රියැදුරකුට මිරිස් කුඩු ගසා ත්‍රිරෝද රථය කොල්ලකාලා

0
9

කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයක් රැගෙනවිත් ත්‍රිරෝද රථ රියැදුරුට  පිහියක් පෙන්වා  මරන බවට බිය ගන්නවා ඇස් දෙකට මිරිස් කුඩු ගසා ත්‍රිරෝද රථය කොල්ල කෑ සැකකරුවන් දෙදෙනකු සහ සැකකාරිය 10 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් මහතා 03 වැනිදා සවස නියම කළේය.

සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය  මිනුවන්ගොඩ පොලිසිය මඟින්  ආවරණය  කර අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි. හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය 10 දිනට ආවරණය කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාට අධිකරණයෙන් නියම කෙරුණි.

මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍රදේශයේදී ඉකුත් 01 වැනිදා උදේ 7.30ට  පමණ  එම කොල්ලය කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ හොරම්පැල්ලේ සහ අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් සැකකාරිය කැලණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් පොලිසිය පවසයි. තිදෙනාම හෙරොයින් පානයට  තදින්ම ඇබ්බැහිවූවන් බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කීය. සැකකටයුතු ත්‍රිරෝද රථයක් මිනුවන්ගොඩ  පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මධුරංග විජේසූරිය මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂාවට ලක් කර තිබේ.

එම රථයේ සිටි   හොරම්පැල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු සන්තකයේ  හෙරොයින් මිලිග්‍රෑම් 5,120ක්  තිබී සොයා ගැනීමෙන් අනතුරුව තිදෙනාව අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය. අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම් හමුවේදී ත්‍රිරෝද රථ කොල්ලය අනාවරණය වූ බව පොලිසිය පවසයි. ත්‍රිරෝද රථය ඉකුත් 01 වැනිදා අලුයම මීගමුවේ සිට පෑලියගොඩට කුලී ගමනක් ගොස් තිබේ. කුලී ගමන ගිය අයවලුන්  බස්සා ත්‍රිරෝද රථය ආපසු එන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා සහ  සැකකාරිය එම රථය නවතා කොටුගොඩට පැමිණ තිබේ.  ත්‍රිරෝද රථය කොටුගොඩට පැමිණීමෙන් අනතුරුව මුදල් ලබාදීම සඳහා මිනුවන්ගොඩ  ජාපාලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙසට යායුතු බවට එක් සැකකරුවකු රියැදුරුට පවසා ඇති බව පොලිසිය කියයි.

ජාපාලවත්ත ප්‍රදේශයේ අතුරු පාරක ගමන් කරමින් සිටියදී රථය නවතන ලෙස පවසා  ඇති එක් සැකකරුවකු රියැදුරුට පිහියක් පෙන්වා මරන බවට බිය ගන්නවා මිරිස්කුඩු ගසා ඔහුව රථයෙන් බිමට ඇද දමා ත්‍රිරෝද රථය පැහැරගෙන ඇති බව පොලිසිය පවසයි.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල