ලුණුගම්වෙහෙර සහ අහංගම වෙඩි තැබීම් දෙකක්: දෙදෙනෙක් මරුට

0
121

ඊයේ (අගෝ. 4) රාත්‍රී ලුණුගම්වෙහෙර පොලිස් වසමේ, පඩව්ගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ, වෙඩි වැදී බරපතළ තුවාල සහිතව ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මිය ගිය බවට ලද දුරකතන පණිවිඩයක් අනුව ලුණුගම්වෙහෙර පොලිසිය විමර්ශනයක් ආරම්භ කළ බව ය.

මරණකරු වයස අවුරුදු 34ක පඩව්ගම, තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු නිවසේ රාත්‍රී ආහාර ගනිමි සිටියදී මෙම තැබීමට ලක්ව ඇත.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මරණකරුගේ නැගණියගේ ස්වාමි පුරුෂයා මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

සැකකරු මේ වන විට පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර, ඊයේ රාත්‍රියේ අහංගම පොලිස් වසමේ ගොවියාපාන ප්‍රදේශයේ අවන්හලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

සිද්ධියෙන් තව ත් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

මරණකරු වයස අවුරුදු 40ක් වන මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වයස අවුරුදු 19ක් වූ තුවාලකරු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.