සැප හෝටලයකට දහඅට ලක්ෂයක පොල්ලක් තියා මාරුවෙලා

0
13

ගාල්ල නගරයේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට රුපියල් 18,74,000ක (දහඅට ලක්ෂ හැත්තෑ හතර දහසක) කාමර බිල නොගෙවා.

පලාගොස් ඇති පුද්ගලයකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඊයේ (04දා) නියෝගයක් නිකුත් කළාය.

උෟරුබොක්ක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ විදෙස් ගමන් මෙසේ තහනම් කෙරිණි.

මෙම පුද්ගලයා එංගලන්තයේ සිට පැමිණි බව පවසා ඉකුත් මැයි 23 වැනි දින මෙම හෝටලයට පැමිණ දිනකට රුපියල් 39,000 බැගින් වූ සුඛෝපභෝගි කාමරයක නවාතැන් ගෙන ඇති අතර ඔහු සතියෙන් සතියට කාමර කුලිය ගෙවා ඇත. මුල් සති කිහිපයේ නියමිත පරිදි මුදල් ගෙව්වත් පසුව සති කිහිපයක් මුදල් ගෙවා නැත. ඒ පිළිබඳව හෝටල් කළමනාකාරිත්වය විමසූ විට පවසා ඇත්තේ ජූලි 28 වැනි දින මුදල් ගෙවන බවය.

එහෙත් ඔහු 27 වැනි දින රාත්‍රි තමාගේ රෙදිපිළිද හෝටල කාමරයේ තබා පලාගොස් ඇත. ඉන්පසුව ඔහු ගැන කිසිම තොරතුරක් දැනගැනීමට නොහැකි වූ නිසා හෝටලයේ කළමනාකරු පැමිණ ගාල්ල පොලිසියට පැමිණිලි කර ඇත. ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුලස්ති සොයිසා මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක උදය කාන්ත, සැරයන්වරුන් වන ප්‍රේමකුමාර (28969), ලීලසේන (4836) යන මහත්වරුන් විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

ෆර්හාන් නිසාම්දින්