හෙට පැවැත්වෙන රැලිය පිළිබඳව වෘත්තීය සමිති සංවිධාන සාකච්ඡාවක්

0
4

දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන එක්ව නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග පීඨයේදී ලබන 06 වැනිදා පවත්වන රැලියේ සහභාගීත්වය සම්බන්ධව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹදී ඊයේ (03දා) සාකච්ඡාවක නිරත වූහ.

ඉදිරියේදී එක්ව ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙපාර්ශ්වය දීර්ඝ අදහස් හුවමාරු කරගත් බවත් මෙම අවස්ථාවට එක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවැසීය.

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන කරගෙන ආ ජනතාව දැනුවත් කිරීමේ කටයුතුවලට සහ වෘත්තීය සමිති සාමාජිකයන්ට සිදුවන මර්දනයට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව මෙහිදී අවධානයට යොමුවූ බවද ස්ටාලින් මහතා සඳහන් කළේය.

නුගේගොඩදී පවත්වන රැලියට සම්බන්ධ වෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින බවත්, ඔවුන්ගේ ස්ථාවරය සාධනීය එකක් වනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

නුගේගොඩ රැලිය සාර්ථක කර ගැනීම සඳහා විවිධ සමාජ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව ගෙන ඇති තීරණය යටතේ මෙම සාකච්ඡාව පැවැත්විණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගම් ප්‍රධාන කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.

අමිත් මධුරංග ගමගේ