ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධියෙන් පසු මෙරටින් පලා.
යෑමට තැත් කිරීමේදී පොලිසිය මඟින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දානිෂ් අලි නමැත්තා බන්ධනාගාරය තුළ නීති විරෝධී ආකාරයෙන් ජංගම දුරකථනයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවක් මත බන්ධනාගාර විනිශ්චය සභාව මඟින් ඔහුට දින 14ක සිර දඬුවමක් ඊයේ (4දා) නියමකර තිබේ.
එම චෝදනාව සම්බන්ධයෙන් විත්තිකාර පුද්ගලයා බන්ධනාගාර විනිශ්චය සභාව හමුවේ වරද පිළිගැනීම සැලකිල්ලට ගනිමින් ඔහුට එසේ සිර දඬුවම් ලබාදී ඇත.
එම මාධ්‍ය ආයතනයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකාර පුද්ගලයාව පොලිසිය මඟින් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඉකුත් 27 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. සිර දඬුවම් නියමවූ විත්තිකාර පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවැසීය.
කුමුදු උපුල් ශාන්ත