අපිට බලාගෙන ඉඳලා කට්ට කාලා පුරුදුයි

0
58

රාජ්‍ය ළමා නාට්‍ය උළෙල, රාජ්‍ය නාට්‍ය උළෙල සහ යොවුන් නාට්‍ය උළෙල ආදී වේදිකා නාට්‍ය උළෙලවල් තුළින් සම්මාන ලැබූ දක්ෂ වේදිකා නාට්‍ය නිළියක් වන ඇය පුංචි තිරයේදී අඳුන්ගිර සහ ඉන්ටර්නැසනල් යන ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂක ඔබට සමීප වූවා. රිදී තිරයේදී The Letter, පැණි මකුළුවෝ, සාම ජාතකය වැනි නිර්මාණවලටත් සිය රංගන දායකත්වය සැපයූ ඇය සෙමින් ඇයගේ ගමන යන දක්ෂ නවක රංගන ශිල්පිනියක්. ඒ නිසාම හදගැස්ම පිටු අතර ඇයටත් ඉඩක් වෙන් කරන්නට අප සිතුවා. මෙලෙස දිගහැරෙන්නේ ඇයත් සමඟ අප කළ සාකච්ඡාවයි.

කොහොමද මේ දවස්වල ජීවිතේ?

ජීවිතේ හොඳින් ගෙවීගෙන යනවා. විශ්වවිද්‍යාලයේ නිවාඩු ලබාදී තිබෙන නිසා මේ දවස්වල ගෙදරට වෙලා සිටිනවා.

මේ දවස්වල කෙරෙන නිර්මාණ කටයුතු මොනවාද?

අලුත් වැඩ කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් ඒවායේ රූගත කිරීම් කල් ගියා. මම රඟපෑ ඉන්ටර්නැෂනල් සහ අ¾දුන්ගිර ටෙලි නාට්‍යය විකාශය වී අවසන්. වේදිකා නාට්‍යයක පුහුණුවීම් කටයුතු මේ දිනවල සිදු කරමින් පවතිනවා.

ඔබ රංගනයට පිවිසුණු ආකාරය ගැන මතක් කළොත්?

මට කුඩා කාලයේ රඟපාන්න අදහසක්, ආසාවක් තිබුණේ නැහැ. අපේ ගමේ ඒ කියන්නේ කුරුවිට, දෙල්ගමුව රජමහා විහාරයේ චූල දසනායක සර් විසින් කළ ‘රඟමඩල’ වැඩමුළුවට සම්බන්ධ වෙලා ඒ හරහා මගේ පොඩි අක්කා වේදිකා නාට්‍යවල රඟපානවා මම දැක්කා. ඒ නිසා මම අක්කාත් සමඟ ඒ වැඩමුළුවට සම්බන්ධ වුණා. එතැනින් චූල දසනායක සර් හරහා ළමා නාට්‍යවලට සම්බන්ධ වුණා. මම මුලින්ම ළමා රාජ්‍ය නාට්‍ය උළෙලේ රඟපාන විට මට අවුරුදු 10යි. ඉන් පසුව නාමල් උඩුමුල්ල අයියා හරහා මට කොළඹ නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

ටෙලි නාට්‍යවලට මට සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙන්නේ තනුජා විජේවික්‍රම අක්කා හරහා. ඇය පිටපත් රචිකාවියක්. මගේ වේදිකා නාට්‍ය බලලා ඇය මගේ රංගනයට කැමැති වුණා. ඇය ‘ලොකු ඉස්කෝලේ මහත්තයා’ කියන පොහොය ටෙලි නාට්‍ය ලියා තිබෙන්නේ මාවම ඔළුවේ තබාගෙන. ඇය මගෙන් ඇසුවා එහි රඟපාන්න කැමතිද කියලා. මම ඒ ආරාධනාව ආසාවෙන් භාරගත්තා. එය 2020 වසරේ හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය බවට පත්වුණා සහ මට එහි රංගනය වෙනුවෙන් කුසලතා සම්මානයක් ලැබුණා. ඉන්පසුව තමයි මට ඉන්ටර්නැෂනල් ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ.

අ¾දුන්ගිර ටෙලි නාට්‍යයේ ඔබේ චරිතයට ගැන කතා කළොත්?

අ¾දුන්ගිර ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ඉන්දික ධර්මතිලක අයියා. මීට පෙර ඔහුගේ ගිරිදේවි ටෙලි නාට්‍යයේත් පොඩි චරිතයක් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ හරහා තමයි ඔහු මාව හ¾දුනාගත්තේ. අක්කුණි කියන චරිතයේ තරුණ අවධිය තමයි මම නිරූපණය කරන්නේ. අක්කුණිගේ කුඩා කාලයේ චරිතය බැලූ විට එහි තරුණ කාලයට මාව ගැළපෙනවා කියලා ඉන්දික ධර්මතිලක අයියා තීරණය කරලා තිබුණා. එහි විශාල කොටස් ප්‍රමාණයක රඟපාන්න මට හැකියාව ලැබුණේ නැතත් ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසක් සමඟ රංගනයේ යෙදෙන්න ලැබීම සහ ඉන්දික අයියා යටතේ වැඩ කරන්න අවස්ථාව ලැබීම මට ඉතාම වටිනවා.

ඔබ සිනමා නිර්මාණ කිහිපයකටත් සම්බන්ධ වී තිබෙනවා. ඒ ගැනත් කියමු?

ඔව්. මම මුලින්ම රඟපාපු සිනමා නිර්මාණය ඉසුරු වීරසිංහ මුදලිගේ ගේ The Letter චිත්‍රපටය. ඉන්පසුව පැණි මකුළුවෝ, සාම ජාතකය යන චිත්‍රපටවලත් රඟපෑවා. මේ චිත්‍රපටවල මම රඟපෑවේ කුඩා චරිත. නමුත් මම හරිම ආසාවෙන් මේ නිර්මාණවල රඟපෑවා. චිත්‍රපටයක මිනිසුන්ට මතක සිටින චරිතයක් රඟපාන්න මම ආසයි. නමුත් මට තවම අවස්ථාව ලැබුණේ නැහැ.

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින දක්ෂයන්ව බහුතර ප්‍රේක්ෂකයා හඳුනාගන්න සහ ටෙලි නාට්‍ය සිනමාව ආදී ක්ෂේත්‍රවලට පැමිණීමට බොහෝ කාලයක් ගත වෙනවා. සමහර දක්ෂයන්ට අවස්ථාවක් ලැබෙන්නේම නැහැ. ඇයි ඒ?

අද සිටින ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් බොහෝමයක් දෙනා වේදිකාව ඔස්සේ රංගනයට පැමිණි අය. ඉස්සර වේදිකාවේ හොඳම නිළිය, නළුවා වූ විට ඔවුන්ව වෙනම කතා බහට ලක්වෙනවා සහ මිනිසුන් අඳුරගන්නවා. නමුත් පසුකාලීනව වේදිකාවේ හොඳම නිළිය හෝ නළුවා ලෙස එක දිගට තුන් වතාවක් සම්මාන ලැබුවත් මිනිස්සු ඔවුන්ව අඳුරගන්නේ නැහැ. ඉස්සර ගමින් ගමට ගොස් වේදිකා නාට්‍ය පෙන්වූවා. නමුත් මෑතකාලීනව දුර පළාත්වල නාට්‍ය සංවිධානය කෙරෙන්නේ බොහොම අඩුවෙන්.

මේ නිසා ප්‍රේක්ෂකයාට අපිව දකින්න ලැබෙන අවස්ථා අඩුයි. ඉස්සර සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු වේදිකා නාට්‍ය නරඹලා එතැනින් දකින දක්ෂයන්ව තමන්ගේ නිර්මාණවලට සම්බන්ධ කරගෙන තිබෙනවා. නමුත් දැන් සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු වේදිකා නාට්‍ය නරඹන්නේ බොහොම අඩුවෙන්. පසුගිය අවුරුදු කිහිපයට සාපේක්ෂව මේ මෑත කාලයේ අපිට තරමක් අවස්ථා ලැබුණා. කෙසේ නමුත් දක්ෂයන්ට අවස්ථාව නොලැබෙන එක ගැන හරිම කනගාටුයි.

ක්ෂේත්‍රය තුළ අවස්ථා ලැබෙන්නේ දක්ෂතාවට වඩා රූපය පදනම් කරගෙනද?

අපි දන්නවා සමහර අය රංගනය හදාරා හෝ හැකියාවක් ඇතිව රංගනයට ආපු අය නොවෙයි. රියැලිටි තරගවලින් හෝ අවුරුදු කුමරා කුමරි තරගවලින් පැමිණි අය බොහෝමයක් සිටිනවා. ඒවා නාළිකාවලින් ගන්න තීරණ. ඒවා අපිට නවත්වන්න බැහැ. දක්ෂයන්ට අවස්ථාවක් නොලැබී හැකියාවක් නැති පිරිසකට අවස්ථා ලැබෙන එක ගැන දුකයි. ඇයි දක්ෂයන්ට අවස්ථාවක් නොලැබෙන්නේ කියන එක ගැටලුවක්. මේ හැමදේකටම වාසනාව කියන එකත් යම්තාක් දුරකට බලපානවා කියලා මම සිතනවා. අපිට බලාගෙන ඉඳලා කට්ට කාලා පුරුදුයි. ඒ නිසා අවස්ථාවක් ලැබෙන තුරු බලාගෙන සිටිනවා. ඒ ඉවසීම ක්ෂේත්‍රයේ වැඩ කරන විටත් බලපානවා. එකපාර බිහිවෙන තරුවලට ඒ ගුණය නැහැ. ඒකයි ඔවුන් වැඩිකල් රඳා පවතින්නේ නැත්තේ.

නිර්මාණ තෝරාගැනීමේදී ඔබට අනන්‍ය වූ නිර්ණායක තිබෙනවාද?

මෙහෙමයි. මෙවැනි නිර්මාණ හොඳයි, මෙවැනි නිර්මාණ නරකයි කියලා අපේ ඔළුවේ එක එක මත හැදෙනවා. නමුත් මම සිතනවා මේ වෙලාවේ නිර්මාණය කොමඩිද, කමර්ෂල්ද, ආර්ට්ද කියලා තෝරා බේරා ගැනීම් කරනවාට වඩා අපිට ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි කියලා. මොකද අපිට නිතර නිර්මාණ ලැබෙන්නේ නැහැ. එහෙම බලාගෙන සිටියොත් නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැහැ. අනෙක් කාරණාව අපි කරන්නේ රඟපෑමක්. අපිට ලැබෙන චරිතය තුළ එම චරිතයට කොතරම් දුරට සාධාරණයක් කරන්න පුළුවන්ද කියන එක තමයි වැදගත්. එම නිසා මම එවැනි තෝරා බේරා ගැනීමක් කරන්නේ නැහැ. නිර්මාණය ගැන කොතරම් අවතක්සේරුවෙන් කතා කළත් මෙයා මේ චරිතය හොඳට කරනවා කියලා මිනිසුන් කියනවා නම් එය තමයි විය යුතු කියලා මම සිතනවා.

ඔබේ බලාපොරොත්තුව වෘත්තීයමය රංගන ශිල්පිනියක් වීමද?

වෘත්තීයමය රංගන ශිල්පිනියක් විධියට දිගටම රඟපාන්න පුළුවන්නම් මම හරිම කැමැතියි. නමුත් මම දන්නවා ඒක කරන්න බැහැ කියන එක. මොකද ජීවත් වෙනවා කියන එක මේ මොහොතේ බොහොම දුෂ්කර දෙයක්. අපේ රටේ රංගනය කියන්නෙත් අවිනිශ්චිත වෘත්තියක්. එම නිසා වෙනත් වෘත්තියක් තෝරා ගන්න වෙනවා. මම සිතනවා උපාධිය සම්පූර්ණ වූ පසු ගුරු වෘත්තිය තෝරා ගැනීමට පුළුවන් වෙයි කියලා.

නවක කලාකාරිනියක් විධියට රටේ මේ වන විට තිබෙන තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

ලංකාවේ ජීවත් වන දුප්පත් මිනිසුන් ගැන බොහොම කනගාටුවක් තිබෙනවා. අපි කොහොම හරි ජීවත් වෙනවා. නමුත් මේ මොහොතේ කන්න බොන්න ටිකවත් නැති මිනිසුන් සිටිනවා. මේ ඇති වෙලා තිබෙන තත්ත්වයට වගකීමක් ගන්න කවුරුත් නැහැ. පාලකයෝ මේ ගැන වගකිව යුතුයි. මේ ගැටලු පාලකයන්ට නොතේරෙන එක කනගාටුවට කරුණක්.

ඉදිරි වැඩකටයුතු මොනවාද?

වේදිකා නාට්‍යයක් ඉදිරියේදී වේදිකාගත වීමට තිබෙනවා. ඒ වගේම ඉන්දික ධර්මතිලක අයියාගේ තවත් ටෙලි නාට්‍යයකට සහ යූටියුබ් සීරීස් දෙකකට ආරාධනා ලැබුණා. ඒ වගේම කරපු යූටියුබ් සීරීස් දෙකක් නිකුත් වීමට තිබෙනවා.

පවුලේ විස්තර?

මගේ පවුලේ ඉන්නේ මම, අම්මා, අයියා සහ අක්කලා දෙන්නෙක්. අයියලා, අක්කලා මේ වන විට විවාහ වෙලා සිටින්නේ.

කුශාන්ති අනුරාධා බණ්ඩාර