ගාලු මුවදොර අරගලකරුවන්ට සහනයක්

0
1481

නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වන දා තෙක් ගාලු මුවදොර අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බව අභියාචනාධිකරණය හමුවේ නීතිපතිවරයා ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

අරගල භූමියේ තිබෙන අනවසර ඉදිකිරීම සහ බෝගවගාවන් අද (අගෝ. 5) පස්වරු 5.00ට පෙර ඉවත් කර ගන්නා ලෙස පොලිසිය විසින් කරන ලද නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ තිබූ පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා මෙම ප්‍රතිඥාව ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ද අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබා දෙන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අභියාචනාධිකරණයට දන්වා සිට තිබේ.

කෙසේ වෙතත්, අදාළ කාලසීමාව තුළ මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන මූලික නීතිමය පියවර ආරම්භ කිරීමට වගඋත්තරකරුවන්ට බාධාවක් නොමැති බව ද අධිකරණය ප්‍රකාශ කර ඇත.

එමෙන් ම, අදාළ ප්‍රදේශයෙන් ස්වේච්ඡාවෙන් ඉවත් වීමට කැමති පුද්ගලයින්ට ඉන් ඉවත්ව යාමට මෙම එකගතාව බාධාවක් නොවන බව ද අධිකරණය සඳහන් කර තිබේ.