අප්පුහාමිලා අමුඩ පිටින්ම ඉගිළෙති

0
16

අමුඩයාය ගමට සන්දර වූ දිනයක් උදාවෙමින් තිබිණි. හිරු කුමරා කුඹුරට, හේනට එබිකම් සිටියේය. පිනි මුතු පලස සුන්දර ළමිස්සියක මෙන් කුඹුර, හේන, මහ මූකළාන තුළ ඔමරි කරමින් සිටින්නට විය. කුඹුරේ කක්ටුට්ටෝ සුපුරුදු පරිදි කෙළින් ගමන් කරන්නාහුය. දිය හොල්මන කුඹුරේ නිසොල්මන්ය. වක්කඩේ හකුරු සඟවන්නට අප්පුහාමිලා පොරකනවාය. පැසුණු වී කරල් බිමට නැමී සිටී. බොල් වී කරල් ඊ ගස්   මෙන් අහසට රිටි ඔසවා තිබේ. සමනලයන් සොයා මල් පා ගමනින් යන සුන්දරත්වය පෙනේ. අප්පුහාමිලා අමුඩය ගුවනේ පා කර අමුඩ පලස මත ගුවන් ගමන් යති. ඇඳ සිටින අමුඩ ගලවා හිසේ බැඳ ගත් අප්පුහාමිලා පඹයන් මෙන් සිටිති. සුන්දර උදෑසන මේ අමුඩයාය ගමේ හැඩරුවයි. එක්වරම තනි අලියෙක් මහ මූකළාන සිට හේන හරහා කුඹුරට පැන්නේ ගසේ පැලේ නිදිය ගෙන සිටි අප්පුහාමි බිය වී අවදි වූයේ තමා මේ දැක්කේ සිහිනයක් නේද යැයි කියමින් අලි මන්තරය ජප කරන්නට විය.

අපි දූපත් දුප්පත් අමුඩ වැසියෝ පිරිසකි. එදා මුතු ඇටය වූ අද ගම්මිරිස් ඇටයක් වූ රටක අප සාඩම්බර හිමිකරුවන්ය. රටේ අප්පුහාමිලා කළ වැරැද්දක් නැත. නමුත් රට කර වූ කළ අප්පුහාමි‍ලාගේ දක්ෂතාව නිසා උන් මැරි මැරී ජීවත් වෙති. රටේ පාලනයට පට්ට හොරු එකතු වී සිටිති. අප්පුහාමිලා ඡන්දය දී පත් කර ගන්නේ හොර නායක රැළක්ය.

පෝලිම් පනිති. ගහ මරා ගනිති. ළිං මැඩියෝ මෙන් පාලකයෝ සුරංගනා බයිලා කියති.

පෝලිම ඇති කළ එකා ගැන මේ අප්පුහාමිලාට වගේ වගක් නැත. පෝලිමට ගොස් කරන්නේ හොරකමය. හොරකම නිල නොලත් අලුත්ම භීතිය ජනගතව තිබේ. වැරදි කර පගාවක් දී මාරුවෙන අමුතු පගා අප්පුලා සිටින රටකි මේ. ඒ අනුව පොපි අපි සැවොම හොරුය. රටේම පට්ට හොරුය.

අමුඩ රට හා ළඟම පිහිටි ජම්ඹු රට යා කර අලුත් ආදම්ගේ පැරණි පාලම හරහා ස්ථිර පාලමක් හදයි.

පාලම මැද ලොව උසම නෙළුම් කුලුන ඉදි කරනවා. කුලුන රටට ඩොලර් වැස්සක් ගෙන දෙනවා. රට අසලින් ගමන් කරන නැව්, ගුවන් යානා, ඔරු, බෝට්ටු කුලුන දැක්කාම දකින බලන කුලුන බදු අය කරනවා. පාලම සකස් කරන්න යොදවන පස්, වැලි, යකඩ, සිමෙන්ති කතා කරන්නේ නෑ. ඒ අනුව අපේ දියවන්නා පවුලට කොමිස් මිස් වෙන්නේ නැතුව ලැබෙනවා. පාලම උඩ සිට රිටි පන්නා ධීවර අප්පුලා මාළු බානවා.

නව පාලම හරහා තෙල්, පෝර, ගෑස්, බෙහෙත් සියල්ලම ගෙන එනවා. නැව් ප්‍රමාද ගාස්තු අවසන්. කැබිනට් අනුමැතියද මෙයට ලැබුණා. විහාර මහා දේවි උද්‍යානය අරගලකරුවන්ට ලබා දෙනවා.

නරියා කපුටා කේජු කෑල්ල පොත අප්පුහාමිලාගේ පුත්තු කියවන්න වුවමනායි

අප්පුහාමිගේ ඉස්කෝල අප්පු පුතා පාසලේ උදා හමුව  ඇමතුවේය. දැන් ලැට් නැති වුණාට ලැප් තිබෙනවා. තමුන්ගේ නිල අමුඩ කැලෑසි පොත්, ගල් ලෑලි ගල් කූරු, දිවා ආහාරයට සමපෝෂ, කුනක්කු, තණකොළ, කොළ කැඳ සියල්ලම රජයෙන් දෙනවා. අලි භාෂාව නමැති නව විෂය පාසල් විෂය නිර්දේශයට එක් කර තියනවා.

