“කොවිඩ් කාලේ වැඩි කළ බස් ගාස්තුව අඩුවෙලා නෑ”: බස් මගීන්ගේ සංගමය කියයි

0
251

සාමාන්‍ය බස් රථ ගාස්තුව සියයට 11.14කින් සහ අවම බස් ගාස්තුව රු. 38 සිට රු. 34 දක්වා පහත දැමීමට ගත් තීරණය ප්‍රෝඩාකාරී තීරණයක් බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත චෝදනා කළේ ය.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ බස් රථවල ආසන අනුව මගීන් පමණක් රැගෙන යාමට සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුව ඉහළ දැමූ ගාස්තුව සම්පූර්ණයෙන් ඉවත් කිරීම පිළිබඳව සලකා නොබලමින් මෙම තීරණය ගෙන තිබෙන බව ඔහු පැවසීය.

එසේ ම, කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ද සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය ප්‍රවාහන අමාත්‍යවරයා වෙත ඉල්ලීමක් යොමුකර ඇති බව ඔහු සඳහන් කළේ ය.

එම කරුණු අතර බස් රථ ගාස්තු සූත්‍රය පිළිබඳවත්, අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අධික මාර්ග තදබදයට විසඳුම් ලබා දීම, පෙරගෙවුම් කාඩ්පත් සහ e-ප්‍රවේශපත් මගින් ගෙවීමේ පහසුකම් හා බස් රථ සඳහා ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබාදීම පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමට තම සංගමය සූදානමින් සිටින බවත ද ඔහු වැඩිදුරටත් පැවැසුවේ ය.