳවද අරගලකරුවෝ ජනපතිගේ අවධානයට යොමු කර තිබේ. එහිදී එම ප්‍රජාව සම්බන්ධයෙන් ඇති ගැටලු සාකච්ජා කිරීමට එම ප්‍රජාව නියෝජනය කරන පිරිසකට අවස්ථාව ලබාදීමට ජනපති සිය එකඟතාව පළකර ඇතැයිද වාර්තාවේ.

ඉකුත් සිකුරාදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මේ සාකච්ජාව සඳහා ගෝල්ෆේස් භූමියේ අරගලකරුවන් නියෝජනය කරමින් Black Cap Movement, ලිබරල් සහෝදරත්වය, සර්ව පාක්ෂික අරගලකරුවෝ, වන් ප්ලස් සංවිධානය සහ ගෝඨා ගෝ ගම youth centerහි පිරිසක් එක්ව සිටියහ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ හදිසි නීති තත්ත්වය නුදුරේදීම ඉවත් කරගැනීමට තවමත් සූදානමක් නොමැති බව එම සාකච්ජාවේදී පැවසූ බව  Black Cap Movement නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එසේම ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරෝධය දැක්වූ අරගලකරුවන්ට යම් අසාධාරණයක් සිදුවී නම් ඒ ගැන පෞද්ගලිකව සොයා බලා මැදිහත්වන බව ජනපති පැවැසූ බවද එම නිවේදනයේ දැක්වේ.

ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට තමන් විරුද්ධ බවත් මර්දනය වෙනුවෙන් කටයුතු කරන පිරිස් විශ්වවිද්‍යාල ක්‍රියාවලිය තුළින්ම නවක වදය නවතා යහපත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත් ජනපති අරගලකරුවෝ හමුවේ පවසා ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

LGBT ප්‍රජාව සම්බන්ධයෙන් හදිසි නීතිය මත ගැටලුකාරී තත්ත්වයක් පැන නඟින බවට වාර්තාවී ඇති නිසා එය ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීති පසුබිම් සකස් කරන ලෙස ජනපති නීතිපතිවරයා දැනුවත් කර ඇතැයි එහි දැක්වේ.

“ජන සභා” ආරම්භ කිරීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයකින්ම ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එළැඹෙන සතියේදී ඒ පිළිබඳව නියමිත පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමට තීරණය කොට ඇත.

ආර්ථික අරගලය ජය ගැනීම සඳහා අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් සෑම අයුරකින්ම දායක කර ගැනීමට තමන් අපේක්‍ෂා කරන බවද ජනපති අරගලකරුවෝ හමුවේ පවසා තිබේ.

තරුණයන්ගේ අවශ්‍යතා රාජ්‍යයේද අනුග්‍රහය සහිතව පවත්වාගෙන යෑම සඳහා කොළඹ කොටුව පාවෙන වෙළෙඳසල සහ තවත් ස්ථාන කිහිපයක් යෝජනා කිරීමට කැමැති බවත්, ඒ වෙනුවෙන් වන විධිමත් යෝජනාවලියක් බහුතර අරගලකරුවන්ගේ මැදිහත්වීමෙන් සකස් කර ඉදිරිපත් කරන ලෙසත් එහිදී රනිල් වික්‍රමසිංහ අරගලකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

එම ක්‍රියාවලිය තුළ අධ්‍යාපනය සඳහා වූ පුස්තකාලය, දේශපාලන අධයනය සඳහා වන පහසුකම්, සංගීතය, චිත්‍ර කලාව, වේදිකා නාට්‍ය හා අනෙකුත් තරුණ කුසලතා සහ අවශ්‍යතා  ඉටුකර ගත හැකි එක් මධ්‍යස්ථානයක් බවට එය පත්කර ගතයුතු යැයි ජනාධිපතිතුමා එහිදී අවධාරණය කොට තිබේ.

සවනි ශේශාධි