අමුඩ ඇන්දවීමේ පාඨමාලා ඇරඹේ!

අප්පුහාමිගේ බිරිය එතනාහාමි වූවාය. ඇය හොරා කොස් කඩා හිරේ ගිය සියාතු පුත්තරයාගේ කිරි පුතාලා අප්පු දරුවෝ 08 දෙනාට අමුඩය අඳින ආකාරය කියා දුන්නාය. සඟළ දෙපට දියපට අමුඩ තියෙනවා. ඇන්දවීම කලාවක්. රූපලාවණ්‍ය ශිල්පීන්, පාලකයෝ රටම අන්දනවා. සමහරු අමුඩ රෙද්ද පෙන්නුවාම කපලා මහලා ඇඳගන්නවා. මුහුදට හත් ගව්වක් තියලා මේ රටේ පාලන අප්පුලා අමුඩ ගහනවා. සමහරු අමුඩ කඩාගෙන අමු හෙලුවෙන් රට හදන්න කයිවාරු ගහනවා. අදට අමුඩ අන්දවන කතාව කම්මුතුයි කියමින් ලණු වැලේ වනා තිබුණු අප්පුහාමිගේ අමුඩය ගෙට ගත්තේ රටේ හැම තැනම අමුඩ හොරු කියමින්ය.

සිහින මැරුණු අවසාන පරපුර නොව සිහින දිනන පළමු පරම්පරාව අපියි! මවුබිම නැතිනම් මරණය!

කියමින් අප්පුහාමිගේ කැම්පස් පුත්තරයා අරගලය නව මානයකට ගෙන යන්නට කටයුතු කළේය. කපා කපා කැළි කපා තුවක්කුවෙන් අපිව මර්දනය කරන්නට අලි කුලප්පුවට හැකියාවක් නෑ. කලාව, සංගීතය, දැනුම, බුද්ධිය මොළයට එක්කර නියත වශයෙන්ම අපි අරගලය දිනනවා  කියමින් අරගල භූමියේ යකඩ අලි වැටට උඩින් පැන්නේය.

පසු ගිය දවසක හිමිදිරියේ පිටසක්වලින් පැමිණි බව කියන කළු කෝපි බී පැමිණි මදාවි බාප්පලා පිරිසක් අරගල භූමියට පහර දුන්නේය. එදින රෑ පහන් කරමින් අරගල බිම සිටි අප්පුහාමිගේ පෙරක‍ෙදා්රු පුත්තරයාට එපා කියන්නට උසාවි කෑමක් ලැබිණි. ඒකා දැන් උසාවි යන්නේ නැත. තෙල් සාත්තු කරමින් නිවෙසේ වාසය කරති.

අප්පුහාමි හීන් අප්පු පුත්තරයා රා, කසිප්පු, ගංජා, අබිං රටටම බෙදා හරින්නේ සහෝදර ඇමැති සමාගම හරහාය

අමුඩයාය ගමේ යාය පන්සලේ නායක හිමියෝ අප්පුහාමිගේ ලොකු පුත්තරයාය.

පහන් දැල්ල රඟන රැඟිල්ලෙන්ම කියන්නට හැකියි පහන ඉක්මනින්ම නිවෙන බව. පහන් සිලට ළංවන පළඟැටියන් විනාශ වන බව දන්නේ නෑ. අඟුරු වෙනවා. කිරි දියෙන් සේදුවත් අඟුරු සුදුවන කලක් නම් නැති බව අප්පුහාමිලා කියනුයේ කට කහනවට නොවෙයි.

එතකොට පුතේ මහ බැංකුව හොරා කාපු එකෙක් දැන් නැතැයි කියමින් කළු ගොනාට පිදුරු කටක් දුන්නාය

කුසලහාමි අප්පුහාමිගේ එකම දියණිය වූවාය. ඇයට හැට පැන්නාට හැටට හැටේ ගමන් කරන්නේ කළු ගොනා බැඳ කරත්තෙනි. කළු සුරුට්ටුවක් බොන ඇය ගමේ මහ මූකළානේ තිබෙන ගොරකා රැගෙන කඩ මණ්ඩියට ගියාය. තාර බරට කපලා ඉතිරි වූයේ ගොරකා ඇබිත්තකි. යකෝ මුං ගොරක දඩමස් කරනවා. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියමින් මුං මාර කෑමක් කන්නේ.

ගොරකා මුදලාලි පොලියාය. පොලියා අප්පුහාමිගේ පුත්තරයෙකි. එකා ගමේ නගරයේ ව්‍යාපාර රැසක් පවත්වාගෙන යති. 

අප්පුහාමිගේ දරුවන් 12 දෙනාගේ තවත් කතා අන්දරයකින් හමුවෙමු. ඕං එහෙනම් අපි ගියා කොල්ලෝ. මෙයට ලියන අප්පු අමුඩයාය ගමේ සිට.

නිමල් අල්ගෙවත්ත