සමූහ ස්ත්‍රී දූෂණයක් පිළිබඳ නඩුවේ චූදිතයන් පස්දෙනාම නිදහස්

0
13

සමූහ ස්ත්‍රී දූෂණයකට අනුබල දුන් කාන්තාවක හා පිරිමි පුද්ගලයන් සිවුදෙනකු පැමිණිලිකාරිය නිසි පරිදි සාක්ෂි ලබානොදීම හේතුවෙන් නිදහස් කරන ලෙස සබරගමුව පළාත්බද කෑගල්ල මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය පෙරේදා (03දා) නියෝග කළාය.

මෙලෙස නි‍ෙදාස් කොට නිදහස් කර ඇත්තේ මාවනැල්ල පොලිස් වසමේ හිඟුල ඔවත්ත පාරේ පදිංචිව සිටින ‍ෙදාන්තියා හොරණෑකාරයලාගේ අම්මනී, ජයතිස්ස මාවත කිරිඳිවැල ලිපිනයේ පදිංචිව සිටින දවුලගල වියන්නලාගේ බුද්ධික ප්‍රේමලාල්, ගල්කන්ද මහවත්ත මාවනැල්ල ලිපිනයේ පදිංචිව සිටින දවුලගල වියන්නලාගේ සුසන්ත තේවත්ත, හිඟුල මාවනැල්ල ලිපිනයේ පදිංචිව සිටින මැදගෙදර සුරවීර කාරියවසම් හා ඔවත්ත පාර හිඟුල මාවනැල්ල ලිපිනයේ පදිංචිව සිටින කංකානම්ලාගේ සමීර සම්පත් සමරසිංහ යන පස්දෙනාය.

පල්ලේමාකඩවර, ගනේතැන්න, හිඟුල, මාවනැල්ල ලිපිනයේ පදිංචිව සිටින තරුණියක 1993 වර්ෂයේදී පොළොන්නරුව ප්‍රදේශයේ පුද්ගලයෙක් සමඟ විවාහ ගිවිසගෙන පොළොන්නරුවේ පදිංචියට ගොස් තිබිණි. එහිදී ඇයට පිරිමි දරුවකු හා ගැහැනු දරුවකු උපත ලබා තිබිණි. සැමියා මත්පැන් පානය කර නිවෙසට පැමිණ හිරිහැර කර පහර දෙනවා යැයි පවසා දරුවන් දෙදෙනා රැගෙන 2009 වර්ෂයේදී සිය මව පදිංචිව සිටින මාවනැල්ල හිඟුල නිවෙසට පැමිණ ඇත.

රැකියාවක් නොතිබුණු අවස්ථාවේදී වින්දිත කාන්තාව හිඟුල ප්‍රදේශයේ හෝටලයක රැකියාවකට ගොස් තිබේ. එම හෝටලයේ සිටි වයස අවුරුදු 70ක් පමණ වන පුද්ගලයෙක් සමඟ අනියම් සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ඇති කාන්තාව අනියම් සැමියා යැයි කියන පුද්ගලයාගේ ඉල්ලීමකට අනුව කාන්තාව හෝටලයේ රැකියාවට පැමිණ නැත. පසුව අනියම් සැමියා යැයි කියන හෝටල් සේවකයා වින්දිත කාන්තාවට දිනකට රුපියල් 100ක් හෝ 150ක මුදලක් දී ඇති බවත් එම මුදල ලබාගැනීමට හිඟුල පල්ලිය අසලට කාන්තාව සෑම දිනකම සවස ගොස් තිබේ.

ඉකුත් 2010 අප්‍රේල් මස 16 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී අනියම් සැමියා යැයි කියන පුද්ගලයාගේ දුරකථන අංකයෙන් ලද ඇමතුමකට රාත්‍රි 7ට පමණ කාන්තාව හිඟුල හෝටලය ආසන්නයේ පිහිටි සිමෙන්ති ගඩොල් නිෂ්පාදනය කරනු බලන වැඩබිමකට ගොස් තිබිණි. එහිදී පළමු විත්තිකාරිය වන අම්මනී නමැත්තිය විසින් කළුවරේදීම කාන්තාවගේ ඇඳුම් ගලවා කම්මුල්වලට උදරයට පහරදී තරුණයන් සිවු දෙනකුට භාර දී ඇත.

පසුව තරුණයන් සිවුදෙනා කාන්තාව අසල පිහිටි ග්‍රාමීය මාර්ගයකට ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් ත්‍රිරෝද රථයේදී ඇය කෑගසද්දී වරින් වර දූෂණය කර ආපසු රාත්‍රි 12ට පමණ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ හිඟුල මංසන්ධියට ගෙනත් දමා තිබිණි.

පසුව වින්දිත කාන්තාව නිවෙසට ගොස් මවට සිද්ධිය සම්බන්ධයෙන් දන්වා 17 වැනිදා මාවනැල්ල පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර මාවනැල්ල රෝහලට ඇතුළත්ව තිබිණි. පසුව කාන්තාව වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇති අතර එවකට කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය එස්.පී.ඒ. හේවගේ මහතා විසින් පරීක්ෂා කර තිබිණි. කෑගල්ල මහ රෝහලේ දින තුනක් ප්‍රතිකාර ලබා මාවනැල්ල රෝහලට යළි මාරුකර එහිදී ද දින තුනක් ප්‍රතිකාර ලබා නිවෙසට ගොස් තිබේ.

කාන්තාව මාවනැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ල විභාග කිරීම ප්‍රමාද වීම හේතුවෙන් කෑගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයටද ලිපියක් මඟින් සිද්ධිය ඉදිරිපත් කර තිබිණි. එම ලිපියට අනුව ප්‍රධාන සැකකාරිය හා සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයකින් අනතුරුව නීතිපතිවරයා වෙත යොමු කොට අධි චෝදනා 8න් සමන්විත චෝදනා පත්‍රයක් මඟින් සැකකරුවන්ට එරෙහිව සබරගමුව පළාත්බද කෑගල්ල මහාධිකරණයේ නඩු අංක 3950/18 ගොනුකර තිබිණි. 

පෙරේදා (03දා) නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාරිය නිසි පරිදි සාක්ෂි ලබානොදීම හේතුවෙන් චූදිතයන් නිදහස් කරන බවත් නැවත මේ ආකාරයේ වැරැදිවලට සම්බන්ධ නොවන ලෙස තරයේ අවවාද කළ මහාධිකරණ විනිසුරුවරිය මෙම නඩුව අධිකරණයේ පවතින බවට මතකයේ තබාගෙන ඉදිරි කටයුතු කරන ලෙසද දැන්වූවාය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ අරින්ද්‍ර ජයසිංහ මහතා පෙනී සිටි අතර විත්තිකාරිය හා විත්තිකරුවන් සිවුදෙනා වෙනුවෙන් නීතිඥ ආනන්ද කුමාරසිංහ මහතා පෙනී සිටියේය.

දමුණුපොළ – චමින්ද ජයලත්