සර්වපාක්ෂික ආණ්ඩුව ගැන කරුණු 9ක ලියුමක් මෛත්‍රීගෙන් රනිල්ට

0
124

පවතින ආර්ථික දේශපාලනික සමාජ අර්බුදය නිවැරදිව කළමනාකරණය කිරීමට නම්, නිසි වැඩපිළිවෙළක් සහිත අන්තර්කාලීන සර්වපාක්‍ෂික ආණ්ඩුවක් ස්ථාපනය කිරීම සඳහා මුලික එකඟතා කිහිපයක් ඇතිකර ගත යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලියුමක් යවමින් කියා සිටී.

මූලික එකඟතා පිණිස වන කරුණු 9ක් ද සහිතව ඊයේ (අගෝ. 4) යවනු ලැබූ එම ලියුමේ මෙසේ ද සඳහන් වේ.

“2022 මාර්තු මස 08 වන දා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ශ්‍රී ලංකාවේ සමකාලීන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පවත්වන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසින් එම මස 23දා ජනාධිපතිතුමන් විසින් සර්වපාක්ෂික සමුළුවක් කැඳවනු ලැබිණි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසින් එම සමුළුවට සහභාගි වූ ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ සර්වපාක්ෂික සමුළුවක් පිළිබඳ යෝජනාව අගය කිරීම පළමු කොටම ස්තූති පූර්වකව සිහිපත් කරමු.

තවමත් නොවිසඳී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලනික, සමාජ අර්බුදය නිවැරදිව කළමනාකරණය කිරීමට නම්, ප්‍රතිඵලදායක, නිෂ්චිත වැඩපිළිවෙළක් සහිත අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය සඳහා යම් මූලික එකඟතා කිහිපයක් ඇතිකර ගත යුතු බව අපගේ අදහසයි. එබැවින් පළමු කොට ම පහත සඳහන් කරුණු මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අවධාරණය කරනු ලබයි.

වත්මන් ජනාධිපතිවරයා ලෙසින් වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය කිරීම සඳහා ඔබතුමා කැපවී සිටින්නේ ද යන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ, පොදු මහජනතාව, සිවිල් ක්‍රියාකාරීන් හා සංවිධාන, විද්වතුන්, වෘත්තීයවේදීන් ඇතුළු සියලු පාර්ශ්ව වෙත ඒත්තු ගැන්විය යුතු යැයි අපි අවධාරණය කරමු.

අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමේදී එකඟතා ඇති කර ගත යුත්තේ ආයතනික වශයෙන් දේශපාලන පක්ෂ සමග මිස එක් එක් දේශපාලන පක්ෂ තුළ සිටින දේශපාලනඥයන් සමග නොවන බව ද අප පක්ෂයේ මතයයි.

සර්වපාක්ෂික ආණ්ඩුව නිශ්චිත කාලයක් සඳහා, රට අර්බුදයට පෙර තිබූ ස්ථානය දක්වා කළමනාකරණය කෙරෙන, ආර්ථික දේශපාලනික හා සාමාජීය ප්‍රතිසංවිධානය ඉලක්ක කරගත් නිශ්චිත වැඩපිළිවෙළක් සහිත, ඉතාම සීමිත කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාවක් සහිත ‘අර්බුද කළමනාකරණ කැබිනට්ටුවකින්’ සමන්විත විය යුතු අතර එම සැලැස්ම සඳහා ඉහත අංක 1හි සඳහන් සියලු පාර්ශ්වයන්ගේ පොදු එකඟතාවක් හිමිවිය යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයයි.

ශ්‍රී ලංකාවේ උද්ගතවී ඇති සමකාලීන සමාජ ආතතීන් හා විරෝධතාවන්ට සමාන තත්ත්වයන් උද්ගත වූ මැදපෙරදිග කලාපයේ ඇතැම් රටවල් වසර ගණනාවක් තිස්සේ දැඩි ලෙස අස්ථාවර හා අරාජික වී ඇති අතර ශ්‍රී ලංකාව එවැනි තත්ත්වයක් කරා ගමන් නොකරනු වස් උක්ත සර්වපාක්ෂික ආණ්ඩුවේ කාලසීමාව අවසානයේ නව ආණ්ඩුවක් තෝරාපත් කරගැනීමේ ප්‍රජාතාන්ත්‍රීය අවස්ථාව ජනතාවට උදා කළ යුතු බවද අප පක්ෂයේ මතයයි.

පාර්ලිමේන්තු ජනාධිපතිවරණයකින් ඔබතුමා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුව ඔබතුමා කළ අමාත්‍ය මණ්ඩල පත්කිරීම්, අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීම්, නිකුත් කළ ගැසට් නිවේදන ආදිය මගින් සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් බොහෝ දේශපාලන පක්ෂ, මහජනතාව, සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන් තුළ තිබූ විශ්වාසය යම් තරමකට පලුදු වී ඇති බවද පෙන්වා දෙනු කැමැත්තෙමු.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කිරීම සඳහා විශ්වසනීය ලෙසින් සාධනීය පියවර ගනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කරයි.

සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධ යෝජනාවේ කේන්ද්‍රීය සාධකයක් වූයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක්, ස්ථාපනයයි. එම විධායක සභාව ස්ථාපනය කිරීම ද යහ ආණ්ඩුකරණය, සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හා සර්වපාක්ෂික ආණ්ඩුව සමග නිරන්තර මතවාදී සාකච්ඡාවක් සඳහා සිවිල් සංවිධාන, සිවිල් ක්‍රියාකාරිකයන්, අරගලකරුවන්, වෘත්තීයවේදීන්, විද්වතුන්ගෙන් සමන්විත සිවිල් උපදේශක සභාවක් පත්කිරීමට ද උක්ත අර්බුද කැබිනට්ටුවේ අමාත්‍යංශ සඳහා උපදේශකත්වය සැපයීමට විෂයානුබද්ධ විශේෂඥතාවන් සහිත විද්වතුන් හා වෘත්තීයවේදීන්ගෙන් සමන්විත තාක්ෂණික උපදේශක මණ්ඩල පත්කිරීමට ද කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයයි.

ඉහත කරුණු සම්බන්ධයෙන් ඇති කරගන්නා එකඟතාව මත, යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුවේ එක් එක් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අප පක්ෂයේ තාක්ෂණික යෝජනාවලීන් ඉදිරිපත් කරන බව ද වැඩිදුරටත් දැනුම් දෙමු.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here