හිතුමතේ සේවා ගාස්තු නැංවීමෙන් වරායේ ආදායම අඩුවෙලා

0
16

ශ්‍රී  ලංකා වරාය අධිකාරිය බංකොලොත් කර මහා භාණ්ඩාගාරයට ඩොලර් ලැබෙන ව්‍යාපාරික අවස්ථා අහිමි කිරීමට වරාය ඉහළ පාලනාධිකාරිය කටයුතු කරමින් සිටින නිසා ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදුකර ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කර ඇත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින්, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ විසින් මෙම ඉල්ලීම කර තිබේ.

පසුගිය 2022 අප්‍රේල් 01 වැනිදා සිට ශ්‍රී  ලංකා වරාය අධිකාරිය විසින් සිය සේවා සැපයුම වෙනුවෙන් නෞකා සමාගම්වලින් අයකරන වරාය ගාස්තු ඉහළ දමා ඇති අතර එසේ කර ඇත්තේ කිසිදු විනිවිදභාවයකින් තොරව බවද එවැනි ගාස්තු වැඩි වීමක් සිදු කරනවා නම් අධ්‍යයනය කළ යුතු විශේෂ කාරණා කිහිපයක් තිබුණද එම කිසිදු කාරණයක් පිළිබඳ තැකීමක් නොකර අත්තනෝමතිකව අදාළ ගාස්තු වැඩි කර ඇති බවද වරාය පොදු සේවක සමිතිය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

මෙම ගාස්තු සංශෝධනයට මේ දක්වා මුදල් අමාත්‍යාංශයෙන්ද අනුමැතිය හිමිව නැති බවද වාර්තා වී ඇත.

මේ හේතුවෙන් වරායේ පෞද්ගලික පර්යන්ත දෙකට මුදල් ගලා එන බවත් වරාය අධිකාරියට අයත් ජයබහලු පර්යන්තයට විදේශ නෞකා පැමිණීම අඩුවීම හේතුවෙන් රටට ඩොලර් පැමිණීම අඩුවිය හැකි බවත් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කර තිබේ.

එම නිඑසා රටට මෙවැනි බරපතළ මූල්‍ය හානි සිදු කරන වරාය ඉහළ පාලනාධිකාරිය වහාම ධුරයෙන් ඉවත් කර ඔවුන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙනුත් වරාය අමාත්‍යවරයාගෙනුත් ඉල්ලා සිටින බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කර තිබේ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය