Yuan Wang-5 මල පුඩුවක්

0
83

ජනාධිපති රනිල් පාර්ලිමේන්තුව අමතා “ජනාධිපති හැටියට” පළමු කතාව පවත්වන්නට පෙර චීනය බෝම්බයක් අතහැරියේය. ඒ ඉන්දියාව වඩාත් කලබලයට පත් කරවන, විරෝධය පාන “යුආන් වැන්ග් 5” නමැති චීන නෞකාව මෙරට හම්බන්තොට වරායට එවන බව කීමෙනි.

“මේක පර්යේෂණ නෞකාවක්. ඒක ඒ හැටි දෙයක් නෙවෙයි. මීට ඉස්සරත් වෙනත් රටවලත් ඔය වගේ නෞකා ඇවිත් තෙල් ගහගෙන ගියා. ඕක ප්‍රශ්නයක් වෙන දෙයක් නොවෙයි.”

ලංකාවට එහෙම කියන්නට පුළුවන. මුලදී ඉන්දියාව මේ ගැන අහපු වෙලේ ලංකාවත් කීවේ එහෙමය. එහෙත් පසුව “එහෙම නැවක් එන්නේ නෑ” කියූ ලංකාවම “නෑ චීන නැවක් එනවා” යැයි කියන්නට සිදුව තිබේ. ඉන්දියාව කලබල වන, චීනය එවන්නම හදන මොකක්ද මේ නෞකාව කියා කාටත් අහන්න සිත්වන්නේය.

“ඔය චීන නැව ලංකාවට එන්නෙ ඉන්දියාවෙ ඔත්තු බලන්න. ඒ නිසා ඉන්දීය ආණ්ඩුව ලංකාවෙ බලධාරීන්ට කියලා ඔය නැව එන එක නතර කරන්න ඕන.”

ඉන්දියාවේ ඇතැම් මාධ්‍ය මෙන්ම විශේෂයෙන් දකුණු ඉන්දීය දේශපාලනඥයන් පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව එක මිටට හිටගෙන මෙලෙස කන්කෙඳිරි ගාන්නට පටන් ගෙන ඇත.

ශ්‍රී  ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශය අදාළ චීන නෞකාවට අගෝස්තු 11 සිට 17 දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා සිටින්නට අවසර දී තිබෙන මොහොතක ඉන්දියාවෙන් එන තෙරපුමත්, චීනය ලංකාවේ මතය ගැන ඇස ගසාගෙන සිටීමත් ඉතාමත් තියුණුය. එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී  ලංකාවේ භූ දේශපාලනික යථාර්ථය හා මේ සිදුවීම් දාමයේ සත්‍ය නිවැරැදිව අප වටහා ගත යුත්තේය.

“ලංකාව ඉන්නෙ ඉතාමත් අවදානම් ආර්ථික අපහසුතාවක් මධ්‍යයෙයි. චීනය කොයි තරම් ලංකාවට ආධාර කර තිබුණද ඉතාමත් අමාරුම කාලයේ ලංකාවට ඉන්දියාව නොමසුරුව ආධාර කළා. ඇත්තම කිව්වොත් කන්න ටිකත්, බේත් හේත් ටිකත්, ගෙන්න ගන්න ණය ආධාර දුන්නෙ ඉන්දියාව. ඒක අමතක කරන්න නරකයි.  චීනය පසුගිය කාලෙ හැසිරුණේ දුන්න ණය ගෙවාපල්ලා. එහෙම නැත්නම් උඹලා තවත් ණය ඉල්ලලාම හිටිනවා නම් අපෙන් ගත්ත ණය ගෙවන්න තවත් ණයක් ඕනේ නම් දෙන්නම් කියලයි. ඒ නිසා මේක චීනය හිතාමතා කරපු දෙයක් වගෙයි.”

ඇතැමුන් එවැනි විචාරයක යෙදෙන්නේ චීනයේ හැසිරීම පිළිබඳ ඔවුන් දරන සත්‍යයන් ස්පර්ශ කරමිනි. තත්ත්වය සිහියෙන් අවබෝධ කර ගන්නේ නම් චීනය ඉතාමත් තීරණාත්මක මොහොතක් බලා මේ නෞකාව එවනවා නම් ඉන් ඉන්දියාව කැලඹෙන බවත් ඒ හරහා ලංකාවේ දේශපාලනය හා ආර්ථිකය සෙලවීමකට ලක්වෙන බවත් දන්නේය. එසේනම් ඊට ආසන්න හේතුව කුමක්ද? එසේ කිරීමට චීනයට ඇති වුවමනාව කුමක්ද යන්න විමසා බැලිය යුතුය.

දැනගන්නට තිබෙන ආකාරයට ඉන්දියාව පෙර දුන්නා සේම තවත් ණය ආධාරයක් පිරිනැමීමට සූදානමින්, ඒ ගැන සාකච්ඡා කරමින් සිටින්නේය. එය නොලැබුණහොත් ලංකාව ඉතා අමාරු අඩියකට වැටෙන අතර IMF ආධාර තවත් පමා වුවහොත් හා එම ආධාර කොතෙක් දැයි දන්නේ නැති පසුබිමක මෙරට ජනතාවට ඉමහත් දුෂ්කරතා රැසකට මුහුණදෙන්නට සිදුවන්නේය.

චීනය, ඉන්දියාවත් ලංකාවත් අතර පසුගියදා ඇතිවුණු ගනුදෙනු හා සුහදතාවන් මෙන්ම ආර්ථික හා දේශපාලනික සහයෝගිතාවන් නිරීක්‍ෂණය කරමින් සිටි නිසා “චීනයට වඩා ලංකාව ඉන්දියාවත් සමඟ එක්වීම” ඉවසන්නේ නැත. එය උපාය මාර්ගික වශයෙන් චීනයට අවාසි ගෙන දෙන්නේය. කොළඹ ඉදිවෙන පෝර්ට් සිටිය මෙන්ම හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගනිමින් චීනය තවදුරටත් ලංකාව තුළ ආයෝජන වශයෙන් හෝ වෙනයම් ආකාරයකින් ස්ථාපිත වීමකට තිබෙන ඉඩ මින් ඇහිරෙන්නේය. එසේ නම් චීනය තවදුරටත් ලංකාව චීන ග්‍රහණයේ තබා ගනිමින් ඉන්දියාවෙන් ගලවා ගත යුතුය. ඊට හේතු සාධක ඉන්දියන් සාගරය තුළ ඇති කළ යුතුය.

එය එසේ නම් ඉන්දියාව කිපෙන ලෙස ලංකාවත් ඉන්දියාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් ඇති කළ යුතුය. මේ නාටකීය ලක්‍ෂණ එවැනි අර්බුදයක් වෙනුවෙන් ගෙතුණා විය හැකිය. එසේ සිතීමට සාධාරණ හේතුද නැතිවා නොවේ.

“මොකක්ද මේ යුආන් වැන්ග් 5 නෞකාව? ඔය තරම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?”

කෙනකුට එහෙමත් අසන්නට සිත් විය හැකිය.

මෙම නෞකාව 2007 වසරේ ඉදිකර තිබෙන අතර එහි බර ටොන් 11,000කි. නෞකාවේ දිග මීටර් 222කි. පළල මීටර් 25.2කි. එහෙත් එහි ක්‍රියාකාරි ධාරිතාව විසල්ය. යුආන් වැන්ග් 5 යනු යුආන් වැන්ග් ශේ්‍රණියේ තුන්වැනි පරම්පරාවේ ලුහුබැඳීමේ නෞකාව වන අතර ජියැන්ග්නන් නැව් තටාකාංගණය විසින් නිර්මාණය කළ සුවිශේෂ නෞකාවක්ද වන්නේය. මෙහි ඇති විශේෂය නම් චීනය මෙම නෞකාව භාවිතයට ගන්නේ අභ්‍යවකාශ යානා ලුහුබැඳීමේ නෞකාවක් හැටියට වීම නිසාය. චීනයේ Long March-5B නමැති රොකට්ටුව දියත් කිරීමේ සමුද්‍රීය ලුහුබැඳීම් හා මිනුම් කටයුතු සඳහාද මෙම නෞකාව යොදා ගත් ආකාරය මෙහිදී ඉන්දියාව අමතක කරන්නේ නැත. එනිසාම ඉන්දීය මාධ්‍ය චීනයේ මෙම නෞකාව හඳුන්වාදී තිබුණේ.

“ඔත්තු බැලීමේ චීන නෞකාවක්” ලෙසය. ඊට හේතුව නම් නෞකාවේ ගුවන් ප්‍රවේශය කිලෝමීටර් 750කට වඩා වැඩි වන අතර ඉන් වක්‍රව අදහස් වන්නේ දකුණු ඉන්දියාවේ කල්පක්කම්, කුඩන්කුලම් වැනි ඉන්දීය දේශසීමා තුළ ඇති පරමානුක පර්යේෂණ මධ්‍යස්ථාන නිරීක්‍ෂණය කළ හැකි වීමට තිබෙන අවකාශය වැඩි වීමය. ඒ අනුව ලංකාවේ හම්බන්තොට වරායට මෙම නෞකාව පැමිණියහොත් කේරළ, තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් වැනි ප්‍රාන්තවල පිහිටි වරායන්ද නිරීක්‍ෂණය කළ හැකිවීමත් දකුණු ඉන්දීය වරායන් හයක් පමණ චීනයේ අවධානයට ලක්වීමට ඇති ඉඩත් වැඩි බව ඉන්දියාව සිතන බව පෙනෙයි. ඉන්දීය මාධ්‍ය පවසන ආකාරයට ඉන්දියාවේ දකුණු අර්ධයේ මර්මස්ථානයන් චීන නෞකාවට නිරීක්‍ෂණය කළ හැකි බවය. තොරතුරු රැස්කර ගත හැකි බවය.

අපට නිල වශයෙන් ඉන්දියාවේ මතය මේ යැයි දැනගත හැකිව තිබෙන්නේ ඔවුන්ගේ ප්‍රකාශ තුළිනි. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්ච් සතිපතා මාධ්‍ය හමුවට එක්වෙමින් පැවැසූයේ…

“ඉන්දියාව තම ආරක්‍ෂාවට හා ආර්ථික අභිලාශයන්ට බලපාන ඕනෑම වර්ධනයක් ප්‍රවේශමෙන් නිරීක්‍ෂණය කරනවා” කියලාය. එහෙත් ඇතැම් ඉන්දීය ජේ‍යෂ්ඨ ආරක්‍ෂක විශ්ලේෂකයන් පවසන්නේ..

“චීන නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව අනියත බියක් ඇති කරගෙන තියෙනවා” කියලාය. රොයිටර් පුවත් සේවය චීනයේ ස්ථාවරය දක්වමින් පවසා තිබුණේ…

“අදාළ පාර්ශ්වයන් චීනයේ නීත්‍යනුකූල නාවික කටයුතුවලට වැළකී සිටිනු ඇති බව සිතනවා” කියලාය. නමුත් ඉන්දියාව නිරතුරුව අවධානයෙන් සිටින්නේ,

“චීනය විසින් ඩොලර් බිලියන 1.5ක වියදමින් හම්බන්තොට වරාය ඉදිකරමින් එය ඉන්දියාවට සමීපව චීන හමුදා කඳවුරක් ලෙස භාවිත කරාවි”ය යන අදහසිනි. එහි ස්ථානගත තත්ත්වය අනුව ආසියාවේ සිට යුරෝපයට යන ප්‍රධාන නැව් මාර්ග ආසන්නයේ පිහිටා තිබීමත් විශේෂය. මෙය චීනයේ බලාධිකාරයට යටත්වීම ඉන්දියාව රුස්සන්නේ නැත.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දියාව චීනයේ මෙම නෞකාවට හම්බන්තොට වරායට එන්නට ඉඩදීම පිළිබඳ “වාචික විරෝධයක්” දක්වා ඇත. මේ අතර චීනයේ මිලිටරි නවීකරණය පිළිබඳ ඇමරිකාවේ පෙන්ටගන් වාර්ෂික වාර්තාව දක්වන කරුණුද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේය. එහිදී කියැවුණේ යුආන් වැන්ග් නෞකා මෙහෙයවනු ලබන්නේ චීනයේ මහජන විමුක්ති හමුදාව විසින් බවය. එය එහි උපායමාර්ගික ආධාරක බළකායක් ලෙස භාවිත කරන බවත් කියැවේ.

මේ වන විටත් අදාළ චීන නෞකාව පසුගිය ජූලි 13දා චීනයේ ජියැන්ජින් වරායෙන් පිටත්ව ලංකාව බලා යාත්‍රා කරමින් තිබේ. එය අගෝස්තු 11දා ලංකාවේ හම්බන්තොට වරායට සේන්දු වනු ඇත. එහි ගත කරන මුළු කාලය පුරා එම නෞකාවේ සිට ඉන්දියන් සාගරයේ වයඹ දිග ප්‍රදේශයේ අභ්‍යවකාශ නිරීක්‍ෂණයත් චන්ද්‍රිකා පාලනයත් එහි පර්යේෂණත් සිදු කිරීමට නියමිතය.

ප්‍රශ්නය වන්නේ ඉන්දීය පාර්ශ්වයේත් චීන පාර්ශ්වයේත් මත මේ වන විටත් කියා පෑ ඇති තත්ත්වයක් තුළ ලංකාව ගිරයට හසුවූ පුවක් ගෙඩියක තත්ත්වයේ තවමත් සිටීමය. අපට චීනය තරහ කර ගෙන හෝ ඉන්දියාව තරහ කරගෙන ගමනක් යන්නට බැරිය. ඇරත් මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට මේ දෙරටේම සහාය ඕනෑ කරන්නේය.

2014දී චීන සබ්මැරීනයක් හා යුද නෞකාවක් කොළඹ වරායේ නැංගුරම් ලෑමට ලංකාව ඉඩදීම පිළිබඳව මින් පෙරත් ඉන්දියාවේ දැඩි විවේචනයන් එල්ල වූ ආකාරයද අමතක කරන්නට බැරිය.

එබැවින් මේ මොහොත ලංකාවට අතිශයින් තීරණාත්මකය. අපට දෙපාර්ශ්වයම ඕනෑ වන අතර එළැඹෙන IMF ණය ආධාර ලබා ගැනීමේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී අප ඉතා හොඳ ප්‍රවේශ තත්ත්වයක් පෙන්විය යුතුය. IMF එක එය නිරීක්‍ෂණය කිරීම අනිවාර්යය. එසේ නම් ජනාධිපති රනිල් පළමු සංචාරය ලෙස චීනයට යන්නේ චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුද ප්‍රමුඛව සාකච්ඡා කොට එකඟතාවකට ගෙන එන්නටය. මෙතැනදී චිනයට නෞකාව එවන්න එපාය කියා කියන්නටද අපට බැරිය. එසේ කළහොත් ඉන්දීය ණය ආධාරද සිහිනයක්ම විය හැකිය. මෑත කාලයේ ඉන්දියාව කළ උදවු තවත් නොකරන්නට පුළුවන.

ඉන්දියාවේ නැඟෙනහිර නාවික විධානය මේ වන විටත් ඉතා අවදියෙන් සිටින බැව් ඉන්දීය පුවත්පත් වාර්තා කර තිබුණේ නිකමට වන්නට බැරිය. ඇරත් චීන නෞකාවේ විස්තර කියන්න නම් ඔවුන් ඒවා නොවළහා දැක්විය යුතුය. එහෙත් මෙම නෞකාව පිළිබඳ තොරතුරු දැක්වීම් අල්ප බවත් කියැවේ. ඒ නිසා යුආන් වැන්ග් 5 නෞකාව කියන්නේ නිකම්ම නිකන් නෞකාවක් නොව අභ්‍යවකාශය ලුහුබැඳ ගිය හැකි බැලස්ටික් මිසයිල නිරීක්‍ෂණය කළ හැකි ක්‍රමවේද සහිත දියුණුම නෞකාවකි. ඒනිසා චීනය මෙය බලය පෙන්වීමක් ලෙස යොදා ගත්තා යැයි කියන්නටද පුළුවන. ඉන්දියාව මින් තිගැස්සී ගිය බවත් අවදියෙන් සිටිනවා යැයි කිව යුතුම වන්නටද බැරිය.

කෙසේ වෙතත් මේ මොහොතේ ලංකාවට තිබෙන්නේ මෙය ඉතාමත් විශ්වාසවන්ත ලෙසත් රාජ්‍ය තාන්ත්‍රික ලෙසත් කළමනාකරණය කරගෙන දෙරට තරහ නොකරගෙන සිටීමය. එය මෙරට නායකයන් කෙසේ කරාවිද යන්න කිව නොහැකිය.

සජිත් රෝහිත ලියනගේ