සේවා ස්ථානයට රුපියල් ලක්ෂ 29ක් වංචා කළ අලෙවි නියෝජිතයා රිමාන්ඩ්

0
8

සේවකයකු ලෙස සේවය කරමින් එම සේවා ස්ථානයට අයත් විසි නව ලක්ෂ අනූනව දහස් දෙසිය  හැටහතරක මුදලක් වංචා කිරීම සහ එම මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකරුවකු ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් මහතා 03 වැනිදා නියම කළේය.

තිස්සමහාරාම කුඩා ගම්මාන 11හි පදිංචිකරුවකු වන සැකකරු මෙසේ රිමාන්ඩ් භාරයට පත්කෙරිණි.

සැකකරු පෞද්ගලික සමාගමක අලෙවි නියෝජිතයකු ලෙස සේවය කරමින්  කොටදෙණියාව මැල්ලවගෙදර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමක ප්‍රධාන ගබඩාවෙන් කුකුළු මස් සහ කුකුළුමස් ආශි්‍රත ආහාර රැගෙන ගොස් දකුණු පළාත තුළ බෙදා හරින බව පොලිසිය කීය.

සැකකරු ප්‍රධාන ගබඩාවෙන් වරින්වර එසේ රැගෙන ගිය කුකුළු මස් සහ ඒ ආශි්‍රත ආහාර අලෙවි කරන ලද මුදල් සමාගමට ලබා නොදී වංචා කර සාවද්‍ය පරිහරණය කර ඇති බවට  පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පැමිණිල්ල මෙහෙයවමින් මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශය අධිකරණය හමුවේ පැවැසීය.

මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ සැරයන් කරුණාතිලක (53162) නිලධාරියා පැමිණිල්ල මෙහෙය විය. අගතියට පත් සමාගම වෙනුවෙන් නීතිඥ මංගල වර්ණකුලසූරිය මහතා පෙනී සිටියේය.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල